අදහස්

සාපේක්ෂ විකල්ප වෙනුවට නිවැරදි විකල්පයක් වෙනුවෙන් කැප විය යුතුයි

399views

ආචාර්ය හරිණි අමරසූරිය

මේ මොහොත කියන්නෙ විවිධ පැතිවලින් විකල්ප හොයන වෙලාවක්. හැම පැත්තකින්ම විවිධ සංවිධාන සහ ව්‍යාපාර මතු වෙමින් තියෙනවා. ඒක එක පැත්තකින් හොඳ තත්ත්වයක්. මම එහෙම කියන්නෙ, විකල්ප හොයනවා කියන්නෙම අර්බුදයක් තියෙනවා කියන එක පිළිඅරන් තියෙනවා කියන එක නිසා. හැබැයි මෙතෙන්දි අපි පරිස්සම් විය යුතුයි. මොකද, සමහර වෙලාවට අර්බුදය විසින්ම විකල්පත් යෝජනා කරන නිසා. ඒ නිසා මේ මොහොතේ තියෙන අර්බුදයට විසඳුම් හොයද්දිත් අර්බුදය තුළින්ම මතුවෙන විකල්ප වෙනුවට අර්බුදයට ඇත්ත විකල්පය මොකක්ද කියල තේරුම් ගන්න එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය.

මේ මොහොතේ තියෙන අර්බුදය අපිට පැති කිහිපයකින් තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි, ඇති වෙලා තියෙන අස්ථාවරභාවය. රට ඇතුළෙ කොහේ බැලූවත් බියපත් වුණු ජනතාවක් ඉන්නෙ. ඔවුන් තුළ එකිනෙකා ගැන අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අඩුම ගාණෙ තමන් ගැනවත් විශ්වාසයක් නැහැ. අනෙක් පැත්තෙන් ප්‍රතිගාමී අදහස් වැඩියෙන්ම වපුරන කාලයක්. ජාතිවාදී චින්තනය, විවිධත්වය ප්‍රතික්ෂේප කිරීමේ චින්තනය වගේම ස්ත්‍රී විරෝධී චින්තනයත් වැඩියෙන්ම ව්‍යාප්ත වෙන කාලයක්. ඒ ප්‍රතිගාමී චින්තනවලින් අපිට ඇත්ත විකල්ප හොයන්න තියෙන ඉඩකඩ සීමා කරනවා. මේ ඇති වෙලා තියෙන තත්ත්වය විසඳන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි, ලෝකෙ පුරාම තත්ත්වය මේක තමයි, මේක බාර අරගෙන මේකට හැඩගැහිල ජීවත් වෙන එක තමයි කරන්න තියෙන්නෙ කියන එක තමයි මේ සියල්ලගේම එකතුව විදිහට අපිව නොමඟ යවන තවත් මතයක් වෙන්නෙ. ශක්තිමත් නායකයෙක් හොයන්න ඕනෙ, තමන්ගෙ ජාතිය නියෝජනය කරන කණ්ඩායමකට බලය ගන්න ඕනෙ වගේ වැරදි විකල්ප යෝජනා වෙන්නෙ මේ අර්බුදය විසින්මයි. තියෙන ක්‍රමයට මානුෂීය මුහුණුවරක් දෙන්න ඕනෙ වගේ සාපේක්ෂ විසඳුම් යෝජනා වෙන තත්ත්වයකුත් මේක ඇතුළෙ තියෙනවා. උගතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි, ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි, මේ දෙසිය විසිපහම ගෙදර යවමු වගේ විසඳුම් එන්නෙ ඒ තුළින්.
නමුත් මේ වෙලාවෙ අවශ්‍ය වෙන්නෙ ඒ වගේ විකල්ප නෙමෙයි. මේ ප්‍රශ්න වෙන් වෙන් වශයෙන් අරගෙන වෙන් වෙන් වශයෙන් උත්තර හොයන්න බැහැ. මේ සියලූ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ නව ලිබරල්වාදී ආර්ථීක ක්‍රමයත් එක්ක. ආර්ථීක අර්බුදය තමයි සමාජ, ආර්ථීක සහ සංස්කෘතික අර්බුදයක් වශයෙන් අපිට පේන්න පටන් අරගෙන තියෙන්නෙ. ඒ නිසා මේ ක්‍රමය අසමත් කියන එකත්, මේ ක්‍රමය ප්‍රතික්ෂේප කළ යුතුයි කියන එකත් මුලින්ම අපි පිළිගත යුතු වෙනවා.

ඒ නිසා මේ තත්ත්වයට කෙටිකාලීන විසඳුම් නැහැ. මැතිවරණයක් ඉලක්ක කරගෙන මේක අවසානයකට එන්න බැහැ. මේකට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න විශාල කැපවීමක් අවශ්‍යයි. විශාල දේශපාලන පරිණතභාවයක් අවශ්‍යයි. දැඩි අධිෂ්ඨානයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපිට තියෙන පුංචි පුංචි සිහින වෙනුවට අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් විශාල සිහිනයක් අවශ්‍යයි. එකතුවීම් ගොඩනැගෙන්න ඕනෙ ඒ විශාල සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිවයි.

Leave a Response