අදහස්

ඇත්තටම අපට දැන් අවශ්‍ය තරු නෙවෙයි, ප්‍රදීපාගාර

204views

රවී සිරිවර්ධන

ගීත රචකයකු, කවියකු මෙන්ම සාහිත්‍යධරයකුද වන රවී සිරිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘ප්‍රදීපාගාරයක ඇස් බැල්ම’ නමින් එළැඹෙන ජූලි 30 වන දින ජනගත කිරීමට නියමිතය. මේ කතාබහ ඒ වෙනුවෙනි.

ඔබ ගීතය ඇති කියල හිතිලද කවියට එන්නෙ?

ඇති වීමක් නෑ. නිර්මාණකරුවකුට ඇති වෙන්නෙ නෑ. තව තව අලුත් දේ සොයා යාමට තමයි කැමැත්ත. කවියට එන්නෙත් එහි දිගුවක් හැටියට. මම මගේ ගමන පටන් ගත්තෙ කවියෙන් තමයි. ‘නගුල් තරුව’ සහ ‘පිළිසඳර’ කියන කාව්‍ය සංග්‍රහ දෙක තමයි මගේ පළමු සහ දෙවන නිර්මාණ. ඊට පස්සේ මම ගීතයට වඩාත් සමීප වුණා. ගීත පොත් දෙකක් සහ සංගත තැටි හතරක් ජනගත කළා. රාජ්‍ය සාහිත්‍ය සම්මානය වගේම රාජ්‍ය සංගීත සම්මානයත් ලැබුවා. ඒ සියල්ල ලැබෙද්දිත් මගේ ප්‍රථම ප්‍රේමය වුණ කවියට තිබුණ බැඳීම හිත යට හැංගිලා බලාපොරොත්තු සහගතව හිටියා.

ගීතයට ගියේ ජනප්‍රිය මාධ්‍යයක් නිසාද?

නෑ. ගීතය කවියට වඩා වේගයෙන් සහෘදයා හමු විය හැකි මාධ්‍යයක්. ඒකෙ ඉලක්කය ශ්‍රාවකයා. එය මගේ දෙවන ප්‍රකාශන මාධ්‍යය. හොඳ ගීතයකට ශ්‍රාවක සමාජය ඥානනය කළ හැකියි. ඔවුන්ගේ උසස් වින්දනයට ආමන්ත්‍රණය කළ හැකියි. ඒ නිසා කවියා කවිම පමණක් ලිවිය යුතුය කියල නීතියක් නෑ. ගීතය සප්‍රයෝජනවත් ලෙස පරිහරණය කළ හැකි නම්, එහි නියැළීමේ ගැටලුවක් නෑ. එහි ඇති ප්‍රාසාංගික ලක්ෂණ නිසා අප ඉක්මනින් සහෘද සමාජයට සමීප වෙනවා. කවියා ගැන නොදන්න සමාජය ගීත රචකයා ගැන දන්නෙ ඒකයි. ගීතයෙ ඕඩියන්ස් එක විශාලයි. විශාල ඕඩියන්ස් එකක් ඉස්සරහට යනකොට ජනප්‍රියත්වය සාමාන්‍ය තත්ත්වයක්. එසේ නොමැතිව ගීතයට ගියේ ඉක්මනින් ජනප්‍රිය වන අරමුණෙන් නෙවෙයි.

මේ මාධ්‍ය දෙක තුළම හැසිරෙන නිර්මාණකරුවෝ අඩුයි නේද?

ඔව්, හුඟක් අඩුයි. ඒකට හේතුව මාධ්‍යයික වෙනස්කම්. කවි ලියූ පමණින් ගීත ලියන්න හෝ ගීත ලියූ පමණින් කවි ලියන්න බෑ. මේ මාධ්‍ය දෙක වෙන වෙනම අභ්‍යාස කළ යුතුයි. මොකද? කවියගෙ ඕඩියන්ස් එක පාඨකයා. ගීත රචකයගෙ ඕඩියන්ස් එක ශ්‍රාවකයා. කවියක් දෘශ්‍යගෝචරයි. ගීතය ශ්‍රව්‍යගෝචරයි. මේ දෙක හරියට දැනගෙන ලියන්න ඕනෑ. හැම හොඳ කවියක්ම ගීතයක් කරන්න බැරි මේ මාධ්‍යයික වෙනස්කම නිසා. කවිය සාහිත්‍ය ප්‍රකාශනයක් වෙද්දි ගීතය සංගීත ප්‍රකාශනයක් බවට පත් වෙනවා. එහි ගීත රචකයා එක පාර්ශ්වකරුවෙක් විතරයි. මෙන්න මේ කාරණා නිසා මේ දෙක තුළම සමාන බරකින් නියැළෙන්න පහසු නෑ. සේකර සහ රත්න ශ්‍රී වගේ අය තමයි මේ දෙක තුළම වඩාත් වැඩි සාර්ථකත්වයක් ලැබුවෙ.

මේ මොහොතේ කවියට තියෙන සමාජ කාර්යභාරය මොකක්ද?

කවියට පමණක් නෙවෙයි සියලු කලා මාධ්‍යයන්ටම පැවරෙන වගකීම තමයි, උසස් සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් නිර්මාණකරණයේ නියැළීම. මේ මොහොත වන විට මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතයක් නැති තරම්. අර්ථ ක්‍රමයේ අතිමහත් පීඩාව මැද මිනිස්සුන්ට ඉස්සෙල්ලම අහිමි වෙන්නෙ සංස්කෘතික ජීවිතය. හාල් සේරුවක් ගන්න, දරුවා ඉස්කෝලෙකට යවා ගන්න අරගල කරන සමාජයක සංස්කෘතික ජීවිතයකට ඉඩක් නෑ. තමන්ගෙ ප්‍රමුඛතා හැදෙන්නෙ ජීවිතේ ගැට ගහගන්න අරගලය මැද. හොඳට කුස පිරුණ, ජීවත් වීමේ පීඩනය අඩු මිනිහෙක් තමයි පොතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න වෙලාවක් හොයාගන්නෙ. මේ අර්ථ ක්‍රමය ඒ සන්සුන්කම, ආරක්ෂිත බව අහිමි කරලා තියෙන්නෙ. කොල්ලකාරී ආර්ථිකයක දඬු අඬුවට හසු වුණ ජනතාවකට යහපත් සංස්කෘතික ජීවිතයක් ලැබෙන්න විදිහක් නෑ. මෙම වටාපිටාවෙ නිර්මාණකරුවන්ට පැවරෙන එක් ප්‍රමුඛ වගකීමක් තමයි, මේ අසමත් දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය මතවාදී සංවාදයකට නායකත්වය දීම.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන කවිය ගැන ඔබේ කියවීම කොහොමද?

කවි ලෙස සමාජ මාධ්‍යයට මුදාහරින අති බහුතර රචනා කවි කියල මම විශ්වාස කරන්නෙ නෑ. ඉතා කලාතුරකින් තමයි අප රසයට පත් කළ හැකි කවියක් දකින්න ලැබෙන්නෙ. හුඟක් තියෙන්නෙ අදහසක් රිද්මයකට ගොනු කරලා. පරිකල්පනයක් ඒවායෙ නෑ. ලියන පිරිස කටුවැඩ කරන ඒවා අමුවෙන්ම එහි පෙන්නනවා. හරියට අසම්පූර්ණ කලල බලෙන් එළියට ඇදල අරන් වගේ. ඒක එහෙම වුණාට ඒවට එන ප්‍රතිචාර විස්මය දනවනසුලුයි. ලියන ආධුනිකයා විශාල ෆැන්ටසියකට දාල තමයි කෙළවර වෙන්නෙ. අන්තිමේ ඉවසීමෙන් අභ්‍යාස කරමින් ඉස්සරහට පැමිණිය යුතු නවක කවියගෙ ගමන සමාප්ත වෙනවා. ඒක මාර අපරාධයක්. සමාජ මාධ්‍ය තුළ කවියට ප්‍රතිචාර දක්වන බොහෝ පිරිස් විෂයය ගැන ලොකු අවබෝධයක් තියෙන පිරිසක් නෙවෙයි. ඉතින් එහෙම අයගෙ ප්‍රතිචාරවලින් කවියෙක් පෝෂණය වෙන්නෙ නෑ. වෙන්නෙ, ඇන්දෙන එක. මොකද? මෙතැන කවියක් පබ්ලිෂ් වෙන්න කලින් ඒක දැනුම්වත් කෙනකුගෙ අධීක්ෂණයකට ලක් වෙන්නෙ නෑ. පත්තර කවි පිටුවක අඩුම තරමෙ ඒකට ලැබෙන කවි මූලික තේරීමකටවත් යටත් වෙලයි අපට ලැබෙන්නෙ. ඒ නිසා යම් ප්‍රමිතියක් රකින්න කවියට සිද්ද වෙනවා. සමාජ මාධ්‍ය තුළ එවැනි සීමාවක් නෑ. ඕනම පල්හෑල්ලක් කවියක් ලෙස සංසරණය විය හැකියි.

අද ප්‍රකාශන නිදහස බරපතළ ප්‍රශ්නාර්ථයක් වී තියෙනවා. මොකක්ද ඒ ගැන අදහස?

එය මේ වගේ අතිශය පසුගාමී සමාජයක අපි බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්. දේශපාලන ක්‍රමය කුණු වෙලා සතර අත දුර්ගන්ධය පැතිරෙන වටාපිටාවක අපට ශිෂ්ටත්වයක් නිරීක්ෂණය කළ නොහැකියි. දවසින් දවස ගෝත්‍රික දෘෂ්ටිවාද එක්ක අවස්ථාවාදී පාලකයො අවල කෙළියෙ යෙදෙන සමාජයක් මේක. මේ ගෝත්‍රික දේශපාලන ක්‍රමයේ ප්‍රමුඛම කාර්යය කරමින් ඉන්නෙ ආගම්. ආගම් අතිශය අන්තවාදී භූමිකාවක් රඟමින් ධනේශ්වර පාලකයන්ගෙ ප්‍රචාරණ යාන්ත්‍රණ බවට පත්වෙලා ඉන්නෙ. ආගම තව දුරටත් ජනතාවගෙ ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් නෙවෙයි පෙනී ඉන්නෙ. ඒවා ඇතුළේ තියෙන්නෙ වර්ගවාදය, හීනමානය සහ අවස්ථාවාදය. ඒවා සේවය කරන්නේ ගැටුම් අවුළන දේශපාලන න්‍යාය පත්‍රවලට. අද බන්ධනාගාරගත කොට සිටින ශක්තික සත්කුමාර ලේඛකයා පිටුපස තියෙන්නෙ ආගමික අන්තවාදය. මේ පසුගාමී, අශිෂ්ට දේශපාලන ක්‍රමය වෙනස් නොකොට රටට අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. මේක මොහොතින් මොහොත ගිලෙන නැවක් බව තමයි පේන්නෙ. මේක ආපස්සට හරවන්න ප්‍රබල ජනතා පෙළගැස්මක් ඕන.

‘ප්‍රදීපාගාරයක ඇස් බැල්ම’ කාව්‍ය සංග්‍රහයේ තේමාව මොන වගේද?

මේකෙ නමේ තේමාව දේශපාලනිකයි. ඇත්තටම අපට දැන් අවශ්‍ය තරු නෙවෙයි ප්‍රදීපාගාර. තරු බැබළෙන්නෙ තමන් සඳහාමයි. ඒවා අපට මඟ කියන්නෙවත්, එළිය දෙන්නෙවත් නෑ. ප්‍රදීපාගාර තමයි මඟ කියන්නෙ. ගොඩබිම පෙන්වන්නෙ. ඒ නිසා මේක ප්‍රදීපාගාර අවශ්‍ය සමාජයක්. මෙම කෘතිය තමයි දිගු කලක මගේ කවි විරාමය නිමා කරන්නෙ. ගීත පොත් දෙකකට සහ මගේ ගීත ඇතුළත් සංගත තැටි හතරකට පස්සෙ තමයි තෙවැනි කවි පොත හැටියට මේක ජනගත වෙන්නෙ.

චතුර දිසානායක

Leave a Response