විශේෂාංග

… ඉන්න බය හිතෙන රටක් …

127views

අත්හැර නොයෑම

‘ඈත අහසේ තරු දෙස මිස ඔබේ දෙපා දෙස නොබලන්න. ජීවිතය කොතරම් දුෂ්කර වුව ද, සෑම විටම ඔබට කළ හැකි යමක් සහ සාර්ථකත්වය කරා යා හැකි මඟක් තිබේ. කළ යුතු එකම දෙය එය කිසිවිටෙක අත්හැර දමා නොයෑම පමණි.’
සියවසේ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා ලෙස හඳුන්වන ස්ටීවන් හෝකින්ස් එසේ කියා ඇත. රෝග ගණනාවකින් පෙළෙමින්, නැඟිට ගන්නට පවා නොහැකිව ඔහු ලෝකය වඩා යහපත් කරන්නට ඔළුව වෙහෙසී ය. මතක තබාගන්න, ඔහු අපට අත්හැර නොයන්නැයි කිව්වේය.

ඉන්න බය හිතෙන රටක්

වෛද්‍ය මොහොමඩ් සාෆි, ලේඛක ශක්තික සත්කුමාර මෙන්ම රත්නපුරය නගරයට ප්‍රහාරයක් එල්ල කරන්නට පැමිණි බවට චෝදනා එල්ල කොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාසයක් රඳවා තැබුණු තරුණයන් තිදෙනාගේ සිදුවීම ද තදින් අල්ලා ගත යුතු, එහෙත් හිතාමතා අත්හරිමින් තිඛෙන ඒවාය. මේ සිදුවීම් තුන හරහා රට කරවන මහත්තුරුන් අපට කියන්නේ මේක යන්න හිතෙන රටක් හෝ ඉන්න හිතෙන රටක් නොව, ඉන්න බය හිතෙන, ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදු විය හැකි රටක් බවය.
ශක්තිකගේ සිදුවීම සම්බන්ධයෙන් කතා කරන පිරිස් සාෆි ගැන කතා කරන්නට යන්නේ නැත. රත්නපුරය ගැන කතා කළේ නැත. සියල්ල සිදුවන්නේ අතිශය ප්‍රවේශමෙන් බව පෙනෙන්නට තිබේ. ඊට හේතුව පය ගහගෙන සිටින තැන පිළිබඳ ප්‍රශ්නයක් විය හැකිය. හරියට ඇඟිලි පොළොවේ වදින සේ හිටගෙන නොසිටීම පිළිබඳ ප්‍රශ්නයක් ද විය හැකිය. අනෙක් අතට හොඳම අවස්ථාව ලැබුණු රත්නපුරයේ තරුණයන් එය අත්හැර දැමීය. ඔවුන් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරිණි. තවත් අයකු මේ ආකාරයට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම වෙනුවෙන් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නට තිබිණි. එහෙත්, කුමක් හෝ හේතුවක් නිසා ඔවුන් එය අත්හැර දැමීය. තමන් නිදොස් වූ විට, අනෙකාගේ භීතිය නැති කරන්නට ඔවුන්ට යමක් කළ හැකිව තිබිණි.

නැවත මතක් කිරීම

රත්නපුරය නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු තරුණයන් තිදෙනකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කෙරිණි. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මෙරට තහනම් කෙරුණු සංවිධාන දෙකක සාමාජිකයන් බවට ඔවුන්ට එරෙහිව භික්ෂුවක් ඇතුළු පිරිසක් එල්ල කළ විරෝධතාව නිසාය. ඔවුන් කර තිබුණේ රත්නපුර නගරයේ ඡායාරූප කිහිපයක් ගැනීම පමණි. අන්තවාදීන්ගේ බලපෑමට යටත් වූ පොලිසිය තරුණයන් තිදෙනාට එරෙහි විය. පසුව අදාළ භික්ෂුව නැවත නැවත පැවසූයේ තමන් මෙය බරපතළ වනු ඇතැයි නොසිතූ බවකි. එය තමන්ගේ වරදක් බව ද ඒ භික්ෂුව පිළිගත්තේ පොලිසිය පාර්ශ්වයෙන් චෝදනා වෙනස් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ තරුණයන් තිදෙනාට එරෙහි චෝදනා තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැති බවයි. ඒ අනුව ඔවුන් නිදහස් කෙරිණි.

මේ වන විට අදාළ භික්ෂුව ඇතුළු අන්තවාදී කණ්ඩායමට එරෙහිව නීතිමය කටයුතු සිදුවෙමින් තිබේ. දැන් ඔවුහු තමන්ගේ ගැලවීම සඳහා එකිනෙකා පිට වරද පටවමින් සිටිති. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව තරමක් හෝ කෙළින් සිටියහොත්, මෙවැනි තක්කඩිකම් කරන්නට පෙර අන්තවාදීන් යළිත් හිතන්නට පෙළඹෙනු ඇත. මෙය භීතිය නැති වූ, නීතිය ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්ව සම්බන්ධයෙන් යම් සංවාදයක් ඇති වූ සිදුවීමකි. විශේෂයෙන්ම පොලිසිය කටයුතු කළ ආකාරය සහ අධිකරණයේ මැදිහත් වීම එකිනෙකට වෙනස්ය.

ශක්තික වෙනුවෙන් වන නීතිය

කෙටිකතාවක් ලිවීම නිසා ශක්තික සත්කුමාර නම් ලේඛකයා දින එකසිය දහයකට අධික කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ, අදාළ කෙටිකතාව මඟින් ආගමකට අපහාස වූ බව පවසමින්, අන්තවාදී භික්ෂුන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුවය. රත්නපුරයේ වගේමය. අන්තවාදීන්ගේ අවශ්‍යතාව මත චෝදනා ගොනු කිරීම ඇතුළු අනෙකුත් කටයුතු සිදු විය. ශක්තිකට එරෙහිව පොලිසිය කටයුතු කළේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත හෙවත් ICCPR යටතේය. මේ පනත යටතේ චෝදනා ගොනු කිරීම නිසා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුට ඇප දීමේ බලයක් නැත. මේ ගැටේ ගැහුවේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායමකි. ඒත් ඒ ගැටේ ලිහන්නට බලය ඇති කණ්ඩායමට අවශ්‍ය නැත.

ශක්තිකට ඇප ලබා ගන්නට කුරුණෑගල මහාධිකරණයට ගොස් තිබේ. එහෙත් දින 110කට වැඩි කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහුගේ සිද්ධිය වෙනුවෙන් පොලිසිය පාර්ශ්වයෙන් පැමි‚ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන රජයේ නීතිඥයා තව දුරටත් පවසමින් සිටින්නේ මෙවැන්නකි. ‘කෙටිකතාව අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍යයි.’

නීතිපතියේ ඇදගෙන යෑම

ඒ ෆෝ කොළ කිහිපයක්, වචන දෙදහසක කතාවක් අධ්‍යයනය කරන්නටත්, ඊට අදාළ නීති තර්ක ගොඩනඟන්නටත් ඔහු තවත් කාලය ඉල්ලයි. එහෙත්, ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව සිහිකැඳවීමේ ලිපි පවා යැව්වේය. ඊට අදාළ සියලූ නීති කටයුතු හදිසියේ සිදු කෙරිණි. මෙයින් අදහස් කෙරෙන්නේ හේමසිරි සහ පූජිත් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතු කිරීම නොවේ. අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව ඔවුන්ට සෘජුව එල්ල වේ. එහෙත්, එය සිදු විය යුත්තේ එහි මුල් වගඋත්තරකරුවන් වන ජනාධිපති සහ අගමැති බේරමින් නොවේ.

ශක්තිකට පෞද්ගලිකව සහ සමස්ත ප්‍රකාශන අයිතියට පොදුවේ එල්ල කර ඇති මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රවීණ ලේඛකයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කතා කරන්නේ නැත. ඇතැම් මාධ්‍ය කතා කරන්නේ නැත. හරියට ඇඟිලි පොළොවේ වදින සේ හිටගන්නට නොහැකි වූ විට ඔවැනි දේ සිදු වේ. කෙසේ වෙතත්, ශක්තිකගේ දරුවෝ මේ දෙස බලා සිටිති.

මාධ්‍යයේ නිදහස

‘දිවයින’ පුවත් පත මගින් අසත්‍ය පුවතක් පළ කිරීම නිසා අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය මොහොමඩ් සාෆිගේ සිද්ධිය ද මේ භීතිකාවේ බරපතළ කොටසකි. ‘දිවයින’ අසත්‍ය පුවතක් පළ කළ බව පවසන්නේ කෙසේ ද, තවමත් ඊට අදාළව අධිකරණ කටයුතු සිදු වනවා නොවේ ද යනුවෙන් ප්‍රශ්න කරන්නට කිසිවකුට හැකිය. වඳ සැත්කම් සම්බන්ධ චෝදනාවට වෛද්‍ය සාෆි සම්බන්ධ ද, නැද්ද යන්න මෙතෙක් අධිකරණයෙන් තහවුරු කර නැත. එය ඇත්තය. එහෙත්, අදාළ පුවත්පතේ සඳහන් වූයේ ඊට අදාළ විමර්ශනයක් ක්‍රියාත්මක වන බවකි. ඒ වන විට කිසිදු විමර්ශනයක් ක්‍රියාත්මක නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, කුරුණෑගල භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කුරුණෑගල පොලිස් අධිකාරිවරයා විසින් තහවුරු කර ඇත.

සාෆි අත්අඩංගුවට ගත් මැයි 23 දා රාත්‍රියේ කුරුණෑගල පොලිස් අධිකාරි මහින්ද දිසානායක විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට යැවූ ලිපියක සඳහන් වන්නේ වඳ සැත්කම් කිරීම, සිංහල මව්වරුන්ගේ සැත්කම්වල දී සැකකටයුතු ලෙස හැසිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ඇති බවයි. මෙතෙක් කල් සාෆිට ඇති භය නිසා රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් නිහඩව සිට ඇති බව ද එහි දැක් වේ.

පොලිසියේ ඇතුළ සහ එළිය

එම පොලිස් අධිකාරිවරයා විසින් ම ඊට පසු දින, එනම් 25 මධ්‍යාහ්නයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත යොමු කර ඇති අංක SP/PA/4357/19 දරන ලිපියේ සඳහන් වන්නේ සිසේරියන් සැත්කම් මඟින් වඳභාවයට පත් කිරීම පිළිබඳ කිසිදු පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබී නැති බවයි. මෙම ලිපිය මත පදනම්ව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසු දින මාධ්‍ය වෙත කරුණු දක්වයි. පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින්, අදාළ පුවත් පත මේ පුවත පළ කර තිබිණි. එහෙත්, පොලිසිය නිල වශයෙන් පවසා ඇත්තේත්, ඔවුන්ගේ අභ්‍යන්තර ලියුම්වල සඳහන් වන්නේත් එවැන්නක් නැති බවයි. සාමාන්‍යයෙන් පොලිසිය ඇතුළේ කරන වැඩ එළියේ කියන්නේ නැත. හරියටම මහජන සම්බන්ධතාව වැඩි කිරීමට යැයි කියමින් පොලිසිවල තාප්ප කඩා මල් වැව්වාට, ඇතුළේ දී සැකකරුවන් පෙර පරිදි ම එල්ලනවා වගේය. එල්ලා පහර දෙනවා වගේය. එහෙත්, අභ්‍යන්තර ලියුම් යනු එසේ නොවේ. ඒවා පහළින් ඉහළට යවන වාර්තාය. ගැටලූවක් වුවහොත්, යන්නේ පහළ නිලධාරියාගේ පිටින් නිසා ඔවුන් ඒවා තිතට සකසන්නේය.

හරියටම ගාල්ල, රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පහළ නිලධාරීන් ඉහළට දැනුම් දී ඇත්තාක් මෙන්ය. දකුණු දිසාව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විෙජ්ගුණවර්ධන යටතේ තිබූ විශේෂ ඒකකයක් මඟින් මේ පැහැර ගැනීම සහ ඝාතන සිදු කර ඇති බව හෙළි වී තිබේ. ඒ වැඩේ කළ නිලධාරීන් සිය ඉහළ නිලධාරියාගේ එනම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මේ ඝාතන සිදු කළ බව ද දැන් අනාවරණය වී තිබේ.
සියල්ල එක වගේය. ශක්තික සත්කුමාරට එරෙහි චෝදනා ගොනු කිරීමේ ඇති ගැටලූ සියල්ල සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පොල්ගහවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයාටය. එහෙත්, එය සිදු වී ඇත්තේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම හා උපදෙස් පිටය. එය මාධ්‍ය මඟින් කියන්නේ නැත. රත්නපුර තරුණයන් තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ද සෘජුව වගකිව යුතුය. ඔහු අදාළ තරුණයන්ට එරෙහි සිද්ධියට දිගින් දිගටම මැදිහත් වී ඇත. පසුව රත්නපුරයට ස්ථානමාරුවක් ලබා ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නොවන්නට තරුණයන් තවමත් රක්ෂිත බන්ධනාගාරයේය. එම නිසා වතුර ගලන්නේ තව දුරටත් පහත් තැනින්ම පමණි. ‘දිවයින’ පුවත් පත අසත්‍ය පුවතක් පළ කර ඇති කළ කලබැගෑනියට එරෙහිව කිසිවක් සිදු වන්නේ නැත.

සම්මා සතිය

ශක්තිකගේ අදහස් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමත්, දිවයිනේ අදහස් ප්‍රකාශනයේ ගැටලූව මතු කිරීමත් දෙකකි. මේ වෙනස සිහියෙන් තේරුම් ගත යුතුය. අන්තවාදීන් නොදන්නේ හෝ තමන්ගේ වාසියට නොදන්නා ලෙස ඉන්නේ බුදුදහමේ සඳහන් වන ‘සම්මා සතිය’ හෙවත් මේ කියන යහපත් සිහියයි.

දිවයින තනි ද?

‘දිවයින’ පමණක් ද? නැත. වෛද්‍ය සාෆිගේ සිද්ධියට අදාළව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති ආකාරයත්, ඔහු ඇතැම් වාර්තා වෙනස් කර ඇති ආකාරයත් තහවුරු වෙමින් තිබේ. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ‘දිවයින’ පුවත් පත අසත්‍යයක් පළ කර ඇති බව කියා තිබිණි. එහෙත්, ඒ පිට පටවා ඔහුට ගැලවෙන්නට නොහැකිය. ඔහුගේ උපදෙස් පිට කටයුතු කළ නිලධාරීන්ට ද ගැලවිය නොහැකිය. ඒ කරුණු අප මීට පෙර පිටු ගණන් ලියා ඇත. ඒ වගේම මේ සිද්ධියට අදාළව සැක කටයුතු භාවිතාවක යෙදෙන කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් පැවැත්වීම අත්‍යවශ්‍යය. මේ වන විටත් මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ නඩුවේ දී ඔහුගේ හැසිරීම, ඔහුගේ බිරිඳ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙනි.

මහේස්ත්‍රාත්ගේ හැසිරීම

මේ අතර දන්ත වෛද්‍යවරයකු වන නාරි හා ප්‍රසවවේදය පිළිබඳ විශේෂඥයකු නොවන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණය ඉදිරියේ කළ ප්‍රකාශය අධිකරණ වාර්තාවලින් ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා උපදෙස් දුන් බවට එල්ල වන චෝදනාව අතිශයින් බරපතළය. අධිකරණයේ කිසිදු කැඳවීමක් නොමැතිවය, අධ්‍යක්ෂවරයා තමන්ට අදාළ නොවන විෂයයක් සම්බන්ධයෙන් සෑහෙන වේලාවක් අධිකරණයේ කරුණු විග්‍රහ කර ඇත්තේ. ඔහු සාෆිගේ හැසිරීම ගැන කතා කළේ නම් හෝ රෝහල් පරිපාලනය ගැන කතා කළේ නම් හෝ ප්‍රශ්නයක් නැත. එහෙත්, අධිකරණය යනු කතා පැවැත්වීමේ ස්ථානයක් ද? අවශ්‍ය නොවන අවස්ථාවක දී ඊට ඉඩ දීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේ ඇයි ?

මේ වන විට මහේස්ත්‍රාත්වරයාගේ පාර්ශ්වයෙන් ද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිවය. ඔවුන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බව එහි සඳහන් වේ. කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරයාගේ පාර්ශ්වයෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක යෙදෙන බව ද, කුරුණෑගල අධිකරණ ආරංචිමාර්ග හෙළි කරයි. ඒ, එදින සේවයේ නියුතුව සිටි ලඝු ලේඛිකාවගෙන් සහ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන්ය. තමන් අදාළ ප්‍රකාශය ඉවත් කරන ලෙස නියෝග නොකළ බව තහවුරු කර ගැනීම මේ උත්සාහයේ අරමුණ වන බව අනාවරණය වේ.

දෙමටගොඩ චමින්ද තියරිය

ඒ කියන්නේ මේ ගැලවීමේ උත්සාහයකි. හරියට ම ගාල්ලේ, රත්ගම ඝාතන සිද්ධියට අදාළව තමන්ගේ සම්බන්ධතාව සැඟවීමට මේ වන විට උතුරු පළාත භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විෙජ්ගුණවර්ධන කටයුතු කරනවා වගේමය. ඔහුගේ ගෝලයන් රක්ෂිත බන්ධනාගාරයේය. ඒ ගෝලයන් අතුරින්, අදාළ ඒකකයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂකවරයාගේ පාර්ශ්වයෙන් අනාවරණය වන්නේ ඔවුන් දැන් ඇත්ත කියන්නට සූදානම් වන බවය. හරියටම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව දෙමටගොඩ චමින්ද නම් ගෝලයා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට තර්ජනය කළා වගේය. ‘එල්ලූම් ගහට යනවා නම් ඔක්කොම යන්න ඕනෙ ලොක්කා, ඔයා බේරිලා අපිට යන්න බෑ. එහෙම වුණොත්, එල්ලන්න එක දවසකට කලින් හරි මං ඔක්කොම එළියට දානවා.’ මේ බන්ධනාගාර නිලධාරීන් අතර ප්‍රසිද්ධ කතාවකි.

සී. අයි. ඩී. යට බලපෑම්

මේ සියල්ල එකින් එක ගැට ගැසෙන්නේය. රත්නපුර සිද්ධියේ අසත්‍ය චෝදනා එල්ල කිරීමත්, ශක්තිකට එරෙහිව ප්‍රකාශනයේ නිදහසට විලංගු දැමීමත්, සාෆිගේ සිද්ධියේ මැවූ කතාත් සියල්ල යන්නේ එක පාරේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු ද රත්නපුරයේ සිද්ධියට සම්බන්ධ, ශක්තිකගේ සිද්ධියට සම්බන්ධ පොලිසියේම කොටසකි. එසේම ඔවුන්ගේ භාවිතාවන් සම්බන්ධයෙන් ද අපට අදහසක් තිබේ. එහෙත්, සාෆිගේ සිදුවීමේ දී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති ‘බී’ වාර්තා අතිශයින් වැදගත්ය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පසුගිය 24 දා කිව්වේ සාෆිගේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් බරපතළ බලපෑම් එල්ල වන බවයි. ඒ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි. ‘සාෆි වෛද්‍යවරයා විසින් කාන්තාවන් වඳභාවයට පත් කිරීමේ සැත්කම් සිදු කළ බවත්, ඒවා නීත්‍යනුකූල නොවන සැත්කම් බවත් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දී ඇත. එහෙත් නාරි හා ප්‍රසවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු තහවුරු කර ඇත්තේ, මේවා නීති විරෝධී බවත්, හානිදායක බවත් තහවුරු නොවන බවයි. මෙය විමර්ශන අංශ නොමඟ යැවීම සඳහා සිදු කරන ලද්දක් ලෙස නිරීක්ෂණය වේ.’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ සිය ‘බී’ වාර්තාවේ එසේ සඳහන් කර තිබේ. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විග්‍රහ කිරීම් සහිතව ය. මේ කියන්නේ දන්ත වෛද්‍යවරයකු විසින් කළ පෙන්වා දීමක් සහ විෂයයට අදාළ විශේෂඥයන් විසින් කළ කරුණු දැක්වීම් සම්බන්ධයෙනි. මේ අතර මේ වාර්තා ඉදිරිපත් කළ එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරාව විවේචනය කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා කටයුතු කළ බවද සඳහන් කළ යුතුය.
‘අපේ විමර්ශනය සඳහා දැනට පැමිණිලි 615ක් අදාළ කරගෙන තියෙනවා. එම පැමිණිලිවලින් 468ක් මාධ්‍යවල මේ වඳ සැත්කම් පිළිබඳව සහ වෛද්‍ය සාෆි පිළිබඳව පළ වීමෙන් පසු ඇති වූ සැකය මත කරන ලද ඒවා. ….. …………… ඉන්පසු පැමිණිලි 11ක් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සිදු කළ යුතු බව පෙනී ගියා.’

භීතිය වැපිරීමේ මුල

ඒ කියන්නේ ඉතිරි පැමිණිලි සියල්ල සැකය මත කරන ලද ඒවායි. එසේ කළ හැකිය. එසේ පැමිණිලි කරන ලෙස දැනුම් දුන්නේ ද පොලිසිය මඟින්මය. ගැටලූව ඇත්තේ, මේ සංඛ්‍යා දත්ත හරහා මහා භීතියක් රට තුළ නිර්මාණය කිරීමේය. එහෙත් පැමිණිලිවල හරය 11ට අඩු වීම සම්බන්ධයෙන් මාධ්‍ය එතරම් ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ද? ඒ 11ත් වඳ සැත්කම් ලෙස මෙතෙක් තහවුරු වී නැති බව ඔබ දැනුවත් ද? මාධ්‍ය, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, කුරුණෑගල මහේස්ත්‍රාත් ඇතුළු සියලූ පාර්ශ්ව ජනතාව අතර ඇති වූ භීතිය සමනය කරන්නට කිසිවක් කළේ නැත. මුල්වරට වෛද්‍ය සාෆි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන්නේ, ඔහු එළියට පැමිණියහොත්, මහජන කැළඹීමක් ඇති වේය යන කරුණ මතයි. එහෙත්, පැමි ණිලි පාර්ශ්වයෙන් හෝ එවැනි මහජන කැළඹීමක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන්නේ නැත. (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ‘බී’ වාර්තා සටහන් ඔබ කියැවිය යුතුය. එහි තෝරා ගත්, වැදගත් කරුණු ලබන සතියේ අදාළ වාර්තාවේ සඳහන් ආකාරයෙන්ම ඔබට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය. එවිට තීරණය ඔබට ගත හැකිය.)

දේශපාලන වාසි

ඉන්න බය හිතෙන, ඕනෑ ම මොහොතක ඕනෑම දෙයක් සිදු විය හැකි රටක සිදු වන දේ මේ ආකාරය. මේ සියල්ල එකිනෙක ගැටගැසී තිබේ. සියල්ලන්ට නීතිය සමානව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්, අදහස් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලට කිසිදු ඉඩක් ලබානොදෙන බව ශපථ කරමින් බලයට පැමි ණි මේ ආණ්ඩුව මේවා ගැන වචනයක් කියන්නේ නැත. ඔවුහු ඔහේ වෙන දෙයක් වන්නට ඉඩ දී, එයින් දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති. එහි වාසිය ගනිමින් විපක්ෂය නියෝජනය කරන කොටසක් ජනතාව අතර භීතිය පතුරුවමින්, අන්තවාදී අදහස් සමාජගත කරමින් සිටී.
කලබල නොවන්න, අප කියන්නේ ආණ්ඩුව අධිකරණයේ කටයුතුවලට මැදිහත් විය යුතු බව නොවේ. එහෙත්, ආණ්ඩුව යටතේ පවතින, ආණ්ඩුවේ උපදෙස් මත ක්‍රියාත්මක වන පොලිසියේ අත්තනෝමතිකත්වය වැළැක්වීමට ඔවුන්ට හැකි විය යුතුය. එසේ වූ විට අධිකරණයට පවා පිස්සු නටන්නට නොහැකිය. ඒ වෙනුවට දැන් ඔහේ වෙන දෙයක් වන්නට ඉඩ දී තිබේ.

හඬ – නිහඬ

අප ජීවත් වන්නේ එහෙම රටකය. එහෙත්, රට දමා යාමට හෝ අත්හැරීමට අපි යෝජනා නොකරමු. අපි යෝජනා කරන්නේ එක්ව නැඟීසිටීමකි. අත්හැර නොයා සටන් කිරීමකි. අවශ්‍යම මොහොතේ නිහඬව සිටින්නේ නම්, හඬ නැඟීමට කිසි විටෙක අවස්ථාවක් ලැඛෙන්නේ නැත.

ශාලික විමලසේන

Leave a Response