ක්‍රීඩා

ලෝක කුසලානයේදී තිලංගලා සිදු කළ කෝටි ගණනක වංචාවක් හෙළි වෙයි

86views

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් සිදු කර ඇති මහා පරිමාණ වංචාවක තොරතුරු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් පාර්ලිමේන්තුවේදී හෙලි කරනු ලැබීය. මෙම වංචාව සිදු කර ඇත්තේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ විකාශන අයිතිය සම්බන්ධයෙන් වන ගණුදෙනුවකදීය. ඒ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය.

”නිමාවූ ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය හිමි කර ගෙන තිබුණේ සෝනි සමාගම. එම සමාගම විසින් එකී තරග විකාශන අයිතිය මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුළු මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5යි දශම පහක් එනම් රුපියල් රුපියල් කෝටි 89ක පමණ මුදලක් හොංකොංවල පෞද්ගලික ගිණුමක් හරහා හොරකම් කිරීමට ගත් වංචනික උත්සාහයක් සැකයෙන් තොරව දැන් අනාවරණය වී තිබෙනවා.

හොංකොංවල එම පෞද්ගලික ගිණුමට මේ රුපියල් කෝටි 89ක මුදල බැර කිරීමට සෝනි සමාගමට උපදෙස් දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය මෙහෙයුම් කළමනාකරුගේ රාජකාරී ඊමේල් ලිපිනයෙන්. හොංකොංහි බැංකු ගිණුම “ෆන්යා සිලූ” නැමැති සමාගමකට අයත් බවත් එහි හිමිකරු චීන ජාතිකයකු බවත් තනිපුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත් එම සමාගම දැන් වසා ඇති බවත් අනාවරණය වෙනවා. කෙසේනමුත් මේ වංචාව යට ගැසීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති, පත් කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මේ ගරු සභාව නොමඟ යැවීමේ ප්‍ර‍කාශ නිකුත් කළ බව පෙනෙන්නට තිබෙනවා.

පසුගිය මාර්තු 18 වැනි දින මේ ගරු සභාවට පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන 5යි දශම පහ එනම් රුපියල් කෝටි 89ක පමණ මුදල හොංකොංවල පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙසට උපදෙස් දුන් ඊමේල් පණිවිඩය සයිබර් ප්‍ර‍හාරයක් නිසා සිදු වන්නට ඇති බවත් විදෙස් ගිණුමකට මුදල් ගියේ නම් ඒවා නැවත ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බවද පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසා තිබුණා. නමුත් එම ඊමේල් පණිවිඩය සයිබර් ප්‍ර‍හාරයක් නිසා සිදුවූවක් නොව හිතාමතාම යැවූවක් බව දැනට කළ පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු අංශ ප්‍ර‍ධානී නදීශාන් සූරියආරච්චිගේ මහතා එම ඊමේල් පණිවිඩය තම ස’වර් එකෙන්ම (Server) ගිය බව 2018. 09. 13 වැනිදා ප්‍ර‍වෘත්ති සාකච්ඡාවකදී ප්‍ර‍කාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වංචා කිරීමට උත්සාහ කිරීම සයිබර් ප්‍රහාරයක් නොවන බව තහවුරු කිරීමට තවත් සාක්ෂි තියෙනවා. විශේෂයෙන්ම ලෝක ප්‍රකට පරිගණක සමාගම (Microsoft) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක මෙහෙයුම් පද්ධතියට කිසිදු ආකාරයක අනවසර ඇතුළු වීමක් සිදු නොවූ බව තහවුරු කර තිබෙනවා. එම සමාගමේ මෙරට කාර්යාලයේ කළමනාකරුද අදාල පරීක්ෂණවලින් පසුව එවැනි අනවසර ඇතුළුවීමක් නොමැති බව තහවුරු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ වගකීම් දරන මෙරට ප්‍රධාන පෙළේ සන්නිවේදන ආයතනයද ඒබව තහවුරු කර තිබෙනවා. සෝනි සමාගමද මෙරට සිටින සිය නියෝජිතවරිය හරහා තමන්ගේ සමාගමේ පරිගණක මෙහෙයුම් පද්ධතියටද කිසිදු ආකාරයක අනවසර ඇතුළු වීමක් සිදුව නොමැති බව තහවුරු කර තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු මේ වන විටත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට දන්වා ඇතත් නීතිය ක්‍රියාත්මක වීම සිදු වන්නේ මන්දගාමීව බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a Response