විශේෂාංග

බහුභාර්යා සේවනය යුධකාමයේ වරප්‍රසාදයක්ද ?

241views

” දෙවෙනි හරි තුන්වෙනි හරි බිරිද ලාබෙට හා පහසුවෙන් ගන්න ඕන නම් ලෙබනනයේ හරි තුර්කියේ හරි සරණාගත කදවුරකට යන්න ” මෙය මේ දිනවල සෞදි අරාබි රටවල හා කුවේටය වැනි බහු විවාහය ඇති රටවල ප්‍රසිද්ධ කියමනකි. මේ සරණාගත කඳවුරුවල ගාල් වී ඇත්තේ සිරියාවේ මිනිසුන්ය. ඔවුන් තම දරුවන් සමග ජිවත්  වීමට තරම් නුසුදුසු කදවුරුවල ගාල් වී සිටින්නේ තම රටේ ජිවත් වන්නට නොහැකි නිසාවෙනි. සෞදියේ සිට පැමිණෙන පිරිමින් තම දෙවෙනි හෝ තුන්වන බිරිද වශයෙන් වයස අවුරුදු 12,13 වයසේ දැරිවියක් ඩොලර් 300 ක් වැනි මුදලක ( ෂරියා  නිතිය යටතේ දියයුතු දෑවැද්ද )දෙමාපියන්ට දී ලබා ගන්නේ  මහත් බලාපොරොත්තු ලබා දෙමිනි. කඩිනමින්ම තම දියණිය කදවුරේ අප්‍රසන්න හා අසීරු ජිවිතයෙන් මිදීමත්, මනාලයා විසින් මුළු පවුලම කඩිනමින්ම  කදවුරෙන් ඉවත් කර ගැනීමේත් සිහිනය දකින දෙමව්පියන් ෂරියා දායාදය අඩු වුවත් තම දියණිය එසේ විවාහයට අනුමත කරවයි. මෙහිදී කන්‍යාභාවය ඉතා ඉහලින් සැලකුම් ලබන අතර දූෂණයට ලක්වීමෙන් හෝ කන්‍යා භාවය අහිමි කරගත් දැරිවියන්ගේ ෂරියා දෑවැද්ද අඩු ලන්සුවකි.

ලියකියවිලි නිමවන්නටත් පෙර දැරිවියන්ට, ලිංගිකව බහුල අත්දැකීම් ඇති, බොහෝ විට තම පියාගේ වයසේ පිරිමින් සමග හෝටල් ගතවන්නට සිදුවේ. එසේ  ගෙනගිය දැරිවියන් හෝටල් වල අතරමන් කර දමා ගිය අවස්ථාවන්ද බහුලය. අවසානයේ මේ දෙමව්පියන්ට බොහෝ විට  කදවුරෙන් නිදහස් වීම තබා තම දියණිය නැවත දැක ගැනීමටවත් නොහැකිය. 

එහෙත් අද ලෝකයේ යුද්ධයක් පවතින, සරණාගතයන් බවට මිනිසුන් පලා යායුතු බොහෝ රටවල මෙය සිදු වෙමින් පවතී. මෙහිද සැබවින්ම සිදුවන්නේ ධනය හා බලය ඇත්තාගේ දේපලක් බවට කාන්තාව පත්වීමය. ලෝකයේ රටවල් අතරින් වැඩිම සරණාගත ප්‍රමාණයක් දරා  සිටින්නේ ඉස්ලාමිය රාජ්‍යයන් වන තුර්කිය, ලෙබනනය, පකිස්ථානය හා සුඩානයයි. පකිස්ථානයට, ඉරානයට දශක ගණනක් තිස්සේ සරණාගතයන් ලෙස යන්නට සිදුවූ ඇෆ්ඝනිස්තාන කාන්තාවට සිදුවෙමින් පවතින්නේද මේ දෙයමයි. බහු භාර්යා සේවනය බහුල චාරිත්‍රයක් ලෙස භාවතාවන අප්‍රිකානු රටවල්  වන සුඩානය, සෝමාලියාව එරිත්‍රියාව මේ ඉරණමට ලක් වන හා ලෝකයේ අවධානයට ලක් නොවන රටවල්ය.

ලිංගිකත්වය යුද්ධයේ අවියක් ලෙස ලෝක ඉතිහාසයේ සෑම යුද්ධයකදීම භාවිතා වුවත් මේ බහුභාර්යා ප්‍රවණතාවය  සදාකාලික ලිංගික වහල් භාවයේ ඛේදවාචකයයි. මන්ද මෙයට ගොදුරුවන්නේ පළමුව කිසිදා තමන් වගකිව යුතු නැති යුද්ධයක් වෙනුවෙන් අවතැන්වන කාන්තාවන් වීමය. අනෙක් අතින් විවාහ වීමේ වයස ට පත් නොවූ දැරියන් වීමය. මේ කිසිවකුටවත් මේ සිදුවන දෙය ට එරෙහි වීමට තරම් ශක්තියක් තනිව නොමැති වීම වඩාත්ම කණගාටු දායක තත්වයයි.  මේ රටවල අතර බහු භාර්යා සේවනය නීතියෙන් තහනම්ව ඇත්තේ තුර්කියේ පමණි. පිඩාවෙන්, පවතින කුසගින්නෙන් මිදීම සදහා බලය හා මුදල් ඇත්තන්ගේ ලිංගිකත්වය වෙනුවෙන් බහු විවාහයන්ට ගොදුරු වීමට දැරිවියන්ට සිදු වීම ඛේදනීයය. මෙහිදී අපට වර්තමාන ලෝකයේ පැහැදිලිවම දකින්නට ලැබෙන කරුණක් වනුයේ  අද ඉස්ලාමිය රජයන් තුල, ලෝක ඉස්ලාමිය රාජ්‍යයක් උදෙසා කරන ත්‍රස්තවාදී ව්‍යාපාර ලොවට පතුරවන්නේ භීතිය පමණක් නොවන බවයි. කාලයට ගැලපෙන පරිදි බහුභාර්යා සේවනයෙන් දුරස් වූ රටවල්ද ප්‍රයෝගිකව මේ තත්වයට අද දැමීම සිදුවෙමින් පවතී. මෙය අතුරු ප්‍රතිපලයක් ලෙස සිතනවාට වඩා  එම ත්‍රස්ත සංවිධානවල චේතනාන්විත ක්‍රියාදාමයක් ලෙස සැලකිය හැක්කේ, මරාගෙන මැරෙන බෝම්බ කරුවකු, අන්‍යාගමිකයින් මැරීමෙන් දිව්‍යලෝකයේදී ලැබෙතැයි  අපේක්ෂා කරන කන්‍යාවියන් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමෙනි.

බහු විවාහය ගැන නොවුවත් මෙවැනි සිදුවීම් අපගේ යුධසමයේද සිදු වූ බව මා සියසින් දැක ඇත්තෙමි. බලහත්කාරයෙන් LTTE යට බදවා ගැනීමෙන් බේරා  තම දියණියන් කොක් එලිය රැදවුමේ සිට තාන්ඩිකුලම හරහා වවුනියාවට එන්නට අවසර ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අසරණ අම්මලා සොල්දාදුවන්ගේ පාමුල වැටි තම සියලු දේපල දෙන්නම්, විවාහ වී හෝ තම දියණිය වුව්නියාවෙන් ඔබ්බට ගෙන යන්නට බැගෑපත් වුන අතීතයක් අපටද තිබුණි. මුදලට හෝ මනුෂ්‍යත්වය මත එදා මෙවැනි ඩීල් සිදු නොවුනා නොවේ. යුද්ධයකදී සිදුවන අසරණකම කාන්තාවන්ට හා දරුවන්ට අත්විදින්නට සිදුවන්නේ ජාති අගාම් හා ප්‍රාදේශීය භේද නැතුවය. මේ අවස්ථා දෙකේදීම සිදුවන්නේ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමය. අපේ රටේ මේවා එදා සිදු වුයේ අද මුස්ලිම් රටවල හා සමාජයේ දැරියන් මුහුණ දෙන බහුලතාවයකින් නොවේ.

ලෝකයේ යුද්ධ නිසා සරණාගතවූ ජනගහනය මිලියන 70.4 කි. මෙයින් 90%  කට වැඩි ප්‍රතිශතයක් මුස්ලිම් ආගම අදහන ජනතාව වීම විශේෂත්වයකි. මේ ප්‍රමාණයෙන් මිලියන 40 කට  වැඩි පිරිසක් කාන්තාවන් හා දරිවියන්ය. මොවුන් අතරින් වැඩි පිරිසක් බහු විවාහයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි වන්නේ ඉහතකී පරිදි මේ පිරිස් සරණාගතයන් වශයෙන් ඉස්ලාමීය රාජ්‍යවල පිහිට පැතිය   යුතු නිසාවෙනි.

බහු විවාහක  මුස්ලිම් පුද්ගලයන්ට  සරණාගතයන් ලෙස රට හැර යාමේදී   එක් විවාහයක් (monoga my) පමණක් පිළිගන්න, බහු විවාහය තහනම් යුරෝපා රටවල ඔවුන් තම බිරින්දෑවරුන් අතරින් එක් අයෙකු පමණක් නිත්‍යානුකුල බිරිද බවට නම් කල යුතු විය . මෙවිට සිදු වුයේ සැමියා විසින් වඩාත්ම ප්‍රිය කරන බිරිද නිත්‍යානුකුල බිරිද හැටියටත්, අනෙක් බිරිද හෝ බිරින්දෑවරු  යුද්ධයෙන් සැමියා මියගිය කාන්තාවක ලෙස ඉදිරිපත් වීමය. අවසානයේ නිවාස ලබාදීමේදී හෙළි වුයේ මේ කාන්තාවන්ගේ දරුවන් එකම පියෙකුට දාව ඉපදුන නිසා ඔවුන්ට එකට ජිවත් විය යුතු බවයි. යුරෝපයේ ජනසමාජය මේ නිසා මහත් කැලඹිල්ලකට පත්වී ඇත. බහු භාර්යා  සේවනය අශිෂ්ට ලෙස පිලිගන්න්නා අතර හංගේරියාව, රුසියාව මුස්ලිම් සරණාගතයන් භාර නොගැනීමේ  තීරණ ගෙන ඇත්තේ මේ කාන්තාවන්ට සලකන ආකාරයේ  සංකෘතික වෙනස පිළිගැනීමට අකමැති නිසාය. එවන් සංස්කෘතිමය වශයෙන් වෙනස් මින්සුන් එකම නීතියක් යටතේ ජිවත් විය යුතු රටවලදී, අධිකරණ තීන්දු බොහෝ විට දරුවන්ගේ යහපත උදෙසා පිතෘත්වය පිළිගත් අතර බහු විවාහය නීතියට පටහැනි බැවින් පිළිගනු නොලැබිණි. මෙම නීතිමය ස්ථාවරත්වය අද බහු භාර්යා සේවනය බොහෝ හේතුන් මත ප්‍රතික්ෂේප කරන හා නිතියෙන් තහනම් රටවලදී කිසිදු විශේෂ වරප්‍රසාදයක් ඉස්ලාමීය පුද්ගලයින් වෙත ලබා දෙන්නේ නැත. එහෙත් එයින් මේ සැගවුණ  බහු විවාහයේ ආගමික බලහත්කාරකම මේ රටවලදී සම්පුර්ණයෙන්ම සිදු නොවන බවක් හෝ සම්පුර්ණයෙන්ම සිදු නොවීමට වගබලා ගන්නා බවක් මින් අදහස් නොවේ. ඕනෑ තරම් නීතියේ මානුෂිය අවස්තාවන් හා මානව නිදහස ප්‍රයෝජනයට ගනිමින් මෙහිදීද රහසේ මේවා සිදුවෙමින් පවතී. එනම් පල්ලියක් තුලදී සිදුවන චාරිත්‍ර විවාහයක් පාර්ශවයන් විසින් සමාජයට හෙළි නොකරන තුරු රහසක් වශයෙන් පවත්වාගෙන යාහැකි බැවිනි.

ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ බහු විවාහය දඩුවම් ලැබිය හැකි වරදක් වන විටදී මුස්ලිම් නීතිය යටතේ වලංගුය. උඩරට නිතිය යටතේ බහුපුරුෂ හා බහු භාර්යා සේවනයේ වලංගු භාවයක් තිබුනද එය අද වන විට භාවිතයෙන් ඉවත් වී ඇත. එහෙත් ලංකාවට එකසත් ජාතීන්ගේ මැදිහත් වීම මතින් රෝහිග්න්‍යා ඇතුළු පකිස්ථාන හා ඇෆ්ඝනිස්තාන සරණාගතයින් රැගෙන එති. ලාංකීය මුස්ලිම් ප්‍රජාව මේ පැමිණෙන අයට වඩා ආර්ථික අතින් සවිමත් නිසාත්, ලාංකීය මුස්ලිම් නීතිය තුල භාර්යාවන් 4 ක්ම විවාහ කරගත හැකි නිසාත්  බහු විවාහය වර්ධනය වීමේ අවස්ථා වැඩිය. දැනට සාධාරණීකරණය කරගෙන යන ෂරියා නීතිය හා එය ඉල්ලා උද්ඝෝෂණය කරන සංවිධාන වල උනන්දුවට අනුව ලංකාව තුල බහුභාර්යා සේවනය පමණක් නොවේ. සීග්‍ර වශයෙන් වර්ධනය වන සමාන්තර සංස්කෘතියක් හා නීතික්‍රමයක් බිහි වෙමින් පවතී. කෙසේ වුවත් මේ වර්ධනය තුල බහු පුරුෂ සේවනය අපරාධයක් වන අතර කස පහර, මරණීය දණ්ඩනය දීමට තරම් හේතුවක් වන්නේය. මේ තත්වය ලාංකීය සමාජයේ සහ නීති පද්ධතියේ ඒකීයත්වයට හා ස්ථාවරත්වයට බලපෑම් කරන්නකි.එසේම සමාජය තුල විවධ නොසන්සුන්තා ඇතිකරමින් තිබේ. ඕනෑම රටක සංස්කෘතිය අසමාන වන විටදී එහි විවධත්වය තුලින් ඇතිවන නොසන්සුන්තා මැඩ  පවත් වීම උදෙසා එම රටවල් වල නීති පද්ධතිය එකියව ශක්තිමත්ව නැගී සිටියි. එහෙත් අප රටේ එවන් නීති පද්ධතියක අවශ්‍යතාවය වැටහී ඇත්තේ අශ්වයා ඉස්තාලය හැරගිය පසු වීම කණගාටුවට කරුණකි.

ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආගමික නීතීන්ට, චාරිත්‍රමය නීතීන්ට ඉහලින් රටේ මුලික නීතිය පවතී. මේ නිසාම එම රටවල නීතියෙන් තහනම් බහු විවාහය බලහත්කාරයෙන් ඉටු කරගන්නට වෙහෙසෙන්නේ නැත. ඒ වවුලාගේ නිවසේ සිටිය යුතු ආකාරය පිළිබඳව ආගන්තුකයාට වැටහීමක් ඇති බැවිනි. 

කෙසේ වුවත් ලෝකයේ බහු භාර්යා සංකල්පය වසර දහස් ගණනක් ඉහත අතීතයට ඇදී යන්නකි. මෙය  අද මෙන්ම එදාද යුධකාමයේ හා මුල්‍යමය බලකාමයේ ප්‍රධාන හෝ අතුරු පලය ලෙසද, අරමුණ ලෙසද බිහිවූවා වියහැකිය.

සුභාෂිණි විප්ෆ්ලර්

Leave a Response