ක්‍රීඩා

නොනාන්න නෝනලා

96views

වසර ගණනක ආසියානු නෙට්බෝල් තරගාවලිය ජය ගන්නට නොහැකිව සිටි ශ්‍රී ලංකාවට යළිත් එම කුසලානය දිනා දෙන්නට මාර්ගෝපදේශකත්වය සැපයීමට තිලකා ජිනදාස සමත් වූවාය. 2015 ලෝකයේ 24 වැනියා ලෙස සිට ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගි වූයේ 19 වන තැන සිටය. තරගාවලිය නිම වන විට ඔවුන් සිටින්නේ 18 වන තැනය.

මේ පරාජය ගැන සොයන්නට යෝජනා කරන නෝනාවරුන් තිලකා ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් ඉවත් කරන්නට මුල් වූ අයය. ඔවුන් ඒ වික්‍රමය කළ පසු යළි ආසියාව ජය ගන්නට නොහැකිව සිිටි අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළා නම්, අද මෙවැනි චෝදනාවක් කරන්නට ඇඳුම් ඇඳගෙන ඒමේ හැකියාවක්වත් නොවන්නට තිබිණ.

ශ්‍රී ලංකාව 2009දී ආසියානු කුසලානය දිනාගෙන ඒමෙන් පසුව ලෝක කණ්ඩායම් අතර 14 වන තැන දක්වා ඉදිරියට පැමිණියේය. නමුත් 2011 වන විට මේ නෝනලා තිලකා පන්නා දමමින්, කණ්ඩායම 18 වන තැන දක්වා පසුබස්සා තිබිණ. එහෙත්, එම තරගාවලියේ දී තර්ජිනී සමඟ එක්වන්නී ශෂිකා සමරසිංහය. එවැනි සුසංයෝගයක් තිබිය දී ද ශ්‍රී ලංකාවේ දැලට ජයග්‍රාහී ගෝල සංඛ්‍යාවක් වැටෙන්නේ සිංගප්පූරු තරගයේ දී පමණි.

2015 වන විට තිලකාගේ මඟපෙන්වීම අහිමි වීම සමඟ ආසියානු කුසලානය ද අහිමි කරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබුණේ 24 වන තැනය. තර්ජිනී ද ඉවත්ව සිටි නිසා තත්ත්වය ඛේදනීය විය. ඇතැම් අයට මේ තරගාවලියේ වගකීම් පැවරුණේ සිය දියණියගේ මනමාලයා බලන්නට නෑගම් යන්නටය. ඒ තරමට රටේ ක්‍රීඩා පරිපාලනය නෙට්බෝල් ක්‍රීඩාව විසින් අන්දවා තිබුණේ ද, නටවා තිබුණේ ද යන්න සිතන්නට අපහසුය.

අවසාන පලය වූයේ සියලූ තරග දැවැන්ත පරාජයන් සමඟ නිමා වීමය. 2011 සහ 2015 ගත් විට තරග කාලසටහනේ මෙවර ලංකාව පරාජය වූ සියලූ කණ්ඩායම් හමු වී ඇත. ඒත් ඉරණම විසඳී ඇත්තේ, පරාජයෙන්ය. එය අහඹුවක් නොවේ. නමුත්, පරාජය අවම කර ගන්නට, ජයග්‍රහණය කරා රැගෙන යන්නට අවස්ථාවන් තිබිණ. ඒවා වැළකුණේ කෙසේ ද යන්න ගැන කණ්ඩායම සමඟ කතා කිරීම ක්‍රීඩා බලධාරීන්ගේ පළමු කාර්යය විය යුතුය. එහි දී තිලකාගේ ද දෝෂ තිබිය හැකිය. එහි සැකයක් නැත. පරාජය වූ විට ඊට හේතු සෙවීමේ දී කිසිවෙක් සෝදා පිරිසිදු කරන්නට අවශ්‍ය නැත. එහෙත්, පරාජයන් දෙස ඊට වඩා පරාජිතයන් හේතු සෙවීමට යාම නම් ටිකක් ලැජ්ජාසහගතය. එම ලැජ්ජාවේ කොටස්කරුවෙක් වීමට ක්‍රිඩා අමාත්‍යංශය ද සූදානම් වන්නේ නම්, රටේ ක්‍රීඩාව ගැන හැඟීම වඩාත් කනගාටුදායකය.

එසේ නම්, දීර්ඝකාලීන තොරතුරු සම්පිණ්ඩනයක් මඟින් 2009 පසු 2018 වන තෙක් ලංකාවට ආසියානු කුසලානය අහිමි වීම ගැන මෙන්ම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරවාරයේ ආසියානු කනිෂ්ඨ ලෝක කුසලාන තරගාවලිය අහිමි වීම ගැන සොයාබැලීම ද වටියි. ඒ අප ආසියාවේ එකට ම සිටින කණ්ඩායම බැවින්, එය අනාගතයට අසුබ පෙරනිමිත්තකි.

පරීක්ෂණ ආරම්භ කරන්නට අවශ්‍ය වටාපිටාව පැහැදිලිය. ඒ තත්ත්වයට මුල සිට අමාත්‍යාංශයට ප්‍රවේශ විය හැකි නම්, වැඩිපුරම ‘නෑ නෝනලා’ කවුරුන් ද යන්න අවබෝධ කරගෙන නෙට්බෝල් ක්‍රීඩාව පෙරට ගෙන යා හැකිය. නෝනලා නොනා සිටිනවා නම් ක්‍රීඩාවේ සෞඛ්‍යය යහපත්ව තියා ගන්නට හැකියාව ඇත. තිලකාව පුහුණුකාරියගේ සීමාවේ රඳවා ගන්නට අවශ්‍ය වටාපිටාව, මඟපෙන්වීම, ඇයගේ විෂයපථය නිශ්චය කර හඳුන්වා දීම වැනි කරුණු සිදු කිරීමෙන් තොරව ගන්නා ඕනෑම තීරණයකින් ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආසියාවේ නම රැක ගන්නට ඇති ඉඩ ද අවදානමට ලක් විය හැකි බව පමණක් අපි අවධාරණය කරන්නෙමු.

නිශ්මං රණසිංහ

Leave a Response