අදහස්

ජාතික ජන බලවේගය රටට ජයග්‍රහණය ගෙනෙන පුළුල්තම දේශපාලන ව්‍යාපාරයයි

1.15Kviews

වසන්ත දිසානායක – විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය

අපි මේ කතා කරන අවස්ථාව වන විට ලංකාව දේශපාලන කල්ලි, කඳවුරු, සංවිධාන, සන්ධාන ගණනාවකට කේන්ද්‍රගත වෙමින් පවතිනවා. දිගුකාලීන වාමාංශික ක්‍රියාධරයකු ලෙස ඔබ කොහොම ද මේ තත්ත්වය හඳුන්වන්නේ ?

මේක අලූත් වගේ පෙනුණට අලූත් තත්ත්වයක් නෙමෙයි. විශේෂයෙන් මැතිවරණයක් ගැන අදහස සමාජය මත පැතිරෙන ඕනෑම මොහොතක මෙවැනි තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. අපේ රට තුළ පමණක් නෙමෙයි, වෙනත් රටවලත් මේක බහුල තත්ත්වයක්. වාමාංශික කණ්ඩායම් අතරෙත් මේක මෙහෙමයි. අපි දන්නවා අපේ පැරණි වමේ කණ්ඩායම් මැතිවරණයක් ආසන්න වන විට තමන් විසින් ‘ප්‍රගතිශීලි යැයි හඳුන්වා ගන්න ගන්න කණ්ඩායම් එක්ක එකතු වීමට ගෙනෙන මතවාදී විග්‍රහයන්. මේ තත්ත්වය එක්තරා විදිහකට අවස්ථාවාදී ලෙස අපිට අර්ථදක්වන්න පුළුවන්. දීර්ඝකාලීන දේශපාලන ඉලක්කයන් ජය ගැනීමේ අරමු‚න් තොරව ඉතාමත් කෙටි ඉලක්ක වෙත වමත්, දකුණත් ඔබ පවසන විදිහට කල්ලි, කඳවුරු, සංවිධාන, සන්ධාන ගණනාවකට කේන්ද්‍රගත වෙනවා.

දැන් ඔබත් ඇතුළත් ‘ජාතික ජන බලවේගය’ ඔය කියන අවස්ථාවාදී එකතුවක් නොවෙන්නේ කොහොම ද? එයත් කලඑළි බසින්නේ මැතිවරණ පිළිබඳ කතාබහක් සමාජය මත පැතිරෙන මොහොතකම නේද?

ඔව්, ඇත්ත. ඔබ කියූ ලෙසම එයත් කළඑළි බසින්නේ එවැනි වටපිටාවක් යටතේ තමයි. ඒ කාටත් පේන කොටස. ඒත් කතාවට ඊට වඩා ඉතිහාසයක් තියෙනවා. අපි බොහෝ දෙනෙක් කාලයක් පුරා තනි තනිව, වෙන් වෙන්ව වගේම සමහර අවස්ථාවල එක්වත් මේ රට මෙතැනින් ඉවතට රැගෙන, මිනිසුන්ට සතුටින්, බලාපොරොත්තු සහගතව, ගෞරවයක් ඇතිව ජීවත් විය හැකි රටක් බවට පත් කරන්නේ කොහොම ද කියන අරගලයේ හිටියා. තනිව දිනන්න බැරි ඒ අරගලයේ දී අපි කා සමඟ එක් වෙනවා ද, කවුරුන් අපිත් සමඟ එක් කර ගන්නවා ද කියන සාකච්ඡාවේ අපි හිටියා. ඒ වගේම තවත් සමහර කණ්ඩායම් සහ පුද්ගලයොත් ඒ උත්සාහයේ උන්න බව අපි දන්නවා. මේ අතර අන්තර් සාකච්ඡාවන් කිහිපයක් ම තිබුණා. අපි කවුරුත් දැනගෙන හිටපු දේ තමයි, තව දුරටත් වෙන්ව, හුදෙකලාව අරගල කිරීමේ දේශපාලනය අපට වඩා ප්‍රතිවිරුද්ධ කඳවුරට දේශපාලනිකව වාසිසහගත බව. ඒ අනුව කළ දීර්ඝ දේශපාලන සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලය තමයි, ඔබ ඔය කියන ‘ජාතික ජන බලවේගය’. ඒක එකපාරට මතු වුණ මැතිවරණ සන්ධානයක් හෝ එහෙම කල්ලියක් නෙමෙයි. ඒ වගේ ම අපි මැතිවරණ මඟහැර යන්නෙත් නැහැ. මුහුණ දෙන්න වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්නත් අපි දේශපාලනිකව එකඟයි. ඒ වගේම මේ සංවිධානය වාමාංශික විතරක් නෙමෙයි, ප්‍රගතිශීලීන්, විවිධ ජාතීන්ගේ නියෝජනයන්, සංස්කෘතීන්ගේ නියෝජනයන්, ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නියෝජනයන් ඇතුළත් අපේ ඉතිහාසයේ ගොඩනැගුණු පුළුල් ම සංවිධානයයි. මේක මධ්‍යස්ථානයක්, පෙරමුණක් නෙමෙයි. මේක දේශපාලන වශයෙන් ගත්තහම පුළුල්තම අර්ථයෙන් ‘ව්‍යාපාරයක්’.

හැම දේශපාලන ව්‍යාපාරයක්ම ඊට එක්වුණු අයට පුළුල්. ඓතිහාසිකයි. ඔය කතාව 1948 ඉඳලම අපි අහලා තියෙනවා. මේ ‘ජාතික ජන බලවේගය’ ඊට වඩා වෙනස් වෙන්නේ කොතැනින් ද?

ඔය කියන බොහෝ සන්ධාන බොහෝ විට ගොඩනැගුණු මැතිවරණ ඉලක්ක කරගෙන. ඒවායේ කොන්දේසි අතර මන්ත්‍රීකම් කීයද? ඇමතිකම් කීය ද? සංස්ථා සභාපතිකම් කීය ද කියන එකයි සන්ධානයේ පදනම වගේම ඉලක්කය වුණෙත්. ඒ නිසා ම එක් මැතිවරණයකට හදන සන්ධානය ඊ ළඟ මැතිවරණයේ දී නැහැ. වෙනෙකක් තබා මැතිවරණ ක්‍රියාවලිය තුළම මේ අය අතර අර්බුද ඇවිත් ඔය කිව්ව සන්ධාන කැඩිලා ගිය අයුරු අපි දැක්කා. මේ පිළිබඳව අපේ සමාජයට වගේ ම අපටත් අත්දැකීම් ගොඩක් තියෙනවා.

මේ අත්දැකීම් නිසාම ජනතාව මේ වර්ගයේ සන්ධාන ගැන විශ්වාසය තියන්නේ නැහැ ?

ඒත්, 70 වසරක අත්දැකීම් අනුව මිනිස්සුන්ට මේ දේශපාලන තට්ටු මාරුව එපා වෙලා තියෙන්නේ. ඒ එපා වීම් නිසාම මාරුවෙන් මාරුවට ඡන්දය දීම් නිසා හෙම්බත් වෙලා ඉන්නේ. අපි හමුවෙන අයගෙන් බහුතරයක් ඉන්නේ මේ අදහසේ. ඒත් මිනිස්සුන්ගේ මේ අදහස යථාර්ථයක් වෙන්නේ ඡන්දය දීමේ දී. අපි කියන එපා වීමේ අදහසේ ඉන්න මිනිස්සු ඡන්දය දාන්න ගියහම එයාලට පේන්නෙම ඒ වෙනුවට මේ කියන දෙගොල්ලෝ විතරයි. මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ ඊට අමතරව තවත් අය මේ දේශපාලනයේ ඉන්න බව. එහෙම ඉන්න බව විශ්වාස කළත් මිනිස්සු හිතන්නේ ඒ කණ්ඩායම් පොඩියි කියලා. ඒ ඒ කණ්ඩායම් අතර කුලල් කා ගැනීම්. සංවිධානමය එක්සත්භාවයක් නැහැ. ඒ නිසා එපා කියන මිනිස්සුම අර කණ්ඩායම් දෙකටම මාරුවෙන් මාරුවට බලය දෙනවා. පරණ අත්දැකීම් තියෙන අපි හැමෝම විවිධ පන්නයේ වාද විවාද මැද මේ ව්‍යාපාරය ඉස්සරහට යන්න ඕනෙයි කියන අදහසේ වැඩ කරනවා. අපි හැමෝටම තියෙන අරමුණ තමයි මේ ව්‍යාපාරය මැතිවරණ ව්‍යාපාරයක් පමණක් නොවිය යුතුයි කියන එක. ඒ ඔස්සේ අපි ඉස්සරහට යන ව්‍යාපාරයක්. ඒ වගේම මේ පටන්ගැන්මක් විතරයි. මේ මොහොතේ මේ ව්‍යාපාරය වටා එක්වෙලා ඉන්න පිරිසේ නියෝජනයට සාපේක්ෂව එක්කර ගත යුතු වඩා විශාල බලවේගයන් තවමත් ඉන්නේ එළියේ. ඉක්මනින් ම ඒ අයත් මේ ජාතික ජන බලවේගය වටා එක් කර ගත යුතුයි. ඒක ලෙහෙසි වැඩක් නෙමෙයි. මොකද මෙතෙක් කලක් යහපත් අරමුණු ඇතිව වුණත්, අපි එකිනෙකා බොහෝ විට අනෙකාව දේශපාලනිකව විවේචනය කළ අය. අපි එකම දේ වෙනුවෙන් වෙනස් තැන්වල ඉඳන් සටන් කළ අය. ඒ නිසා එක තැනක එක පිලකට එක් වෙන එක ලෙහෙසි නැහැ. අපි වුණත් එක්වුණේ වෙනස්කම් හඳුනා ගනිමින් ඒවාට ගරු කරමින් හා ඒවාට ඉඩ දෙමින් දීර්ඝ සංවාද වට ගණනාවකට පස්සේ. තවමත් අපි එකිනෙකා අතර සමහර දේ ගැන තියෙන්නේ පූර්ණ එකඟතාවන් නෙමෙයි. අපේ වෙනස්කම් අවබෝධ කර ගනිමින් තමයි, අපි මේ ව්‍යාපාරය හැදුවේ. අපි හොයන්නේ අපිට එකට, එක දේශපාලන ඉලක්කයකට වැඩ කරන්න පුළුවන් බාධා අවම මහා පොදු සාධකය.

මේ ‘ජාතික ජන බලවේගය’ තුළ ඔබත් සමඟ ජවිපෙත් නියෝජනය කරනවා ?

ඔව්.

ඔබ 71 අරගලයේ නියමුවෙක්. ඒ අරගලය හේතුවෙන් මහා නඩුවේ තීන්දුව අනුව සිරගත වූවෙක්. ඒ වගේම පසු කලෙක ජවිපෙන් වෙන්ව ජවිපෙට එරෙහිව එය හා ගැටෙමින් දේශපාලනය කළ කෙනෙක්. ඉතින් කොහොම ද මෙවැනි ව්‍යාපාරයක දී යළිත් ඒ ජවිපෙ හා සමඟ එක්ව වැඩ කරන්නේ ?

පළමු දේ තමයි, වාමාංශිකයන් විදිහට අපි වෙනස් වීම් විශ්වාස කරනවා. ඒ වගේම මම පුද්ගලයෙක් විදිහට ජවිපෙ තුළ වැඩකළෙත්, ජවිපෙන් වෙන්ව ඊට එරෙහිව වැඩ කළෙත් දේශපාලන වුවමනාවකින්. ඒකේ අනෙක් පැත්ත විදිහට ජවිපෙ වැඩ කළෙත් එයාල විශ්වාස කළ දේශපාලන වුවමනාවකින්. අපි දෙගොල්ලො ම පෞද්ගලික ජීවිතයේ වුවමනා-එපාකම් වෙනුවෙන් දෙපැත්තට වෙලා රණ්ඩු වුණේ නැහැ. මට වගේම ජවිපෙටත් වෙනස් වෙන්න අවස්ථාව තියෙනවා. අපි කවුරුත් එයට ඉඩ දෙමින්, එය ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම ජවිපෙ මඟහැර ප්‍රගතිශීලී බහුජන ව්‍යාපාරයක් ශක්තිමත්ව හදන්න හදනවා නම් ඒක අසමත් උත්සාහයක්. මොකද, අපි දන්නවා ජවිපෙත්, ජවිපෙ වටාත් ඉන්නේ මේ රටේ දේශපාලන වෙනසක් බලාපොරොත්තු වන ඒ පන්නයේ සාතිශය බහුතරය බව. ඉතින් කොහොම ද එවන් දේශපාලන වුවමනාවක් සහිත පිරිසකගේ දායකත්වය නොසලකා හරිමින් මෙවැනි ව්‍යාපාරයක් හදන්නේ ? ඒ නිසා මට අදටත්, මේ මොහොතේත් ජවිපෙ අරභයා යම් යම් විවේචන තියෙනවා. ඒ වගේම ජවිපෙටත් අපි ගැන එහෙම විවේචන ඇති. ඒත් ප්‍රශ්නය ඒ විවේචන හෝ ‘පරණ කෝන්තර’ දරාගෙන අපි පල්ලම් බහිනවද? නො එසේ නම් අර මම මුලින් කිව්ව ‘මහා පොදු සාධකය’ හඳුනාගෙන එකට එක්ව සමූහයක් විදිහට මේ ජරාජීර්ණ, මජර, පසුගාමී, ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලකයන් පරාජය කරමින්, අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ආර්ථීක වහල්භාවයෙන් මිදීම, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, අල්ලස, දූෂණයට එරෙහිව එක පෙරමුණක් ලෙස ජයග්‍රහණය කරනවා ද කියන එක. අපි තෝරා ගත්තේ දෙවැනි පියවර. ඒ නිසා ඔබ අහපු විදිහට ඒ අරමුණින් ජවිපෙත් ඉන්න පෙරමුණක වැඩ කිරීම අපිට අපහසුවක් ගෙනෙන්නේ නැහැ.

ඔබ නියෝජනය කරන විප්ලවාදී සමාජවාදී කේන්ද්‍රයට සාපේක්ෂව ජවිපෙට පිරිස් බලය හා භුමියේ දේශපාලන බලය වැඩියි. එවැනි ආකාරයටම ‘ජාතික ජන බලවේගය’ නියෝජනය කරන වෙනත් කණ්ඩායම්වලත් ප්‍රමාණාත්මක තත්ත්වයන් විවිධයි. එහෙම විවිධ පිරිස් ශක්තිය ඇති කණ්ඩායම් හි එකතුවක මෙහෙයුම් බලය ඛෙදී යන්නේ මොන ආකාරයකට ද?

මෙතැන දී ජාතික ජන බලවේගය තුළ ඉන්න කණ්ඩායම්වල වැඩිම පිරිස් බලය තියෙන්නේ ජවිපෙට බව හංගන්න දෙයක් නෙමෙයි. ඒ නිසයි මම මුලින්ම කිව්වේ ඔවුන් මඟහැර යන්න අපිට බැහැ කියලා. ඒත් ජාතික ජන බලවේගය තුළ අපි හැමෝටම තියෙන්නේ සම අයිතියක්. සම බලයක්. සම නියෝජනයක්. මේ ව්‍යාපාරයේ නිලධාරී තනතුරු නැහැ. මෙහි මෙහෙයුම් න්‍යෂ්ටියට හැම කණ්ඩායමකින්ම දෙදෙනෙක් ඇතුළත් වෙනවා. එතැන දී වැඩි ම පිරිස් බලයක් ඉන්න, වැඩිම දායකත්වයක් දක්වන ජවිපෙට කියලා විශේෂත්වයක් නැහැ. මේ මෙහෙයුම් න්‍යෂ්ටියට එයාලගෙනුත් ඉන්නේ දෙන්නයි. අපිට වැඩිම මිනිස් බලයක් සහ මේ වන කොටත් ජන නියෝජනයක් තියෙනවා කියලා එතැන දී ජවිපෙ ෂයිලොක් වගේ වැඩි පංගු ඉල්ලූවේ නැහැ. එතැන දී ඒ පිළිබඳව අපේ ගෞරවය ජවිපෙට හිමි වෙනවා. ඒකයි මම කිව්වේ, අපි හැමෝටම වෙනස් වෙන්න අවස්ථාව තියෙනවා කියලා.

මේ මොහොතේ රට තුළ මතයක් තියෙනවා, රට පාලනය දේශපාලකයන්ගෙන් ඉවත් කරගෙන නිර්දේශපාලන පිරිස් අතට ගත යුතුයි කියලා. ඒ අතර තව මතයක් ගෙනියනවා ජනතාව දේශපාලනයෙන් ඉවත් වෙලා පුරවැසියන් විදිහට තම තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න ඕනේ කියලා ?

ඕක ඉතාමත්ම දැනුවත්, කෛරාටික දේශපාලන මතයක්. බැලු බැල්මට අහිංසක අදහසක්. දේශපාලනයට අත්‍යවශ්‍යම අය දේශපාලකයෝ. රටක් පාලනයට වෘත්තියවේදීන්, බුද්ධිමතුන්, කලාකරුවන් ආදීන්ගේ සහය අනිවාර්යයෙන් අවශ්‍යයි. අපිට එය ප්‍රතික්ෂේප කරන්න හෝ මඟහැර යන්න බැහැ. හැබැයි ආණ්ඩුකරණය දේශපාලකයන්ගේ වගකීමක්. දැන් මෙතැන දී 70 වසරක් අපිව පාලනයට අපි විසින් පත් කරපු දේශපාලකයන් ගැන නෙමෙයි මම කියන්නේ. ඇත්තටම ඒ පන්නයේ දේශපාලකයෝ තවත් ඕනේ නැහැ. ඒත් කවුරු හරි මතයක් හදනවා නම්, දේශපාලකයන්ට නැතුව වෙනත් අයට රාජ්‍ය පාලනය දෙන්න කියලා එක ඉතාමත් භයානක කුමන්ත්‍රණයක්. එහෙම රටක් පාලනය කරන්න බැහැ. රටකට අත්‍යවශ්‍ය තාර්කික, කැපවුණු, අවංක දේශපාලන නායකත්වයක්. අනෙක් අය ගොනු විය යුත්තේ එය වටායි. ජයග්‍රහණය ලැඛෙන්නේ එයින් පමණයි.
දෙවැනි කාරණය ජනතාවට දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න කියන කතාව. ඒක තමයි මේ වගේ යුගයක දේශපාලකයන්ට ඕනෑ දේ. ජනතාව දේශපාලනික වෙන්න වෙන්න අවස්ථාව නැති වෙන්නේ තක්කඩි දේශපාලකයන්ගේ. ඒ නිසා එවැනි දේශපාලකයෝ කැමැතියි ජනතාව සක්‍රිය දේශපාලනයෙන් අයින් කරන්න. ඒ අදහසින් ගෙනෙන මතයක් තමයි ඔය. ඔය අදහස් දෙකම භයානක දේශපාලන කුමන්ත්‍රණ දෙකක්. අපි එය නිසැකවම පරාජය කළ යුතුයි.

සංවාද සටහන : සිසිර යාපා

Leave a Response