හෙළිදරව්ව

ඇමෙරිකාවේදී හෙළි වුණු – ලංකාවේදී සිදු කළ – ගෝඨාගේ අපරාධ

169views

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විවිධ අපරාධ චෝදනා එල්ලවූයේ වරක් දෙවරක් නොවේ. මූල්‍ය අපරාධ ගණනාවක් පිළිබඳ මේ වන විටත් නඩු කිහිපයක්ම ඔහුට එරෙහිව අධිකරණය හමුවේ ගොනු වී තිබේ. මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, ඝාතනය කිරීමට අමතරව සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදහන්කිරීම් ඇතුළු පුද්ගල ඝාතන ඉදිරියේද ගෝඨාභයගේ නම සටහන්ව තිබේ.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේදී ද පසුගිය දා නඩු දෙකක් පැවරෙන්නේ ඔහු විසින් කළේ යැයි කියන අපරාධ දෙකක් සම්බන්ධයෙනි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට එරෙහිව ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ගෝඨාට එරෙහිව එක් නඩුවක් පවරනු ලැබූ අතර දෙවැනි නඩුව පවරනු ලබන්නේ රෝයි මනෝජ් කුමාර් සමාදානම් නම් අයකු විසිනි. මේ නඩු දෙක අතුරින් පසුගිය අප්‍රේල් 05 වන දින කැලිෆෝනියාවේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය හමුවේ රෝයි මනෝජ් කුමාර් සමාදානම් විසින් පවරනු ලැබූ නඩුවට හවුල් වෙමින් තවත් නඩු දහයක් ගොනු වන්නේ මෙතෙක් සැඟවී තිබූ අපරාධ ගණනාවක සාක්ෂි අනාවරණය කරමිනි. රමේෂ් තේවරාසන්, විද්‍යා ජයකුමාර්, රමණන් සිවලිංගම්, ශාන්ති පද්මනාදන්, සමන් පෙරේරා, නිමල් ජයසූරිය, වසන්ති රත්නසිංහම්, සුරේෂ් ජෙයබාලන්, සෙන්තිල් පුවනේස්වරන් සහ මයුරන් රාජ්කුමාර් විසින් මෙම නඩු දහය එක් නඩුවක් ලෙස දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ. මේ නඩු සියල්ලේම විත්තිකරු ලෙස නම් කර ඇත්තේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂය.

මූල්‍ය අපරාධ, පුද්ගලයන් පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් ලෙස මෙතෙක් ගෝඨාභය රාජපක්ෂට එල්ල වී තිබුණු චෝදනාවලට අමතරව තවත් බිහිසුණු අපරාධ රැසක් පිළිබඳ මෙම පැමිණිල්ල මගින් චෝදනා එල්ල කර තිබේ. ඒ අතුරින් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අමානුෂික ලෙස සැලකීම, ලිංගික පමණක් නොව අත්අඩංගුවට ගත් කාන්තාවන් සමූහ දූෂණයට ලක් කිරීම සහ ලිංගික වහලියන් ලෙස තබා ගැනීම මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පැමිණිලිකාර පාර්ශ්වය විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලේ මේ අපරාධ පිළිබඳ කරුණු, සාක්ෂි, දින වකවානු, අපරාධ සිදුකළ ස්ථාන පමණක් නොව ඇතැම් පුද්ගලයන්ගේ නම් ගම් ද සඳහන් වී තිබේ.

එහි දැක්වෙන පරිදි යුද්ධය නිමා වී, එල්.ටී.ටී.ඊ සංවිධානය සමූල ඝාතනය කර තිබියදී පවා සිංහල සහ දෙමළ පුරවැසියන් සැලැස්මකට අනුව වධහිංසාවට ලක් කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක් ගෝඨාභය රාජපක්ෂගේ අනු දැනුම මත පවත්වාගෙන ගොස් තිබේ. ඒවා කොළඹ බුද්ධි සේවා කාර්යාංශයේ සිට ප්‍රාදේශීය පොලිස් ස්ථාන සහ හමුදා කඳවුරු දක්වා විහිදී තිබී ඇත.

ගෝඨාගේ බලය

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 25 හෝ ඊට ආසන්න දිනයකදීය. එතැන් සිට 2015 වසර තෙක් වසර දහයක් මෙම අමාත්‍යාංශයේ කටයුතු කළ අතර එම කාල පරාසය තුළ අමාත්‍යාංශ ලේකම්ගේ බලය ද ඉක්මවමින් සියලූ බුද්ධි සේවා සහ හමුදා ඛණ්ඩයන්ට අණ දුන්නේ ඔහු විසිනි. පොලිස් දෙපාර්තමේන්තුව ද නීතිය හා සාමය අමාත්‍යාංශය යටතගැනෙන තෙක් ඔහුගේ පාලනයට යටත් වී තිබුණි.

මීට අමතරව විශේෂ නීති රෙගුලාසි දෙකක් මගින් ගෝඨාභය රාජපක්ෂට අසීමිත හදිසි බලතල පැවරී තිබුණි. ඉන් එකක් වන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදය හා සම්බන්ධ යැයි සැක කරන ඕනෑම පුද්ගලයකු කිසිදු නෛතික විවරණයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමටත්, වධහිංසාවලට ඉඩකඩ සලසමින් පාපොච්චාරණයන් ලබා ගැනීමටත් ඉඩකඩ සලසා තිබුණි. එසේම 2005 වසරේදී සම්මත කරගෙන 2011 වසරේ අත්හිටුවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ චූදිතයකු අසීමිත කාලයක් රඳවා තබාගැනීමේ බලතල ලැබී තිබුණි. මේ සියල්ලෙන් සන්නද්ධ වූ ගෝඨාභය රාජපක්ෂට සිය සහෝදරයා රටේ ජනාධිපති වීම නිසා ලැබුණු බලය ද එකතු විය. ඒ නිසා ඔහු වාර්තාකරන ලද්දේ රටේ ජනාධිපතිවරයාට පමණි.

සන්නද්ධ හමුදා, බුද්ධි සේවා, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, විශේෂ කාර්ය බලකාය ඇතුළු සියල්ලම විශේෂ සන්නිවේදන විධික්‍රමයක් ඔස්සේ ගෝඨාට වාර්තා කරනු ලැබීය. අත්අඩංගුවට ගැනීමක් හෝ පැහැර ගැනීමක් පිළිබඳ නියෝග මෙකීධුරාවලිය ඔස්සේ පහළට යැවූ අතර එහි ප්‍රගතිය පිළිබඳ ගෝඨා වෙත වාර්තා කිරීම ද අනිවාර්ය වී තිබුණි.

වධ කඳවුරු

පැමිණිලිකරුවන් රඳවා තබාගෙන වධහිංසා කරන රැඳවුම් මධ්‍යස්ථාන පාලනය කරන ලද්දේ ගෝඨා විසිනි. මීට අමතරව රට පුරා විවිධ ස්ථානවල පැවති තවත් මෙවැනි ස්ථාන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර හමුදා විසින් සහ පොලිසිය විසින් මේවා ප්‍රයෝජනයට ගනු ලැබ තිබේ.

  • චෛත්‍ය පාර රැඳවුම් මධ්‍යස්ථානය
    කොළඹ චෛත්‍ය පාරේ පිහිටා ඇති මෙම රැඳවුම් මධ්‍යස්ථානය 2008 අග භාගය වන තෙක්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් රඳවාගෙන සිටීම, ප්‍රශ්න කිරීම සහ වධහිංසා කිරීම සඳහා භාවිතකර තිබේ.
  • අපරාධ විමර්ශන මූලස්ථානය හෙවත් හතරවෙනි තට්ටුව
    කොළඹ යෝක් වීදියේ පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු මූලස්ථානයයි. 2008 අග භාගයෙන් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙම ස්ථානයේ කාර්යාල සහ රැඳවුම් ස්ථාන පවත්වාගෙන යනු ලැබීය.
  • බූස්ස කඳවුර
    දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසය විසින් පවත්වාගෙන යනු ලැබූ කඳවුරකි.
  • දෙමටගොඩ පොලිස් ස්ථානය
    වධ හිංසා පැමිණවීම පිළිබඳ ප්‍රකට කොළඹ අපරාධ කොට්ඨාසය පවත්වාගෙන යනු ලැබූයේ මෙම ස්ථානයේය.
  • පුල්මුඩේ පොලිස් ස්ථානය
    නැගෙනහිර පළාතේ උතුරු සීමාව ආසන්නයේ පිහිටි මෙම පොලිස් ස්ථානය ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් භාවිත කරනු ලැබීය. 2009 කාලයේදී අවතැන්වූවන් ලියාපදිංචි කිරීම් ද මෙහිදී සිදු කර ඇත.
  • ජෝෂෆ් කඳවුර
    උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය තුළ මෙය පිහිටා තිබේ. උතුරු දිස්ත්‍රික්කයන්හි පොලිස් සහ හමුදා මෙහෙයුම් සඳහා කේන්ද්‍රස්ථානයක්ව පැවතුණි. සන්නද්ධ බුද්ධි බලකාය, රාජ්‍ය බුද්ධි සේවාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු හමුදා, බුද්ධි සේවා සහ පොලිස් සේනාංක මෙහි ස්ථානගත කර තිබුණි.
  • ගල්කිස්ස පොලිස් ස්ථානය
    කොළඹ ආශ්‍රිතව අත්අඩංගුවට ගනු ලැබූවන් රඳවා තබා ගැනීම සඳහා යොදාගනු ලැබ තිබේ.

පැහැරගැනීම් සහ ප්‍රශ්න කිරීම්

මෙම පැහැරගැනීම් බොහෝ විට ආරම්භ වන්නේ ඒ වන විට ප්‍රචලිතව තිබූ ‘සුදු වෑන්’ පැහැරගැනීමක් වශයෙනි. පැහැර ගැනීම, ප්‍රශ්න කිරීම සහ මුදාහැරීම සිදුකරන්නේ නිශ්චිත කණ්ඩායම් තුනක් විසිනි. පැහැර ගැනීම සිදු කරන්නේ අංක තහඩු නොමැති වාහනවලින් පැමිණෙන හතක හෝ පහක කණ්ඩායමක් විසිනි. පැහැරගත් මොහොතේම ඔවුන්ගේ දෑස් බැඳ, මාංචු දමා කලින් තීරණය කළ ස්ථාන වෙත රැගෙන යනු ලබයි. අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තු පෙන්වීමක් සිදු නොකරයි.

ඔවුන් රැගෙන යන වධ කඳවුරුවල ඇති සිර කුටි කුඩා සහ සනීපාරක්ෂාවෙන් තොර ඒවාය. ඔවුන් ඒවායින් එළියට ගනු ලබන්නේ ප්‍රශ්න කිරීම් සඳහා පමණි. ප්‍රශ්න කිරීම් සඳහා භාවිත වන්නේ සාමාන්‍යයෙන් විශාල කාමරයකි. එහි මේසයක්, පුටුවක් සහ මුගුරු, වයර්, පයිප්ප බට වැනි මෙවලම් දැකිය හැකිය. එසේම සිවිලිමට සවි කරන ලද කඹයක්, දම්වැලක් සහ මිනිසකු ඉහළට එසවිය හැකි කප්පි පද්ධතියක් ද මේ ප්‍රශ්න කිරීමේ ස්ථානවල සුලබ දසුනක් වී ඇත.

පැමිණිලිකරුවන්ගේ සාක්ෂි

අත්අඩංගුවට ගැනීමේ සිට නිදහස් වන තෙක් තමන් මුහුණ දුන් සියලූම අත්දැකීම් පැමිණිලිකරුවන් විසින් එකින් එක සවිස්තරාත්මකව පැමිණිල්ලේ දක්වා තිබේ. එහෙත් ඒවා බොහොමයක් ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රකාශ කිරීමට නොහැකි තරම් බිහිසුණුය. ම්ලේච්ඡය. ඒ නිසා මෙහි සඳහන් වන්නේ ප්‍රසිද්ධියේ සඳහන් කළ හැකි කරුණු පමණකි

රෝයි සමාදානම්
2007 සැප්තැම්බර් 07 වන දින අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට රැගෙන යන බව පවසා ඇති අතර ඔහුගේ ගැබිනි බිරිඳ සහ දරුවා නිවාස අඩස්සියේ තැබීමට ත්‍රස්ත විමර්ශන නිලධාරීහු ක්‍රියාකරල ත්‍රස්ත විමර්ශන මූලස්ථානයට රැගෙන ගිය පසු 2007 සැප්තැම්බර් මාසයේ සිට 2008 අප්‍රේල් මාසය දක්වා චෛත්‍ය පාරේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන ඇත. වේදනාකාරී ඉරියව්වලින් මාංචු දමා රඳවාගෙන සිට ඇති අතර දෘඪ රබර් මුගුරු වලින් පහර දී තිබේ. මුහුණට, අත් පාවලට, යටිබඩට පහර දෙමින් පවසා ඇත්තේ පාපොච්චාරණයකට අත්සන් තබන ලෙසයි. ඔහු 2008 මැයි මාසයේ හෝ ආසන්න කාලයේදී බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයට මාරුකර යවා ඇති අතර ජූලි මාසයේ අග භාගය වන තෙක් එහි රඳවාගෙන සිට ඇත. 2008 ජූලි මස නැවතත් චෛත්‍ය පාරේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත නැවතත් රැගෙන ආ රෝයිගෙන් 2008 අගෝස්තු මාසයේදී පාපොච්ඡාරණයකට අත්සන් ගෙන තිබේ. 2008 නොවැම්බර් 04 වන දින රෝයිට එරෙහිව චෝදනා ගොනුකරනු ලැබූ අතර 2010 අගෝස්තු 10 වන දින වරදකරු කර රුපියල් ලක්ෂ පහක දඩයක් ගෙවීමෙන් පසුව නිදහස් කර තිබේ.

රමේෂ් තේවරාසන්
2009 දී අත්අඩංගුවට ගෙන ඇති රමේෂ් zහතර වෙනි තට්ටුවZ යයි ප්‍රකට අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත. ඉන් පසුව සීඅයිඩීයේ පොලිස් පරීක්ෂකවරයකු විසින් දෑත් ගැට ගසා දෙපා අතරින් පොල්ලක් යවා කුප්‍රකට ‘ධර්ම චක්‍ර’ ඉරියව්වෙන් එල්ලා ප්‍රශ්න කර තිබේ. ඉන්පසු දෙපතුල්වලට පොල්ලකින් පහර දීම නිසා ඇවිද ගැනීමට පවා නොහැකි වී තිබේ. තවත් අවස්ථාවක සිහි මූර්ඡාවන තෙක් පෙට්‍රල් පෙඟවූ රෙදිකඩකින් නාසය තද කරගෙන සිට තිබේ. ඇණ ගැසූ ලෑල්ලක් මත දණගස්වා ලිංගාශ්‍රිත ප්‍රදේශයට වැරෙන් පහර දී ඇත. ඉන් පසුව ඔහුට නඩු පවරන්නේ බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණයක් පදනම් කර ගනිමිනි.

ශාන්ති පද්මනාදන්
2009 වන විට බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබමින් සිට ඇත. 2012 අග භාගයේ ලංකාවට පැමිණෙන්නේ සිය ඥාතීන් දැක බලා ගැනීමටය. ලංකාවට පැමිණි දිනට පසු දින ඇයගේ නිවසේදී ඇය හා ඇගේ ඥාති කාන්තාවක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලබයි. ගල්කිස්ස පොලිස් ස්ථානයට රැගෙන යන ඔවුන් දෙදෙනාට ඇඳුම් ගලවන ලෙස බල කර ඇති නිලධාරීන් ඉන් පසුව කාමරයක රඳවා තබා ඇත. ඉන් පසුව ප්‍රශ්න කිරීමේ කුටියට ගෙන ගොස් දෑත් වලට යකඩ දම්වැල් දමා සිවිලිමේ එල්ලා සිහිසුන් වන තෙක් පහර දී තිබේ. රත් පැහැ වන තෙක් ගිනියම් කරන ලද යකඩයකින් පිට ප්‍රදේශය පුළුස්සා ඇත. ඊට පෙර අවස්ථා කිහිපයකදීම ඇයව දූෂණයට ලක් කර තිබේ. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හඳුනාගන්නා ලෙස ඇයට බල කර ඇත්තේ විදුලි රැහැන්වලින් ඇයට පහර දෙමිනි. ඉන් පසුව ප්‍රකාශයකට අත්සන් කරන ලෙස බල කර ඇති අතර එය ප්‍රතික්ෂේප කළ විට මිරිස් කුඩු දැමූ උරයක් හිසේ නමා හුස්ම හිර වී දඟලන විට උරය ඉවත් කර ප්‍රකාශයට අත්සන් ගෙන ඇත.

සුරේෂ් ජෙයබාලන්
2009 මැයි මාසයේ යුද්ධය අවසන් වන විට හමුදාවට භාර වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකි. අවතැන් කඳවුරක මාස කිහිපයක් රඳවා තැබීමෙන් පසුව නිදහස් කර ඇත. එහෙත් නැවතත් 2011 අග භාගයේදී ත්‍රස්ත විමර්ශකකොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සති කිහිපයක් සිර කුටියක රඳවා තැබීමෙන් පසුව ප්‍රශ්න කිරීම් සඳහා ගෙන ගොස් තිබේ. එතැන් පටන් මාස කිහිපයක් යන තුරුම පොලූ වලින්, වයර්වලින්, දෘඪ ප්ලාස්ටික් බටවලින් දිගින් දිගටම පහර දෙමින් ප්‍රශ්න කර ඇති අතර මිරිස් කුඩු ආඝ්‍රාණය කිරීමට සැලැස්වීම, සිගරැට් වලින් පිලිස්සීම ඇතුලූ නොයෙකුත් වධ හිංසාවන්ට ලක් කර ඇත. විවිධ ආකාරයේ ලිංගික හිංසනයන්ට ද ලක් කර තිබේ. 2012 එක්තරා දිනයක ජෝෂෆ් කඳවුරට සුරේෂ්ව රැගෙන ගොස් ඇති අතර එහිදී ප්‍රශ්න කරමින් විමසා ඇත්තේ එල්.ටී.ටී.ඊයේ ලිපි ලේඛන සම්බන්ධයෙනි. මෙහිදී ද ඉහත ආකාරයෙන්ම පොලූ මුගුරුවලින් පහර දී වධ හිංසාවට ලක් කර තිබේ. අත්අඩංගුවේ සිටි කාලයේ සිදු කළ වධ හිංසා නිසා මේ වන විට සුෂුම්නාවට ස්ථීර හානි සිදු වී තිබේ.

විද්‍යා ජයකුමාර්
2009 මැයි මාසයේ කලපුව තරණයකරමින් එන ජනතාව සමග පැමිණ ඇති අතර එහිදී අත් අඩංගුවට පත් වී තිබේ. තාවකාලික රැඳවුම් කඳවුරක දින කිහිපයක් රඳවා තැබීමෙන් අනතුරුව හමුදා සොල්දාදුවන් විසින් ඇයගේ දෑත් සහ දෑස් ගැට ගසා වාහනයක නංවා රහසිගත රැඳවුම් ස්ථානයකට රැගෙන ගොස් තිබේ. එහි සිටි කාන්තා හමුදා නිලධාරිනියන් ඇයගේ ඇඳුම් ඉරා දමා නිරුවත් කර තිබේ. ඉන් පසු හමුදා නිලධාරීන් සමග ලිංගිකව එක් වන්නට බල කර ඇත. ඊට අකමැති වූ විට ඇයව නිරුවත් කර ඇඳක දමා දෑත් දෙපා ගැට ගසා පිරිමි හමුදා නිලධාරීන්ට ඇයව දූෂණය කරන්නට සලස්වා තිබේ. ඉන් පසු වසර එකහමාරකට අධික කාලයක් ඇයව රඳවාගෙන වරින් වර දූෂණය කර ඇත. සාමාන්‍යයෙන් දිනකට දෙතුන් වතාවක් දූෂණයට ලක් කර ඇති අතර මෙසේ දූෂණය කරන ඇතැම් අවස්ථාවල ඒවා වීඩියෝ කිරීම ද කර තිබේ. ඇයව මෙසේ රඳවාගෙන සිටි කාලය තුළ මාසයකට වරක් උපත් පාලන එන්නත් ලබා දීම ද සිදුකර ඇතග 2013 වසරේ ඇය රැඳවුම් භාරයෙන් නිදහස් වන තෙක් නොගිණිය හැකි තරම් අවස්ථාවල දූෂණයට ලක් වී තිබේ. පොලිසිය වෙත නිරන්තර කොන්දේසිය යටතේ ඇයව නිදහස් කළ ද පොලිස් ස්ථානය වෙත වාර්තා කිරීමට ගිය දිනවල ද නැවතත් ඇය ලිංගික හිංසනයට ලක් වී ඇත. මේ නිසා ඇය නැවතත් පොලිසිය වෙත වාර්තා කිරීමට නොගොස් දේශපාලන රැකවරණ පතා ලංකාවෙන් පිට වී තිබේ.

නිමල් ජයසූරිය
මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, දූෂණයටත් එරෙහිව කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකි. 2008 අග භාගයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ගෙන ගොස් තිබේ. පහරදීම් සිදු කරමින් ඔහුට බලකර ඇත්තේ ඇතැම් දෙමළ ජාතිකයන්ට විරුද්ධව සාක්ෂි දෙන ලෙසයි. ශාරීරික පීඩාවට වඩා මානසික පීඩාවට ඔහුව ලක් කර ඇති අතර දෙමළ සිරකරුවන්ට වධ දෙන ආකාරය බලා සිටීමට ඔහුට බල කර තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සති කිහිපයක් රඳවාගෙන සිටීමෙන් අනතුරුව කිසිදු නඩු පැවරීමකින් තොරව නිදහස් කර ඇත.

සමන් පෙරේරා
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සිවිල් අංශයක කටයුතු කරමින් සිටි සිංහල පුද්ගලයෙකි. 2011 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීම් වලදී ඔහුගේ නාසය බිඳ, ගුද මාර්ගයට කටුකම්බි ඇතුළු කර වධ හිංසනයට ලක්කර ඇත. ඔහුට බල කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහාය පල කළ බව පිළිගන්නා ලෙසයි. පසුව අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔහු නිදොස් කොට නිදහස්කර තිබේ.

සෙන්දිල් පුවනේස්වරන්
බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබමින් සිට ඇති සෙන්දිල් 2011 දී ලංකාවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ. මුලින්ම වෙනත් හමුදා කඳවුරකට ගෙන ගොස් පහර දීම් සිදුකර ඇති අතර පසුව ජෝෂෆ් කඳවුර වෙත රැගෙන ගොස් තිබේ. ජෝෂෆ් කඳවුරේදී දිගින් දිගටම පහර දෙමින් පාපොච්චාරණයකට අත්සන් කරන ලෙස බලකර ඇති අතර එය ප්‍රතික්ෂේප කළ විට රත් වූ යකඩ කූරුවලින් පුලුස්සා ඇත. අත් පාවලටත්, ලිංගේන්ද්‍රියටත් සිහිසුන් වන තෙක් පොලූවලින් පහර දී තිබේ. අවසානයේ පිලිස්සුම් තුවාලවලින් ඕජස් ගලද්දී ඔහුගෙන් පාපොච්චාරණයක් ලබාගෙන ඇත. පසුව දෑස් බැඳ වාහනයකින් රැගෙන ගොස් මහමග දමා ගොස් තිබේ.

රමණන් සිවලිංගම්
2008 අග භාගයේදී අත්අඩංගුවට ගෙන දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. ඔහුගෙන් පිළිතුරු ලබාගෙන ඇත්තේ පහරදීම සහ හුස්ම හිරකිරීම මගිනි. විවිධ වධ වේදනාවන්වලට මුහුණ දීම නිසා සති කිහිපයක් යන විට රමණන්ට ඇවිද ගැනීමටවත් නොහැකි වී තිබේ. රැඳවුම් කාලය තුළ ඔහුව ලිංගික හිංසනයට ද ලක්කර ඇත. අවසානයේ මහමග දමා ගොස් තිබේ.

වසන්ති රත්නසිංහම්
නාවික හමුදාව විසින් 2009 වසරේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත රැගෙනගොස් තිබේ. එහිදී අවස්ථා ගණනාවකදීම ඇයව දූෂණයට ලක්කර ඇති අතර ලී පොල්ලක් යෝනි මාර්ගයට ඇතුළුකිරීම ඇතුළු කුරිරු වධ හිංසාවන්ට ලක්කර ඇත. ඉන්පසුව බලහත්කාරයෙන් පාපොච්චාරණයකට අත්සන් ගෙන ඇති අතර පසුව බූස්ස රැඳවුම් කඳවුරේ රඳවා තබාගෙන තිබේ. 2010 වසරේදී ඇයව නිදහස් කර ඇත.

මේ අයුරින් ගෝඨා යටතේ සේවය කළවුන් විසින් කරන ලද වධහිංසා පිළිබඳව විවිධ සංවිධාන සහ කණ්ඩායම් විසින් දිගින් දිගටම පැමිණිලි කරනු ලැබීය. 2005 වසරේ සිට 2015 දක්වා මානව හිමිකම් කොමිසමට පමණක් මෙවැනි පැමිණිලි 4368ක් ලැබී තිබේ. ඒ වින්දිතයන් ඉදිරිපත් වූ අවස්ථා පමණි. එහෙත් රාජපක්ෂ කණ්ඩායම විසින් කරන ලද්දේ ඒවා ප්‍රතික්ෂේප කිරීමය. ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගටම කරගෙන යා නොහැකි වූ තැන ඔවුන් විසින් කරන ලද්දේ තමන්ට පක්ෂපාතී අයගෙන් යුතු කමිටුවක් පත් කිරීමය. එහෙත් ඉන් සාධාරණයක් ඉටු නොවීය. මෙම පැමිණිලිකරුවන් එක්සත් ජනපද අධිකරණයකදී මේ පැමිණිලි ගොනුකර ඇත්තේ ඒ නිසාය. එහෙත් යුක්තිය තවමත් ප්‍රමාදය.

චතුර දිසානායක

Leave a Response