විදෙස් පුවත්

ඉන්දු – පාකිස්ථාන මතභේදය නැවතත් උත්සන්න වෙයි

73views

සිය රටේ සිටින ඉහළම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා නෙරපා දමන බව සහ වෙළෙඳ ගනුදෙනු අත්හිටුවන බව පාකිස්තානය ප්‍රකාශයට පත් කිරීමත් සමග කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම තවත් උග්‍ර වී ඇත.

ඉන්දීය පාලිත කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීම සඳහා ඉන්දියාව ගත් තීන්දුවට එරෙහිව සටන් කරන බවට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මීට ඉහතදී ප්‍රතිඥා දී තිබිණි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළත් එම සටන දියත් කරන බවය.

ඉන්දීය ආණ්ඩුව කාශ්මීරය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් යයි සඳහන් කළ අගමැති ඉම්රාන් ඛාන්, ඉන්දියාව වාර්ගික ශුද්ධයක නිරතව සිටින්නේ දැයි බියක් ඇති කෙරෙන බවත් කියා සිටියේය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීරය සම්බන්ධයෙන් දෙරටම හිමිකම් කියන අතර, කාශ්මීරය බෙදා පාලනය කරනු ලැබීමේ ආරම්භයේ පටන්ම ඉන්දීය පාලිත කාශ්මීරය තුළ දිගින් දිගටම පවතින බෙදුම්වාදී කැරලි හමුවේ දශක තුනකට අධික කාලයක් තුළ දහස් ගණනක් මරණයට පත්ව ඇත.

කාශ්මීර් කැරලිකරුවන්ට සහාය දෙන බවට ඉන්දීය බලධාරීන් පාකිස්ථානයට චෝදනා කරන අතර, ඉස්ලාමාබාද් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ස්වයං නිර්ණ අයිතිය ඉල්ලා සිටින කාශ්මීරවාසීන්ට අවශ්‍ය චිත්ත ධෛර්යය සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සහයෝගය දැක්වීමක් පමණක් තමන් සිදු කරන බව පාකිස්තානය පවසයි.

BBC

Leave a Response