විශේෂාංග

බහුවිවාහයේ දේශපාලන, ආගමික භාවිතාව හා කාන්තා අයිතීන්

166views

ලෝකයේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ඇති අයකුට බහු විවාහය හෙවත් ඡදකහට්පහ අලූත් සංකල්පයක් නොවන අතර ඒ පිළිබඳව කතා කරද්දී රජවරුන්ගේ අන්තඃපුර සිහියට ඒම සාමාන්‍යය. රජතුමා යනු ධනයෙන් හා බලයෙන් යුතු පුද්ගලයාය. ඔහු රටේ මිනිසුන්ගේ හිමිකරුවා වන නිසා තමන් කැමැති ගැහැනියක අන්තඃපුරයට පවරා ගැනීමට ඔහුට අයිතිය තිිබිණි. ඉන්දීය ඉතිහාසයේ මෙන් ම ලංකා ඉතිහාසයේද රජවරුන්ගේ අන්තඃපුර ගැන ඉතිහාසය සොයා යන අපට හඳුනාගත හැකිය. ලෝකය පුරාම තත්ත්වය මෙයයි. බලය හා ධනය මත කාන්තාවගේ හිමිකාරීත්වය රජුට අයිති කිරීමට නොහැකි වූවා නම් ඉතිහාසයේ බොහෝ සටහන් ද කියැවීමට ඉඩ නොලැඛෙනු ඇත. අශෝක අධිරාජ්‍යයාගේ ජීවිත කතාවත්, සීගිරි කාශ්‍යප රජවරුන්ගේ වෘත්තාන්තත් අපට කියාපාන්නේ එයයි.

අද ලෝකයේ බලවත් දේශපාලන චරිත කිහිපයක් බහු විවාහකය. සෞදි රජවරුන්ට ඉතිහාසයේ පටන්ම අද වන තුරුත් බිරින්දෑවරු හතර දෙනකුට වඩා සරණ කර ගත හැකි අතර, කුමාරවරුන් ද ඒ මඟ යමින් තම තරුණ වයසේ දීම දෙවැනි හා තුන්වැනි බිරින්දෑවරුන් දක්වා තම විවාහ වපසරිය පුළුල් කරනු ලැබේ. පසුගිය කාලයේ අපේ රටේ සංචාරයක යෙදුණු ස්වාසිලන්ත රාජ්‍ය නායකයාට බිරින්දෑවරුන් 14 දෙනෙකි. දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජාකොබ් සුමාට බිරින්දෑවරුන් හතර දෙනෙකි. ඩුබායි රාජ්‍යයේ නායකයාට බිරින්දෑවරුන් දෙදෙනෙකි. සිය දෙවැනි බිරිය ඩිනාර් බිලියනයක් සහ දරුවන් ද සමග සති කිහිපයකට පෙර යුරෝපයට පලා යාමේ නින්දාව අත්විඳින්නට ඩුබායි හි රජුට සිදු විය. මෙය මාධ්‍යවලින් ප්‍රචාරය වූයේ පළමු බිරිඳ හා ඇති වූ ගැටුමකින් පසු එසේ පලා ගිය බවකි.

පොලිගමි (Polygamy) යන වචනය ග්‍රීක භාෂාවෙන් බහු විවාහය හැඳින්වීමට යෙදූ Poligamia යන්නෙන් බිහිවූවකි. පිරිමියෙක් බිරින්දෑවරුන් බොහෝ ගණනක් සරණ කර ගැනීම Polygene යනුවෙන් ද, කාන්තාවක් සහකරුවන් එක අයෙකුට වැඩි ගණනක් හා විවාහ වීම Polyandry වශයෙන් ද හඳුන්වනු ලබයි. එක බිරිඳකට වඩා මෙන්ම එක සැමියකුට වඩා සමඟ මෙන්ම එය සීමාවකින් තොරව පවත්වාගෙන යන බහු සහකරුවන්ගේ විවාහ ද ලෝකයේ ඇති අතර, සමහර සමාජවල ඒවා අතීතයේදී ද පැවැති බවට සාක්ෂි තිබේ. අද ලෝකයේ බහුලව පවතින්නේ Polygene වර්ගයේ එනම්, පිරිමියා විසින් කාන්තාවන් කිහිප දෙනෙක් විවාහ කර ගැනීමේ ක්‍රමයයි. වසර දහස් ගණනක සිට කෙරෙන උපතේදී හා උපතට පෙර දැරිවියන් මරා දැමීම ඉන්දියාව තුළ සිදු වන්නේ, ආර්ථීක හා හින්දු ආගමික හේතූන් නිසාය. කාන්තාවකගේ උපත ආර්ථීකමය වශයෙන් බරක් වන රටක එසේ සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස පිරිමින්ගේ අතිරික්තයක් පවතී. සමාජයේ පහළ කොටස්වල මෑත කාලයේ දී Polyandry තත්ත්වය ඉන්දියාවේ බහුලව සිදුවෙමින් පවතී. බොහෝ විට එකම පවුලේ සහෝදරයන් හත් දෙනකු දක්වා ආවාහ කර ගත් කාන්තාවන් ඉන්දියාවේ ඇති බවට දිගුකාලීන පුවත් සැලකීමේදී වටහා ගත හැකි ය. ඉන්දියාව තුළ සමූහ කාන්තා දූෂණවල බහුලකම මා දකින්නේ ද මේ කාන්තාවන් හිඟයේ ප්‍රතිඵලයක් ලෙසය.

කෙසේ වුවත්, අප ද උඩරට විවාහ ක්‍රමය යටතේ බහු විවාහය ඉතිහාසයේ අත්විඳ ඇති නිසා අප සංස්කෘතිය තුළද මෙහි භාවිතාවක් පැවැති බව පිළිගත යුත්තේ අන්තඃපුරයට වඩා එහා ගිය සාමාන්‍ය දෘෂ්ටිකෝණයකිනි.

ලෝකය පුරා ජනවාර්ගික ඛෙදී යාමට අනුව 1,231ක් වන ජනවර්ගවලින් 588කම පිරිමියෙක් කාන්තාවන් කිහිප දෙනකු සමඟ විවාහ වන තත්ත්වය ඉතිහාසයේ සිටම පවත්වාගෙන එන සමාජයන්ය. 453ක් ජනවර්ග අවස්ථානුකූලව බහු භාර්යා සේවනය අනුමත වී ඇති ඉතිහාස සහිතය. ලෝකයේ 186ක් ජනවර්ග පිළිගනු ලබන්නේ එක සහකරුවකු හෝ සහකාරියක පමණි. ජනවර්ග හතරක් පමණක් කාන්තාවකට බහු පුරුෂ සේවනයේ අයිතිය ලබාදී ඇත. මේ සියලූ දත්තවලට අනුකූල ජනවර්ග දෙස කරනු ලබන ගැඹුරු විමර්ශනයක දී හෙළි වන එකම කාරණාව නම් බලය, ධනය හා වෙනත් සමාජ, ආර්ථීක හේතූන් බහු විවාහය සඳහා හේතුපාදක වී ඇති ප්‍රධානතම කාරණා බවය.

අනෙක් අතින් බහු විවාහයන් සඳහා ලෝකයේ ආගමික පසුබිම තවත් වැදගත් සාධකයකි. බයිබලයේ සඳහන් පරිදි එම කතාන්දරවල පිරිමි 36 දෙනෙක් එක කාන්තාවකට වඩා විවාහ කරගෙන ඇත. ඉස්ලාම් ආගම තුළ බහු විවාහය නීත්‍යනුකූලය. යුදෙව් ආගම තුළ ද එය තහනම් නැත. මේ ආගම් තුනේම පසුබිම එකමය.

සිදුහත් රජ කුමරකු වුවත්, අන්තඃපුරයක් පවත්වාගෙන ආ බවට සාක්ෂි විවාදිතය. එබැවින්, බෞද්ධ ආගම තුළ බහුවිවාහයේ සංකල්පයන් හීනය. බෞද්ධ දර්ශනයේ ඇති ආශාවන් ප්‍රහීන කිරීමේ හා නිර්වාණ සංකල්පය තුළ මෙන් ම සාමාන්‍ය වශයෙන් ලෞකිකත්වය අවම කිරීමේ පදනම තුළ බහුවිවාහය යනු විශාල අවධානයක් යොමු වූ තේමාවක් නොවේ. එහෙත්, සමාජීය හා ආර්ථික හේතු මෙන්ම අනෙක් සංස්කෘතිවල බලපෑම නිසා තායිලන්තය වැනි රටවල අද ද බෞද්ධ පසුබිමක් තුළ විශේෂත්වයෙන් යුතුව සුළු වශයෙන් බහු විවාහ සිදුවෙමින් පවතී.

නූතන ආගමික තත්ත්වයට අනුව ක්‍රිස්තු දහම පසුබිම් කොටගත් සියලූ නිකායවලින් ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වන සුළුතරයක් වන නිකාය හැරුණු කොට විවාහය යන ශුද්ධ වූ සක්‍රමේන්තුවට අනුව බහුවිවාහයට අවසර නොලැබේ. නැතහොත්, බහුවිවාහය යනු මරණීය පාපයකි. විවාහයෙන් පිට ලිංගික ඇසුර විවාහයේ ශුද්ධ ස්වභාවය කෙළෙසනු ලබයි. සමහර නිකායන් මේ බහු විවාහයේ අයිතිය පිළිබඳව සටන් කරමින් සිටී. සෘග්වේදයට අනුව හින්දු ආගම තුළ ඉහළ කුලවල අයට බිරින්දෑවරුන් කිහිප දෙනකු සමග විවාහ විය හැකිය. පහත් යැයි සැලැකෙන කුලවල අයට බහු විවාහය තහනම්ය. මෙයිනුත් පැහැදිලි වන්නේ ධනයට හා බලයට බහුවිවාහයේ ප්‍රධාන තැනක් හා වැඩි බලයක් හිමි වන බවය.

ඉස්ලාමයට අනුව පිරිමියකුට අවස්ථානුකූලව කාන්තාවන් එක අයකුට වඩා විවාහ කර ගත හැකි බව කුරානයේ සඳහන් වන අතර, භාවිතයේදී ධනය හා බලය මත සෞදි රජුට මෙන් බිරින්දෑවරුන් 19ක් දක්වා ලබා ගත හැකිය. එහෙත්, සාමාන්‍ය ඉස්ලාම් භක්තිකයකුට බොහෝ රටවල හතර දෙනෙක් දක්වා ද ඇතැම් රටවල හත් දෙනෙක් දක්වා ද විවාහ කර ගත හැකිය.

2011දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කෙරුණු කාන්තාවන්ට එරෙහි සියලූම ආකාරයේ වෙනස්ව හා අසාධාරණව සැලැකීම් ප්‍රතික්ෂේප කිරීමේ සම්මුතියට අනුව බහුවිවාහය තහනම් කෙරුණ අතර, එසේ නොකළ ඉස්ලාමීය රාජ්‍යවලට එය නිර්දේශ කරන ලදී. මෙයට පදනම් වූයේ එක්සත් ජාතීන් විසින් කාන්තා හා ළමා අයිතීන් වෙනුවෙන් දිගුකාලීනව කරන ලද පර්යේෂණ හා පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සැලකිල්ලට ගැනීමෙන්, බහු විවාහයක් තුළදී කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් විවිධ ආකාරයෙන් කඩවන බව සැලකිල්ලට ගනිමිනි. විශේෂයෙන් ඒඩ්ස් පැතිර යාම හා නූපන් දරුවන් පවා අසාධාරණයට ගොදුරු වීම පවා මෙහි දී සලකා බැලිණි.

ධනවත් හා බලවත් ඉස්ලාම් රටවල් වන සෞදි අරාබිය, කුවේටය, අරාබි එමිරේටය මෙන්ම තවත් මුස්ලිම් රටවල් මෙම සම්මුතියට අත්සන් කළේ නැත. එසේම ජනගහන පාලනය හා ඒඩ්ස් වැනි රෝග පාලනය කළ යුතුම වන අප්‍රිකා මහාද්වීපයේ බොහෝ රටවල් ද මෙයට අත්සන් කොට නැත. අපේ රට මෙම සම්මුතියට අත්සන් කොට ඇත. එවන් විටෙක අපේ රටේ බහු විවාහය නීත්‍යනුකූලව තහනම් කිරීමට කිසිදු ආකාරයක පියවරක් නොගැනීම කනගාටුවට කරුණකි. කෙසේ වුවත්, ලෝකයේ බලවත් රාජ්‍යයන් වන ඇමෙරිකාව හා රුසියාව ද, කැනඩාව, ඕස්ටේ්‍රලියාව සහ යුරෝපයේ සෑම රටක් ම ප්‍රකාශිතවම තම මූලික නීති තුළ බහුවිවාහය තහනම් කර ඇත. එංගලන්තය තුළ ක්‍රියාත්මක වන අන්තර්ජාල වෙබ් අඩවියක ලක්ෂයකට අධික ඉස්ලාම් භක්තිකයන් විසින් බහුභාර්යා සේවනය නීත්‍යනුකූල කරන ලෙස ඉල්ලීම් කිරීමට පටන් ගෙන තිබේ. කෙසේ වෙතත්, කතෝලික පසුබිමක් හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක එම ගමන යා හැක්කේ බහුතරයකගේ ඉල්ලීම හා ඒ වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයන් සිටින රටවල පමණි. නිදහස ලැබී දශක 7ක් ගෙවී ගොස් ඇතත්, රට එක නීතියක් තුළට ගෙන ඒමට අපට නොහැකි වී ඇත.

මේ නිසා අපේ රට ද බහුවිවාහයේ බහුලතාව වෙත ගමන් කරමින් සිටී. මෙය වරප්‍රසාදයක් ලෙස දකින පිරිමින් සිටින සමාජයක ජීවත්වීමට යම් දිනක කාන්තාවට සිදුවුවහොත්, එය බුද්ධ කාලයේ දී මෙහෙණි සසුනට ඇතුළු වීමෙන් කාන්තාවන් ලෙස දිනාගත් අයිතීන්ගේ සිට මාතෘ මූලික සමාජයක ආභාසය ලද කාන්තා පරපුරක් ලෙස අප මෙතෙක් දිනාගත් අයිතීන් ද ආපසු හරවා යැවීමක් වනු ඇත.

ඒ නිසා ලංකාවේ විවාහ නීතිය ඒකීයව පවත්වාගෙන යාමට නීති සම්පාදනය කිරීමෙන් ජාතිකව ලබන නිදහස හා ප්‍රතිලාභ ඉතා ඉහළ වන අතර, ජාත්‍යන්තරව මුළුගැන්වීමෙන් වැළැකී සමාජීයව අපේ කාන්තාවට නිසි තැන ලබා දීම සිදු විය යුත්තේ පටු දේශපාලන වාසි උදෙසා නොවිය යුතුය.

සුභාෂිනී විප්ෆ්ලර්

Leave a Response