අදහස්

එක ක්‍රමයකින් විතරක් සංචාරක කර්මාන්තය වර්ධනය කරන්න බැහැ

87views

සංචාරක කළමනාකරණය පිළිබඳ කථිකාචාර්ය – ධීර හෙට්ටිආරච්චි

මොනවද මේ නිදහස් සංචාරක වීසා කියන්නෙ?

නිදහස් වීසා කියන්නෙ මොනවද කියන්න කලින් අපි බලමු වීසා කියන්නෙ මොනවද කියල. වීසා කියල කියන්නෙ කෙනෙක් තමන්ගෙ පුරවැසිභාවය තියෙන රට හැර වෙනත් රටකට ඇතුළු වෙනකොට සපුරාලිය යුතු නීතිමය අවශ්‍යතාවයක්. ඒ වගේම වීසා මගින් අදාළ පුද්ගලයාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමකුත් සිදුවෙනවා. රටකට ඇතුළු වීමේ වීසා එකක් ලබා ගන්න එම පුද්ගලයාට විදෙස් ගමන් බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මේ වීසා ලබාගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි රටට ඇතුළු වීමට පූර්වයෙන් වීසා ලබාගැනීමේ ක්‍රමය. මේකට කියන්නෙ Visa Required කියල. දෙවෙනි ක්‍රමය තමයි රටකට ඇතුළු වීමේදී වීසා ලබාගැනීමේ ක්‍රමය. අපි සාමාන්‍යයෙන් On Arrival Visa කියල කියන්නෙ ඒකට. අනිත් ක්‍රමය තමයි Visa Free කියන එක. ඒකෙන් කියන්නෙ ඒ රටට ඇතුළු වෙන්න වීසා අවශ්‍ය නැහැ කියන එක. ඒත් අපි මේ කතා කරන, ලංකාවෙදි කරන්න යන ක්‍රමය කියන්නෙ ඒක නෙමෙයි. ලංකාවෙදි ක්‍රියාත්මක වෙන්නෙ On Arrival Visa කියන ක්‍රමය. වෙනස තියෙන්නෙ එතනදි ගාස්තු අය කිරීමක් කෙරෙන්නෙ නැති එක. සරලව කියනව නම් ගාස්තුවලින් විතරයි නිදහස් වෙන්නෙ.

ඒ කියන්නෙ රටට ඇතුළු වෙන්න එන ඕනෑම කෙනෙකුට ඒ විදිහට වීසා ගන්න පුළුවන් කියන එකද?

එහෙම කියන්න බැහැ. ආගමන විගමන නීති රීතිවලට යටත්ව තමයි මේ වීසා ලබාදීමත් කෙරෙන්නෙ. කෙනෙක් ලංකාවට ඇතුළු වීමට නීත්‍යානුකූලව අයිතියක් නැත්නම් හරි ආගමන විගමන කොන්දේසි සපුරා නැත්නම් හරි එම පුද්ගලයාට වීසා ලබා නොදෙන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවට හැකියාවක් තියෙනවා.

එහෙම වීසාවලට ගාස්තු අය කිරීමක් නොකරන්න තීරණයක් ගන්න හේතු මොනවද?

විවිධ අරමුණු වෙනුවෙන් රටක් මෙවැනි තීරණ ගන්න පුළුවන්. තමන්ගෙ විදේශ ප්‍රතිපත්තිවල තියෙන සරලභාවය පෙන්නන්න ඇතැම් රටවල් මේ ක්‍රමයත් එකක් විදිහට යොදා ගන්නවා. තවත් අරමුණක් තමයි සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා වීසා ගාස්තු වලින් නිදහස් කිරීම. රටක සංචාරක කර්මාන්තය බිඳවැටුණු අවස්ථාවකදි වගේම එහෙම නොවෙන අවස්ථාවකදිත් මේ වගේ ක්‍රම පාවිච්චි කරනවා. ලංකාවෙදි රටවල් හතළිස් අටකට නිදහස් වීසා ක්‍රමය යෝජනා වෙන්නෙත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන කියල තමයි ආණ්ඩුව පැත්තෙන් කියන්නෙ.

ලෝකයේ තවත් රටවල් මේ වගේ ක්‍රම භාවිතා කරල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරගෙන තියෙනවද?

ඔව්. ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුහුණ දුන්න රටවල් ගණනාවක සංචාරක කර්මාන්තය බිඳවැටීම් වලට ලක්වුණා. කෙන්යාව අවස්ථා දෙකකදි, ඉන්දියාව, තුර්කිය, ඊජිප්තුව වගේ රටවල් ඒකට හොඳම උදාහරණ. කෙන්යාව ඒ සිදුවීම්වලින් පස්සෙ වීසා ගාස්තු සියයට පනහකින් පහත දැම්මා. අනෙක් රටවල් ක්‍රියාත්මක කරපු ක්‍රියාමාර්ග අතරත් වීසා ප්‍රතිපත්ති ලිහිල් කිරීම තිබුණා. එහෙම සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමක් නැතුවත් එවැනි තීරණ අරන් තියෙන රටවල් තියෙනවා. සිංගප්පූරුව ඒකට හොඳම උදාරහණයක්. මාලදිවයින සාර්ක් රටවලට ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා.

ඒත් ලංකාවෙදි වීසා ගාස්තු නිදහස් කිරීමේ යෝජනාව එන්නෙ පාස්කු ප්‍රහාරයට කලින්?

පසුගිය අවුරුද්දෙ ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන දෙකයි දශම තුනක්. ඒත් අවුරුද්දෙ අන්තිම කාලෙ ඇති වුණු දේශපාලන අස්ථාවරත්වයත් එක්ක සංචාරක කර්මාන්තයේ යම් බිඳවැටීමක් ඇති වුණා. ඊට අමතරව වෙනත් හේතු නිසාත් සංචාරක කර්මාන්තයේ බිඳවැටීමක් දිගටම තිබුණා. ප්‍රහාරයත් එක්ක සංචාරකයන්ගේ පැමිණීම සියයට හැත්තෑවකින් පමණ අඩු වුණා. ඒකෙන් මම කියන්නෙ නැහැ ආණ්ඩුව මේ යෝජනාව ගේන්නෙ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කියලා. සංචාරක කර්මාන්තයේ වර්ධනයක් ඇති කරගන්න මේ ක්‍රමය යොදා ගන්න පුළුවන් කියන එක විතරයි මට කියන්න පුළුවන්.

වීසා ගාස්තුවලින් නිදහස් කළ පමණින් කොහොමද සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති වෙනව කියල කියන්නෙ?

සංචාරකයන්ගේ පැමිණීම වැඩි කරගන්න බලපාන එකම හේතුව වීසාවලට ගාස්තු අය නොකිරීම කියල කියන්න බැහැ. ඒත් යම් උත්තේජනයක් එයින් ඇති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මාලදිවයිනට යන සංචාරකයෙක් ලංකාවටත් එන්න හේතුවක් කර ගන්න පුළුවන් මේ වීසා ගාස්තු අය නොකිරීම.

ඒත් ඒ අත්හදාබැලීම වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා රටට ලැබුණු විශාල ආදායමක් අහිමි කරගන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයිද?

ඇත්තටම ඒක ප්‍රශ්නයක් තමයි. අනෙක් පැත්තෙන් මේ වෙනකොට සංචාරකයන් පැමිණීමේ විශාල බිඳවැටීමක් තියෙනව කියන එක අපි කවුරුත් දන්න දෙයක්නෙ. ඒකත් එක්ක වීසාවලින් ලැබුණු ආදායමත් ඒ හා සමානවම බිඳවැටිල තියෙනවා. කෙනෙක් කියනව නම් සංචාරක කර්මාන්තය සාපේක්ෂව සාර්ථකව තියෙන වෙලාවක ලැබුණු ආදායමත් එක්ක, මේ ගාස්තු නිදහස් කළ එකෙන් ඒ ආදායම අහිමි වෙනව කියල, ඒක වැරදි තර්කයක්. ඒත් දැනට ලැඛෙන ආදායමේ අහිමි වීමක් තියෙනව කියන එකත් පිළිගන්න ඕනෙ. ඒ කොහොම වුණත් රටක් සංචාරක කර්මාන්තය වර්ධනය කරගන්න යම් කැප කිරීමක් කරනව නම් ඒ අහිමි වෙන දේත් නැවත ලබාගනිමින් ඊට වඩා වර්ධනයක් ලබාගන්න පුළුවන් සැලසුමක් එක්ක තමයි ඒක කරන්න ඕනෙ. මේ වගේ එක ක්‍රමයකින් විතරක් සංචාරක කර්මාන්තය වර්ධනය කරගන්න බැහැ. ඒකට සාධනීය සහ විධිමත් වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව තියෙන්න ඕනෙ. මොකද, වීසා ගාස්තු අය නොකිරීම සංචාරකයෙක් රටට එන්න බලපාන එකම කාරණය නෙමෙයි. කෙනෙකුට ඊජිප්තුවෙ පිරමිඩ් බලන්න යන්න ඕනෙ නම් වීසා ගාස්තු කීයද කියන එක ඒකට මූලික වෙන්නෙ නැහැ. වීසා ගාස්තු අය නොකිරීම උත්තේජනයක් විතරයි කියල මම කලින් කිව්වෙ ඒකයි. සරලව කියනව නම් ගණන් අඩු කරල ගෙන්වා ගන්නව වගේම, ගෙන්වා ගත්තට පස්සෙ සංචාරකයන්ට ගුණාත්මක දෙයක් දෙන්න බැරි නම් මේ කියන ඉලක්ක සම්පූර්ණ කරගන්න බැහැ. මේ වෙනකොට සංචාරක කර්මාන්තයට අදාළ සැපයුම් පද්ධතිය කඩා වැටිල තියෙන්නෙ. ඒවා ගොඩනගන්න ඕනෙ. ලෝකෙ සංචාරක කර්මාන්තය කඩාවැටීම්වලට මුහුණ දුන්න අනෙක් රටවල් නැවත සංචාරක කර්මාන්තය වර්ධනය කරගත්තෙ එහෙම සංයුක්ත සැලසුම් වලට ගිහින්. ඒත් ලංකාවෙදී එහෙම එකක් තියෙනව කියල පේන්න නැහැ.

මේ විදිහට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් බවටත්, රට තුළ ජාවාරම්කරුවන්ට අවස්ථා සැලසීමක් විදිහටත් ඇතැම් අය චෝදනා කරනවා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද?

රටේ ආරක්ෂාව කියන්නෙ වෙනම කාරණාවක්. වීසා ගාස්තුවලින් නිදහස් කිරීම ඒකට සෘජුවම බලපානව කියල මම හිතන්නෙ නැහැ. අනෙක් කාරණාව තමයි ජාවාරම්වලට අවස්ථා වැඩි වෙනව කියන එක. වීසාවලට ගාස්තු අය කරන, මේ දැනුත් එවැනි දේ සිදුවෙමින් තියෙනවා. හිතන්න පුළුවන් එක දෙයක් තමයි සංචාරක වීසා මගින් රටට ඇතුළු වෙලා විවිධ වෘත්තීන්වල යෙදෙන්න අවස්ථාවක් ලැඛෙනව කියන එක. විශේෂයෙන් ඉන්දියාවට වීසා ගාස්තු නිදහස් කිරීමෙන් එවැන්නක් වෙන්න පුළුවන් කියල හිතන්න පුළුවන්. ඒත් සංචාරක වීසා දෙන්නෙ දවස් තිහක කාලයකට විතරයි. අවස්ථා දෙකකදි තවත් දින හැටක් දක්වා දීර්ඝ කරගන්න පුළුවන්. ඒකටත් නිශ්චිත හේතු තියෙන්න ඕනෙ. ඒ නිසා නිදහස් වීසාවලින් ඇවිත් වෘත්තීන්වල යෙදෙන්න අවස්ථාවත් සීමා සහිතයි. ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රට තුළ නීත්‍යානුකූල නොවන අයුරින් රැඳී සිටින පුද්ගලයන් සොයාගන්න, ඔවුන් අත් අඩංගුවට ගන්න සහ රටින් පිටුවහල් කරන්න විධිමත් ක්‍රමවේදයක් නැති එක. රටේ ආරක්ෂාවටත්, ජාවාරම්වලට ඉඩකඩ විවෘත වෙන එකටත් ඒ තත්ත්වය නම් හේතු වෙන්න පුළුවන්.

සංවාද සටහන – චතුර දිසානායක

Leave a Response