දේශීය පුවත්

පියාගේ ඝාතකයා ජනාධිපති අපේක්ෂකයෙකු වන තැනට පාර කැපුවේ ඔබයි – අහිම්සා වික්‍රමතුංගගෙන් අගමැති රනිල්ට ලිපියක්

249views

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා තිබේ. අග්‍රාමාත්‍යවරයා හෝමාගම, ජල්තරදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාරයක් ලෙස අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය මෙම ලිපිය යවා තිබේ.

ඇය පවසන්නේ, තම පියා වන ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී යළිත් අදහස් පළ කළ බවය. ගෝඨාභය රාජපක්ෂ තම පියා ඇතුළු ඝාතනවලට සමාව ඉල්ලා සිටින්නේදැයි එහිදී රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කළ බව ඇය පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක සමාව ඉල්ලා සිටින්නේ නැතැයි අහිම්සා වික්‍රමතුංග විසින් රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියෙන් සිහිපත් කර තිබේ. එසේම අවුරුදු හතර හමාරක් ගත වන තෙක් අද යළි චෝදනා නගන පුද්ගලයා ආරක්ෂා කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටින්නේදැයි ඇය අග්‍රාමාත්‍යවරයාගෙන් පෙරළා ප්‍රශ්න කරයි.

අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය සිහිපත් කර ඇත්තේ, සිය පියා මිය ගිය දිනයේ සිට මේ දක්වාම ඡන්ද වෙනුවෙන් එම මරණය යොදා ගන්නා බවය. 2015දී ආණ්ඩු බලය ගැනීමේදීත් තම පියාගේ මරණයට යුක්තිය ඉටු කරන බවට ප්‍රතිඥා දුන් බව පෙන්වා දෙන ඇය, බලයට පැමිණි වහා ඒවා අමතක කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට යළි සිහිපත් කර දී තිබේ.

ඇය පවසන්නේ, යළිත් මැතිවරණ සමයක් උදා වී ඇති නිසා ඝාතකයින් යැයි චෝදනා කරමින් යළිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇති බවය.

රනිල් වික්‍රමසිංහ එවැනි ප්‍රකාශ කරද්දී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අමාත්‍යවරයා ඇතුළු අනෙකුත් අමාත්‍යවරුන් ගෝඨාභය රාජපක්ෂ සමග ඔහුගේ නිවසේ රහසිගතව සාකච්ඡා කරන බව ද අහිම්සා වික්‍රමතුංග මෙනවිය රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

Leave a Response