විශේෂාංග

රටට අවශ්‍ය වන්නේ පොහොසත් විකල්පයක්

98views

එක් පසෙකින් මැතිවරණ කිහිපයක් රට අභිමුවට පැමිණ ඇත. හැත්තෑ එක් වසරක් මාරුවෙන් මාරුවට රට පාලනය කළ කණ්ඩායම් අපේක්ෂක තරගයක යෙදී සිටිති. ඒ අතර විකල්පයක් පිළිබඳ කතාබහ ද වෙනදාට වඩා තීව්‍රව මතු වෙමින් තිබේ. විකල්පය වෙනුවෙන් විවිධ සංවිධාන සහ ව්‍යාපාර මතු වෙමින් ඇත. ඒ අතරින් සැබෑ විකල්පය කුමක් ද යන්න තෝරා ගැනීම ජනතාව සතු වගකීමකි. ඊට හේතුව ඇතැම් විකල්පයන් අර්බුදය විසින්ම යෝජනා කරන විකල්ප විය හැකි නිසාය.

විකල්පය විය යුත්තේ කුමක්ද? විකල්පය තෝරා ගත යුත්තේ කෙසේද? විකල්ප කණ්ඩායම් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද? විකල්පය පිළිබඳ කතාබහත් සමග මතු වී ඇති ප්‍රශ්නාර්ථයන් කිහිපයකි. මේ විකල්පය පිළිබඳ සුභාෂිණී විප්ෆ්ලර්ගේ අදහසයි.

අද රට පත් වී ඇත්තේ සොරමුළකගේ ග්‍රහණයකට යැයි කිව්වොත් නිවැරදිය. රටේ පාලකයාගේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුළු සේවකයා දක්වා ද, සෞඛ්‍ය ඇමතිගේ සිට මෝචරියේ මුරකරු දක්වා ද සොරකම්, දූෂණය ඇටමිදුලුවලට කාවැදුණ පද්ධතියක රට ක්‍රියාත්මක වේ. මේ නිසාම ජාතික ආදායමෙන් කොටසක් හොරුන් විසින් ගිල ගන්නා අතර, අනෙක් කොටස කොමිස් උදෙසා ගත් අනවශ්‍ය ණය සහ පොලී වෙනුවෙන් වැය කළ යුතුය. රටේ ණය බරට සාපේක්ෂව ණය හිමි රටවල පදේට නටන්නට සිදු වී ඇති අපට විදේශ හමුදා ගොඩබැසීමේ සිට ලෝක බලවතුන්ගේ ආර්ථික හා වෙළඳ යුද්ධවලට මැදි වී පීඩා විඳින්නට සිදු වී තිබේ. ආනයනය කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදයට මෙන්ම රාජ්‍ය දේපළ සොරකම් කළ සොරුන්ට දඬුවම් දිය නොහැකි බෙලහීන අධිකරණ පද්ධතිය රටේ විහිළුවක් බවට පත් වී ඇත. ජන ජීවිතය දිනෙන් දින බිඳවැටෙන අතර මන්දපෝෂණය, කුසගින්න ඉහවහා ගොස්ය. බදු නිසා වැඩි වන බඩු මිල එදා වේල සොයාගෙන ජීවත් වන මිනිසුන් කබලෙන් ළිපට දමා ඇත. බලයට පැමිණියවුන් ආරක්ෂා වෙමින් කරන චෙස් ක්‍රීඩාවක් බවට අද රටේ ජාතික දේශපාලනය පත් වී තිබේ.

කොයි ආකාරයේ මැතිවරණ සටන් පාඨ සහිතව ආව ද, ප්‍රධාන පක්ෂ දෙකම පවතින ක්‍රමය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවා මිස රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට ජනප්‍රිය රැවටීම් හැර කිසිදු වැඩපිළිවෙළක් ඔවුනට නැත. මේ කාරණය වටහා ගත් රටේ සිටින හා රට හැර ගිය බුද්ධිමත් පිරිස් ගොනු වෙමින් විකල්පයන් ගොඩනඟමින් සිටින බව දැකීම සතුටට කාරණයක් මෙන්ම එය අද දේශපාලනයේ මූලිකම අවශ්‍යතාවයි. කොතැනක කුමන ආකාරයෙන් ඒකරාශී වුව ද, සමස්තයක් ලෙස මේ සියලුම විකල්ප පෙනී සිටින්නේ ක්‍රමයේ වෙනසක් වෙනුවෙනි.

වසර හාරසිය පනහකට ආසන්න කාලයක් යුරෝපීය රටවලට යටත් වීමෙන් පසු අප ලැබූ ඩොමීනියන් නිදහසට වසර 71ක් හා ‘නාමික පූර්ණ නිදහසට’ වසර 47ක් ද ගත වී ඇත. මේ කාලය තුළ ලංකාවේ ආණ්ඩු බලය දෝලනය වූයේ මෙතෙක් ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයන්ටත්ය.

පවතින ක්‍රමයට විකල්ප යැයි කියන බලවේග නිදහසින් පසු සෑම විටකම බිහි වී තිබේ. එහෙත්, මෙතෙක් සිදු වූයේ කුඩා පක්ෂ හා වාමාංශික පක්ෂත් ජාතිකත්ව නියෝජනය කරමින් ‘සුළු ජාතීන්’ යැයි තමන්ම හඳුන්වා ගනිමින් ඇති කර ගත් පක්ෂත් කලින් කලට මේ ප්‍රධාන පක්ෂ දෙකේම පෝෂණය උදෙසා දායක වීමයි. මෙයින් වාමාංශික පක්ෂ බොහෝ විට විකල්ප මතවාදයන් වෙනුවෙන් පෙනී සිටි අතර, මේවා සමාජවාදය මත පදනම් වූ වාමවාදී එහෙත් සුළු කරුණුවලින් වෙන් වී බෙදී ගිය පක්ෂ රාශියක් බවට පත් විය.

ඒ අතර පක්ෂ තහනමකට ලක්ව මැතිවරණ සඳහා තරග කිරීමට නොහැකිව සිටි ජනතා විමුක්ති පෙරමුණ තම 60,000ක් වූ අහිමි වී ගිය මානව සම්පතේ වේදනාවත් පෙරදැරි කරගෙනම 1994 වර්ෂයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් විය. එතැන් සිට පියවරෙන් පියවර වර්ධනයක් අත්පත් කර ගත්ත ද 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනඟමින් ආණ්ඩු පාලනයට එක් වීමෙන් පසු පෙළගැසුණු දේශපාලන තත්ත්වයන් සහ ගනු ලැබූ ඇතැම් තීරණ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනප්‍රියත්වයෙන් යම් මට්ටමකින් පහළ මට්ටමකට ඇදවැටිණි. එසේ වුව ද, ජවිපෙ යනු රට තුළ වසර 54ක දේශපාලන අත්දැකීම් ඇති, දෙවරක්ම මේ රටේ යහපත් වෙනසක් වෙනුවෙන් ජීවිත පූජා කළ මිනිසුන්ගේ ඉතිහාසයක් ඇති ප්‍රධාන විකල්ප බලවේගයකි. මේ වන විට ඒ වටා තවත් සංවිධාන ද ඒකරාශි වී සිටිති.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස කටයුතු කළ අජිත් කොලොන්නේ මහතා, හිටපු රේගු නිලධාරියකු හා දෙස් විදෙස් අත්දැකීම් ලද නීතිවේදියෙකු වන නාගානන්ද මහතා, හිටපු විගණකාධිපතිවරයා වැනි පුද්ගලයන් ද, ‘සර්වෝදය ව්‍යාපාරය’ ද කේන්ද්‍ර කර ගනිමින් රටේ වෙනසක් ඇති කිරීම පිළිබඳ සංවාදයක් ගොඩනැඟෙමින් පවතී. ඔවුන් අලුත් ක්‍රමයක් වෙනුවෙන් හා අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් එනම්, නීතියේ ආධිපත්‍යය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය වෙනස් කිරීමේ අරමුණින් ලෙස නව ව්‍යවස්ථාවක් මූලික කර ගනිමින් විකල්පයන් යෝජනා කරති.

දැනට මේ ප්‍රවාහයන් මෙසේ ගොනුවෙද්දී තවත් කුඩා කණ්ඩායම් රාශිගත වෙමින්, පවතින මජර ක්‍රමයෙන් රට වෙනස් මඟකට ගත යුතු යැයි කියන විකල්පය ගොඩනඟමින් සිටී.

මේ මා ඉහතින් සදහන් කළ විකල්ප බලවේගවල ඇති පොදු ලක්ෂණ හා සමානතා බොහොමයකි. නැතහොත් ඒවා වෙනස් වෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන විෂයපථය අනුව මිස සමස්තයක් වශයෙන් අරමුණ වන්නේ යහපත් රටක් ගොඩනැඟීමය. මේ කණ්ඩායම් සියල්ලම පසුපස සිටින්නේ දේශීයව හා විදේශීයව උසස් අධ්‍යාපනය ලබමින් රටේ වැදගත් තනතුරු දරන හෝ දැරූ බුද්ධිමතුන්ය. මෙහි දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක දේශපාලනයෙන් ඔබ්බට ඇස පොවන විට ඔවුන් පිටුපස සිටින්නේ ද මේ බුද්ධිමය කුලකයයි. අඩු වැඩි වශයෙන් මේ සියලු දෙනාම මේ ක්‍රමය තුළ උඩුගම් බලා පිනන්නට ගොස් එක්කෝ රැකියාවල් පමණක් නොව රට තුළ ජීවත් වීම පවා අහිමි කර ගත්තෝය. නැතහොත් විකල්පයක් වෙනුවෙන් පෙනී සිට කුමන හෝ පීඩාවකට මුහුණ දුන්නෝය. එහෙත්, මේ රට වෙනස් කිරීම හා යහපත් මඟට යොමු කිරීමේ දැක්ම හා හැකියාව ඇති එකම කණ්ඩායම මේ විකල්ප බලවේග කිහිපයක් මත කුලකගත වී සිටිති.

මේ විකල්පය ගැන කතා කිරීමේ දී මූලික අවධානය යොමු වී ඇති ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් තනිවම කළ විපක්ෂයේ කාර්යභාරය තුළින් රටේ තත්ත්වය පිළිබඳ මේ සියලු කණ්ඩායම් ද දැනුවත් වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකුට විවාදයක් නැත. එහෙත්, විකල්පය ලෙස පෙනී සිටින ඇතැම් කණ්ඩායම් විසින් මතු කරන තර්කයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බෞද්ධ විරෝධී ආස්ථානයක සිටිමින් කටයුතු කරන බවයි. ඔවුන් ප්‍රචාරකවාදී වෙළඳ බුදු දහම වෙනුවෙන් පෙනී නොසිටිය ද, බෞද්ධ දර්ශනයේ පදනම්වල පිහිටමින් කටයුතු කරන බව මගේ මතයයි. එහි ක්‍රියාකාරීහු ද සරල ජීවිත ගත කරති. එසේම සැලකිය යුතු භික්ෂුන් වහන්සේලා පිරිසක් ද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරති. ඒ නිසා බෞද්ධ පදනම් පිළිබඳ අවධානය යොමු කරන බලවේගවලට ද ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වීමට විශාල බාධාවක් නැත. ජනතා විමුක්ති පෙරමුණ ද නියෝජනය කරන ‘ජාතික ජන බලවේගය’ තුළ වෙනත් ආගමික පදනම් මත ගොඩනැඟුණු සංවිධාන ද සිටින අතර, ඒ නිසා විකල්පය සොයා යාමේ දී ආගමික පදනම් ගැටලුවක් නොවන බව තව දුරටත් පැහැදිලි වේ.

කෙසේ වෙතත් පරිපූර්ණ හා ශක්තිමත් විකල්ප බලවේග රැසක් බිහි වී තිබියදී, මේ හොරමුළෙන් රට මුදාගැනීමට මේ අවස්ථාවේ නොහැකි වේ යැයි මම විශ්වාස නොකරමි. එහෙත්, තනි තනිව ගමන් කරමින් පරාජය ලබනවාට වඩා එක්ව ගොස් ජයග්‍රහණය ලැබීමේ සිහිනය අප සැබෑ කර ගත යුතුය. මේ සඳහා කළ යුත්තේ, මේ බලවේග එක් වී එක සන්ධානයකට යාමය. ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති එක ප්‍රතිපත්තියක් ලෙස මැතිවරණයට පෙර ඔවුන්ගේ විද්වතුන් ලවා සකසා ගෙන රටට ඉදිරිපත් කිරීමය. ඔවුන් අතර බිහි වන සන්ධානයට වඩා ශක්තිමත් හා සංවිධානාත්මක ගිවිසුමක් පිළියෙළ කොට එයින් බැඳී මේ ලැබී ඇති අවස්ථාවෙන් සම්පූර්ණ ජවයෙන් යුතුව මැතිවරණය ජය ගැනීමය. එය ඔවුන්ගේ ද, රටේ ද පැවැත්ම සඳහා තීරණාත්මකය. මෙලෙස සිදු නොවන්නේ නම්, එක අතකින් සොරමුළ ශක්තිමත් වනවා මෙන්ම අනික් අතින් අන්තවාදී ජවය ද ජයග්‍රහණය කරනු ඇත. බිහි වෙමින් පවතින විකල්පයන් නෙළුම් විලක සුපිපී ඇති නෙළුම් මල්වලට මම සමාන කරමි. ඒ මල් නෙළා එකම මලසුනක පෙළගස්වා අපේ මාතෘභූමිය වෙත පුදකිරීමට කාලය එළැඹ ඇත. තනි තනිව පිපී සවසට පරවී යාමට නොදී ඒ මල් එකම මලසුනකට ගෙන ඒමට එම බලවේග පෙළගැසිය යුතුය.

සුභාෂිණී විප්ෆ්ලර්

Leave a Response