අදහස්

සංචාරක කර්මාන්තය ගැන ජාතික ප්‍රතිපත්තියක් අපට නැහැ

86views

අනර්වා සංචාරක හෝටලයේ නේවාසික කළමනාකරු ඩිලන්ත පෙරේරා

දැන් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය කොහොම ද?

දැන් පොඩි වෙනසක් ඇති වෙමින් යනවා. පාස්කු ප්‍රහාරයත් එක්ක කඩාගෙන වැටුණ සංචාරකයන්ගේ පැමිණීම දැන් ටිකක් වැඩි වෙලා තියෙනවා.

ඒ කියන්නෙ දැන් තත්ත්වය සමහන් වෙමින් යනවා ?

එහෙම කියන්න බැහැ. ප්‍රහාරය සිදු වෙලා දැන් මාස හතරක් පමණ ගත වෙලා. කාලයත් එක්ක කොහොමත් තත්ත්වයන් වෙනස් වෙනව නෙ. මම කිව්වෙ ප්‍රහාරයත් එක්ක සියයට විස්සක් පමණ වෙනකම් කඩාගෙන වැටුණ සංචාරකයන්ගේ පැමිණීම දැන් සියයට තිස්පහක්, හතළිහක් වගේ ප්‍රමාණයකට වැඩි වෙලා කියන එකයි. ඒක සෑහීමකට පත් වෙන්න පුළුවන් වැඩි වීමක් නෙමෙයි. ඇත්තටම තත්ත්වය සමහන් වෙන්න නම් හැම පැත්තකින්ම මීට වඩා වැඩි මැදිහත් වීමක් කරන්න ඕනෙ. විශේෂයෙන් ආණ්ඩුව මේකට මැදිහත් වෙන්න ඕනෙ.

පහුගිය දවස්වල ආණ්ඩුව සංචාරකයන් සඳහා රටවල් හතළිස්අටකට නිදහස් වීසා ක්‍රමයකුත් හඳුන්වා දුන්න නෙ. ඉතින් ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නැහැ කියල කියන්නෙ කොහොම ද?

ආණ්ඩුව මැදිහත් වෙනව කියන්නෙ එක එක වෙලාවට එක එක දේවල් කරන එකට නෙමෙයි. සංයුක්ත වැඩපිළිවෙළක් සහිතව මැදිහත් වෙනවා නම් තමයි රටක සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. එහෙම එකක් පේන්න නැහැ. අපි එක තැනකින් පටන් ගමුකො. මේ වෙනකොට අපෙන් බද්දක් අය කරනවා, ටීඩීඑල් කියලා. එහෙම නැත්නම් සංචාරක සංවර්ධන බද්ද කියලා. ඒ මුදල් මම හිතන විදිහට වහා යන්නෙ මහා භාණ්ඩාගාරයට. ඒත් ඒ බදු මුදල් ආපහු සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට යෙදවෙනව ද කියන එක ප්‍රශ්නයක්. හෝටල් පාසලෙන් තමයි ක්ෂේත්‍රයට ඕනෙ කරන වෘත්තිකයන් නිර්මාණය කරන්නෙ. ඒත් ඒකෙන් හොඳම වෘත්තිකයන් නිර්මාණය වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි, ඒ වෘත්තිකයන් නිර්මාණය කරන්න මැදිහත් වෙන ගුරුවරුන්ට ප්‍රමාණවත් ගෙවීමක් නොකරන එක. විධිමත්ව මේ බදු මුදල් කළමනාකරණය වෙනවා නම් ටීඩීඑල් හරහා අපෙන් අය කරන මුදල් ඒ ගෙවීම්වලට යොදවන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අවශ්‍ය ප්‍රචාරක කටයුතුවලට මේ මුදල් යොදවන්න පුළුවන්. ඒ කිසි දෙයක් නිසි විදිහට වෙන බවක් පේන්නෙ නැහැ. තවත් කාරණාවක් තමයි, අපි හරියටම අපේ ඉලක්ක කණ්ඩායම් හඳුනාගෙන තියනවා ද කියන එක. මම නම් හිතන්නෙ, අපි තාම ඒකවත් හඳුනගෙන නැහැ.

ඉලක්ක කණ්ඩායම් හරියටම හඳුනගෙන නැහැ කියන එක තවත් පැහැදිලි කළොත් ?

මම එක උදාහරණයක් කියන්නම්. ආණ්ඩුව සීඑන්එන් හරහා ප්‍රචාරක කටයුතු කරනවා. ඒත් සීඑන්එන් කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදය මූලික කර ගත්ත මාධ්‍ය ජාලයක්. ඇමෙරිකාව කියන්නෙ සංචාරකයන් බහුල රටක් තමයි. ඒත් ඔවුන්ට ලංකාවට එන්න පැය තිස්හයක ගුවන් කාලයක් යනවා. ඒ නිසා ඔවුන් ලංකාවට එන්න උනන්දු වෙන්නෙ නැහැ. ඇත්තටම අපේ ඉලක්ක කණ්ඩායම් වෙන්නෙ මූලිකව යුරෝපය. ඒ වගේම ඉන්දියාව සහ චීනය වගේ රටවල්. ඉන්දියාවේ මිලියන දෙසිය පනහක ඉහළ මධ්‍යම පන්තියක් ඉන්නවා. ඒක යුරෝපයේ මධ්‍යම පන්තියට සමානයි. චීනයෙත් එහෙමයි. චීනයෙන් මිලියන සීයක් විතර සංචාරයන් සඳහා පමණක් විවිධ රටවලට යනවා. ඒත් අපි අසමත් වෙලා තියෙනවා, ඔවුන්ගෙන් කොටසක්වත් ලංකාවට ගෙන්වා ගන්න. ඒකට ප්‍රචාරණය විතරක්ම ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා.

ලංකාවට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නැහැ කියලද ඔබ කියන්නෙ ?

තියෙනවා නම් මේ වෙනකොට එහෙම එකක් ක්‍රියාත්මක වෙනවා අපිට පේන්න ඕනෙ නෙ. රටක් විදිහට විටින් විට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ හේතුවලින් සංචාරක ක්ෂේත්‍රය කඩාගෙන වැටෙනවා. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ එතැන නෙමෙයි. ඒ තත්ත්වයන් ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් කර ගන්නෙ කොහොමද කියන එක. අපි අසමත් වෙලා තියෙන්නෙ ඒකට. එක පැත්තකින් සංචාරකයන්ට විශ්වාසයක් ඇති කරන්න සමත් වෙන්න ඕනෙ ආරක්ෂාව සම්බන්ධයෙන්. අනෙක් පැත්තෙන් අඛණ්ඩව ක්ෂේත්‍රයේ තියෙන තරගයට මුහුණ දෙන්න පුළුවන් විදිහට රට සූදානම් කරන්න ඕනෙ. ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනෙ මේ හැම දෙයක් ගැනම හිතලයි. ඒක සංචාරක අමාත්‍යාංශයට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගුවන් සේවා, අභ්‍යන්තර ප්‍රවාහන සේවා, විදුලිබල මණ්ඩලය වගේ සේවා සපයන ආයතන ඇතුළු බොහෝ ආයතන එකට එකතු කරපු ජාතික වැඩපිළිවෙළක් ඇතුළෙ තමයි අපිට සංචාරකයන්ට විශ්වසනීය සහ මිල අඩු ගමනාන්තයක් බවට ලංකාව පත් කරන්න පුළුවන් වෙන්නෙ. මේ වෙන කොටත් තායිලන්තය, මියන්මාරය, මාලදිවයින, වියට්නාමය, ලාඕසය වගේ රටවල් එක්ක අපිට තරග වදින්න වෙලා තියෙනවා.

සංචාරක කර්මාන්තය හරහා සමාජ රෝග, ජාවාරම් සහ විවිධ අපචාර රටට පැමිණීමේ අවදානමත් තියෙන බවට ඇතැම් පිරිස් චෝදනා කරනවා. ඒකේ ඇත්තක් තියෙනව ද?

ඕනෙම දේක නරක පැත්තක් තියෙනවා. ඒත් අපි පිළිගන්න ඕනෙ රටට විදේශ විනිමය අවශ්‍යයි කියන එක. දැනට ලංකාවට විදේශ විනිමය ගේන මාර්ගවලින් තුන්වෙනි තැන තියෙන්නෙ සංචාරක කර්මාන්තය. ඒත් ඒක කිසිසේත්ම ප්‍රමාණවත් තැනක නෙමෙයි තියෙන්නෙ. අපිට විදේශ විනිමය ගෙන්වා ගන්න නම් ක්ෂේත්‍රය වර්ධනය කර ගත යුතුයි. ඒ වගේම ඒක නිසා වෙන අයහපත් දේවල් පාලනය කළ යුතුයි. ඒ දෙකම එකම ක්‍රියාමාර්ගයක කොටස් දෙකක්. ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන්නෙ ඒ නිසයි.

එවැනි ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, සුවපහසු සහ මිල අඩු ගමනාන්තයක් සංචාරකයන්ට ලබා දිය යුතු බවත් ඔබ කියනවා. ඒත් මේ වෙනුවෙන් සංවිධානය වූ හඬක් ක්ෂේත්‍රය තුළින් නැෙඟන්නෙ නැත්තෙ ඇයි ? එහෙම සංවිධානය වූ ඒකමිතියක් ක්ෂේත්‍රය තුළ නැද්ද?

නැත්තෙ නැහැ. හැබැයි ඒක ශක්තිමත් නැහැ. අනෙක් පැත්තෙන් ක්ෂේත්‍රයේ තියෙන ඇත්තම ප්‍රශ්න ඔවුන් හරහා නියෝජනය වෙනවා ද කියන එකත් ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි අපේ හඬ නියෝජනය කරනවා කියල කියන අය කාලෙන් කාලෙට පත් වෙන ආණ්ඩුත් එක්ක ඩීල්වලට යන එක. ඒ ඒ ආණ්ඩුවලින් ඔවුන්ට ප්‍රතිලාභ ගන්න, ක්ෂේත්‍රයේ පොදු අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින එක අමතක කරනවා. ඒකෙන් අවසානයේ වෙන්නෙ ක්ෂේත්‍රය කඩාගෙන වැටෙන එක. ඒ වගේම තමයි ආණ්ඩුත්. විදේශ සේවාවලට පත් කරන්නෙ දේශපාලන හිතවතුන් මිසක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙමෙයි. ඒ නිසා ඒ අය දන්නෙ නැහැ ඒවට ගිහින් කරන්න ඕනෙ මොනවද කියන එක. මම එක උදාහරණයක් කියන්නම්. මෙක්සිකෝවෙ විදේශ ඇමතිවරයා තමන්ගෙ රටේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කරන්න ඉලක්ක කරන රටවල්වලට ගිහින් පාරවල්වල සහ සුපර් මාකට්වල පත්‍රිකා බෙදුවා. එහෙම වෙද්දි අපේ තානාපති කාර්යාලවලින් ඒ ඒ රටවල, ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කරන්න මොනව ද කරන්නෙ ? අඩුම ගාණේ අර වගේ පත්‍රිකාවක්වත් බෙදනව ද? ඒකයි මම කිව්වෙ, මේක පොදුවේ හැමෝම වගකියන්න ඕනෙ ප්‍රශ්නයක් කියලා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයට බලපාන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේ ආකල්පමය ප්‍රශ්නය.

මොකක් ද අපේ තියෙන ආකල්පමය ප්‍රශ්නය ?

අපි හිතාගෙන ඉන්නවා අපි හරි විනීත, අපි හරි ශිෂ්ටාචාරගත ජනතාවක් ඉන්න රටක් කියලා. ඉන්දියාව, මාලදිවයින වගේ රටවල්වලට සාපේක්ෂව ඒක එහෙම තමයි. හැබැයි අපේ හැසිරීම් වියට්නාමය. ලාඕසය වගේ රටවල්වලට සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක තියෙන්නෙ. විදේශිකයෙක් දැක්ක ගමන් මේ රටේ මිනිස්සු හදන්නෙ එයාව හූරගෙන කන්න. අනෙක් පැත්තට විදේශිකයන්ගෙන් අහන ප්‍රශ්න. මඟතොටේ දි හම්බ වුණත්, ත්‍රීවීලර් එකකට නැග්ගත් අහන පළමුවෙනි ප්‍රශ්නෙ තමයි ‘ඔයා මොන රටේ ද?’ කියන ප්‍රශ්නය. නැත්නම් අහනවා ‘ආගම මොකක් ද?’ කියලෘ. කාන්තාවක් නම් අහන ප්‍රශ්නයක් තමයි ‘විවාහක ද?’ කියලෘ. ඒකට විදේශිකයන් කැමෑති නැහැ. ‘සිංගල් ට්‍රැවලින්’ ජනප්‍රිය වෙලා තියෙන විසිඑක් වෙනි සියවසේ කාන්තාවන් තනිවම සංචාරය කිරීම අපිට අරුමයක් වුණාට ලෝකයට ඒක අලූත් දෙයක් නෙමෙයි. අපි රටවල් විදිහට ඛෙදාගෙන හිටියට සංචාරයට වෙන රටවල්වලට යන එන බොහෝ සංචාරකයන් හිතන්නෙ මේක විශ්ව ගම්මානයක් කියල. අපිට සිංහල, දෙමළ, මුස්ලිම් හිටියට සංචාරයට එන වැඩි දෙනෙක් වර්ගවාදී නැහැ. මේවත් අපේ රට ගැන සංචාරකයන් තුළ අකැමැත්තක් ඇති වෙන්න හේතු වෙනවා. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් මේ ගැන පවා හිතන්න ඕනෙ.

සංවාද සටහන – චතුර දිසානායක

Leave a Response