විදෙස් පුවත්

වසර දෙකකට පසු රෝහින්ග්‍යාවරුන් දැවැන්ත උද්ඝෝෂණයක

123views

වසර දෙකකට ඉහතදී සිය ගම්බිම් හැර පළා ආ රෝහින්ග්‍යා වැසියන් දස දහස් ගණනක් බංග්ලාදේශයේ පිහිටි අනාථ කඳවුරුවල සිට ඉරිදා (අගෝස්තු 25) විරෝධතාවක නිරත වූහ.

ප්‍රචණ්ඩකාරී මෙහෙයුම් හමුවේ රෝහින්ග්‍යා වැසියන් හත්ලක්ෂ පනස් දහසක් පමණ මියන්මාරයේ පිහිටි රඛයින් ප්‍රාන්තය හැර අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ආවේ 2017 අගෝස්තු මසදීය.

රෝහින්ග්‍යා වැසියන් සඳහා බංග්ලාදේශය පසුගිය ස්වේච්ඡාවෙන් සිය ගම්බිම් බලා යාමේ වැඩසටහනක් හඳුන්වා දුන් නමුත් එකඳු වැසියෙකු හෝ යළි මියන්මාරය වෙත යාමට තීන්දු කර නොමැත. යළි සිය රටට යාමට පෙර තමන්ට පුරවැසිභාවය ලබා දෙන ලෙස ඔවුහු මියන්මාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

රෝහින්ග්‍යා යනු මියන්මාරයේ වෙසෙන සුළුතර මුස්ලිම් ජන කොට්ඨාසයකි. ඔවුන්ගෙන් බහුතරය රඛයින් ප්‍රාන්තයේ වෙසෙන අතර ඔවුන්ටම අනන්‍ය වූ භාෂාවක් සහ සංස්කෘතියකට හිමිකම් කියති. පරම්පරා ගණනාවක් මියන්මාරයේ වෙසෙන නමුත් ඔවුන් එරට පුරවැසියන් ලෙස පිළිගෙන නොමැති අතර සංගණන සඳහා යොදා ගෙන නොමැත. මියන්මාරය විසින් ඔවුන් සලකනු ලබන්නේ බංග්ලාදේශයේ සිට නීතිවිරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයන් වශයෙන්ය.

2017 වසරේ අගෝස්තු 25 වෙනි දින රෝහින්ග්‍යා කැරලිකරුවෝ මියන්මාරයේ පොලිස් මුලපොළ කීපයකට පහර දී පොලිස් නිලධාරීන් කීපදෙනෙකු මරා දැමූහ. ඒ සමග රෝහින්ග්‍යා ගම්මාන ගිනිබත් කෙරුණු අතර සාමාන්‍ය වැසියන්ට එරෙහිව පහර දීම්, දූෂණ සහ ඝාතන සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම් විසින් සොයා ගනු ලැබිණි. එරට බෞද්ධ ප්‍රජාවට අයත් කලහකාරීන් ද ඊට සම්බන්ධ වී තිබිණි.

රඛයින් ප්‍රාන්තය තුළ දියත් වූ හමුදා මෙහෙයුම් “වාර්ගික ශුද්ධයකට කදිම උදාහරණයක්” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

BBC

Leave a Response