විශේෂාංග

රටට විකල්පයක් අවශ්‍යද?

43views

මේ වෙලාවේ ලංකාව පමණක් නෙවෙයි ලෝකයේ රටවල් බොහොමයක් දේශපාලනිකව අර්බුදවලට මුහුණ දීලා තිඛෙනවා.
ලංකාවේ බහු පක්ෂ ක්‍රමයක් තිබුණත්, නිදහසෙන් පසු වසර 71ක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට දේශපාලන බලය හොබවමින් ඉන්නවා. ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතා නැතත්, මේ වන විට මේ ප්‍රධාන පක්ෂ දෙකම ඇත්ත වශයෙන්ම නියෝජනය කරමින් ඉන්නේ එකම කඳවුරක්. එකම පිරිස මොන ආණ්ඩුව ආවත් මුල් අසුන්, තානාන්තර දරන බවක් පේනවා. අඩුම තරමේ මේ වෙද්දි දේශපාලන පක්ෂ දෙක අතර බලය මාරු වීම කියන්නෙ මුහුණු මාරුවක්වත් නෙවෙයි. ප්‍රධාන තනතුරු – ජනාධිපති හා අගමැති වගේ – මුහුණු කිහිපයක් ඇරුණාම අනෙක් මුහුණු පවා එකයි. මෙම ඒකීයත්වය විසින් රට සහමුලින්ම විනාශ කරලා අවසන්. එම නිසා පොදු මහජන මතයක් ගොඩනැඟිලා තියෙනවා වෙනසක් අවශ්‍ය බවට. වෙනස දැරිය යුත්තේ විකල්ප ක්‍රියාකාරී කණ්ඩායමකින් බවට.

එහෙම විකල්පයක් අවශ්‍ය වන්නට හේතු සමහරක් පහතින් පෙළගැස්විය හැකියි.

නිදහස ලබන විට රුපියල් හතරක් පමණ වුණු ඩොලරය අද වෙද්දි රුපියල් 175.00ක් දක්වා පහළ වැටිලා. ඒකපුද්ගල ණය බර රුපියල් 5,00,000.00ක් තෙක් නැඟලා. අපි අද ජීවත් වෙන්නෙ අපේ අනාගත පරපුරෙන් ණය අරගෙන. අපි ඇත්තටම නිදහස ලබාගෙන තියෙනවා ද කියන ප්‍රශ්නය අපිට අද අහන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද, මේ වෙද්දි අපි ලෝක බලවතුන්ගේ ආර්ථීක යුද්ධයේ ඉත්තෙක් විතරයි. හරියට චෙස් බෝඩ් එකේ ඉන්න මුලින්ම කැපිලා යන ඉත්තෙක් වගේ. චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව වගේ බලවත් රටවල්වලට එයාලගෙ ගේම් එක සෙල්ලම් කරන්න ඉඩ දීලා ණය අර ගන්නවා. එමඟින් අපිට අයිතියක් පවා නැති වරායවල්, රටට ආර්ථීක ප්‍රතිලාභ නොගෙනෙන ගුවන්තොටුපළ සහ වෙනම නීති පද්ධති පවා ඇති වරාය නගර හදමින් ඉන්නවා. අපේ මෑතකාලීන සංවර්ධන ව්‍යාපෘති හරියට ගමයො දෙන්නෙක් එළදෙන ඛෙදා ගත්තා වගේ. අපි අනාගත පරපුර ණය උගුලක ලගිමින් එළදෙන නඩත්තු කරද්දී අනෙකුත් පාර්ශ්වයන් සියලූ ප්‍රතිලාභ අත්පත් කර ගන්නවා.

රටේ නිෂ්පාදන ආර්ථීකය කඩාවැටිලා. භාණ්ඩ ආනයනය සඳහා ඇති ප්‍රතිපත්තිවල ලිහිල්භාවය නිසාම ඕනෑ තරම් බාල භාණ්ඩ චීනය වැනි මහා පරිමාණ නිෂ්පාදකයන්ගෙන් ගෙන්නන්න පුළුවන් වෙලා. මේ නිසා කුඩා හෝ මධ්‍යම පරිමාණ දේශීය ව්‍යවසායකයන්ට තව දුරටත් වෙළෙඳපොළ ජය ගන්න බෑ. අපනයන භෝග ආර්ථීකය අර්බුදයකට ලක්වෙලා විතරක් නෙවෙයි, ඉන් සිදු වන පාරිසරික හානියත් දිනෙන් දින ඉහළ යමින් තියෙනවා. ආර්ථීකය රඳාපවතින ප්‍රධාන සාධකය මේ මැදපෙරදිග සේවය කරන, තේ දළු නෙළන, සහ රෙදි මහන කාන්තාවන්ගෙන් උදුරා ගන්නා ශ්‍රමය. ණය ලැඛෙන්නෙ විදේශ කොන්දේසි මත වගේම වැඩිම විදේශ විනිමයක් රටට ලැඛෙන්නෙ කාන්තාවන්ගේ කඳුළු, දහදිය සහ ලේ මතින්.

රට උකසට සහ සින්නක්කරයට වෙනත් රටවලට ලබාදෙන මේ දේශපාලකයන්ට රාජ්‍ය ආරක්ෂාවට පවා වග කියන්න බැරි වෙලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂාව කියන්නෙ ප්‍රභූ ආරක්ෂාව කියලා හිතන නායකයන් පිරිසක් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් හොයා ගන්න බැරුව ඉඳිද්දි අනෙක් පාර්ශ්වය ඒකෙන් දේශපාලන වාසි හොයනවා. ප්‍රහාරයට ලක්ව ජීවිතේ බේර ගත්ත මිනිස්සු තාමත් රෝහල්වල ඉන්නවා.

රටේ ආර්ථීකය, ආරක්ෂාව විතරක් නෙමෙයි ජන සමාජයේ බොහෝ අංශ දිනෙන් දින වළපල්ලට යමින් තියෙනවා. රටක් වශයෙන් ආඩම්බර විය හැකිව තිබූ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ පොදු ප්‍රවාහනය ආදී බොහෝ ක්ෂේත්‍ර ඉතාමත් පහළ අඩියකට වැටිලා තියෙනවා. මෙතැන දී මේ ක්ෂේත්‍ර පවත්වාගෙන යන්න රටක් විදියට කළ යුතු දේවල් බදු ගෙවන ජනතාවම සිය වගකීමක් විදියට අරගෙන තියෙනවා. රටේ සුබසෙත වෙනුවෙන් එකතු වෙලා පෙට් ස්කෑනර් අරන් දෙන්න, රෝහල්වල නැති ඛෙහෙත් අරන් දෙන්න, ගස් හිටවන්න, වෙරළ ආරක්ෂා කරන්න වගේ බොහෝ දේ වෙනුවෙන් රටේ මිනිස්සු ඉදිරිපත් වෙනවා. ආණ්ඩුවේ බැරිකම මිනිස්සු ඉදිරිපත් වෙලා සම්පූර්ණ කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මේ මිනිස්සුන්ගේ අභිලාෂයන් සැපිරෙන, ඔවුන් සහ ඔවුන්ගේ යහපත් මැදිහත් වීම් ඇතුළත් වෙන විකල්ප දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව අප ඉදිරියේ පැහැදිලිවම තියෙනවා. ඒ අවශ්‍යතාව හඳුනා ගත් කණ්ඩායම් ගණනක් මේ වන විට මතුවෙලා තියෙනවා.

විකල්පයක් කියන්නේ මොකක් ද? සංවිධානයක් ද, අදහසක් ද, න්‍යායක් ද, ක්‍රියාකාරිත්වයක් ද, වචනයක් විතරක් ද?

විකල්පයක් කියන්නේ සංවිධානයක් නෙවෙයි. ඒක අදහසක්. සමාජ මතවාදයක්. පවත්නා ක්‍රමයෙහි සාධනීය වෙනසක්.
ඒ අදහස මතුවන්නේ කොහෙන් ද? එය මතු වන්නේ සමාජයෙන්. විකල්ප මතවාදයක් සමාජය තුළ පැළ කළ හැකි ද? සමාජ අවශ්‍යතාවක් නොමැතිව පැළ කළ නොහැකියි. විකල්ප මහජන අවකාශය නිර්මාණය කරන්නේ මහජනතාව විසින්. පසුව එය සංවිධාන විසින් වගකීම් සහිතව බාර ගන්න ඕන. මේ බාර ගන්නා සංවිධාන තමයි ඉන් පසුව විකල්පයේ පහසුකරු විදියට ක්‍රියා කරන්නේ. එම සංවිධාන විසින් මෙම මහජන අවශ්‍යතාව පාලනය කරනවා. එය අවශ්‍ය නම්, මැතිවරණයක්, සමාජ පෙරළියක් දක්වා මෙහෙයවනවා.

විකල්පයක් කියන්නේ මේ විදියට මිනිස්සුන්ගේ අභිලාෂයන් හඳුනා ගත්, ඔවුන්ට සහ ඔවුන්ගේ මැදිහත් වීම්වලට ඉඩ තියෙන, නිදහසෙන් පස්සේ රටේ දේශපාලන බලය හෙබ වූ, රට අද තියෙන තත්ත්වයට ඇද දැමීමට සක්‍රියව දායකත්වය දුන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් පරිබාහිර, මේ රට මිනිස්සුන්ට සතුටෙන් ජීවත් විය හැකි, සාමකාමී, ගැති නොවූ රටක් කිරීමට සැබෑ වුවමනාවක්, කැප වීමක් සහ හැකියාවක් තියෙන දේශපාලන බලවේගයක් වෙන්නෙ ඒ විදියට. මේක මිනිසුන් කෙරේ පනවන බලයක් නෙමෙයි, මිනිසුන් තුළින් මතු වෙන, ඔවුන්ගේ අභිලාෂයන් සැපිරෙන, ඔවුන්ගේ ශක්‍යතාවන්වලින් පණ ලබන බලවේගයක්.

මේ වන විට මේ උදෙසා වැඩ කරන කණ්ඩායම් සහ පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් තැන තැන විසිරිලා ඉන්නවා. මේ සියලූ දෙනා තනි බලවේගයකට එකතු විය යුතුයි.

විකල්පයක් එකවර මතුකර ගත හැකි ද?

ඒක දේශපාලන කතිකාවක් විදියට ඕපපාතිකව ගේන්න පුළුවන් ද කියන කාරණා වැදගත් වෙනවා. අධික ණය බර, අශික්ෂිත පාලනය, පවුල් විසින් රට සූරාකෑම, ඒකාධිපති ගසාකෑම් යන කාරණාවලට විරුද්ධ වුණු මිනිසුන් එකතු වෙලා 2015 ජනාධිපතිවරණයෙන් වෙනත් පාර්ශ්වයක් ජනාධිපති ලෙස පාලනයට පත් කළා. මෙය විකල්පීය වුවමනාව ඉටු වීමක්. මෙය තීරණය කරන ලද්දේ මහජන අභිලාෂයක් විසින්. වර්තමානයේ අලෙවි කළමනාකරණය කරන අය කියන්නේ අලෙවිකරණය මඟින් මැතිවරණ දිනිය හැකි බව වුණත්, මේ තත්ත්වය පවා 2015 වෙනස් ආකාරයකට දැක ගත හැකි වුණා. මේ ලංකාවේ විකල්ප මතවලට ජයග්‍රහණය කළ හැකි බවට එක් උදාහරණයක්. ජනතාව විසින් ලබා දුන් එම විකල්ප අවස්ථාව නිසි ලෙස ග්‍රහණය කරගෙන ක්‍රියාත්මක නොකිරීම කියන්නෙ වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.

තවත් අවස්ථා කිහිපයක දීම ලංකාව විකල්ප අවස්ථා සඳහා ඉඩ විවර කර දෙනවා. 1948 නිදහස ලබා ගැනීම ලංකාව විකල්ප අවස්ථාවක් ලබා ගැනීමක්. නමුත්, පැවැතුණු දේශීය පාලක පන්තිය ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නේ නෑ. ඒ නිසා එය පැවැති යටත්විජිතකරණ අවස්ථාව පවත්වාගෙන යාමක් බවට පමණක් පත් වෙනවා. 1956 දේශීය ග්‍රාමීය ආකාරයකින් විකල්ප අවස්ථාවක් මිනිසුන්ට එනවා. නමුත්, එය ද හුදෙක් අනෙක් ජාතිකත්වයන් පීඩාවට පත් කිරීම හා ග්‍රාමීය නූගත් කොටස්වලට බලය ලැබීම සම්බන්ධ උදාහරණ සහිතව අවසන් වෙනවා. ඒ අතරතුර 53 වාමාංශික බලවේග විසින් දියත් කරන හර්තාලයත් විකල්පයට උදාහරණයක්. මේ අවස්ථාවල දී ලංකාව එහෙම නැත්නම් මහජනයා නියෝජනය කරන නායකත්වය මේ විකල්ප අවස්ථාව භාවිත කරන්නේ නැහැ. හැම විටම විකල්පය මඟහැර යන්නේ එයට නායකත්වය ලබා දුන් නායකත්වය විසින්මයි.

1971 ග්‍රාමීය රැකියා විරහිත තරුණ කොටස් විසින් සමාජවාදය බිහි කිරීම සඳහා වන විකල්ප අවස්ථාවක් නිර්මාණය කරනවා. වඩාත් සැලසුම්කරණයක් නොතිබූ එම අවස්ථාව සමාජය විසින් ඇති කරන ලද විකල්පයක් නොවූ නිසාම අසාර්ථකව යනවා. 1970 සමඟි පෙරමුණු ආණ්ඩුවේ ට්‍රොට්ස්කිවාදී වාමාංශය විසින් ලංකාවේ ආර්ථීකය සම්බන්ධයෙන් ගෙන එන නමුත්, සිරිමාවෝ විසින් නවත්වන ලද විකල්ප අවස්ථාවට රට පත් වෙනවා. සිරිමාවෝගේ නැවැත්වීම නිසා එය අඩක් කරන ලද සංවර්ධන වැඩක් ලෙස නවතිනවා.

1977 ඉතා පැහැදිලි විකල්ප අවස්ථාවක් ෙජ්. ආර්. විසින් ගෙන එනවා. නමුත්, එය ඔහු විසින් ගෙන එන්නේ කිසිදු ආකාරයක ප්‍රතිපත්තිමය හෝ ව්‍යුහමය හෝ සූදානමක් නැති ආකාරයකට. එම නිසා මුළුමනින්ම වාගේ විවෘත ආර්ථීකය බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් එකක් බවට පත් වෙනවා. අනෙක් අවස්ථාව 89 ජවිපෙ විසින් ගෙන එනු ලබන අරගලය. එහි ජයග්‍රාහී එ.ජා. පාක්ෂික රජයට අවස්ථාවක් තිබුණා තරුණ ප්‍රශ්න විසඳමින් ඉදිරියට එන්න. නමුත්, එය සිදු වුණේ නැහැ. ලංකාවට සොබාදහමෙන් ලැඛෙන නිශ්චිත විකල්ප අවස්ථාවක් 2004දී ලැඛෙනවා. ඒ සුනාමි අවස්ථාවේ විනාශය. ඒ අවස්ථාව මුළුමනින්ම හොරකමක් බවට පත් කරමින් එහි සමාජ අවකාශය කිසිම නායකයෙක් ලබා ගන්නේ නැහැ.

ගමක නායකයෙක් බලයට පත් වීමේ ආකාරය මූලික කර ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම 2005දී සිදු වෙනවා. ඒ විකල්පය ජවිපෙ හා සිංහල බෞද්ධයන් විසින් ගොඩනඟනු ලබන බලවේගය උඩ කිසිත් උපක්‍රමික වශයෙන් බලගතු නොවන මහින්ද රාජපක්ෂව යුද්ධය අවසන් කිරීම දක්වා ගෙනෙනවා. ඉන් පසුව ඔහු විසින් තමන්ව උපක්‍රමිකව බලයේ ඉහළට ඔසවා තැබූ අය පවා විනාශ කරමින් හොරකම හා දූෂණය මූලික කර ගනිමින් රට මුළුමනින්ම ආර්ථීක හා සංස්කෘතික වශයෙන් දරුණු කඩාවැටීමකට ලක් කරනවා. ඔහු විසින් 2009 යුද්ධය අවසන් වීමේ ස්වර්ණමය විකල්ප අවස්ථාව දරුණු ලෙසත්, පෞද්ගලිකවත් සොරකම් කරනවා. ඒ වෙනුවට ඔහු තමන් හා පවුල විසින් පවත්වාගෙන යන රජ මූලික වියළි කලාපීය ගැමි නායකයෙක් ලෙස රට විනාශ කරනවා. ඉන් පසුව ඇති වන්නේ 2015 අවස්ථාව. එය බාර ගන්නා කිසිවෙක් කිසිවක් නොකිරීම හා හොරු ආරක්ෂා කිරීම මත අවසන් වෙනවා.

වර්තමාන විකල්ප මොහොත ආරම්භ කරන්නේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විසින්. එම සිද්ධියත් එක්ක මිනිසුන් හට සමාජයක් හා ජනතාවක් ඇති බවට හා ජීවිතයක් ඇති බවට සිහිකැඳවන නිමේෂයක් මතු කරනවා. මෙමඟින් මෙතෙක් රට පාලනය කල සියලූ පාර්ශ්ව වෙත විරෝධයක් එල්ල වෙනවා. මේ අවස්ථාව අපි ඉහතින් සඳහන් කළ සියලූ අවස්ථාවලට වඩා වෙනස් අවස්ථාවක්. ලංකාවේ පොදු ජනතාව මුල් වරට සිය පාලක පක්ෂ වෙත සිය විරෝධය ප්‍රබල ලෙස පළ කරනවා. මෙම විරෝධය හුදු ආරක්ෂක අවස්ථා කළමනාකරණය නොකිරීම සම්බන්ධ විරෝධයක් නෙවෙයි. මෙතෙක් රට කළ සියලූ පාලක පක්ෂ විසින් හා පවුල් විසින් රට විනාශ කර ඇති බවට වන විරෝධයක්. මේ විරෝධය නිසා මහජන අභිලාෂයක් ගොඩනැඟිලා තියෙන්නේ විකල්පයක් අවශ්‍ය බවට.

මෙම ජන අභිලාෂී විකල්පයේ හැඩය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය යුතුයි. එහි සංවිධායකයන් ගණනක් මේ වන විටත් රට පුරා සිය මතවාදයන් රැගෙන යමින් ඉන්නවා. ඒ අයට තමයි අපි විකල්ප අපේක්ෂකයෝ කියන්නේ. ඉස්සර විකල්පය විප්ලවයක්, සමාජවාදයක්, නිර්ධන පන්තික ආඥාදායකත්වයක් වුණා. ඒත්, මේ ගොඩනැඟී තියෙන ඇතැම් විකල්ප මත පාලන ව්‍යුහය තුළ සිදු කළ යුතු මුහුණු වෙනස් වීමක් ගැන වන ජනතා අදහසක්. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළම සිදු විය යුතු සමාජ වෙනසක්. මෙම ජන අදහස බලගන්වන මතවාද සිය ගණනක් තියෙනවා. එහි එක් කෙළවරක් දක්ෂිණාංශික ලිබරල්වාදය දරන විට අනෙක් කෙළවර වර්ගෝත්තමවාදී ආගම්වාදීන් දරනවා.

විකල්ප අදහස වාමාංශික හෝ දක්ෂිණාංශික මතවාදයකට හෝ ආගමකට හෝ එක්වර මැතිවරණයක් වෙනුවෙන් මෙහෙයැවිය නොහැකි අවස්ථාවක් ඇති වෙලා තියෙන්නේ. මෙවැනි අවස්ථාවල දී පුළුල් මහජන පෙරමුණක් හෝ ජාතික ව්‍යාපාරයක් හෝ මහජන ව්‍යාපාරයක් බිහි විය යුතුයි. කුඩා සංවිධාන එක්ව ඒකීය මතවාද ධාරාවකට මෙම විකල්පය සංවිධානය කළ නොහැකියි. එම නිසා සංවිධානය කිරීම පිළිබඳව බරපතළ අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා සංවිධායකයන් හට. මේ සියලූ දෙනා එකවර සිට ගත යුතු අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙන්නේ.

රට ඇතුළේ දේශපාලනයේ දි විකල්පය කියන එක මිනිස්සුන්ට දැනෙන්නෙ කොහොමද?

මිනිස්සුන්ට පවත්නා ක්‍රමය සහ දේශපාලඥයන් පිළිබඳ තියෙන විශ්වාසය නැති වෙලා තියෙන්නෙ. ආසන්නතම සිදුවීම තමයි 2019 පාස්කු ඉරිදා සිදු වුණු ත්‍රස්ත ප්‍රහාරය. මිනිසුන් තමයි විකල්පයක් ඉල්ලන්නෙ. ඒ කියන්නෙ විකල්පය වෙනුවෙන් සැබෑ මහජන අභිලාෂයක් ඇති වෙලා තියෙනවා. කාලයක් තිස්සේ අඩුවෙන් නරක කෙනා තෝරා පත් කර ගැනීමේ වරද නැවත නැවත කිරීම ඔවුන්ට එපා වෙලා තියෙනවා. විකල්පයක අවශ්‍යතාව කොතරම් ද කියනවා නම්, හදිසියේ මතු වන සෑම නායකත්ව ලක්ෂණ දරන කෙනකු ම දිහා බලාපොරොත්තු දල්වාගෙන බලන තත්ත්වයකට මිනිසුන් ඇවිත් තිඛෙනවා. දක්ෂතා සහ හැකියාවන් ඇති විවිධ පුද්ගලයන් සහ විකල්ප කණ්ඩායම් මතු වෙලා තියෙනවා. මේ වෙලාවෙ අවශ්‍ය වෙන්නෙ මේ සියලූ කණ්ඩායම්වල එකමුතුවක්. මක් නිසා ද කියනවා නම්, මේ ජනතා අභිලාෂය එක මිටකට එකතු කළ හැක්කේ පුළුල් ශක්තිමත් විකල්ප දේශපාලන බලවේගයකට පමණයි. ඔවුන් සියල්ල තම තමන් අතර තියෙන වෙනස්කම් හඳුනාගෙන, ඒවා සාකච්ඡාවට බඳුන් කරමින් රට හැදීම කියන කාරණය මත පදනම්ව පොදු අරමුණක් වටා එකතු විය යුතුයි. මේ වෙලාව විකල්පයකට නැඟීසිටීමට අවශ්‍ය වටාපිටාව සැකසිලා තියෙන අවස්ථාවක්. ප්‍රගතිශීලී විකල්ප සංවිධානවල පිරිසට රට වෙනුවෙන් වුවමනාවක් තිබේ නම්, මේ තමයි අවස්ථාව.

කෞෂල්‍යා හේරත්

Leave a Response