විශේෂාංග

සරණාගතයන් ගැනවත් සම්මුතියක් නැති ලංකාව

69views

සරණාගතයකු වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හදුන්වන්නේ කිසියම් පිහිටක් හා පිළිසරණක් පතා පැමිණෙන අයෙකි. එහෙත් වර්තමානයේ සරණාගතයන් ලෙස හදුන්වන පිරිස කොටස් තුනකි. එනම් දේශපාලන සරණාගතයන්, ආර්ථික සරණාගතයන් හා දේශගුණික සරණාගතයන්ය. දේශගුණික සරණාගතයන් යනුවෙන් සැලකෙන්නේ පරිසරයේ ඇති දේශගුණික තත්වයන් මත තමන් ජිවත් වන ප්‍රදේශයේ ජිවත් වීමට අපොහසත්ව තම ගම්බිම් හෝ රට හැරයන්නන්ය. මෙම සරණාගතයන් අධික නියගය, ජලය හිගකම් නිසා කාන්තාර වූ උපසහරා කලාපයේ ජිවත්වන මිනිසුන් උදාහරණයකට ගත හැකිය. ආර්ථික සරණාගතයන් බොහෝ විට තම ප්‍රදේශයේ හෝ මව් රටේ පවතින ආර්ථික අපහසුතාව නිසා හොද රටකට සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් රට හැර යන්නන්ය. දේශපාලන සරණාගතයන් ලෙස සැලකෙන්නේ තම අදහන ආගම හෝ තම ජනවර්ගය හෝ විශ්වාස කරන දේශපාලන මතවාදය හෝ ලිංගික දිශානතිය හේතු කොටගෙන තම මව්බිම තුලදී හෝ තම ජිවත්වන ප්‍රදේශයේදී වෙනස් කිරීමකට හෝ ජිවිත අවධානමකට, කායික මානසික පිඩාවන්ට පත්වන පුද්ගලයකු රට හැර යාම හෝ එවන් වෙනස්කිරීම් මුල්කොටගෙන තම ජිවත්වන ප්රෙදේශ වලින් පන්නා දැමු මිනිසුන්ය.

ඉතිහාසයේ විජය ඇතුළු පිරිස පිටුවහල් කරනු ලබනුයේ රටට දරාගත නොහැකි පුදගලයකු ලෙසය. කුවේණිය හා ආදරයෙන් වෙලී රජකම් කළා වුවද ඔහු අප රටට ගොඩබසින්නේ සරණාගතයකු ලෙසය. මෙය ලාංකීය ඉතිහාසයේ වාර්තා ගතවන පළමු සරණාගත කතාන්දරයයි. ඉන්පසු ඉන්දියාව තුල දරාගත නොහැකි කුසගින්න නිසා ලංකාවට පිහිනා ආ සරණාගතයන් ගැන අපි දනිමු. මොවුන් අදද ලාංකීය දෙමළ ජනතාව ලෙස මුහුදුබඩ ප්‍රදේශවල ජිවත් වෙති. වසර තිහක යුද්ධ කාලයේදීත් ලංකාවේ උතුරු නැගෙනහිර අවතැන් වුවන් සරණාගතයින් ලෙස අනුරාධපුර හා පුත්තලම් ප්‍රදේශවල පදිංචි කෙරුණි. ඊට අමතරව අපේ රටෙන් විශාල පිරිසක් සරණාගතයන් ලෙස වෙනත් රටවල පිහිට පැතුහ. 1971 අරගලය අවස්ථාවේ සීමිත පිරිසක් ඉන්දියාව පකිස්ථානය, ඇෆ්ඝනිස්තානය හරහා යුරෝපයට ආ බව අසා දැනගත්තේ එසේ පැමිණි අයෙගෙන්මය.

1983 කළු ජුලිය නිසා අප රටේ විශාල උගත් බුද්ධිමත් වෘත්තිකයින් මෙන්ම ව්‍යපාරිකයින්ද, අසල්වැසි ඉන්දියාවේ සිට යුරෝපයටත්, ඇමෙරිකාව හා කැනඩාවටත් සංක්‍රමණය වුයේ සරණාගතයන් ලෙසය. එයින් පසුව 1988/89 සමයේ ඉතා විශාල සිංහල ජනකොටසක් සරණාගතයන් ලෙස ලෝකයේ පිහිට පැතුහ. තිස් වසරක යුද්ධය හා මෙහෙයුම් හමුවේ උතුරු නැගෙනහිර දුප්පත් මිනිසුන් අසල්වැසි ඉන්දියාවේත් හැකි මින්සුන් යුරෝපය හා අනෙකුත් රටවලත් නිතර සරණාගත භාවය පැතුහ. මේ පුදගලයන් බහුතරය දෙමළ වූ අතර ත්‍රස්තවාදය වලක්විමේ පනත යටතේ පිඩාවට පත් සිංහල පුදගලයින්ද ජනමධ්‍යවෙදීන්ද සරණාගතයන් ලෙස ඉහත කි රටවල පිහිට පතුහ. තවමත් ඉදහිට ඇතැම් රාජ්‍ය සේවකයන් හා වෘතිකයන් හෝ මාධ්‍යවේදීන් ඇතිවන දේශපාලනික පීඩාවන් නිසා දේශපාලන රැකවරණ ලැබීමට අපේක්ෂා කරති. ග්‍රීසියේ ආර්ථිකය බිද වැටීමත් සමග රැකියා අහිමි වූ ශ්‍රී ලංකික පුදගලයන් දහස් ගණනක් අනෙකුත් යුරෝපා රටවලට සංක්‍රමනය වුයේ සරණාගතයන් ලෙසය. එවැනි පුදගලයන් ඔවුන්ව දේශපාලන සරණාගතයින් ලෙස හදුන්වා දීමට උත්සාහ කලද ඔවුන්ගේ යුරෝයේ ගතකල ජිවතය පිළිබද තොරතුරු ඇගිලි සලකුණ හා ලේඛන වලින් හෙළිවීම නිසා ඔවුන් ආර්ථික සරණාගතයින් බවට බලධාරීන් විසින් හදුනා ගනිති.
බොහෝ රටවල නිත්‍යානුකුල සරණාගත භාවය හිම්වන්නේම ඉහතින් කී දේශපාලන සරණාගතයින්ට පමණි. ආර්ථික හා දේශගුණ හේතුමත සරණාගත භාවය හිමි නොවුනද ඇතැම් පුදගලයින් මව් රටට ආපසු යැවීමේ දී ජීවත්වීමේ අවම අවශ්‍යතා සපුරා ගත නොහැකි මට්ටමේ සිටිනම් එවැනි පුදගලයින් සීමිත කාලයකට රදවා ගැනීමට මානුෂිය නීතිය යටතේ ක්‍රියාකරනු ලබයි.

අප විසින් හොදින්ම දන්නා පරිදි බෝට්ටු මගින් ඉතාලිය හා ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් කියා සිටින්නේ ද ඔවුන් සරණාගතයින් බවයි. මෙය ඉතිහාසය පුරාම සිදුවෙමින් පවතී. මේ අනුව ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දේශපාලන සරණාගතයන් ලෙස අවස්ථා බොහොමයකදී අද දක්වාම යුරෝයේ හා වෙනත් දියුණු රටවල සරණාගත භාවය අපේක්ෂා කරති. මෙයින් වැඩි පිරිසක් ආර්ථික සරණාගතයන් බව පැහැදිලිය. ලංකාවේ ආර්ථිකය පැහැදිලි මගක නොවීම නිසා තරුණ පිරිස් රට හැරගොස් වෙනත් රටවල සරණාගත භාවය අපේක්ෂා කරති. අවම මට්ටමේ ජිවන තත්වයක් තුල වුවද ඔවුන් තම පවුලේ අය පෝෂනය කිරීම සදහා මුදල් සොයා එවති. මෙය කිසිදු ආකාරයකින් මැද පෙරදිග ගෘහ සේවයට යන අසරණ කාන්තාවන්ගේ තත්වයට් සමාන කළ නොහැකි වන්නේ, මේ පුද්ගලයින් සීමිත කාලයක් තුලදී සාමාන්‍ය නිදහස් ජිවන තත්වයට් දියුණු රටවල නිතින් හා සමාජ ක්‍රමය නිසා පත්වන නිසාය. රැකියා ගිවිසුමක් මගින් මැදපෙරදිග රටවල රටවලට ප්‍රවාහනය කරන පුද්ගලයන්ට ඇත්තේ සම්මත රැකියා ගිවිසුමක් තුල වුවද ඉතා දුක්ඛිත ජිවන තත්වයකි.

1971 අරගලය හා 1983 කළු ජුලිය මෙන්ම 88 භිෂණය හා යුද්ධය හා සබැදුන සරණාගත භාවය අපේක්ෂා කල ලාංකිකයන්ට බොහෝවිට ඉතා කරයක්ෂම නඩු විභාගවලින් පසුව සරණාගත භාවය ප්‍රදානය කරන ලදී. එම විභාග වලින් අසමත් වූ පුදගලයින් රටේ පැවති භිෂණය හ යුධමය තත්වයන්ද මර්ධනයද හේතුවෙන් මානුෂිය මත දරාගැනිමක් සිදු කල අතර එම රටවල අන්තර්ග්‍රහන්ය වීමේ සාපේක්ෂතාවය මත ඔවුන්ටද එම රටවල නිත්‍යානුකුලව ජිවත් වීමේ හා පුරවැසි භාවය ලැබීමේ වරම කලානුරුපව හිමිවී ඇත.

යුරෝපයේ හා අනිකුත් දියුණු රටවල ඉතා දියුණු හා කාර්යක්ෂම ලිඛිත සරණාගත නීතියක් පවතී. දෙවන් ලෝක යුද්ධයෙන් පසු 1949 වර්ෂයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී බිහිවූ හා බලවත් ජාතීන්ද ඇතුළුව අප වැනි කුඩා රටවල්ද පසු කාලින අත්සන් තැබූ සරණාගතයින් පිලිබදව වන ලෝක සම්මුතිය ලෝකයේ සරණාගත නීතියේ නුතන පදනමය. 1896 වැනි කාලයේදීද ස්විස්ටර්ලන්තයේ ඇති වූ විප්ල්වයේදී සුරිච් කැන්ටනය රටේ අනෙක් කොටස් වල පුද්ගලයන් සරණාගතයින් ලෙස භාරගත් බව කියවෙන අතර එය නුතන ලෝකයේ සරණාගත නීතියේ මුලාරම්භය ලෙස සැලකේ. යුරෝපා සංගමය බිහි වීම තුල එම සංගමයට අයත් රටවල් සරණාගතයන් සම්බන්ධව ඉහත කී ජිනීවා සම්මුතියට අනුකුලවන නීති සම්පාදනය කරනු ලැබූ අතර යුරෝපයේ සෑම රටකටම පොදුවේ යුරෝපා සංගමයේ නීතියත්, ඊට අනුකුලව සැකසූ ලිඛිත ජාතික වශයෙන් ක්‍රියාත්මක නීතියකුත් පවතී. ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, කැනඩාව හා ඇමෙරිකාව ඇතුළු අනික් බොහෝ රටවල එසේමය.

සරණාගත භාවය ලබාදීමේදී සාමාන්‍යයෙන් රටේ පවතින වාතාවරණය තුල තමාට ජිවිත අවදානමක් පවතින බවට එය අයදුම් කරන්නා විසින් සැකයෙන් තොරව සමුඛ පරීක්ෂණයේදී ඔප්පු කල යුතුය. මෙම සම්මුඛ පරීක්ෂණ වල විනිසුරන් අදාල රටවල් හා විශේෂිතව එහි දේශපාලනය මෙන්ම සමාජීය, ආගමික හා නීතිමය අංශ අධ්‍යනයය කල පුහුණු විද්වතුන්ය. මේ නිසා ආර්ථික හේතු මත සංක්‍රමණය වන බොහෝ දෙනෙකුට දේශපාලන සරණාගතයකු ලෙස ඔප්පු කිරීමට නොහැකි වේ. මව් භාෂාවෙන් කෙරෙන දීඝ ප්‍රශ්න කිරීම් වලදී බොහෝ විට අපේක්ෂකයා පවසන්නේ සත්‍යදැයි සොයා බැලීමක් සිදු කරයි.

අනෙක් අතින් යුද්ධය තුළ අපරාධ සිදු කළ හෝ තම රට අසීරු යුධමය අවස්ථාවකට මුහුණ දී ඇති මොහොතක යුධ සේවය හැර ගිය පුද්ගලයන්ට සරණාගත භාවය හිමි නොවේ.

මගේ වෘත්තිය ජීවිතයේදී මට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගුවන්විදුලි සේවයේ නිර්මාතෘ උදයන් හමු වුයේ ජර්මනියෙදිය. ඔහු ප්‍රභාකරන්ගේන් රන්පදක්කමක් දිනා සිටි උගත් තරුණයකි. ඔහුගේ දෙමාපියන් රෝහල් සේවකයන් වූ අතර ඉන්දීය හමුදාව විසින් පේදුරුතුඩුව රෝහලේදී ඔවුන් සමුහ ඝාතනයට ලක්කොට තිබුණි. එල්.ටී.ටී.ඊයේ සාමාජිකත්වය ඉතා තරුණ වයසේදීම ඔහුත් ඔහුගේ සහෝදරයන් තිදෙනාත් ලබන්නේ එයින් පසුවය. උදයන් ජර්මනියට් එන්නේ 2007 දීය. ඒ බිහිසුණු ලෙස මෙහෙයුම් දියත් වූ කාලයයි. උපදේශනයේදී මා වටහා ගත්තේ ඔහුට සරණාගත භාවය හිමි වීමට සාධාරණ හා ප්‍රතිවිරුද්ධ කරුණු පවතින බවයි. පැය අටක සම්මුඛ පරීක්ෂණයකින් පසු සති දෙකක් ගත වූ තැන ඔහු මට දන්වා සිටියේ ඔහුගේ සරණාගත භාවය පිළිගත් බවකි. මේ කරුණ මෙහි සදහන් කරන්නේ සුළු ජාතින් වශයෙන් විදීමට සිදුවන සෑම වෙනස්කමක්ම, මරණය හා ඒ කෙරහි ඇති අවදානම මගින් විනිසුරුවරයා දකින සාධාරණත්වය සරණාගතභාවය ප්‍රදානයට හේතු වන බව කිමටය. එම කාලයේ දී විදේශ ගත වූ දෙමළ ජාතික බොහෝ දෙනෙකුට සරණාගත භාවය ප්‍රධානය කෙරෙනු ලැබිණි.

කෙසේ වුවත් ලංකාව මෙතෙක් වඩාත්ම ප්‍රසිද්ධව සිටි සරණාගත සැපයුමට වඩා සරණාගතයන් භාර ගන්නා රටක් බවටද පත් වී ඇත. රෝහින්ග්‍යා සහ පකිස්ථාන, ඇෆ්ඝනිස්තාන සරණාගතයින් ලංකාව වෙත ගෙන එන බවත් සරණාගතයින් ලෙස ස්ථාන ගත කරන බවත් එකසත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටී.

ලංකාවේ මේ සදහා සංවිධානත්මක ක්‍රමවේදයක් තිබේදැයි සැක සහිත වන්නේ එසේ පැමිණෙන සරණාගතයන්ට ලාංකීය උප්පැන්න සහතික නිකුත් කිරීම සහ ඒ මත පුරවැසිභාවය දූෂිත ලෙස ලබා දෙමින් ඉඩකඩම් ලබා දීම සිදු වනබවට සාක්ෂි ඇති නිසාය. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සරණාගතයකු ලෙස රටට ඇතුළුවන පුදගලයකු සැබෑ සරණාගතයකු ලෙස හදුනා ගන්නා තුරු එම පුදගලයාට නිත්‍යානුකුල බවක් නොලැබේ. සාධාරණ පරීක්ෂණයක් මගින් කරනු ලබන පිලිගැනීමකදී රටේ සීමිත කාලයක් රැදී සිටීම සදහා වීසා ලැඛෙන අතර අඩුම තරමේ එවැනි වීසා එකින් වසර හතරක් රට තුල රැදී සිටිමින්, එම රටේ මව් භාෂාව හා දේශපාලනික, සංස්කෘතික මෙන්ම ඉතිහාසයද යම් මට්ටමකට ඉගෙන ගත් පසු නිසි ක්‍රම වේදයක් මගින් පුරවැසි භාවය ප්‍රධානය කරනු ලැබිය යුතුය. එහෙත් ලංකාවේ සරණාගතයන් පිළිබඳව තබා විදේශිකයන් සම්බන්ධවද සාර්ථක නීතියක් ක්‍රියාත්මක නොවේ. 1905 දී බි්‍රතාන්‍යයන් එරටේ බිහි කල පිටසක්වල ජීවින් සදහා වූ පනත ( Aliens Act ) බිහිවුයේ විදේශිකයන් සඳහාය. එය ලංකාවාට අදාල වුයේ දැයි මා අසා නැත. 1948 අංක 20 දරන පනත මගින් විදේශිකයින් සදහා නීතිය ලියා තැඛෙන අතර සිදු වූ කුඩා සංශෝධන සමග දැනට ක්‍රියාත්මක වන නීති තත්වයේ දිග පලල ඕනෑම පුදගලයෙකුට විදේශ අමාත්‍යංශයේ වෙබ් පිටුවෙහිදී දැක ගත හැකිය. මෙය ඉතා යල්පැනගිය හා අසම්පුර්ණ නීති පනතක් ලෙස මම දකිමි. ලංකාව තුල සරණාගතයන් සම්බන්ධව නීතියක් ක්‍රියාත්මක වන්නේ නම් එම වෙබ් පිටුවෙහි එය සදහන් විය යුතුය. අඩුම තරමින් මේ පිළිබද අධිකාරියක්වත් ක්‍රියාත්මක නොවේ.

මෙලෙස අවිධිමත්ව ලංකාවට සරණාගතයින් ගෙන්වීම හා පදිංචි කරවීම ජනගහනයේ සංයුතිය වෙනස් වී රටේ සංස්කෘතික හා ආගමික ගැටුම් ඇතිවීමට හේතුවක් බවට පත් විය හැකිය. ඒ පිළිබද නීතියක් හා පැහැදිලි ක්‍රමවේදයක් උදෙසා ආයතන බිහි නොකොට පෞද්ගලික උවමනාවන් මත සංක්‍රමණිකයින් රට තුළ රදවා ගන්නේ, ඔවුන් රටට ගෙන එන සංස්කෘතික වෙනස පමණක් නොව ලෙඩ රෝග, ත්‍රස්තවාදය පිළිබද කුඩා හෝ අවධානයක් නොකරමිනි.

රටේ නීතිවේදීන් හෝ බලපෑම් කණ්ඩායම් මේ පිලිබදව නිහඩව සිටින්නේ මේ සමග ඇති අනතුර ඔවුන් වටහා නොගෙන සිටින නිසා විය හැකිය. ලංකාවේ බොහෝ නීති පනත් යල් පැනගිය ගිය හා කාලයට සරිලන ලෙස යාවත්කාලීන වී නොමැත. පාර්ලිමේන්තුවේ සංයුතිය සලක බලන විට ව්‍යවස්ථාදායකය තුල ලෝකයේ වෙනස්කම් වටාගත හැකි පිරිසක් නොමැති බවත් බවත් සත්ත්‍යයකි. මේ නිසාම අද අත්සන් කරන සම්මුතීන්ද ඒවායෙහි ප්‍රති විපාකද බරපතල වී ඇත. සරණාගතයන් පිළිබද ජිනීවා සම්මුතියට අත්සන් කරන ලද අපි වඩාත් හොද නීතියක් විදේශිකයන්ට හා සරණාගතයන්ට බලපාන්නාවූ පරිදි සකසා ගැනීමට අසමත්ව ඇති අතර එමගින් රටක් ලෙස අනිටු ප්‍රතිපල විදිමින් සිටිමු. ඕනෑම රටක් පෙනී සිටින්නේ තම රටේ පුරවැසියන් වෙනුවෙනි. තමන්ගේ රටට ඇතුල් වන විදේශිකයා එම රටේ භාෂාව, ඉතිහාසය හා සංස්කෘතියට මෙන්ම නීති පද්ධතියට අන්තර්ග්‍රහණය විය යුතුය. අසල්වැසි ඉන්දියාවේ සිට එක්සත් ජනපදය දක්වාම එය සමානය. එහෙත් ලංකාවට ඇතුල් වන විදේශිකයාට බලපාන නිතිය ලිහිල්ය. ඔහුට ඔහුගේ භාෂාවත්, නීතියත් භාවිතා කිරීමේ නිදහස පවතී. මෙය ඉතා භයානක තත්වයක් බව වටහා ගෙන ක්‍රියා කල යුතුය.

මෙම විග්‍රහයෙන් කිසි විටක සරණාගත සම්මුතියේ මානුෂීයත්වයෙන් තොර මතයක් ප්‍රකාශ නොවේ. ව්‍යවස්ථාදායකයේ නුගත් කම, අනවබෝධය හා අසමත් කමත් උගත් මිනිසුන්ගේ නිද්‍රා ජනක මැදහත් වීමත් ඉස්මතු කිරීමට පමණක් එසේ ප්‍රකශ කිරීමට සිදු වූ බව ප්‍රකශ කරමි.

ජර්මනියේ සරණාගතයන් පිළිබද කර්යපටිපාටික උපදේශක හා අන්තර්ග්‍රහණය පිළිබද කළමනාකාරිනී
සුභාෂිණී විප්ෆ්ලර්

Leave a Response