විදෙස් පුවත්

ඉරාන තෙල් නැවේ කපිතාන්ට ඇමෙරිකාවෙන් පගාව දෙන්න හදලා

48views

රාජ්‍ය තාන්ත්‍රික අවුලකට මැදිව තිබෙන ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාට ඩොලර් මිලියන ගණනක මුදලක් පිරිනැමීමට යෝජනා කළ බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

ඉරානය සම්බන්ධ ඇමරිකාවේ ප්‍රතිපත්ති පිළිබඳ කටයුතු කරන රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ‘Iran Action Group’ හි ප්‍රධානියා වන බ්‍රයන් හුක්, ‘අඩ්‍රියාන් දරියා 1’ නෞකාවේ කපිතාන්වරයා වෙත ඊමේල් පණිවුඩයක් යවා ඇත. ඒ අදාළ නෞකාව එක්සත් ජනපදය භාරයට ගනු ලැබීමට ඉඩ සැලසෙන කලාපයකට යාත්‍රා කරවීම සම්බන්ධයෙනි. කපිතාන් අකිලේෂ් කුමාර් විසින් ඉහත කී ඊමේල් පණිවුඩ නොසලකා හරිනු ලැබ ඇත. අනතුරුව ‘අඩ්‍රියාන් දරියා 1’ අසාදුලේඛනගත (Blacklist) කළ එක්සත් ජනපදය කපිතාන්වරයාට එරෙහිව ද සම්බාධක පනවනු ලැබ තිබේ.

ඉහත කී නෞකාව සිරියාව වෙත ඉන්ධන රැගෙන යන බවට සැක කෙරුණු අතර එක්සත් රාජධානිය යටතේ පවතින ජිබ්රාල්ටාර් හි බලධාරීන් විසින් පසුගිය ජුලි මාසයේදී එය තාවකාලිකව රඳවා ගනු ලැබිණි.

නෞකාවේ ගමනාන්තය සම්බන්ධයෙන් ඉරානය සහතිකයක් ලබා දීමෙන් අනතුරුව එය නිදහස් කරනු ලැබීය. නෞකාව නිදහස් කරනු ලැබීම අත්හිටුවීමට උත්සහ කළ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පසුව එය සිය භාරයට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේය.

BBC

Leave a Response