විශේෂාංග

WELCOME අනුර – කිලිනොච්චියේ කරුණාකරන්

284views

ජාතික ජන බලවේගය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස ජවිපෙ නායක අනුර දිසානායක පත් කිරීම සම්බන්ධයෙන් Thenee.com වෙබ් අඩවියට කිලිනොච්චියේ කරුණාකරන් තබන ලද සටහනේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙහි පළ වේ.

අවුල්සහගත තත්ත්වයන් මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් සේ සිටින ජවිපෙ නායක ජනාධිපති අපේක්ෂක ලෙස තේරී පත් වී තිබේ. ඔහු සම්බන්ධයෙන් ‘ඉන්ද්‍රඛීලයක්’ යන වචනය අදාළය. එජාප, ශ්‍රීලනිප යන පක්ෂ තමන්ගේ අපේක්ෂකයා තෝරා ගැනීමට බැරිව අතරමං වී හඩා වැලපෙන විට කිසිදු පැකිලීමකින් තොරව ජවිපෙ අනුර දිසානායක ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස පත් කර තිබේ. එපමණක් නොව අති දැවැන්ත රැස්වීමක් ද ගාලූමුවදොර පිටියේ පැවැත්වීය. එම රැස්වීමට ගලා ආ ජන ගඟ සියල්ලන්ට ම ආපසු හැරී බැලීමටත්, කල්පනා කිරීමටත් හේතු වී ඇත. සියලූම ජනමාධ්‍යයන් මෙම රැස්වීම පිළිබඳවත්, එයට සහභාගී වූ ජනතාව පිළිබඳවත් පුදුමයට පත් වී ප්‍රවෘත්ති පළ කෙරිණ. ජනතාව ද මේ තරම් සෙනඟක් පැමිණීම ගැන පුදුමයට පත් වී ඇත. එජාප, ශ්‍රීලනිප, පොහොට්ටුව ඇතුළු පක්ෂවලට අත් වී තිඛෙන විශ්වාස භංගත්වය වඩාත් හොඳින් ජනතාව මේ වෙත යොමු කරනු ලැබූ බව පැහැදිලිය.
පොහොට්ටු පක්ෂය තුළ දිගේලි වී තිඛෙන ජනාධිපති අපේක්ෂක කලබලය, යුද චෝදනාවල සිට පුරවැසිභාවය දක්වා ප්‍රශ්නවලට හසු වී තිඛෙන බව පෙනේ. එම පක්ෂයේ ගැටලූකාරී තත්ත්වයන් ජනාධිපති අපේ ක්ෂකයා ප්‍රකාශ කිරීමෙන් පසුව සුබවාදී තත්ත්වයන් ඇති කරනු ඇති බව මුල දී කල්පනා කළ ද, එසේ වී නැති බව පැහැදිලිය. මෙම තත්ත්වය තුළ අනුර දිසානායකගේ ජයග්‍රහණය පිළිබඳව විකල්ප බලවේගයක් වශයෙන් සියල්ලන්ගේම අවධානයට ලක් වී ඇත. මේ බව කාටවත් ප්‍රතිෙක‍ෂ්ප කළ නොහැකිය. ජවිපෙ සම්බන්ධයෙන් මීට පෙර බොහෝ දෙනෙක් තක්සේරු කර තිබුණේ, තුන්වැනි බලවේගය යනුවෙන්ය. නමුත්, මෙවර ඇත්තේ, ලබා ගන්නා ස්ථානය පිළිබඳ ගැටලූවක් නොවේ. ගුණයෙන් විශාල බලවේගයක් බවට පත් වී තිබීමය. පොදුජන පෙරමුණ යනු ශ්‍රීලනිපයෙන් කැඩී ගිය තවත් කොටසක් මිස එය වෙනත් බලවේගයක් නොවේ. මෙම තත්ත්වයන් පැහැදිලි කිරීමටත්, තමන්ගේ ස්ථානය තුළ විකල්ප ඉදිරි ගමන ආරම්භ කිරීමටත් ජාතික ජන බලවේගයට හැකි වී ඇත.

මෙහි දී අපි එක් කාරණාවක් අවධානයට ගත යුතුය. ජවිපෙ කිසිවකු සමඟ දිය වී නොගොස් තමන්ගේ ස්ථාවරයන් තබා ගැනීමට සමත් වී ඇති බවය. නමුත්, අපේ රටේ පැරැණි වමේ පක්ෂ , දෙමළ පක්ෂ , මුස්ලිම් පක්ෂ සහ කඳුකරයේ පක්ෂ යන සියල්ල තමන්ගේ ස්වාධීනත්වය අහිමි කර ගනිමින්, අභාවයට ගොස් තිබේ. විශේෂයෙන් වමේ පක්ෂ , ජාතිවාදී පක්ෂ යක් වන පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී ඇත. වාමාංශිකයන්ට ජාතිවාදී පක්ෂ සමඟ එකතු වන්න පුළුවන් ද යන ප්‍රශ්නය මෙහි දී පැනනඟී. ජයග්‍රහණය ඕනෑ යැයි පවසා නොයෙක් සැකසහිත ක්‍රියාමාර්ගවල පැරෑණි වමේ පක්ෂ නියැළී ඇත. ඔවුන්ගේ අර්ථයෙන් එය ප්‍රගතිශීලී වන්නේ, බුරියානි කන්න ඕනෑ නිසා ඌරන් සමඟ බුදියා ගැනීමටය.

පොදුජන පෙරමුණට සහාය දැක්විය යුතු නම්, අඩු ම තරමින් ගෝඨාභය හැර වෙනත් කෙනකුව පත් කර ගන්න යැයි යෝජනා කිරීමට හෝ පැරැණි වමේ පක්ෂ ඉදිරිපත් නොවී ය. එවැනි ඉල්ලීමක් දැඩිව කළ යුතුව තිබිණි. මන්ද, දිගින් දිගට ම රාජපක්ෂ වරුන්ගේ පවුලේ අය පමණක් සුඛවිහරණයෙන් ජීවත් විය යුතු නොවීම නිසායි. රාජප ක්ෂවරුන්ට පමණක් සහාය පළ කළොත්, එය රාජපක්ෂ පවුල ශක්තිමත් කිරීමක්ය. රට නොව පවුල් පාලනය දියුණු කරවන ක්‍රියාවක්ය. එපමණක් නොව යුද්ධ සමයේ චෝදනාවන්ට විවෘතව ලක් වී ඇති කෙනෙක් කිසි විටෙකත් ප්‍රගතිශීලී හෝ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු නොකිරීමය. සුළු ජාතීන් අතර කුඩා වශයෙන් හෝ විශ්වාසයක් නොමැති කෙනකු කෙරෙහි එම වමේ පක්ෂ සහාය දෙන්නේ කෙසේ දැයි බරපතළ ප්‍රශ්නයකි.

ගෝඨාභයගේ සහායකයන් හා ක්‍රියාකාරිකයන් ගෙවී ගිය කාලය තුළ ඔප්පු කර තිඛෙන්නේ, ජාතිවාදීන් බව නොවේ නම් වෙන කුමක් ද? පොදුජන පෙරමුණේ විශාල විශ්වාසයක් තබා ඇත්තේ, අන්තවාදී ජාතිවාදයටය. මෙවැනි බලවේග වැඩීම තුළින් රටේ අනාගතයට කුමක් වේ ද? අපට නිදහසේ ජීවත් විය හැකි වෙයි ද?

මෙයට නොදෙවැනි ලෙස එජාපය ද අසමත් වී සිටී. තමන්ගේ පක්ෂයේ සිටින කෙනකුව අපේක්ෂකයා ලෙස නම් කිරීමට නොහැකි තත්ත්වයක් තුළ රටේ සමඟිය, සංවර්ධනය පිළිබඳව කුමන කතා ද? සජිත් ද රනිල් ද? යන කාරණාව දිගින්දිගටම එජාපය තුළ ආරාවුල් උත්සන්න කරමින් තිබේ. සජිත්ට අදාළ තැන රනිල් දිය යුතුය යන ඉල්ලීම අද ඊයේ ඉදිරිපත් වූවක් නොවේ. එයට වසර දහයකට වැඩිය. වසර විසිපහක් මුළුල්ලේ නායකත්වයේ සිටින රනිල් එය තවත් දක්ෂයකුට ප්‍රජාතන්ත්‍රවාදීව දැරීමට දීමේ සූදානමක් නැත. මේ තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩකඩ එම පක්ෂය තුළ හැකිළී ඇත. මේ දෙදෙනා දෙදෙනාට විරුද්ධව කුමන්ත්‍රණ සිදු කරමින් සිටී. දැනට තිඛෙන තත්ත්වය අනුව මැතිවරණයට සන්ධානයක් පිහිටුවූවායින් පසුව ද ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරෙන්නේ රනිල් බව පෙනී යයි. එජාපයේ අනාගතය තෝරාගෙන තිඛෙන මෙම තත්ත්වය පිළිබඳව සිතාබැලිය යුතුය.

මෙහි දී අවධාරණය කළ යුතු කරුණ වන්නේ, රාජපක්ෂවරුන් වාගේම රනිල් ද තමන්ගේ නායකත්වය අතහැර ඉවත් වීමට සූදානම් නැති බවය. පොදුවේ මෙම දෙදෙනාගේම ස්ථාවරයන් එක සේ වී තිබේ. ජාතිවාදය සම්බන්ධයෙන් ද එසේමය. මෙහි දී සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වන්නේ එජාපයට සහාය දීමට සූදානම් වී සිටින මුස්ලිම් සහ දෙමළ පක්ෂ සමඟ ගොඩනඟන සන්ධානය කෙසේ වේ ද යන්නයි. ඔවුන් ජාතිවාදයෙන් තොර ගමනකට සූදානම් වී සිටින්නේ ද? නමුත්, ජනතාව ඉතා පැහැදිලිව තමන්ගේ ජාතිවාදයට විරුද්ධ ස්ථාවරය පෙන්වීමට සූදානමින් සිටිති. ඒ තරමට මෙම පක්ෂ දෙකම ජනතාවට තිත්ත වී ඇත. ඡන්දවල දී ලබා දුන් බොරු පොරොන්දු තවමත් ඔවුන්ගේ මතකයෙන් බැහැර කිරීමට ඔවුන් සූදානම් නැත. මේ කරුණු නිසා ජනතාව වෙනත් විකල්ප බලවේගයක් සොයමින් සිටිති. ඔවුන් ජවිපෙ හා අනුර දිසානායක කෙරෙහි විශ්වාසය තබන්නේ, අලූත් මාවතක් හා අලූත් නායකත්වයක් පිළිබඳ අරමුණෙන්ය.

අපේ කනගාටුව තවමත් වැරැදි කරන එජාපය, ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ කෙරෙහි ජනතාව යොමු වී සිටීමය. එම පක්ෂවලින් මිදීමට ජනතාව උත්සාහ නොදරා සිටින්නේ ඇයි ? අලූත් මාවතක් දැකීමට නොහැකි නිසා ද? එයටත් වඩා තමන්ගේ අනවබෝධය නිසා ද? මෙම පසුබිම දිගු කාලයක් පවතී යැයි සිතිය නොහැකි ය. ජනතාව මේ පක්ෂ දෙකට තව කොපමණ කල් දර දිය අදී ද?

ඇත්ත වශයෙන් ම මොවුන් එජාපයට, ශ්‍රීලනිපයට, පොදුජන පෙරමුණට සහාය දෙන්නේ ඇයි ? එම පක්ෂවලින් ලැබී තිඛෙන වාණිජ වාසි නිසාය. ජනතාවගේ ඡන්දය ජවිපෙ සමඟ සිටින බලවේගවලට නොදී සිටීම බරපතළ තත්ත්වයක්ය. ජනතා විරෝධී ව්‍යාපාර, එවැනි පුද්ගලයන් සමඟ එවැනි වාණිජ කටයුතු සමඟ ජවිපෙට සම්බන්ධතාවක් නැත. ඒ නිසා ජාතික ජන බලවේගය සමඟ එක් වන අයට වාණිජ කටයුතුවලින් අමතර වාසි ලබා ගැනීමේ හැකියාවක් නැත. එහෙත්, එජාපයට නැති නම්, ශ්‍රීලනිපයට හෝ පොදුජන පෙරමුණට සහාය දෙන්නේ නම්, එවැනි වාසි ලබා ගත හැකිය. ඒ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නම් නොවේය.

ඉදිරියේ දී ජනමාධ්‍ය, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරිකයන් පළ කරන අදහස් පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතුය. මන්ද, ජාතික ජන බලවේගය වටා එක් වී සිටින පිරිස් ද මෙම සුළිසුළඟට හසු නොවිය යුතු නිසාය. කුමන තත්ත්වයක් යටතේ වුව ද, මාලිමාවක් ගෙන නිවැරැදි මඟපෙන්වීමේ වගකීම මේ පිරිසට පැවරී තිඛෙන නිසාය. නැති නම්, දේශපාලකයන්, පක්ෂ නායකයන් කරන වැරැදිවලට වඩා ලොකු වැරැද්දක් මේ පිරිස කළහොත්, එය ජනතාවට විශාල ද්‍රෝහිකමක් වන බැවිනි. එය ඉතිහාසයට එක් වන බරපතළ ඛේදවාචකයක් වනු ඇත. එසේ නොවීමට අලූත් ගමනක් සඳහා වන ආරම්භය පෙන්වීමේ අභියෝගයක් අනුර දිසානායකට මේ මොහොතේ ඇත. ජවිපෙට ද ජාතිවාදී ලේබලය එල්ල කෙරුණ ද, වැදගත් වන්නේ ඔවුන්ගේ භාවිතයෙන් එය ප්‍රතිෙක‍ෂ්ප කර තිබීමයි. එසේ වූවා සේම ගොඩනැඟී තිඛෙන ජනතා ව්‍යාපාරය වංචා, දූෂණ නැති පාලනයක් ගොඩනැඟීම කෙරෙහි කැප වුණු, ජනතාවගේ සුබසිද්ධියට මුල්තැන දෙන සංවිධානයක් බව ඔප්පු කිරීම කළ යුතුව තිබේ. සුළු ජාතීන්ට එරෙහිව ක්‍රියා නොකිරීම සහ තිරෙන් එහා සිදුවන දේශපාලන රංගනයන් සමඟ සම්බන්ධයක් නොමැති බව තහවුරු කළ යුතුව තිබේ. මේ දක්වා සිදු කරන ලද ආණ්ඩු බලය අයුතු ලෙස යොදා කරන ලද මිනීමැරීම්, දූෂණ, ප්‍රජාතන්ත්‍ර විරෝධී කි්‍රයා සම්බන්ධයෙන් ජවිපෙ අනුරට චෝදනා එල්ල කළ නොහැකිය.

විකල්ප සන්ධානය සඳහා සහයෝගය පළ කරන පරාසය සිංහල ජාතියට පමණක් සීමා නොකළ යුතුය. එවැනි හැඟීමක් අනෙකුත් ජනතාවට ඇති වුවහොත්, එය අනුරට පමණක් නොව ජවිපෙට ද අවාසියක් වනු ඇත. සුළු ජාතීන් අතරට අනුර දිසානායක වැඩියෙන් පැමිණිය යුතුය. ජවිපෙ ද ඒ සඳහා සූදානම් කළ යුතුය. ජවිපෙ නායකයා වශයෙන් අනුර දිසානායකට ලොකු වගකීමක් මේ මෙහොතේ පැවරී තිබේ. විකල්ප බලවේගය ජයග්‍රහණය කරා පියවරක් තැබීම අවශ්‍යමය. එම නිසා අනුර දිසානායකට පැවරී තිඛෙන වගකීම විශාලය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමට නායකත්වය වටා විශාල පිරිසක් එක් වන බව පැහැදිලිය. එය නිවැරැදිව හඳුනාගෙන ඇති බව ස්ථීර වී තිබේ. ඒ නිසාම තමයි, අපි ඔහුට ‘වෙල්කම් අනුර’ යන ආදරණීය වදනින් අමතන්නේ. තව ද, ජය පරාජය යනු අනුර දිසානායක සමඟ සාධාරණත්වය පතන මිනිසුන්, රටට ආදරය කරන මිනිසුන්, බුද්ධිමතුන් යන සියලූ දෙනා එක් වූ ගමන් මඟක් තුළ සිදු වන්නකි.

පරිවර්තනය – ආර්. චන්ද්‍රසේකර්

Leave a Response