ක්‍රීඩා

දිමුත්, ලසිත්, ඇන්ජලෝ පාකිස්ථානයට නොයන තීරණයක

71views

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න, ‘විස්සයි විස්ස’ නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළේ ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයට සහභාගීවීමට අකමැත්ත පළකර ඇති බව වාර්තා වෙයි.

එම තරගාවලියට ‘එක්දින’ සහ ‘විස්සයි විස්ස’ තරග තුන බැගින් ඇතුළත් වන අතර ,2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පාකිස්ථානයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පසු ‘සම්පූර්ණ සංචාරයක්’ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් එරටට යන පළමු අවස්ථාව මෙයයි. 2017 වසරේදී දැඩි ආරක්ෂාව මධ්‍යයේ ශ්‍රී ලංකා පිල එක් ‘විස්සයි විස්ස’ තරගයක් එරටදී ක්‍රීඩා කොට ඇත.

කෙසේවෙතත්, එම තරගය සඳහාත් එවක ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි මුල්පෙළේ ක්‍රීඩකයන් රැසක් පාකිස්ථානයට යාම ප්‍රතික්ෂේප කළහ. එහෙත් පසුව නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කර ගනිමින් තිසර පෙරේරාගේ නායකත්වයෙන් පාකිස්ථාන භූමියේ දී එම තරගය පැවැත්වුණි.

මෙම සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය ‘කරච්චි’ නගරයේ පැවැත්වෙන අතර, විස්සයි විස්ස තරග ‘ලහෝර්’ නගරයේ පැවැත්වීමට නියමිතය. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර කණ්ඩායමක් පාකිස්ථානයේ ක්‍රීඩා කරන දීර්ඝතම තරගාවලියද මෙය වෙයි.

මේ ආකාරයෙන්ම 1996 ලෝක කුසලාන තරගාවලියේදී රටවල් කිහිපයක්ම ලංකාවේ ආරක්ෂක තත්ත්වය නිසා ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඉන්දියාවේ සහ පාකිස්ථානයේ ක්‍රිකට් කණ්ඩායම් එක්ව එක් කණ්ඩායමක් ලෙස මෙරටට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග සුහද ක්‍රිකට් තරගයකට සහභාගී වී ලංකාව අනාරක්ෂිත රටක් නොවන බව පෙන්වීය.

Leave a Response