අදහස්

මගේ ඇදහිල්ල අලුත් අහසක් හා අලුත් පොළොවක්

300views

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා වෙරළබඩ ක්‍රිස්තියානි ජනතාව එජාපයට ළැදි ඡන්දදායකයන් පිරිසක් බව. මේක ඇත්තක් ද?

ඔව්, ඒ කතාව ඇත්ත. මේ තීරයේ විතරක් නෙමෙයි රට තුළ ක්‍රිස්තියානි ජනතාවගේ තත්ත්වයත් එහෙම තමයි. ඒකට හේතුවක් තියෙනවා. නිදහස ලැබී මැතිවරණ ක්‍රමය ආරම්භයේ සිටම ක්‍රිස්තියානි සභාවන් එදා ඉඳලම යූඑන්පී. ඒකේ හංගන්න දෙයක් නැහැ. එදා ඉඳලම පාරම්පරිකව ක්‍රිස්තියානි මිනිස්සු හිතුවා එක්සත් ජාතික පක්ෂය සමඟ සිටීම දෙවියන්ට පක්ෂපාත වීමක් කියලා. සුද්දන්ගෙන් පස්සේ මේ රටේ ධනවාදය එළිපිටම නියෝජනය කළේ යූඑන්පී එක නේ. කිතුනු සභාවන් තුළ තීන්දු ගන්නා මට්ටමේ සිටි අයත් වරප්‍රසාද ලත් පන්තියේ අය. ඒ හේතුවෙන් ඒ අය හිතුවේ යූඑන්පී විරෝධී වීම සමසමාජ හෝ කොමිනියුස්ට් හා මාක්ස්වාදීන්ට පක්ෂපාතී වීමක් කියලා. ඒ කාලේ මුළු ලෝක කතෝලික සභාවටම කොමිනියුස්ට් සහ සමසමාජ විරෝධයක් තිබුණා. ඔවුන් ආගම් විරෝධීන් කියලයි හිතුවේ. ඒ නිසා යූඑන්පී නොවන අඩුම තරමින් බණ්ඩාරනායක මහතාට පවා ඡන්දය දෙන්න කිතුනුවෝ මුල දී කැමති වුණේ නැහැ.අපි දන්නවා යූඑන්පීය වගේම ශ්‍රී ලංකා එකත් නියෝජනය කරන්නේ ධනවාදය බව. ඒත් අඩුම තරමින් ඔබ මගෙන් අහන වෙරළ තීරුවේ විතරක් නෙමෙයි රටේ සෙසු ප්‍රදේශවල ක්‍රිස්තියානින් පවා අඩුම තරමින් ශ්‍රී ලංකා එකටවත් ඡන්දය දෙන්නේ නැහැ.

ඒත් පසුගිය මැතිවරණ කිහිපයක දී ම මුහුදුබඩ ජනතාව යූඑන්පී නොවන අයට ඡන්දය දුන්නා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වන මැතිවරණය, ඒ වගේම 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වන මැතිවරණය. ඒ වගේම 2015 මෛත්‍රී ජනාධිපති වන මැතිවරණය ඊට උදාහරණ ?

එහෙම විශේෂ අවස්ථා මහා මැතිවරණවල දීත් තිබුණා. යූඑන්පී නොවන ශ්‍රී ලංකා අය වගේම ජවිපෙ ශ්‍රී ලංකා එකත් එක්ක සන්ධානගත වන මහා මැතිවරණය ඊට උදාහරණ. මම දකින්නේ ඒක විශේෂ අවස්ථාවන් කියලා. හැබැයි ඒ විශේෂත්වය හැම දා ම පවතින්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වය තමයි, අපි කියන ‘ක්‍රිස්තියානි අය යූඑන්පී’ කියන කතාව.

මේ කියන ක්‍රිස්තියානි අදහසට ප්‍රතිපක්ෂව ඔබ ඇතුළු පිරිසක් ධනවාදී ආර්ථීක මොඩලයට එරෙහිව වාමවාදී, ප්‍රගතිශීලී, පරිසරවාදී වගේම මිනිස් අයිතීන් සුරැකීම පැත්තේ සිටගනිමින් දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වෙනවා ?

අපි වාද කරන්නේ බයිබලීය පදනමක සිට. කිතුනු අනුගාමිකයන් විදිහට. අපි සිටගන්නේ දරිද්‍රයන් සමඟ. අපි සටන් කරන්නේ සැබෑ දිළින්දන් වෙනුවෙන්. ඒක අපි පටන් ගත්තේ බොහොම සෙමින්¦ අසීරුවෙන්. අපි ඒ අය සමඟ එක්ව වැඩ කිරීමත්, ඒ අයගේ අරගල අතරමැද අතහැර නොයාමත් නිසා. සමහර අවස්ථාවල දී පසුබහින්නට සිදු වුණත්, දරිද්‍රයන් මුළුමනින් අතහැර යන්නේ නැහැ. ඒ ඒ සමාජ කොටස්වල විශ්වාසය අප කෙරෙහි තියෙනවා. මම ක්‍රිස්තියානු පූජකවරයෙක්. ඒ කියන්නේ අපේ විශ්වාසය අනුව මම දෙවියන් වෙනුවෙන් කැපවුණු කෙනෙක්. තමන් විශ්වාස කරන දෙවියන් වෙනුවෙන් ජීවිතය කැප කළ පූජක කෙනකුගේ වචන සාමාන්‍ය කෙනකුගේ වචනවලට වඩා සාපේක්ෂව කිතුනු ජනයා විශ්වාස කරනවා. ඒ නිසා අපේ වචන යම් බලපෑමක් කිරීමට සමත් වෙලා තියෙනවා. අපි අපේ වැඩසටහන්වල දී යම් ප්‍රමණයක හෝ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ නිසාමත් මම කියන දරිද්‍ර ජනතාව යම් වෙනසකට ලක් වෙමින් ඉන්නවා. ඒ අය මේ සත්‍යය තේරුම් ගන්නවා. හැබැයි සාමාන්‍ය කිතුනු ජනයා ආර්ථීක වශයෙන්, ප්‍රතිපත්ති වශයෙන්, පාලන ක්‍රම වශයෙන් එකිනෙකාට නොවෙනස් යූඑන්පී සහ ශ්‍රී ලංකා එකට පිටින් හිතන්නේ නැහැ. මොකද, අපි වගේම දැන් දැන් සාමාන්‍ය කිතුනුවොත් මේ දෙගොල්ලම එකයි කියලා මේ කඳවුරු දෙකට වෙනසකින් තොරව සහාය දෙනවා. එක්තරා විදිහකට කිතුනුවාගේ මෙම මේ හැසිරීම දෙගොල්ලොම එකයි කියලා අපි කියන කතාව සත්‍යය බවට සනාථ කරන සාක්ෂියක්.මෙතැන දී තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ. අපි දන්නවා ඡන්දය සඳහා ජාතිය, භාෂාව හා ආගම පාවිච්චි කිරීම යූඑන්පී, ශ්‍රී ලංකා දෙගොල්ලොම හරි හරියට කරන බව. ඒ දෙගොල්ලොම ජාතිවාදයත් ඡන්දය වෙනුවෙන් ඒ තරමටම යොදා ගන්නවා. වෙනෙකක් තබා භාෂාවත් ඡන්දය සඳහා යොදා ගන්නවා. ඒ අය විතරක් නොවෙයි වාමාංශික කොටස් පවා ඒ දේම කරනවා. අදත් තමන් වාමාංශිකයන් හැටියට හඳුන්වා ගනිමින් අමු ජාතිවාදීන් සමඟ එක්ව බලය සඳහා දේශපාලනය කරනවා. ඒ වගේම එක්තරා අවධියක දී ෙජ්වීපී එක පවා ජාතික ප්‍රශ්නයේ දී දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පැහැදිලි ස්ථාවරයකට නොපැමිණීම තුළ ජාතිවාදී මුහුණුවරක් ගත්තා. එහි සමහරුන් එළිපිට මිථ්‍යාවන් වපුරවමින් යුද්ධය සාධාරණීකරණය කළා. එහෙම බලද්දී, අර අපි කියන ප්‍රමාණාත්මකව සංඛ්‍යාවෙන් කුඩා ප්‍රගතිශීලී, වාමවාදී, පරිසරවාදී කිතුනුවා සමාජයේ අන් ජන කොටසකට වඩා රැඩිකල්. මොක ද? ඔවුන් බිඳී එන්නේ වඩාත් ආගම්වාදී දේශපාලනයකින් වීම. ඒ නිසාමයි කිතුනුවන්ගේ පරිසර, ආර්ථීක, සමාජීය වගේම පරිසර සටනක දී ඔවුන් වඩ වඩාත් රැඩිකල් බවක් පෙන්වන්නේ.

අපි දන්නවා ගෙවුණු රාජපක්ෂ පාලනයේ දී වරාය නගරය, ධීවරයන්ට වෙඩි තැබීම ආදිය නිසා සාපේක්ෂව වඩාත් වැඩි හානි සිද්ධ වුණේ ධීවර ජනතාවට බව. ඒත් අද වන විට කාදිනල් හිමි රාජපක්ෂවරුන්ට හිතවත් බවක් පෙන්වනවා?

කාදිනල්තුමා රාජපක්ෂවරුන්ට හිතවත් යැයි ලාංකික සමාජයේ සෑහෙන පිරිසක් තේරුම් ගෙන තිඛෙනවා. ඒ සාමාන්‍ය ජනතාව ජනමාධ්‍ය තුළ දුටු දෙයින්. උතුරේ අහිංසක දෙමළ ජනතාව ඝාතනය වූ විට, කටුනායක රොෂේන් වානකගේ, රතුපස්වල, හලාවත ඇන්තනී ආදීන් රාජපක්ෂ පාලනය යටතේ ඝාතනය වූ විට කතෝලික සභා නායකත්වය නිහ~ව සිටි බව රහසක් නොවේ. උතුරේ කිතුනු පූජකවරුන් ඝාතනයට ලක් වුණා. ඒවා හංගන්න දෙයක් නැහැනේ.

ඒත් උන්වහන්සේ කියනවා මම කිසි ම පක්ෂයකට නැහැ කියලා?

නමුත්, සාමාන්‍ය ජනතාවගෙන් සෑහෙන පිරිසක් මාධ්‍ය තුළින් දකින්නේ වෙනත් ආකාරයකට. අපි දැක්කා ඊයේ පෙරේදා අපේ ෆාදර් කෙනකුගේ උපන් දිනයකට රාජපක්ෂ කෙනෙක් බැහැදැක තියෙනවා. ඒවා අපේ මිනිස්සුන්ගේ ඡන්දය සඳහා කරන පැහැදිලි බලපෑම් නොවේ ද? මොකද, මම කලිනුත් කිව්වා නේ මේ උදවිය තමන්ගේ ඡන්දය වෙනුවෙන් ආගම්, ජාතීන්, භාෂාවන් යොදා ගන්නවා කියලා. ඒ නිසා මේ අය ලැජ්ජාවක් නැතුව තමන්ගේ පාලනයක් ඇතුළේ තෙල් මිල අඩු කරන්න කියලා උද්ඝෝෂණය කරපු කිතුනු ධීවර ජනතාවට වෙඩි තියලා සහෝදරයෙක් මරලා දාපු හලාවතට යනවා ඡන්දය ඉල්ලන්න. තමන්ගේ පාලනයක් ඇතුළේ චීනෙට දීලා රට හාරලා මුහුද ගොඩකරලා හදන පෝර්ට් සිටි ව්‍යාපෘතිය නිසා මේ වෙනකොට හානියට පත් වෙන මීගමුවේ වෙරළබඩ කිතුනු ජනතාව ළඟට යනවා ලජ්ජා නැතුව තමන්ට ඡන්දය දෙන්න කියන්න. මගේ ප්‍රශ්නය තමයි රාජපක්ෂ උදවියට ලැජ්ජාවක් නැති වුණාට ඡන්දය ඉල්ලන්න, කිතුනු අපිට පුළුවන් ද ආයෙමත් රාජපක්ෂලාට බලයට එන්න ඡන්දය දෙන්න කියන එක.

අනෙක් අතට ඔබ මේ කියන්නෙ කිතුනු ඡන්ද රාජපක්ෂ විරෝධීව යූඑන්පී කඳවුරට තල්ලූ කරන එක නේද?

අපොයි නැහැ. මම මුලින්ම කිව්ව නේ මේ දෙකම එකයි කියලා. මේ දෙකම එකම කාසියේ දෙපැත්ත. මේ දෙකම හරයාත්මකව නියෝජනය කරන්නේ එකම විදිහේ ආර්ථීක මොඩලයක්. දෙගොල්ලොම ධනවාදීයි. දෙගොල්ලොම පරිසරය වනසන්නෝ. දෙගොල්ලොම මිනිස් නිදහස වනසන්නෝ. දෙගොල්ලොම තමන්ට බලය ලැබුණු ජනතාවගේ විරෝධයන් මර්දනයට තුවක්කු උණ්ඩ පාවිච්චි කරන්නෝ. මේ කණ්ඩායම් දෙක වෙනස් වෙන්නේ නමින් සහ පාටින් විතරයි. අවුරුදු 71ක් පුරා ජනතාව සාපයක් විඳිමින් ඉන්නේ. මම කියන්නේ ආගමිකයන් විදිහට විතරක් නෙමෙයි පුරවැසියන් විදිහට අපි විකල්ප බලවේගයක් වෙත ගොනු වෙන්න මේ මොහොත වැදගත් බවයි.

ඔය නොකියා කියන්නේ ඔබේ මුහුණු පොතේ ඔබ විසින් ඔසවා තබන, ඔබ විශ්වාස කරන බව අපට පෙනෙන ජාතික ජන බලවේගය ගැන ?

ඇයි මම නොකියා කියන්නේ ? ඔව්. මම කියන්නේ මේ නිශ්චිත මොහොතේ දී අපි ගොනුවෙන්න ඕනේ විකල්ප බලවේගයක් තුළ. දැනට මම විශ්වාස කරන විකල්පය ජාතික ජන බලවේගය තමයි.

දැන් කාට හරි කියන්න හිතෙයි ‘ඉතින් ෆාදර් ඒක ජේවීපී නේ’ කියලා.

නැහැ ඒක එහෙම නෙමෙයි. ඒ බලවේගය ඇතුළෙ ජේවීපී නොවන බොහෝ දෙනෙක්, බොහෝ කණ්ඩායම් ඉන්නවා. මම පෞද්ගලිකව ජේවීපී නොවේ. දේශපාලන පක්ෂ කෙරෙහි මගේ එතරම් විශ්වාසයක් නැහැ. කෙසේ නමුත්, ජේවීපී එක ජාතික ජන බලවේගයත් සමඟ ඉන්නවා. එය ඉතා හොඳ ප්‍රවණතාවක්. අපි කාටත් ඒ එකතුව ඇතුළේ තියෙන්නේ තනි තනි බලයක්. අපි තවමත් සාකච්ඡා කරමින් ඉන්න අවසන් එකඟතාවක් දක්වා යන කණ්ඩායමක්. අපේ ඉලක්කය ඉතා ප්‍රගතිශීලී, පුළුල් දැක්මක් සහිත මානවාදී දේශපාලන බලවේගයක් ගොඩනැඟීම. ඒක මෙරට සමාජ, ආර්ථීක සහ දේශපාලනික ගැටලූවලට පිළිතුරු දෙන ව්‍යාපාරය.
අපේ ඉලක්කය මැතිවරණ හෝ ඡන්ද නෙමෙයි. එකේ තේරුම අපි ඡන්ද මඟහරිනවා කියන එකත් නෙමෙයි. අපි කණ්ඩායමක් විදිහට සාකච්ඡා කරන අරමුණට ජනතාව සමඟ යන අතර හමු වන මැතිවරණවල දී ඒවාටත් මුහුණ දෙනවා. ඒ කණ්ඩායමේ හැමෝගෙම එකඟතාවෙන්.
සමහරු මැතිවරණයට සෘජුව මැදිහත් වෙයි. සමහරු වැළකී සිටියි. නමුත්, හැමෝම මැතිවරණයට එහා යන සමාජ වෙනසක් සඳහා සාමුහික ගමනක් යාමට කැප වී සිටිනවා. මේ පාරත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර දිසානායක ඡන්දයට එනවා. ඒ එන්නේ අපේ කණ්ඩායමේ අපේක්ෂකයා විදිහට මිසක් ජවිපෙ නායකයා හෝ ජවිපෙ අපේක්ෂකයා විදිහට නෙමෙයි. අපි හැමෝගෙම නියෝජිතයා විදිහට. මම කියන්නේ මේ නිශ්චිත මොහොතේ මේ තේරීම නිවැරැදියි. ඒ වගේම මේ තේරීම අපේ අවසන් එකඟතාව හෝ අවසන් ඉලක්කය නෙමෙයි. අපේ එකතුවෙහි ඉලක්කය ජයග්‍රහණය කරන්න මේ මොහොත තුළ මේ මැදිහත් වීම කරන්නම වෙනවා. ඒ නිසා මම මේ නිශ්චිත මොහොතේ ජාතික ජන බලවේගය මගේ විකල්පය වශයෙන් මම තෝරා ගන්නවා. යම් හේතුවක් නිසා ජාතික ජන බලවේගය මෙම හඳුනා ගත් පොදු ඉලක්කය කරා නොයන්නේ නම්, එහි රැඳී නොසිටින බවත් පැවසීමට මම මැලි වෙන්නේ නැහැ. කිතුනුවකු වශයෙන් මගේ ඇදහිල්ල ‘අලූත් අහසක් හා අලූත් පොළොවක්’

සටහන : සිසිර යාපා

Leave a Response