විශේෂාංග

සැබෑ විකල්පය, ව්‍යාජ විකල්ප හා සාම්ප්‍රදායික දේශපාලනයේ අසමත්කම

87views

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ හා දේශපාලකයන් පිළිබඳ පුරවැසි විශ්වාසය මේ තරම් ගිලිහී ගිය යුගයක් ලංකා සමාජය තුළින් සොයා ගැනීම අසීරු ය. එයට හේතු වන්නේ වසර 70කට අධික කාලයක් ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකේ ආණ්ඩුකරණයේ අසමත්කම පමණක් නොවේ. එම අසමත්කම අලූත් දෙයක් නොවන බව පැහැදිලියි. නමුත්, මේ කඳවුරු දෙක පෙන්වන්නට උත්සාහ කරන දේශපාලන පසමිතුරුභාවය මායාවක් බව දැන් ඉතාම විහිළුසහගත ලෙස හෙළිදරවු වෙමින් පැවැතීම ආණ්ඩුකරණයේ අසමත්කම සමඟ එකට එක් වී ඇත. මේ කඳවුරු දෙකට අයත් දේශපාලකයන්ට ඕනෑම මොහොතක ඕනෑම පැත්තක් වෙනුවෙන් පෙනී සිටිය හැකි බව සේ ම එක් පැත්තක් බලයේ සිටින විට සිදු කරන ඝාතන හෝ දූෂණ වැනි අපරාධ අනෙක් පාර්ශ්වය විසින් ආරක්ෂා කිරීමේ නියත බව මේ වන විට කිසිදු සැකයකින් තොරව ඔප්පු වී අවසන් ය. මේ නිසා එකිනෙකාට එරෙහිව සිදු කරන චෝදනාවල ඇත්තේ බාල නාට්‍යමය රසයක් පමණක් බව සබුද්ධික පුරවැසියෝ දනිති. එසේම මේ කඳවුරු දෙක අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් වෙනුවට ඇත්තේ ජනතා කැමැත්ත දිනා ගැනීම වෙනුවෙන් සිදු කරන දේශපාලන උපක්‍රම තලයේ ඇති වෙනස්කම් පමණක් බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස එජාපය අතීතයේ දී මෙන් සිංහල ජාතිවාදය වෙත ගමන් නොකරන්නේ, අනෙකුත් ජනවර්ගවල ඡන්දය ලබා ගැනීම උදෙසා මිස වඩා දියුණු ප්‍රජාතාන්ත්‍රීය වෙනස්කම් සිදු කිරීමේ පදනමින් යැයි සිතන්නට හැකි කිසිවක් ඔවුන් සිදු කර නැත. දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂයකට මේ වන විට එජාපයට සහාය දීම අභියෝගාත්මක වී ඇත්තේ මේ යථාර්ථය නිසයි. මේ නිසා ආණ්ඩුකරණයේ අසමත්කමත්, පසමිතුරුභාවය අවසන් වීමත් යන ප්‍රධාන කාරණා දෙක සාම්ප්‍රදායික පක්ෂ හා ඒවාට අනුබද්ධ දේශපාලකයන් කෙරෙහි විශ්වාසය දිය වී යාමට බලපා ඇත. විකල්පයක් පිළිබඳ අදහස අන් කවරදාකටත් වඩා බලවත් ලෙස පැමිණෙන්නේ මේ තත්ත්වය තුළයි. පාස්කු ප්‍රහාරය ගැන දැනසිටිය දී එය වළක්වන්නට නොහැකි වීමේ ඛේදාන්තය විසින් මේ තත්ත්වය වඩා තීව්‍ර කර ඇත.

ව්‍යාජ විකල්ප

සුජාතබව ගිලිහී ඇත්තේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල හා පුද්ගලයන්ගේ වන නිසා විකල්පය පිළිබඳ අදහස මේ මොහොතේ සකස් වන්නේ දේශපාලන සමාජයට පිටතින් එන පුද්ගලයකු හෝ බලවේගයක් ගැලවුම්කරුවා බවට පත් කර ගනිමිනි. මෙහි දී දේශපාලන අත්දැකීම් නොමැති වීම සුදුසුකමක් බවට එසැවී ඇත. මෙය විකල්පය පිළිබඳව සමකාලීන ලාංකීය කතිකාවේ ඇති එක් අනතුරකි. —225ම එපා˜ යන සටන් පාඨය කරළියට මතු කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මේ තත්ත්වයයි. එසේම නාගානන්ද කොඩිතුවක්කු හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි නම් උච්චාරණය වන විට ද දේශපාලන අත්දැකීම් රහිත බව දුර්වලතාවක් වෙනුවට සුදුසුකමක් බවට පත් වී ඇත. ජාතික ජනතා ව්‍යාපාරය ගැන සලකා බැලීමේ දී ද පෙනෙන්නේ එය zහුදු වෘත්තිකයන් පිරිසකට රට ගොඩනැඟිය හැකි යZ යන අදහසේ සංවිධානාත්මක ස්වරූපය බවයි. සාම්ප්‍රදායික දේශපාලන ආයතන හා පුද්ගලයන්ගේ අසමත්කම විසින් දේශපාලනය වෙනුවට කළමනාකරණය යන්න අධිනිශ්චය වීම මෙතැන දී සිදු වී ඇත. එයට ම අනුබද්ධව ඒකාධිපතිත්වයට ඇති කැමැත්ත වර්ධනය වීම ද දක්නට ලැඛෙන තවත් අනතුරකි. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ ජය අපේක්ෂා කරන ජනයා අතර මෙම ඒකාධිපතිත්වයට ඇති නැඹුරුතාව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒකාධිපතිත්වය පිළිබඳ අදහස ජනප්‍රිය වන්නේ දියුණු කළමනාකරණයක් සඳහා ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාවලීන් විසින් ඇති කරන ප්‍රමාදයට එන විරෝධයක් ද හැටියට බව අමතක නොකළ යුතු ය. ගෝඨාභය ජනාධිපති අපේක්ෂකත්වය භාර ගෙන කළ පළමු කතාවේ දී ම තමන් සාමාන්‍ය ක්‍රියාවලියට පිටින් ගොස් වැඩ කරන්නට කැමැති කෙනෙක් බව ප්‍රකාශ කරන විට අපට තේරුම් ගත හැකි වන්නේ මේ ඒකාධිපතිත්වය ප්‍රිය කරන ජනයාගේ ආශාවට ආමන්ත්‍රණය කිරීමක් ලෙසයි. මේ පැනනැඟීම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියකට අතිශය අහිතකර බව අමුතුවෙන් මතක් කළ යුතු නැත. විකල්පය පිළිබඳ අදහස තුළ එක් පැත්තකින් දේශපාලන අත්දැකීම් රහිත බව සුදුසුකමක් බවට පත් වෙයි. අනෙක් පැත්තෙන් කළමනාකරණය හා ඒකාධිපතිත්වය යන අදහස් ඉහළට එසැවෙයි. මේ තුළ අර්බුදයට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ කේන්ද්‍රයේ ඇති පොදු යහපත පිළිබඳ මානයයි.

සැබෑ විකල්පය

මේ නිසා විකල්පය පිළිබඳ ව්‍යාජ කතිකාව නො එසේ නම්, විකල්පය පිළිබඳ අදේශපාලනික කතිකාව සැබෑ විකල්පයක් පිළිබඳ කතිකාවෙන් වෙන් කර හඳුනා ගැනීම අතිශය වැදගත් ය. සැබෑ විකල්පයක් ගොඩනැඟිය හැක්කේ මෙතෙක් අසමත් නොවූ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විවිධ සිවිල් සමාජ සංවිධාන (පරිසර සංවිධාන ආන්තික අනන්‍යතා වෙනුවෙන් අරගල කරන ව්‍යාපාර, කලා සංස්කෘතික හා සමාජ නිදහස වෙනුවෙන් පෙනී සිිටින ව්‍යාපාර ආදිය), වෘත්තිකයන් හා බුද්ධිමතුන් එකට එක් වී ගොඩනැෙඟන ජන බලවේගයකට පමණ ය. පොදු යහපත පිළිිබඳ සහතික විය හැක්කේ ඉහත පංචවිධ බලයන් එකට එක් වී හැදෙන බලවේගයකට බව අවධාරණය කළ යුතු ය. නමුත්, මේ බලවේග එකට එක් වූ පමණින් සැබෑ විකල්පය බිහි වන්නේ නැත. වසර හැත්තෑවක් පුරා අසමත් වූ ප්‍රධාන බල කඳවුරු දෙකෙන් එකකට අයත් පක්ෂයක් වටා බිහි වන මෙවැනි බලවේගයක් ජනප්‍රිය විය හැකි නමුත්, එය නියත ලෙසම විකල්පයක් නොව පවත්නා තත්ත්වය තවත් අවුල් කරනු ලබන්නක් වනු ඇත.

මේ නිසා දැනට අප හමුවේ ඇති තෝරා ගැනීම් දෙස බලන විට පැහැදිලි ලෙස ම ජාතික ජන බලවේගය යනු සැබෑ විකල්පයක් වෙනුවෙන් ඇති එකම පිළිතුරයි. දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ යනු ආණ්ඩුකරණයට සම්බන්ධ නොවූ නමුත්, තමන් වෙත දිගින් දිගට ම පැවරුණු විපක්ෂයේ කාර්යභාරය විශිෂ්ට ලෙස ඉටු කළ පක්ෂයක් බව ඕනෑම පුරවැසියකු පිළිිගන්නා කරුණකි. ජවිපෙ නොවන්නට දැනට හෙළිදරවු වී ඇති බොහෝ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ දැනුම ජනතාව කරා නොඑන්නට ඉඩ තිබිණ. එසේම සමාජ සුබසාධනවාදී ප්‍රතිපත්ති රැක ගැනීම කෙරෙහි ඔවුන් දක්වන දායකත්වය ද තීරණාත්මක ය. පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත සංවිධානාත්මක දේශපාලනය අතින් ගත් විට ජවිපෙ ශක්තිමත් පක්ෂයකි. ඔවුන්ගේ දේශපාලනික කැපවීම හා අවංකභාවය කෙරෙහි ජනතාවට විශ්වාසයක් ඇත. වඩාත්ම වැදගත් සාධකය වන්නේ විවිධ සංවිධාන හා කතිකාවන් සමඟ ගැටෙද්දී තමන් වෙනස් වීමට සූදානම් පක්ෂයක් බව ජවිපෙ විසින් ඔප්පු කර තිබීම ය.

ජාතික ජන බලවේගය වටා එකතු වී ඇති වෘත්තීය සමිති ව්‍යාපාර හා සිවිල් සංවිධාන දෙස බලන විට කාලයක් තිස්සේ විවිධ කලාපයන්ගේ ගැටලූ සහ සීමාවන් ගැන විශිෂ්ට අවබෝධයක් ඇති ඒ වෙනුවෙන් අරගල කරන සංවිධාන 28ක් ජාතික ජන බලවේගය වටා ගොනු වී ඇති බව දැකිය හැකි ය. උදාහරණයක් ලෙස ජාතික විද්වත් සංවිධානය වැනි එකක් ගත් විට එය විධිමත් ලෙස අධ්‍යයනය කර රට ගොඩනැඟිය හැකි ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ඇත. මේ ආකාරයෙන් ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳ මේ හැම සංවිධානයකම දැනුම හා අත්දැකීම් ජාතික ජන බලවේගයට දිශානතිය සපයයි. බුද්ධිමතුන් හා වෘත්තිකයන් අතින් ගත් කල ද ඒ ඒ ක්ෂේත්‍රයන් දියුණු කළ හැකි පරිකල්පනය සහිත විශාල පිරිසක් ජන බලවේගය වටා ගොනු වී ඇත. පීඩිත ආන්තික සමාජ කොටස් වෙනුවෙන් අරගල කරන සංවිධාන සේ ම උසස් කළමනාකරණයක් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයන් ද එකට එක් වන අවකාශයක් වන නිසාම ජාතික ජන බලවේගයේ දේශපාලනය හැම විටම සමස්ත පුරවැසියාගේම පොදු යහපත නියෝජනය කරයි. එසේම එය පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව කොන්දේසි විරහිතව පිළිගනියි. මේ නිසා ඉතා පැහැදිලි ලෙස ම මේ මොහොතේ ලාංකීය පුරවැසියා ඉදිරියේ ඇති සැබෑ විකල්පය වන්නේ ජාතික ජන බලවේගයයි. අවාසනාවකට ලංකාවේ ජනමාධ්‍ය ආයතන ප්‍රධාන පක්ෂ තරමටම දූෂිත හා තක්කඩි වීම නිසා මේ පණිවිඩය ජනතාව අතරට යාමේ දී යම් යම් සීමාකම් ඇති විය හැකි ය. නමුත්, පසුගිය අගෝස්තු 18 වන දා ගාලූ මුවදොර පිරී ඉතිරී ගිය සබුද්ධික පුරවැසියන් ගැන සලකා බලන විට නම් සැබෑ විකල්පය කුමක් ද යන පණිවිඩය මේ සීමාවන් අතික්‍රමණය කරමින් පැතිර යන බව පැහැදිලි ය.

කෞශල්‍ය කුමාරසිංහ

Leave a Response