විශේෂාංග

බැඳුම්කර කොල්ලයට නොදෙවැනි රක්ෂණ සංස්ථා කොල්ලය

85views

මීමැස්සා සහ මීවදය ජීව පරිණාමයේ එක් සුවිශේෂී නිර්මාණයක්ය. මෙය සංකේතයක් හැටියට ගතහොත්, බොහෝ දේට යොදා ගත හැකි ය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තම ලාංඡනය හැටියට යොදාගෙන තිබෙන්නේ මෙය ය. කෙසේ වෙතත්, මීවදයට සහ මීමැස්සාට සතුරන් බොහෝය. දෙබරෙක් රිංගා ගතහොත්, මීමැස්සන් මෙන් ම මීවදය ද කා වනසන්නේය. දෙබරා යනු ඒ සතුරන්ගෙන් එකෙක්ය.


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට සිදු වී තිබෙන්නේ ද මෙය ම ය. ‘ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව’ යනුවෙන් හැඳින්වුව ද, දැන් එහෙම එකක් නැත. අද තිබෙන ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඞ්’ මීට පෙර එය ජාවාරම්කාරයන්ට විකුණා දමා තිබූ යුගයක් විය. එදා එය හැඳින්වූයේ ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රයිවෙට් ලිමිටඞ්’ යනුවෙන්ය. මහජන සහ වෘත්තීය සමිති සටනක ප්‍රතිඵලයක් ලෙස දැන් එය යළිත් රාජ්‍ය මූල්‍ය ආයතනයක්ය.


ඒ නිසාම දැන් මෙය කා දමන දෙබරුන් බොහෝය. විවිධ අවස්ථාවල දී කූඨ නීති මඟින් මෙන් ම කිසිදු නීතියක්, රීතියක් නැතිව ද එය කා දැමීම සිදු කෙරේ. මේ සටහන ලියැවෙන්නේ ද තවත් වටයකින් මෙය කා, වනසා දමන ආකාරයක් අනාවරණය කිරීමට ය. රාජ්‍ය ආයතන සියල්ලකගේම රක්ෂණය භාර දී තිබෙන්නේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්’ වෙතය. මෙය මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් කළ නීති පැනවීමක්ය.


මේ හා සමාන නීති පැනවූයේ රක්ෂණ සංස්ථාව පිහිටු වූ සමයේ දීමය. එයට හේතුවක් විශේෂයෙන් තිබිණි. රාජ්‍ය ආයතන රක්ෂණය සඳහා වාර්ෂිකව රුපියල් කෝටි සිය ගණනක් ඒ ආරම්භක කාලයේ පවා වැය කෙරිණි. එහෙත්, රක්ෂණ වන්දි ගෙවීමට සිදු වූයේ සීමිත මුදලක්ය. මේ නිසා අදාළ රක්ෂණ ආයතනයට වාර්ෂිකව අතිවිශාල ලාභයක් අත් වේ. මේ ලාභය රාජ්‍ය අයාතනයක් තුළ ම රඳවාගෙන රටේ සංවර්ධනයට යෙදැවීම මූලික අරමුණ විය. රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදී ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වූ සමයේ මේ අරමුණු ඒ ලෙස ම ක්‍රියාත්මක නොවූ බව කවුරුත් දනිති. එසේ වුවත්, එක් වැදගත් දෙයක් මෙවැනි රාජ්‍ය මූල්‍ය ආයතන නිසා පොදුවේ රටට සිදුවිය. එය නම්, ශක්තිමත් රාජ්‍ය මූල්‍ය පද්ධතියකින් රටේ ආර්ථිකයට රැකවරණය සැලසීමය. 1990 දශකයේ පසුභාගයේ නැඟෙනහිර ආසියානු රටවල ආර්ථිකයන් බිඳවැටෙද්දී මෙරට ආර්ථිකයට ඔරොත්තු දීමේ ශක්තිය ලැබුණේ මේ නිසා බව පසුව ආර්ථික විශ්ලේෂකයන් තහවුරු කර තිබිණි.


වර්තමානයේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනුවෙන් හඳුන්වනු ලබන රාජ්‍ය මූල්‍ය ආයතනයට එදා තිබූ සුපිරි බලය නැති බව යථාර්ථයයි. ‘තරගකාරී රක්ෂණය’ යන්නට මුවා වී එයට තිබූ වෙළෙඳපොළ බලය ක්‍රමයෙන් බිඳවැට්ටවීය. නමුත්, අදට ද මෙරට මූල්‍ය ස්ථාවරත්වය අතින් අන්තිම ඉහළින් තිබෙන රක්ෂණ ආයතනය මෙයයි. ඊට සැලකිය යුතු පිටුබලයක් වී තිබෙන්නේ, රාජ්‍ය ආයතනවල රක්ෂණය නීතියෙන්ම පවරා තිබීමය. මෙසේ පවරා තිබීම නිසා රක්ෂණ ආවරණය ලබන්නාගේ සුරක්ෂිතතාව ඉහළින්ම
රැකී තිබේ. දැන් කිසියම් පිරිසක් නීති විරෝධීව රාජ්‍ය ආයතනවල රක්ෂණය පෞද්ගලික සමාගම්වලට භාර දෙමින්, හොර ගේමක යෙදී සිටිති. මේ නිසා රුපියල් මිලියන ගණනින් කොමිස්, පගා හුවමාරු වන බව පැහැදිලිය.


සිදු කෙරෙන්නා වූ මේ මහා කොල්ලය කොතැනින් කෙළවර වේ ද? අපට අනුමාන කළ හැක්කේ, මෙය මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර කොල්ලයටත් එහා ගිය ගේමක් වනු ඇති බවයි. මූල්‍ය කොල්ලය ඒ තරම් දරුණුය.


ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාව වගකිව යුත්තන්ට ලිඛිතව මෙම ජාවාරම් ගැන දන්වා තිබේ. මුදල් ඇමතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රාජ්‍ය ගිණුම් කාරක සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති, එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ, එම සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ආදීන් ද ඒ අතරේ සිටිති. යවන ලද ලිපියේ ඉතා පැහැදිලිව මෙසේ දක්වා තිබේ. “රජයේ ආයතන සඳහා සාමාන්‍ය රක්ෂණ ආවරණය රජය සතු රක්ෂණ ආයතනයකින් කළ යුතු බව රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 04/2015 (ඇමුණුම 02 බලන්න.) අනුව 2015 ජූලි මස 14 වැනි දින ඔබතුමා නියෝග කර ඇත. නමුත්, බොහෝ රාජ්‍ය ආයතන රජයේ නොවන රක්ෂණ ආයතනවල රක්ෂණ කටයුතු කර ඇති බව පෙනේ.” යනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට දැන් වූ ලිපියේ සඳහන්ය.


ඉහළම නිලධාරියා වන මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට මෙය දන්වා ඇත්තේ, 2019 ජූලි මස 15 වැනිදාය. මේ බව හෙළි කර දන්වන විට ද, රාජ්‍ය ආයතන සිය ගණනක රක්ෂණය පෞද්ගලික අංශයට ලබා දී අවසන්ය. මේ නිසා ඇති වී තිබෙන්නේ, අතිශය බරපතළම තත්ත්වයක්ය. රාජ්‍ය ආයතනවල ආරක්ෂාවට අදාළව ය. රක්ෂණ ආවරණයක් ලබා ගැනීමේ දී අදාළ ආයතනයේ සියලු ම තොරතුරු රක්ෂණ සමාගමට ලබා දිය යුතුය. දේපළ, වත්කම්, වෙනත් නීතිමය බැඳීම් ආදී සියල්ල නොවලහා රක්ෂණ ආයතනයට ලබා දිය යුතු වේ. රහස් කිසිවක් ආරක්ෂා කර ගත නොහැකිය.


මේ පවතින කොල්ලකාරී ආර්ථිකය තුළ සිදු කෙරෙන මහා ජාවාරම් පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. පෞද්ගලික රක්ෂණ සමාගම් සතුව තිබෙන රාජ්‍ය ආයතනවල අදාළ රහස්‍ය තොරතුරු වෙනත් ආයතන හෝ බාහිර පාර්ශ්වයන් අතට නොයාවි යැයි තහවුරු කළ නොහැකිය. මේ තත්ත්වය කොතරම් දුරට යා හැකි ද? මෙහි පැතිරීමේ සීමාවන් ගැන සිතිය නොහැකි ය. රාජ්‍ය ආරක්ෂාවට අදාළ ආයතනවලට පවා තර්ජන කෙරෙන සීමාවට යා හැකි ය. නිදර්ශනයක් ලෙස ඉදි කෙරෙමින් පවතින අකුරේගොඩ
ආරක්ෂක මූලස්ථානයේ රක්ෂණ කටයුතු වුව ද, පෞද්ගලික අංශයට භාර දීමේ හැකියාව පිළිබඳ අනතුරක් තිබේ. එවට ආරක්ෂක මූලස්ථානයේ සැලැසුම් පවා රක්ෂණ ආයතනයට ලබා දිය යුතුය. ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු පිට කිරීම ඇරඹෙන්නේ මෙසේය. පවතින අනතුරේ බරපතළකම දක්වන එක් නිදර්ශනයක් පමණි මේ.


මෙය තලියේ කිඹුලන් දැකීමක් ලෙස ද කෙනකු අර්ථදැක්විය හැකි ය. නමුත්, එය එසේ නොවන බව තහවුරු කිරීමට එක් නිදර්ශනයක් දැක්වීම ප්‍රමාණවත්ය. මේ ආණ්ඩුවේ ලොකු ප්‍රචාරයක් ලබා දෙමින්, පාසල් සිසු සිසුවියන් රක්ෂණය කිරීමේ වැඩසටහනක් ඇරඹීය. ‘සුරක්ෂා’ යනුවෙන් එය නම් කර තිබේ. මේ පිළිබඳ වංචා, දූෂණ ‘ලංකා’ මෙයට පෙර හෙළි කර තිබේ. මෙහි දී මතු කරන්නේ, උදාහරණයක් පමණය. ‘සුරක්ෂා’ සිසු ණය රක්ෂණය මුල දී දී තිබුණේ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතය. ලක්ෂ 44ක් සිසු සිසුවියන් රක්ෂණය සඳහා රුපියල් කෝටි 270ක් වෙන් කර තිබිණි.
මෙම රක්ෂණය 2018/19 වර්ෂය සඳහා ලබා දී තිබෙන්නේ, ජර්මනියේ මව් සමාගම තිබෙන බහුජාතික රක්ෂණ සමාගමක් වන ‘අලියන්ස්’ සමාගමටය.


හේතු වශයෙන් දක්වා තිබෙන්නේ, රුපියල් කෝටි 170කට රක්ෂණ ආවරණය ලබා දෙන බවය. මෙම තර්කයේ දී මූලික කරගන ඇත්තේ, පිරිවැයක් යන්න පමණය. අනෙකුත් කිසිදු සාධකයක් සලකා බලා නැත. ‘දී කිරට බළල්ලුත් සාක්ෂි’ වර්ගයේ ව්‍යාපාරික ජාවාරම් සිදු කරන්නේ මෙසේය : ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ සාකච්ඡා කර රක්ෂණ මුදල අඩු කර ගැනීමේ හැකියාව ඕනෑ තරම් තිබිණි. එහෙත්, සිදු කර තිබෙන්නේ, ‘රාජ්‍ය මුදල් චක්‍රලේඛ 04/2015 අමුඅමුවේ බිඳ දැමීමය.


මෙවැනි ජාවාරම් සිදු කරන විට ජනාධිපති විසින් මෙය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ වැඩක් බව දන්වා බේරීමේ න්‍යාය අනුගමනය කරයි. එහෙත්, මෙය එසේ ගැල වී යාමට ඉඩ දිය යුතු තත්ත්වයක් නොවේ. මන්ද, රාජ්‍ය ආයතන රාජ්‍ය රක්ෂණ ආයතනයකින් රක්ෂණය කර නොගෙන සිටීම පිළිබඳ ජනාධිපති ද ආකාර කීපයකින් දායක වන බැවින්ය. කැබිනට් අනුමැතිය ලබා ගන්නා අවස්ථාවක නම්, ජනාධිපති කැබිනට් ප්‍රධානියා ලෙස අනුමැතිය දීමය. එසේ වන සේ නොවන අවස්ථාවල ‘ටෙන්ඩර් අභියාචන කමිටු’ මඟින් ජාවාරමුනට ඉඩ ලබා දීමයි. මේ කමිටුවට ජනාධිපති ලේකම් ද අයත්ය. ‘අලිබබා සහ හොරු හතළිහ’ වැඩ කරන්නේ මෙසේය.


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ද ක්‍රමයෙන් ‘ස්වාභාවික වාරණයට’ තල්ලු කරන බව මෙයින් පැහැදිලිය. හරියට ‘එයාර් ලංකා’ සමාගම මෙන්ය. මෙම ආයතනය සම්බන්ධ විමර්ශනයක් කෝප් කමිටුව විසින් 2016 ජුනි 09 වැනි දින සිදු කර තිබිණි. මුදල් චක්‍රලේඛ 04/2015 ක්‍රියාත්මක වූ ස්වභාවය විමර්ශනය කිරීමේ නිර්දේශ එදින ලබා දී තිබිණි. එම නිර්දේශයේ “ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර ඇති ආයතන පිළිබඳව හා රජයට අයත් හැම ආයතනයක් ම රක්ෂණය කර ඇත්තේ ද, එසේ නම් කුමන රක්ෂණ ආයතනයක් ද යන්න පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස උපදෙස් දෙන ලදී.” යනුවෙන් සඳහන් ය. මේ පිළිබඳ ප්‍රගතිය 2016 සැප්තැම්බර් 30 වැනි දින සමාලෝචනය කර තිබිණි. එදින වන විට අදාළ වාර්තාව ලබා දී නොතිබිණි.


මේ රට ජාවාරම්කාරී පාතාලයකට ගොදුරු කර තිබෙන තරම මෙයින් පැහැදිලි වේ. මහජන බැංකුව කොටස් වෙළඳපොළේ විකුණා දැමීමට ලකලෑස්ති වන හා ඒ වෙනුවෙන් බැංකුවේම සල්ලි විසි කරන ආකාරය පසුගිය ‘ලංකා’ කලාප කීපයකින් ම හෙළි කෙරිණ. රක්ෂණ සංස්ථාවට කරන්නේ ද ඊට නොවෙනස් දෙයක් නොවේ. රජයේ එනම්, මේ රටේ ජනතාව සතු ධන නිධාන සියල්ල මකර කටට හෙළීමට ඉඩ දී බලා සිටින්නේ ද යන්න ජනතාව තීරණය කළ යුතුය.

■ ඉන්ද්‍රසිරි ජයසුන්දර

Leave a Response