Uncategorizedවිශේෂාංග

ඔහු අදටත් අතුරුදන්!

76views

1990 අවුරුද්දේ සිට කළ සේවය සලකා බලා වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් ඔහුට ගෙවිය හැකි බව හමුදාව දැනුම් දී ඇත්තේ ඒ කාලයේය. ගැටලුවේ තරම ඔබට පැහැදිලි ද? කෙසේ වෙතත් අතුරුදන් වී අවුරුදු හතරකට පසුය, එයත් ගෙවන්නේ. ගැටලු සහිතව වුවද අවුරුදු හතරක් යන තෙක් ඒ හමුදා සෙබළා කළ සේවය සලකා බලන්නට හමුදාවට හැකි වී තිබුණේ නැත. ඔහු ‘ඇබ්සන්ට්’ වීම නිසා කිසිදු ගෙවීමක් ලබා දිය නොහැකි බව හමුදාවෙන් මුලින් පවුලේ ඥාතීන්ට පවසා තිබිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ 01009 කෝප්‍රල් අංකය දැරූ වීනා සිත්තම්බි වේල්නායගම් අදටත් නැත. 2006 අවුරුද්දේ මැයි 02 වැනිදා සිට ඔහු අතුරුදන්ය. 2016 ජුනි 05 වැනිදා පතොරම් ගබඩාවක් පුපුරා යාමෙන් ලෝකයම දැනගත් අවිස්සාවේල්ල, සාලාව හමුදා කඳවුර පිටුපස පිහිටි ආනන්දගම ඔහු පදිංචිව සිටියේය. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරියගේ අත්සනින් නිකුත් කර ඇති ඔහුගේ මරණ සහතිකයට අනුව මරණයට හේතුව අතුරුදන් වී අවුරුද්දකට වැඩි කාලයක් ගත වී ඇති බැවින්, මිය ගිය බව විශ්වාස කිරීමය.

ඔහු රස්සාව කළේ යුද හමුදා මූලස්ථානයේ මාධ්‍ය ඒකකයේ භාෂා පරිවර්තකයකු ලෙසය. අවිස්සාවේල්ලේ සිට යුද හමුදා මූලස්ථානයට එන ‘ලිබර්ටි’ බස් රථයෙන් රස්සාවට ආ-ගිය ඔහු 2006 මැයි 02 හවස පුරුදු වේලාවට ගෙදර ආවේ නැත. සාමාන්‍යයෙන් හවස 6.50 පමණ වන විට ඔහු ගෙදරය. මේ සෙබළා හමුදාවෙන් පළා ගිය අයකු ලෙස හමුදාව සලකන්නට පටන් ගත්තේ එතැන් සිටය. ඔහුගේ නම ‘ඇබ්සන්ට්’ ලිස්ට් එකට එකතු කෙරිණි.

දරුවන් තිදෙනකු සමග ඒ අම්මා, කෝප්‍රල්ගේ බිරිඳ ජීවත්වෙන්නට දැඟලීය. හමුදාව ඔහුගේ වැටුප ඇතුළු සියලු දීමනා නතර කළේය. පොලිස් පැමිණිලි, මානව හිමිකම් කොමිසමේ පැමිණිලි, හමුදාපතිවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට, ජනාධිපතිවරයාට යවන ලියුම් අතර ඔවුන්ගේ ජීවිතය ගෙවිණි. දරුවන්ට පාසල් යාම නතර කරන්නට සිදු විය.

ඒ අතරවාරයේ ආනන්දගම ගමේ ඔවුන් සමග කතා කළ පිරිස පවා ඔවුන් මගහරින්නට වූහ. ඒ ගැන විමසූ විට ඔවුන් කියා ඇත්තේ ‘ඔයගොල්ලොත් එක්ක කතා කළොත් අපිටත් ප්‍රශ්න එනවා, පොලිසි යන්න වෙනවා’ කියාය. නාඳුනන පිරිස් නිතර ඒ අම්මා, දරුවන් සහ ගෙදරට එන්නේ කවුද යන්න සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටියහ. කිසිදු ආදායමක් නොමැතිව ඔවුන් ගෙදරට හිර කොට තිබිණි.

පොලිස් පැමිණිලිවලට අදාළව විධිමත් විමර්ශනයක් සිදු වූයේ නැත. ඒවාට ලියුම් යවන්නට ගිය මුදල් පමණක් අපරාදේ බව කෝප්‍රල්ගේ අම්මාට, දරුවන්ට හිතෙන්නට ඇත. ඒත් දිගින් දිගටම ඒ පස්සේ යාමේ ප්‍රතිඵලයක් ලෙස 2010 අගෝස්තු 17 වැනිදා සිට කෝප්‍රල්වරයා වෙනුවෙන් යම් දීමනාවක් ගෙවීම ආරම්භ කෙරිණි.

1990 අවුරුද්දේ සිට කළ සේවය සලකා බලා වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් ඔහුට ගෙවිය හැකි බව හමුදාව දැනුම් දී ඇත්තේ ඒ කාලයේය.

ගැටලුවේ තරම ඔබට පැහැදිලි ද? කෙසේ වෙතත් අතුරුදන් වී අවුරුදු හතරකට පසුය, එයත් ගෙවන්නේ. ගැටලු සහිතව වුවද අවුරුදු හතරක් යන තෙක් ඒ හමුදා සෙබළා කළ සේවය සලකා බලන්නට හමුදාවට හැකි වී තිබුණේ නැත. ඔහු ‘ඇබ්සන්ට්’ වීම නිසා කිසිදු ගෙවීමක් ලබා දිය නොහැකි බව හමුදාවෙන් මුලින් පවුලේ ඥාතීන්ට පවසා තිබිණි. එහෙත් අවුරුදු හතරකට පසු එය තරමක් වෙනස් වී තිබිණි. හමුදාවෙන් ගෙදරට එවූ ලිපියක සහ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත එවූ ලිපියක සඳහන් කර ඇත්තේ මූලික පරීක්ෂණ උසාවියක් මගින් මේ සිද්ධිය විමර්ශනය කළ බවත්, ඒ අනුව ඔහු එල්ටීටීඊයෙන් පැහැරගන්නට ඇතැයි සැක කළ හැකි බවත්ය.

‘ඔහු ඇසුරු කළ කිහිපදෙනකුම එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කර ඇති බවත්, ඔහු ද එල්ටීටීඊ සංවිධානය මගින් ඝාතනය කරන්නට ඇතැයි සැක කරන්නට හැකි බවත්…’ 2017 මැයි මාසයේ 02 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අදාළ ලිපියේ හමුදාව එසේ සඳහන් කර ඇත.

එසේ නම් තවදුරටත් ඔහු හමුදාවෙන් පළා ගිය අයකු ලෙස සලකමින් ඔහුගේ විශ්‍රාම වැටුප නිසි පරිදි නොගෙවීම අනුමත කළ හැකි ද? හමුදාවේ මූලික පරීක්ෂණ උසාවිය පවසන්නේ ඔහු ඝාතනය කර ඇති බවට සැක කළ හැකි බවයි. එසේ නම් ඝාතනයට ලක් වූ අනෙකුත් සෙබළුන්ට හිමි වරප්‍රසාද අතුරුදන් වීමෙන් අවුරුදු 13 කට පසුවත් ඔහුගේ පවුලට ලබා නොදෙන්නේ ඇයි?

මේ කෝප්‍රල්වරයාගේ අතුරුදන්වීමෙන් අවුරුදු 11 කට පසුවය, ඔහු හමුදා මූලස්ථානයෙන් පිට වී ඇති බවත්, ඊට අදාළ අත්සන් යොදා ඇති බවත්, ලිබර්ටි බස් රථයේ පැමිණ සාලාව හන්දියෙන් බැස ඇති බවත් හමුදාව මුල් වරට පවසන්නේ. ඒ මානව හිමිකම් කොමිෂන් සභාවටය. කෙසේ වෙතත් කොස්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි අංක 1 වෙත ඉදිරිපත් කර ඇති 2017 පෙබරවාරි 19 වැනි දිනැති වාර්තාවට අනුව අදාළ කෝප්‍රල්වරයා කොස්ගම පොලිස් වසම තුළ අතුරුදන් වී ඇති බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.

සාලාව හන්දියේ සහ ආනන්දගම ගම්වාසීන්ට අනුව මේ කෝප්‍රල්වරයා හිත හොඳ මනුස්සයෙකි. ඕනෑම තරාතිරමක අයකු සමග හිනාවෙන, කතාබහ කරන අයෙකි. සාමාන්‍යයෙන් ඔහු දිනපතා ‘ලිබර්ටි’ බසයෙන් පැමිණ සාලාව හන්දියෙන් බහින්නේ හවස 6.50 ට පමණ ය. ඒ කියන්නේ හන්දිය ජනාකීර්ණ වෙලාවකි. රස්සාවලට ගිහින් එන අය එකිනෙකා මුණගැහෙන වෙලාවය. හැමදාම එන යන මේ කෝප්‍රල්වරයාට ද එවැනි මිතුරන් රැසක් සිට ඇත.

අවුරුදු එකොළහකට පසු හමුදාව පවසන්නේ අදාළ බස් රථයේ රියැදුරා පවසන ආකාරයට මේ කෝප්‍රල්වරයා සාලාව හන්දියෙන් බැස ගත් බවයි. එසේ නම් කිසිවකු ඔහුව දුටු බවට සාක්කියක් නැත්තේ ඇයි? අනෙක් අතට බසයෙන් බැසීමෙන් පසු ඔහුව පැහැරගැනීමකට ලක් වූයේ නම්, එවැනි සිද්ධියක් හන්දියේ කිසිවකු නොදුටුවේ ඇයි? සාලාව ප්‍රදේශය අයත් කොස්ගම පොලීසිය පවසන්නේ තම බලප්‍රදේශය තුළදී එවැනි අතුරුදන්වීමක් සිදු වූ බවට කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැති බවයි.

එසේ නම් මේ කෝප්‍රල්වරයාට සිදු වූයේ කුමක්ද?

ඔහු බිරිඳ සහ දරුවන් සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ අයෙකි. එදින, එනම් මැයි 02 කෝප්‍රල්වරයාගේ පුතාගේ උපන්දිනයයි. ඔහුගේ උපන් දිනය සමරන්නට කේක් රැගෙන එන බව ඒ තාත්තා පොඩි දුවට පවසා ඇත. හමුදා මූලස්ථානයේ සිට හවස ඒ දුරකථන ඇමතුම ලබා දී තිබේ. ඒ කියන ආකාරයට ඔහුට සාලාව හන්දියෙන් බසයෙන් බැස වෙනත් ගමනක් යන්නට සැලසුමක් තිබී ද නැත.

තවත් කතාවක් තිබේ. ඒ ‘මාමා මහේන්ද්‍රන්’ නමින් පෙනී සිටින්නකු පිළිබඳව ය. ඔහු මේ අතුරුදන් කෝප්‍රල්වරයාගේ පැරණි මිතුරෙකි. සාලාවේ පිහිටි ඔහුගේ නිවසට ආ-ගිය කෝප්‍රල්වරයා අතුරුදන්වීමෙන් පසු ඔහු නැවත ඒ නිවසට පැමිණ නැත. එල්ටීටීඊ විරෝධියකු වන මේ මාමා මහේන්ද්‍රන් හෙවත් සන්තිවේල් මාමා නමැත්තා 1983 අවුරුද්දේ කළු ජූලියෙන් පසු ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කර ඇත. එල්ටීටීඊ තර්ජන නිසා ඉන්දියාවට පැන ගොස් සිටි ඔහු නැවත ලංකාවේ ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ කරුණා අම්මාන් සමගය. 2004 වසරේ දී කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන්වීමෙන් පසු ඔහුගේ විශ්වාසවන්තම ගෝලයන් අතරට මේ මාමා මහේන්ද්‍රන් ද එක් ව ඇත. කරුණා අම්මාන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග සමීප ගනුදෙනු පටන් ගැනීමෙන් පසු මේ මාමා මහේන්ද්‍රන් දිගටම කොළඹ නැවතී සිට ඇත.

අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල්හි අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ද මේ මාමා මහේන්ද්‍රන් සිටී. ජීවිතයට සහ සෞඛ්‍යයට එරෙහි අපරාධ යන කොටසේ ඔහු ගේ නම සඳහන්ය. ස්විට්සර්ලන්තයේ ජීවත් වන දෙමළ ජාතික යුවළක් හිංසනයට පත් කොට මරා දැමීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් මගින් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කර ඇතත්, ඔහුට මෙතෙක් ගැටලුවක් වී නැත.

අදාළ කෝප්‍රල්වරයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැක කවුදැයි විමසන විට පවුලේ සාමාජිකයන් පොලීසියට පවසා ඇත්තේ මේ මාමා මහේන්ද්‍රන් ගැනය. ඔහු අවසාන වරට පිරිසක් සමග නිවසට පැමිණ ගිය පසු කවුරුන් හෝ තමන් පස්සේ පන්නන බව දැනෙන්නේ යැයි කෝප්‍රල්වරයා ගෙදර අයට පවසා ඇත. ඔහු එසේ කිව්වේ ඇයි?

මේ කරුණු පොලීසියට පවසා තිබුණද, පොලීසියෙන් හමුදාව හරහා මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇත්තේ මේ අතුරුදන් වීමට මහේන්ද්‍රන්ගේ සම්බන්ධයක් ඇති බවට සෘජු සාක්ෂි කිසිවක් අනාවරණය වී නැති බවයි. එය එසේ විය හැකිය.

ඒත් මේ සියල්ල එකින් එකට මේ තරම් ම පරස්පර සහ එකින් එකට සම්බන්ධ වන්නේ කෙසේ ද?

හමුදාව කියන්නේ ඔහු බසයෙන් ආ බව ය. සාලාවෙන් බැස ගත් බව ය. පොලීසිය කියන්නේ ඒ කියන හරියේ දී අතුරුදන් වූ බවට කිසිදු සාක්ෂියක් නැති බවය. පවුලේ සාමාජිකයන් කියන්නේ මහේන්ද්‍රන් නමැත්තා සැක බවය. පොලීසිය කියන්නේ මහේන්ද්‍රන් සැක කරන්නට බැරි බවය. මහේන්ද්‍රන් කියන්නේ ඔය කාලයේ කරුණා අම්මාන් සමග එකටම සිටි අයෙකි. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ අයෙකි.

තවත් ගැටලු කිහිපයකි. එයින් පළමුවැන්න, හමුදාව මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇත. ඒත් සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයට ඒ උසාවිය ඉදිරියට පවුලේ සාමාජිකයන් එක් අයකු හෝ කැඳවා නැත. එනම් පාර්ශ්වික පරීක්ෂණයකි. එසේ වූයේ ඇයි?

මේ කෝප්‍රල්වරයා අතුරුදන් වීමෙන් පසු අවස්ථා දෙකක දී ඔහුගේ වැටුප බැර වන බැංකු කාඞ්පත භාවිත කර ඇත. අතුරුදන් වීමෙන් දින දෙකකට පසු එනම් මැයි 04 වැනිදා යක්කල දී රුපියල් 5,000.00ක් ලබාගෙන ඇති අතර, ඒ මාසයේම 24 වැනිදා මහරගම දී රුපියල් 7,500.00ක් ලබාගෙන ඇත. අදාළ බැංකු කාඞ්පත අක්‍රිය කිරීමට බැංකුවේ උපදෙස් පැතීමේ දී මේ තොරතුරු හෙළි වී තිබේ.

ඔහුගේ පවුලට බලාපොරොත්තු දෙකක් තිබිණි. එකක් නම්, අඩු තරමේ තාත්තාගේ මිනිය දැකීමය. එය අතුරුදන් වූවන්ගේ සියලු පවුල් මුහුණ දෙන බරපතළ ඛේදවාචකයයි. අනෙක නම් තාත්තාගේ නමට ඉදිරියෙන් ඇති ‘ඇබ්සන්ට්’ කෑල්ල ඉවත් කොට ඔහුගේ සේවයට ලැබිය යුතු විශ්‍රාම වැටුප් සහ දීමනා නිසි පරිදි ලබා ගැනීමයි. ඉන් පළමුවැන්න දැන් ඔවුන් අත්හැර දමා ඇත.

මෙතෙක් මෙය අධිකරණයට ගොස් නැත. ඒ සඳහා නීතිඥ ගාස්තු, ලිපි ලේඛන ගාස්තු ආදිය ගෙවන්නට ඒ තාත්තාගේ දරුවන්ට හැකියාවක් නැතිවා පමණක් නොව අධිකරණය ඉදිරියට මේ සිද්ධිය ගෙන යනවාට හමුදාව පාර්ශ්වයෙන්ද විරුද්ධය. ඇත්ත පස් යටය. වසර 13 කට පසුවත් මේ ලියන්නේ, එය ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් පමණක් නොවන නිසාය. මේ රටේ පුරවැසියකු බලහත්කාරයෙන් අතුරුදන් කොට ඇත. ඊට අදාළ විමර්ශන සියල්ල සැක සහිතය. ඒවා හිතූ-හිතූ තැන් වල නවත්වා ඇත.

බරපතළ ගනයේ අතුරුදන්වීම්, අපරාධ සියල්ලට අදාළව යුක්තිය ඉටු නොවූව ද, අධිකරණ කටයුත්තක් හෝ ක්‍රියාත්මක වන්නේය. එහෙත් මේ තනි පුද්ගල සිදුවීම් රට දන්නේත් නැත. විනිර්මුක්තිය හෙවත් යුක්තිය ඉටු වීම ගැන බලාපොරොත්තුවක් හෝ තබා ගන්නට ඒ පවුලේ අය දැන් සූදානම් නැත. මේ කොතරම් භයානක රටක් ද? 

ශාලික විමලසේන

Leave a Response