විශේෂාංග

දොළුකන්දේ පිරිත් පැන්වල රිළා අසූචි සහ දීගොඩ කුමාරලාගේ ලෙඩ සුව කිරීම

178views

දීගොඩ කුමාර නමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන අද්භූත බලයෙන් ලෙඩ සුව කිරීම ගැන කතාබහක් ඇති වී තිබේ. හිටිහැටියේම මෙකී කතාබහ ඉස්මතුව තිබෙන්නේ ඔහුගෙන් ලෙඩ සුවකර ගැනීමට පැමිණි දෙදෙනෙක් මිය ගොස්, තවත් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත කිරීමත් සමගය.
මේ කතාබහ සමග බොහෝ පිරිසක් තම අතීත මතකයන් ද අවදි කරමින්, මීවැල්ලෑවේ සහ දොළුකන්දේ මිථ්‍යාවන් ද සිහිපත් කර තිබිණි.


මා ‘සිළුමිණ’ පුවත් පතේ සේවය කරන සමයේ දොළුකන්දේ මහා හාස්කම් සහිත පිරිත් පැන් ගැන රට පුරා ආන්දෝලනයක් පැතිරිණි. රටේ නන්දෙසින් දසදහස් ගණන් ජනතාව තම ලෙඩ සුව කර ගැනීමට දිනපතා දොළුකන්ද ආරණ්‍ය සේනාසනයට ඇදෙන බව ද වාර්තා විණි. මෙය මිනිසුන් රවටන මිථ්‍යාවක් බව අප හොඳින්ම දන්නා නිසා මමත්, ‘සිළුමිණ’ කර්තෘ මාණ්ඩලික තාරක වික්‍රමසේකරත් දොළුකන්දේ පිරිත් පැන් ගැන සෙවීමට එහි ගියෙමු. එහි පැමිණෙන ජනගඟේ තරම කොතරම් ද යත්, ආරණ්‍ය සේනාසනයට අවම වශයෙන් කිලෝමීටර් තුනක්වත් ඈතින් වාහනය නවත්වා පා ගමනින් එහි යාමට සිදුවිය.
පිරිත් සජ්ඣායනා සහ නිවේදකයන්ගේ කෑ මොර දීම් සමග දහස් ගණනක් ජනී ජනයා පෝලිම් ගැසී සාදුකාර දෙමින් පිරිත් පැන් ලබා ගනිති. ලබා ගන්නා පිරිත් පැන් මාහැඟි වස්තුවක් සේ සුරැකිව බැති පෙමින් රැගෙන යනවා පෙනෙයි. පෙරවරු දහයට හෝ එකොළහට පමණ ඤාණවිමල හිමියන්ගේ විශේෂ පූජා මෙහෙය ආරම්භ විණි. පිරිත් පැන් දීම මඳකට නතර කෙරිණි.


තාරකටත්, මටත් පිරිත් පැන් බෙදන ටැංකිය අසලට යා ගත හැකි වූයේ මහ සෙනඟ පූජාව සඳහා එතැනින් ඉවත් වූ නිසාය.
අලුතින් සිමෙන්තියෙන් බඳින ලද අඩි තුනක් හතරක් උසැති ටැංකියකි. පිරිත් පැන් ඇත්තේ එම ටැංකියේය. සුදු ඇඳ ගත් කිහිප පොළක්, කහ පැහැති රෙදිකඩ එතූ පිඟන් මැටි ජෝගුවලින් පිරිත් පැන් බෙදීම සිදු කරනු පෙනිණි. අප දෙදෙනාට අවශ්‍ය වූයේ මෙකී ටැංකියට ජලය (පිරිත් පැන්) ගලා එන්නේ කෙසේ දැයි නිශ්චිතව දැනගැනීමටය.
පූජාව පැවැත්වෙන වෙලාවේ පිරිත් පැන් බෙදීම නවතා තිබු නිසා එම ටැංකියෙන් ජලය උතුරා යමින් තිබුණි. ටැංකිය පිටුපස පහළින් සවි කරන ලද එස්ලොන් බටයකින් ටැංකියකට ජලය සැපයෙන බව පසක් කර ගැනීමට අපට ගත වූයේ විනාඩි කිහිපයකි. ටැංකියට ජලය මුදාහැරෙන බටයේ කෙළවර සුදු රෙදි කැබැල්ලක් ද ගැට ගසා තිබිණි. ටැංකිය කරා ජලය ගෙන එන එස්ලොන් බටය දිගේ අප දෙදෙනා මීමන ශාක වැවී තිබුණු කැලෑව පීරමින් ඉහළට ගමන් කළෙමු. කන්දේ කිසියම් දුරක් යන විට පැරණි ජරාවාස වූ ජල ටැංකියක් හමු විය. එකී ජල ටැංකිය වසා පැතිර ගිය විශාල කැන්ද ගස් කිහිපයකි. මේ ගස්වල රිළවුන් විසි තිස් ගණනක් දක්නට ලැබිණි.


පහළ අලුතින් ඉදි කරන ලද පිරිත් පැන් බෙදන ටැංකියකට ජලය සැපයෙන්නේ මෙකී ජරාවාස වූ ටැංකියෙන් බව අපි ස්ථිරව සොයා ගත්තෙමු. ඉන් පසු අප දෙදෙනාට අවශ්‍ය වූයේ ජරාවාස වූ ටැංකියට ජලය ලැබෙන්නේ කෙසේ දැයි සොයාගැනීමයි. එම ජරාවාස වූ ටැංකියට අලුතින් සවි කරන ලද එස්ලොන් බට ඔස්සේ අප දෙදෙනා ඉදිරියට ගිය විට කන්දේ බෑවුම් පෙදෙසෙහි තිබූ තවත් ජරාවාස වූ ස්වාභාවික කළුගල් පොකුණක් හමුවිය. එම පොකුණ ඇල්ගීවලින් පිරුණු එකකි. අලුතින් මෝටරයක් සවි කර ඉහත ජරාවාස වූ ටැංකියට ජලය ගෙන යනු ලබන්නේ එම පොකුණෙන් බව අපි පැහැදිලිවම තහවුරු කර ගත්තෙමු.


විශේෂිතම කාරණය වූයේ පෙර සඳහන් කළ ජරාවාස වූ ටැංකිය වසා පැතුරුණු කැන්ද ගස්වල සිටින රිළවුන්ගේ අසූචි කිසිදු ආවරණයක් නොමැති ටැංකියට පතිත වන බවයි. දොළුකන්දේ පූජාවට එන මහ සෙනඟ ගෙන එන පලතුරු, පූජාවෙන් පසු විසි කර දමන අතර, රිළවුන් විශාල ප්‍රමාණයක් සැරිසරන්නේ එකී පලතුරු කෑමටය. ජරාවාස වූ ටැංකිය මත්තෙහි සැරිසරන රිළවුන් ඩැහැ ගන්නා පලතුරු රැගෙන කෙළින්ම යන්නේ කැන්ද ගස් උඩටය. උන් අතින් ගිලිහෙන පලතුරු කැබලි ද පතිත වන්නේ අප කියන පැරණි ජරාවාස වූ ටැංකිය තුළටය.


දොළුකන්දට ඇදී ආ දසදහස් ගණන් මිනිසුන්ගෙන් පුද පඬුරු සහ එහි ඉදි කරනවා යැයි කියූ රන් කොතක් සඳහා රත්‍රන් ද ඇති පදම් එකතු කරනු ලැබීය. කිසිදු වගවිභාගයකින් තොරව උපාසක අම්මලා පමණක් නොව තරුණ පිරිස් ද තමන් පැළඳ සිටි රන් ආභරණ නොපැකිලව පූජා කළෝය. අප දෙදෙනා මෙකී විපරමට ගියේ බ්‍රහස්පතින්දා දිනකය. සිකුරාදා පුවත් පතේ වැඩ අවසන් වන අතර, දීර්ඝ ලිපියකට ඉඩකඩ නොවිණි. එහෙයින් ඊළඟ සතියේ දීර්ඝ හෙළිදරව් කිරීමේ අරමුණ ඇතුව පළමු පිටුවේ ප්‍රවෘත්තියක් පළ කළෙමු. එහි ශීර්ෂ පාඨය වූයේ ‘දොළු කන්දේ පිරිත් පැන්වල රිළා අසූචි‘ මැයෙනි. ලබන සතියේ සම්පූර්ණ හෙළිදරව්ව කරන බව ද එම ප්‍රවෘත්තියේම සඳහන් කළෙමු.


අවාසනාවකි. එවකට ‘සිළුමිණ’ කර්තෘ නිමල් හොරණ මහතා ඊ ළඟ සතියේ අපට දැන්වූයේ “අර ලිපිය දාන්න එපා” කියල ඇමැතිවරයා දැනුම් දුන් බවයි. එවකට ජනමාධ්‍ය ඇමතිවරයා වූයේ මංගල සමරවීර මහතාය.


ඉන් පසු මෙකී මිථ්‍යාව කෙසේ හෝ හෙළි කළ යුතු නිසා මා ‘රාවය’ පුවත්පතේ ජයසිරි ජයසේකරට කතා කර සිද්ධිය දැනුම් දුන් පසු එවකට එහි මාධ්‍යවේදියකු වූ චාමින්ද නාගොඩ විතාන මා හමු වී සියලු විස්තර ලබාගෙන නැවතත් දොළුකන්දට ගොස් තවත් විස්තර සොයාගෙන දීර්ඝ ලිපි එකක් හෝ දෙකක් ‘රාවය’ පුවත් පතේ පළ කළේය. දොළුකන්ද ඈවර වූයේ එකී හෙළිදරව්වෙන් පසුවය.
මිථ්‍යාවට එරෙහි මංගල සමරවීර එදා අප පළ කිරීමට සූදානම් වූ හෙළිදරව්ව නතර කළේ ඇයි දැයි අදටත් නොදනිමි. වරින්වර මතු වන මිථ්‍යාවන් ගවේෂණය කොට රටට හෙළිදරව් කිරීම මාධ්‍ය විසින් ඉටු කරන්නේ නම්, දීගොඩ කුමාරලාගේ ජාවාරම් මෙතරම් දුර දිග යන්නේ නැත. රටට යහපත් ජනමාධ්‍යවේදීන් අවශ්‍ය වන්නේ එහෙයිනි.

පෝද්දල ජයන්ත

Leave a Response