හෙළිදරව්ව

පින්කමත් ජාවාරමක් කර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයෝ

121views

ක්‍රිකට් ආයතනයේ බලය ලබා ගන්නට හැකි සෑම උත්සාහයක්ම දරමින්, මොවුන් වලිකන්නේ ඇයි ද යන්න දැන් හොඳින්ම පැහැදිලිය. දිනන, පරදින සියලු කණ්ඩායම්වල අරමුණ ක්‍රිකට් ආයතනය නම් මහා ධන නිධානය අත්පත් කර ගැනීමයි. මේ ක්‍රිකට් ආයතනය අරක් ගත් බහිරවයන් විසින් සිදු කළ එක් වංචාවක් පමණි. තවත් හෙළි නොවූ දේ බොහෝ තිබිය හැකිය. ඒවා වසන් කිරීමට මොවුන් දිගින් දිගටම උත්සාහ කරනු ඇත.

ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා ඇති ජයග්‍රහණ නිසා ලබා ඇති ප්‍රසිද්ධියටත් වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රසිද්ධ වී ඇත්තේ මුදල් ආකරයක් සහ ඒ තුළට රිංගා ගැනීමට නිරන්තරයෙන් මාන බලමින් සිටින ජාවාරම්කරුවන් වරින්වර එහි බලය අත්පත් කර ගන්නා ස්ථානයක් වශයෙනි. බුකිකරුවන්ගේ සිට ප්‍රකට ව්‍යාපාරිකයෝ දක්වා විවිධ වූ පිරිස් මේ බලපොරය තුළට ඇතුළු වී සිටිති. එමෙන්ම ඔවුන්ට බලය ලබා ගැනීම වෙනුවෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ සිය දේශපාලන බල අධිකාරියේ සහාය ද අඩු වැඩි වශයෙන් ඊට ලැබෙමින් තිබෙන බව ද නොරහසකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ මෙවැනි චිත්‍රයක් මෙරට ජනතාව තුළ නිර්මාණය වී තිබුණ ද, සාක්ෂි පිට මෙහි සිදු වන්නේ කුමක් දැයි මේ වන තෙක් අනාවරණය වී තිබුණේ නැත. එහෙත් පසුගිය දා කෝප් කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී මෙහි සිදු වන බොහෝ සිදුවීම් අග මුල ඇතිව හෙළිදරව් වූයේ මහත්වරුන්ගේ ක්‍රීඩාව අරක් ගෙන සිටින ඊනියා මහත්වරුන් තව දුරටත් මහත්වරුන් නොව මහත් හොරුන් බව ඇස් පනාපිටම පසක් කරවමිනි. එසේ අනාවරණය වූ සිදුවීම් අතුරින් එක් ප්‍රධාන සිදුවීමක් වූයේ ‘ක්‍රිකට් එයිඞ්’ නම් අරමුදලක් නිර්මාණය කර ගනිමින් සිදු කර ඇති වංචාවයි.

ක්‍රිකට් එයිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016 මැයි 07 වන දින පවත්වා ඇති එහි විධායක කමිටුවේ වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුනාමි ව්‍යසනයේ දී නිවාස අහිමි වූ පවුල්වල දරුවන් 1,000කට පිහිට වීම සඳහා ‘ක්‍රිකට් එයිඞ්’ නම් අරමුදලක් ඇති කරන ලද බවත්, ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ වෙනත් පුද්ගලයන් විශාල වශයෙන් ආධාර කළ බවත්, එම වර්ෂයෙන්ම එතෙක් පැවැති විධායක කමිටුව විසුරුවා හැරීමෙන් පසු එම අරමුදල් වෙනත් කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් අනාවරණය වී ඇත. එම මුදල් ඉන් පසු යොදවා ඇත්තේ කුමන කටයුතු සඳහා ද යන්න පිළිබඳ තොරතුරු එතැන් පටන් නිරවුල්ව දක්වා නොමැති අතර, නැවතත් 2016 වසරේ දී එහි විධායක කමිටු තීරණයක් අනුව එහි සභාපතිවරයා සහ විධායක කමිටු සාමාජිකයන් අට දෙනෙකුත්, ප්‍රධාන විධායක නිලධාරීයාත් එක්ව ‘ක්‍රිකට් එයිඞ් (ගැරන්ටී) ලිමිටඞ්’ නමින් ඇපයෙන් සීමිත සමාගමක් පිහිටුවනු ලැබ තිබේ. එහි අරමුණ වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ උතුරු, නැඟෙනහිර පළාත්වල වකුගඩු රෝගීන් සහ බෝ වන රෝග ඇතුළු වෙනත් ව්‍යසනයන්ගෙන් පීඩා විඳින ජනතාව සඳහා ආධාර උපකාර ලබා දීමයි.

ඒ සඳහා වෙනම ම ආධාර වැඩපිළිවෙළක් ද සැලසුම් කර ඇති අතර, 2016 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය මූලික කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ නම් කර තිබුණේ Charity Event at Lords Lounge Room නමිනි. ඉන් ඉදිරියට පැවැත්වෙන සියලු ම තරගවල දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණු අතර, ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහයෝගය ද මේ සඳහා නොඅඩුව ලැබී තිබිණි. මෙම කාර්යය දියත් කිරීම සඳහා ලෝඞ්ස් ක්‍රීඩාපිටිය වෙන් කරවා ගැනීමටත්, අරමුදල් රැස් කිරීමේ කටයුතු දියත් කිරීම සඳහාත් වැය වන මුදල ඇස්තමේන්තුගත කරනු ලැබූ අතර, අවසානයේ එය පියවීමේ එකඟතාව සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 15ක් ඒ සඳහා ලබා දීමට ද කටයුතු කරනු ලැබිණි. එම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, උප සභාපති සහ ලේකම්ට ගනුදෙනු කළ හැකි පරිදි එක්සත් රාජධානියේ විදේශ අරමුදල් බැංකු ගිණුමක් ආරම්භ කිරීමටත් අනුමැතිය ලැබී ඇත. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීන්ගේ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ අත්සනින් යුතුව ලංකා බැංකුවේ ටොරින්ටන් ශාඛාවේ ඇමෙරිකානු ඩොලර් ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාලකගෙන් අනුමැතිය ද ඉල්ලා තිබේ. ඒ 2016 මැයි 26 වන දිනය.

ආධාර සහ මුදල් ගනුදෙනු

ඉහත කී පරිදි ආරම්භ කරන ලද ලංකා බැංකු ගිණුමට 2016 මැයි 26 වන දිනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පොදු ගිණුමෙන් රුපියල් මිලියන 02ක් බැර කර ඇති අතර, මැයි 31 වන දින එම මුදලින් රුපියල් මිලියන 1.98ක් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පොදු ගිණුමට මාරු කර යවා තිබිණි. එසේම අරමුදල් රැස් කිරීමේ ප්‍රථම ක්‍රිකට් තරගාවලිය 2016 ජූලි 04 සහ 05 දෙදින තුළ ලෝඞ්ස් ක්‍රීඩාපිටියේ පවත්වා තිබු අතර, එහි වියදම රුපියල් 1,50,43,077.00ක් බවත් වාර්තාවල සඳහන්ව තිබේ. ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් රුපියල් 14,80,000.00ක්, පරිත්‍යාග මඟින් රුපියල් 91,03,000.00ක් සහ වෙන්දේසි කිරීම මඟින් රුපියල් 24,45,000.00ක් වශයෙන් රුපියල් 1,30,28,000.00ක් මෙහි සමස්ත ආදායම වශයෙන් ලැබී තිබේ. එහෙත්, ප්‍රථම ක්‍රිකට් තරගයෙන් උපයා ගත් ආදායම වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පොදු ගිණුමට බැර කර තිබුණේ රුපියල් 47,01,095.00ක මුදලකි. ඒ අනුව 2016 දෙසැම්බර් 31ක් අවසන් වූ වර්ෂය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහත කී ආයතනය නිසා රුපියල් 1,03,15,697.00ක පාඩුවක් ලබා තිබේ.

ආධාර

2016 ඔක්තෝබර් 25 වන දින සිට නොවැම්බර් 28 වන දින දක්වා සිම්බාබ්වේ තරගාවලිය සඳහා නිල අනුග්‍රාහකත්වය දැක්වූ Dialog Axiata PLC සමාගමට රුපියල් 15,00,000.00ක් ක්‍රිකට් එයිඞ් අරමුදලට ගෙවිය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දන්වා තිබූ අතර, නැවතත් 2016 දෙසැම්බර් 26 සිට 2017 පෙබරවාරි 10 දක්වා පැවැති දකුණු අප්‍රිකානු තරග සංචාරය සහ 2017 පෙබරවාරි 17 සිට 22 දක්වා පැවැති ඕස්ටේ්‍රලියානු තරග වෙනුවෙන් රුපියල් 50,00,000ක් ක්‍රිකට් එයිඞ් වෙත ගෙවන මෙන් ද Dialog Axiata PLC සමාගමට දන්වා ඇත.

මේ අතර සිංගප්පූරුවේ සිටින හිමිනමක් විසින් 2017 පෙබරවාරි 25 වන දින ලිපියක් මඟින් දන්වා සිටින්නේ ක්‍රිකට් එයිඞ් පුණ්‍යාධාර වැඩසටහන වෙනුවෙන් තමන් සහල් මෙටි්‍රක් ටොන් 16ක් සහ නූඞ්ල්ස් පැකට් 400ක් ලබා දීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව සිංගප්පූරුවේ නැව් නියෝජිත ආයතනයක් විසින් 2017 පෙබරවාරි 27 වන දින ඇමෙරිකානු ඩොලර් 14,820ක වටිනාකමින් යුතු සහල් කිලෝග්‍රෑම් 11,400ක් සහ ඇමෙරිකානු ඩොලර් 840ක වටිනාකමින් යුතු නූඞ්ල්ස් කිලෝග්‍රෑම් 1,200ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිගේ නමට එවීමට ඉහත කී හිමිනම විසින් කටයුතු යොදා තිබිණි. එම භාණ්ඩ තොගය ඒවාට අදාළ රේගු ගාස්තු සහ අනෙකුත් බදුවලින් නිදහස් කර දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති විසින් 2017 පෙබරවාරි 27 දිනම ආපදා කළමනාකාරණ අමාත්‍යවරයාගෙන් ලිපියක් මඟින් ඉල්ලීමක් කර ඇති අතර, ආපදා කළමනාකාර අමාත්‍යවරයා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා තිබුණේ එම බදු නිදහස් කිරීම් වෙනුවෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. එහෙත් එම බඩු තොගයට සිදුවූයේ කුමක්දැයි අදටත් කිසිම තොරතුරක් නොමැත.

වියදම්

2017 සැප්තැම්බර් 30 වන දින රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් ‘ක්‍රිකට් එයිඞ් ගැරන්ටී ලිමිටඞ්’ ආයතනයේ කළමනාකරු ලෙස උපාලි සෙනෙවිරත්න යන අය වසර දෙකක කාලයක් සඳහා පත් කිරීමට තීරණය කර තිබූ අතර, ඔහුට රුපියල් 1,00,000.00ක මාසික වැටුපක් සහ රුපියල් 50,000.00ක වාහන දීමනාවක් ද, ඉන්ධන ලීටර් 150ක්, ජංගම දුරකථනයක් සමග රුපියල් 5,000.00ක මාසික දුරකථන දීමනාවක්, වෛද්‍ය ආධාර සහ අනෙකුත් පහසුකම් ද ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව ඉහත කී පුද්ගලයා වෙනුවෙන් 2017 ජූලි මස සිට 2019 ජුනි මාසය දක්වා වසර දෙකක කාලයට රුපියල් 39,98,693.00ක් ගෙවා ඇත. එසේම වසර දෙක සඳහා ආයතනයේ විගණන කටයුතු සඳහා යැයි කියමින් පිළිවෙළින් රුපියල් 1,80,000.00ක් සහ රුපියල් 5,14,654.00ක් පෞද්ගලික ගිණුම් හා විගණන ආයතන දෙකක් වෙත ගෙවා තිබේ.

ඈලියාවට ගිය පුණ්‍ය කටයුතු

ක්‍රිකට් එයිඞ් අරමුදල පිහිටුවීමේ දී සමාජගත කළ මූලික අරමුණක් වූයේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාවට ආධාර උපකාර සැපයීම වුව ද, අරමුදල සඳහා ඇති කළ සමාගමේ ව්‍යවස්ථාව තුළ එහි මූලික අරමුණ ලෙස ඉහතකී අරමුණ සඳහන් කර හෝ නොමැත. ඒ වෙනුවට සඳහන්ව ඇත්තේ වෙනත් අරමුණු 13කි. එසේම අරමුදල ස්ථාපිත කර වසර දෙකහමාරක් ගෙවී ගිය 2018 දෙසැම්බර් 31 වන විට ද වකුගඩු රෝගීන් සඳහා කිසිදු ආධාර උපකාරයක් සිදු කර නැත. ඒ වෙනුවට වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්, විනිසුරුවරුන් යනාදී පුද්ගලයන් සඳහා ඇති වූ රෝගාබාධ, ශාරීරික ආපදා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වන පාඩු මඟහරවා ගැනීම වෙනුවෙන් පරිත්‍යාග හෝ සානුකම්පික දීමනා ලෙස මුදල් ගෙවීම සිදු කර ඇත.

ලැජ්ජා නැති වංචා

මෙම වැඩසටහන ආරම්භයේ සිටම කර ඇත්තේ සැලසුම්සහගතව නොමඟ යැවීම් බව මේ වන විට කර ඇති විමර්ශනවල දී හෙළි වී තිබේ. ආරම්භක වැඩසටහනේ දී උත්පාදනය කළ ආධාර ප්‍රමාණය රුපියල් 1,30,28,000.00ක් ලෙස දක්වා තිබුණ ද, සත්‍ය වශයෙන් උපයා ඇත්තේ රුපියල් 47,01,095.00ක් පමණක් බව ඒ පිළිබඳ කළ විගණනයේ දී තහවුරු වී තිබේ. එසේම Dialog Axiata PLC සමාගමෙන් ලැබිය යුතු රුපියල් 1,40,00,000.00 මුදලින් රුපියල් 65,00,000.00 ක් හැර ඉතිරි මුදල් ලැබිය යුතු ආකාරය විගණනය සඳහා ඉදිරිපත් කර නැත. මීට අමතරව මෙම සමාගම කිසිදු සෘජු හෝ වක්‍ර බදු සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමක් ද සිදු කර නොමැත. ඒ අනුව කිසිදු ආදායම් බදු මුදලක් දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ගෙවීමක් ද සිදු කර නැත. මෙහි ඇති ඊටත් වඩා පුදුමසහගත කරුණ වන්නේ මෙහි පුණ්‍යාධාර කටයුතු යැයි කියමින් වියදම් කර ඇත්තේ, රුපියල් 24,78,260.00ක මුදලක් වුව ද, එහි කළමනාකරු ලෙස පත් කළ නිලධාරියා වෙනුවෙන් පමණක් රුපියල් 39,98,693.00ක මුදලක් ගෙවා තිබීමයි. ඔහු පත් කිරීමට අදාළ තීරණය ගනු ලබන්නේ 2017 සැප්තැම්බර් 30 වන දින වුව ද, 2017 ජූලි මාසයේ සිටම ඔහුට පත්වීම ලබා දීමට කටයුතු කර ඇත.

ක්‍රිකට් ආයතනයේ බලය ලබා ගන්නට හැකි සෑම උත්සාහයක්ම දරමින්, මොවුන් වලිකන්නේ ඇයි ද යන්න දැන් හොඳින්ම පැහැදිලිය. දිනන, පරදින සියලු කණ්ඩායම්වල අරමුණ ක්‍රිකට් ආයතනය නම් මහා ධන නිධානය අත්පත් කර ගැනීමයි. මේ ක්‍රිකට් ආයතනය අරක් ගත් බහිරවයන් විසින් සිදු කළ එක් වංචාවක් පමණි. තවත් හෙළි නොවූ දේ බොහෝ තිබිය හැකි ය. ඒවා වසන් කිරීමට මොවුන් දිගින් දිගටම උත්සාහ කරනු ඇත. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ගැන සිතන්නට මොවුන්ට කාලයක් තිබිය නොහැකි ය. ක්‍රිකට් දියුණු කරන්නට නම් මොවුන් සියලු දෙනාම පලවා හැරීම හැර අන් විසඳුමක් නැත.

චතුර දිසානායක

Leave a Response