අදහස්

ශිෂ්‍යයන් බහුතරයක් මේ කල්ලියට කැමති නැහැ

289views

අන්තර් විශ්වවිද්‍යාලයීය
ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු

මහිල් බණ්ඩාර දෙහිදෙණිය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ මහිල් බණ්ඩාර දෙහිදෙණිය ඉන් ඉවත් වීමත්, ඒ වෙනුවට නව කැඳවුම්කරුවෙකු පත් කිරීමත් පසුගිය දින වල දැඩි කතාබහට ලක් වූ මාතෘකාවකි. මේ කැඳවුම්කරු මාරුව තුළ එක්තරා දේශපාලන කණ්ඩායමක බල ව්‍යාපෘතියක් තිබෙන බවට හිටපු කැඳවුම්කරු ප්‍රකාශ කිරීම ඊට හේතුව විය. එහි ඇත්ත නැත්ත කුමක්ද? ඒ ගැන මහිල් බණ්ඩාර කියන්නේ මෙවැනි කතාවකි.

■ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන අර්බුදයේ ඇත්ත තත්ත්වය මොකක්ද?


ඇත්තම කියනවා නම්, පහුගිය කාලය තුළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීත්වය යම් ඒකාකාරී සහ එක්තරා කල්ලියක න්‍යාය පත්‍රයකට යට වෙමින් තිබුණා. විශේෂයෙන් ම ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නෙ ඉතිහාසයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්න විතරක් නෙමෙයි, සමස්ත ලාංකේය සමාජයේම ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටපු, සමාජයට ජයග්‍රහණ ගෙනත් දීපු, ඒ ජයග්‍රහණ වෙනුවෙන් ජීවිත පවා කැප කරමින් අරගල කරපු සංවිධානයක්. එවැනි සංවිධානයක් මෙවැනි තත්ත්වයකට පත් වීම සම්බන්ධයෙන් අන්තරය තුළම සාකච්ඡාවක් මතු වෙමින් තිබුණා. ඒත් ඒ මතවාදය ඉස්සරහට ගන්නවත්, ඒ සාකච්ඡාව පුළුල් කර ගන්නවත්, අර කලින් කියපු කල්ලිය ඉඩ දුන්නෙ නැහැ. ඒ ගැටුම තමයි, මේ විදිහට පුපුරා යාමක් සිදු වුණේ.


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නෙ විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම්වල නියෝජනයකින් සමන්විත සංවිධානයක් නේ ද? එවැනි සංවිධානයක කොහොම ද කල්ලියක මතවාදයක් විතරක් ක්‍රියාත්මක වෙන්නෙ ?


ඔව්. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නෙ විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම්වල නියෝජනයක් සහිතව නිර්මාණය වුණු සංවිධානයක් තමයි. ඒත් මහා ශිෂ්‍ය සංගම්වල අර කලින් කියපු කල්ලියේ නියෝජිතයන් ඉන්නවා. හැබැයි ඒක සමස්ත නියෝජනය නෙමෙයි. ඒ වුණත්, මේ කල්ලිය විවිධ කුමන්ත්‍රණවලින් බලය තියාගෙන ඉන්නවා. ආසන්නම උදාහරණය තමයි නව කැඳවුම්කරුවෙක් පත් කර ගැනීමේ යෝජනාව ගෙන ආපු අවස්ථාව. ඒ යෝජනාව ගෙන එද්දී කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ එකොළොස් දෙනෙක් එකතු වෙලා තමයි නව කැඳවුම්කරුට පක්ෂ වෙන්න තීරණය කරන්නෙ. ඒත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් ගණන පනස් දෙකක්. ඉතිරි අයව කැඳවන්නෙ නැතුව තමයි, මේ අය තීරණ ගන්නෙ.


■ ඉතින් බහුතරය තියෙන්නෙ මේ කල්ලියට විරුද්ධව නේ ද?


නියෝජිතයන්ගෙ බහුතරය විතරක් නෙමෙයි, ශිෂ්‍යයන්ගෙත් බහුතරයක් මේ කල්ලියට පක්ෂපාතී නැහැ. ඒ නිසා තමයි, විශ්වවිද්‍යාල ඇතුළෙත් මේ කල්ලියට විරෝධයක් ඇති වෙන්නෙ. මේ ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නෙ. කුමන්ත්‍රණකාරී විදිහට බලමණ්ඩලයේ සැසිවාරයට විතරක් මේ කල්ලියේ නියෝජිතයන් සහභාගී වුණාට විශ්වවිද්‍යාල ඇතුළෙ ඔවුන්ට තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කර ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි, පොදු ශිෂ්‍යයා නියෝජනය කරපු අපිව අන්තරයෙන් ඉවත් කරන්න මේ කල්ලිය පසුගිය සැප්තැම්බර් පළමුවැනිදා උත්සාහ කරන්නෙ. ඒත් ශිෂ්‍යයන්ගෙන් ඒකට විරෝධයක් එල්ල වුණු නිසා ඒක කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි නැවතත් සැප්තැම්බර් අට වැනිදා නිලවරණයක් කැඳවන්නෙ.


■ ඒත් ඒ නිලවරණයෙන් වෙනත් කෙනෙක් කැඳවුම්කරු විදිහට පත් වෙනවා නෙ?


මේ ගැන විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් ඇතුළෙ කතා කරලා තීරණය කරමු කියලා අන්තරයේ සැසිවාරයේ දී කතා කර ගත්තට මේ කල්ලිය කළේ මම අර කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ උදාහරණයෙන් කිව්ව වගේ හොර රහසෙ තීන්දු තීරණ ගත්ත එක. ඒත් හැම තැනක දී ම ඒක ඒ විදිහට ම කර ගන්න ලැබුණෙ නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී මේ කල්ලියේ තීරණය අභියෝගයට ලක් වෙනවා. විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ තීරණය සම්මත කර ගන්නවත් බැරිව යනවා. සබරගමුව විශ්වවිද්‍යාලය මේ තීරණයත් එක්ක නැහැ. අනෙක් ශිෂ්‍ය සංගම්වලත් මේ තීරණයට විරුද්ධ ශිෂ්‍ය සංගම් නායකයන් ඉන්නවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් මේ තීරණයට විරුද්ධයි. ඒ නිසා දැන් වෙලා තියෙන්නෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට විශ්වවිද්‍යාලය ඇතුළෙ රැස් වෙන්නත් බැරිවෙලා තියෙන එක.


ඇයි ඉතින් ඒ පොදු මතය ජයග්‍රහණය කරවන්න ඔබ ඇතුළු පිරිසට හැකියාවක් නොතිබුණේ ?


මේ කල්ලිය ඇත්තමට විශ්වවිද්‍යාල ඇතුළෙ ක්‍රියාත්මක කරන්නෙ මාෆියාවක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මම කිව්ව වගේ රැස් වෙන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඒ රැස් වෙනකොට අර කල්ලියේ පිරිස් ඒ අවට සැරිසරනවා. ශිෂ්‍ය නායකයන්ට බලපෑම් කරනවා. අන්තරේට නව කැඳවුම්කරුවෙක් පත් කර ගන්න නිලවරණය පැවැත්වුණ සැප්තැම්බර් අට වැනිදා උදේ ම විවෘත විශ්වවිද්‍යාලයට අර කියපු ශිෂ්‍ය නායකයන්ව ගෙන්වලා ඔවුන්ට බලපෑම් කරලා තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිට වුණු එක් පුද්ගලයෙක් අන්තරේ සැසිවාරයට සහභාගි වෙන්න ආපු ඇතැම් ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ව හරවලා අරිනවා. අඩුම තරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවටවත් සැසිවාරයට සහභාගි වෙන්න මොවුන් ඉඩ දුන්නෙ නැහැ. ඒක නිසා මේක පොදු මතයේ ජයග්‍රහණයක් නෙමෙයි. කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.


විශ්වවිද්‍යාල තුළ ඔබ කියන විදිහට මේ කල්ලියට බරපතළ විරෝධයක් තියෙනවා. ඇයි ඒ?


ඒකට මූලිකම හේතුව තමයි, ඔවුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් භාවිත කරන්නෙ තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් පමණක් වීම. ඔවුන් හෙට දවසෙ කන්නෙ කොහොම ද කියන එක තීරණය වෙන්නෙ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් ඔවුන්ගෙ අතේ තිබුණොත් විතරයි. ඔවුන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රය ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න එක්ක බැඳුණ එකක් නෙමෙයි. හොඳම උදාහරණය තමයි, මහපොළ ප්‍රශ්නය. මේ වෙනකොට මහපොළ භාරකාර අරමුදලේ කෝටි ගාණක් වංචා කරලා. මේ වංචාව එළියට එන්නෙ විගණකාධිපති වාර්තා හරහා සහ කෝප් කමිටුව හරහා. ඒ නිසා මේ කියන කල්ලියට මහපොළ ප්‍රශ්නයට මැදිහත් වුණා කියලා, ඒකෙ අයිතිය ඔවුන්ට ගන්න බැහැ කියල තේරෙනවා. ඒ හේතුව හින්ද මහපොළ ප්‍රශ්නයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මැදිහත් වෙන්න ගත්ත තීරණය මේ කල්ලිය විසින් බලපෑම් කරලා නතර කරනවා.


■ ඔබ කියන කල්ලිය ඔය තරම් බලපෑම් කරනවා කියන්න සාක්ෂි තියෙනවා ද?


ඔව්. ඕනෑ තරම් තියෙනවා. දැනට ඔවුන්ගේ ශිෂ්‍ය අංශය භාරව ඉන්න හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර එවපු එස්.එම්.එස්. පණිවිඩ මගෙ ළඟ තියෙනවා. එයාගෙ අනුමැතියක් නැතිව අන්තරේ සැසිවාරය පවත්වන්න එපා කියපු පණිවිඩ පවා තියෙනවා. මේ පවත්වපු නිලවරණයට කලින් දින දෙකේ, ඒ කියන්නෙ සැප්තැම්බර් හය වැනිදා සහ හත් වැනිදා ඔවුන් මේ ගැන කරපු සාකච්ඡාවල තොරතුරුත් මගෙ ළඟ තියෙනවා. සරලවම කියනවා නම් ගහන්න ඕනෙ පෝස්ටර්වල සටන් පාඨ පවා හදන්නෙ ඔවුන්. ඒවා ගැනත් සාක්ෂි ඉදිරිපත් කරන්න මට පුළුවන්.


■ ඔබ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විදිහට පත් වෙලා වසරක පමණ කාලයක් කටයුතු කළා. දැන් කල්ලියක බලපෑම් ගැන කියන ඔබත් ඔය කියන කල්ලියත් එක්ක එකට කටයුතු කරපු කෙනෙක් කියල කිව්වොත් ?


ඒ කල්ලියත් එක්ක එකට කටයුතු කළා නම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නෙ නැහැ නෙ. එහෙම නොවුණ නිසාත්, ඒ වෙනුවට පොදු ශිෂ්‍ය මතය නියෝජනය කළ නිසාත් තමයි මාව ඉවත් කරන්න ඔවුන් සැලසුම් කළේ. ඊට කලින් ඔවුන්ගේ න්‍යාය පත්‍ර මා හරහා ක්‍රියාත්මක කරවා ගන්න ඔවුන් දිගින් දිගටම උත්සාහ කළා. මා ළඟ සාක්ෂි තියෙනවා කිව්වේ, ඒ බලපෑම්වලට අදාළව තමයි.


කොහොම වුණත්, දැන් නව කැඳවුම්කරුවෙක් පත් කරගෙන තියෙනවා. මෙතැනින් එහාට මොක ද වෙන්නෙ ?


ඒ පත් කර ගත්ත කැඳවුම්කරු අදාළ වෙන්නෙ ඒ කල්ලියට විතරයි. පොදු ශිෂ්‍යයාට අදාළ වෙන්නෙ නැහැ. මේ වෙන කොටත් විශ්වවිද්‍යාල ඇතුළෙ මේ ගැන සංවාදයක් ඇති වෙලා තියෙනවා. මේ වෙනකම් නිහඬව හිටපු අයත් මේ ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරයත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත් කල්ලියක අවශ්‍යතාව වෙනුවෙන් විනාශ කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ.

සංවාද සටහන – චතුර දිසානායක

Leave a Response