අදහස්

ක්ෂේත්‍රයේ ප්‍රශ්නවලට තාමත් කිසිම ආණ්ඩුවකින් උත්තර නැහැ

86views

ඩාබිඳු සාමුහිකය
චමිලා තුෂාරි

උත්තර ලැබෙන ආණ්ඩු පහුගිය අවුරුදු 71දීම අපිට තිබිලා නැහැ. අපි කාලයක් පුරා සාකච්ඡා කරලා ‘ජාතික ජන බලවේගය’ හැදුවේ ඒ වෙනුවෙන්. ඒ බලවේගයේ අපේක්ෂකයා විදිහට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අපි විසින් නම් කළෙත් අවබෝධයෙන්. කාලයක් අපිට ජවිපෙ එක්ක බරපතළ ප්‍රශ්න තිබුණා. ඒ වගේම ජවිපෙටත් අපිත් එක්ක ප්‍රශ්න තියෙන්න ඇති. ඒත් එක නිශ්චිත මොහොතක අපි ජවිපෙ දිහා වෙනස් විදිහකට බලන්න පටන් ගත්තා. ඒ තමයි අපේ සහෝදරයෙක් වුණු රොෂේන් චානකගේ ඝාතනය. ඒ සිදුවීමේ දී අවසානය වෙන කම් ප්‍රශ්න ඉස්සරහට ගෙනිච්චේ ජවිපෙ විතරයි. ජවිපෙ ඒ සිදුවීම පිළිබඳව අවංකව මැදිහත් වුණා. ඒ අවබෝධය තමයි අපි මේ තරම් දුර ගෙනාවේ.

1984 වසරේ දී ආරම්භ කළ ‘ඩාබිඳු සාමුහිකය’ අද වන විට තමන්ගේ ආරම්භක අරමුණ කෙතරම් දුරකට සාර්ථක කරගෙන තියෙනවා ද?


අපි ඩාබිඳු සාමුහිකය හැදුවේ රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට. ඒ කාලේ වෙන කොට නිදහස් වෙළෙඳ කලාප තුළ වෘත්තීය සමිති හදන්න අවසරයක් තිබුණේ නැහැ. ඒ හින්ද අපි ලියාපදිංචි වුණේ භඨධ එකක් විදිහට. අපි ඒ වෙන කොටත් වෙළඳ කලාපයේ රස්සාවල් කරපු තරුණියන්ගේ මූලික ප්‍රශ්නවලට අවධානය යොමු කළා. නවාතැන් ප්‍රශ්නය, සෞඛ්‍ය ප්‍රශ්නය, ආයතන තුළ ඇති වන ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ ප්‍රශ්න ආදී ප්‍රශ්න තමයි අපි ආමන්ත්‍රණය කළ ප්‍රශ්න. අපි බොහොම අසීරුවෙන් තමයි ඒවාට මැදිහත් වුණේ.


1984 ඉඳන් මේ වෙන කම් අවුරුදු 35ක් මේ රටේ බලයට ආපු කිසිම පාලක කණ්ඩායමක් කලාපයේ සහෝදරියන්ගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කළේ නැහැ. ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. අපි ඒ ගැටලුවලට මැදිහත් වුණේ ඉතාමත් දුෂ්කර තත්ත්වයන් මැද්දේ.


එහෙම මැදිහත් වෙන්න අසීරු වුණේ කාරණා කිහිපයක් මත. ප්‍රධානම දේ තමයි කලාපයේ සේවය කරන්න කොළඹට පිටින් එන අය දේශපාලනිකව දක්වන ප්‍රතිචාරය. ඒ අය අතුරින් ඒ කාලයේ වැඩි දෙනෙක් නිෂ්ක්‍රියයි. තමන්ට හිමි අයිතීන්වත් දිනා ගන්න, ආරක්ෂා කර ගන්න ඒ අය මැදිහත් වෙන්නේ නැහැ.


ඒත් ගෙවුණු කාලය දිහා ආපහු හැරිලා බලද්දී සම්පුර්ණයෙන්ම නොවුණත්, මම හිතන්නේ අපි ආරම්භ කරපු කාලයට වඩා මේ වෙන කොට අපි සාර්ථකයි. ඒ වගේම එදාට වඩා කලාපය ආශ්‍රිත ප්‍රශ්න දවසින් දවස අලුත් වෙනවා.


මුල් කාලයේ අපි දන්නවා නගරයේ, විශේෂයෙන් වෙළෙඳ කලාපයේ රස්සාවක් සොයාගෙන පැමිණි ගැහැනු ළමයින්ගෙන්
වැඩි දෙනෙක් උත්සාහ කළේ තමන්ගේ විවාහයට අවශ්‍ය දෑවැද්ද හොයා ගැනීම ?


මුල් කාලයේ අරමුණු අතුරින් ප්‍රධානම දේ ඔය කියන දෑවැද්ද වුණත්, ඊට අමතරව තවත් බොහෝ දේ එයාලගේ අරමුණු අතර තිබුණා. තමන්ගේ බාල සොහොයුරු සොහොයුරියන්ට උගන්වන එක, යාන්තමට හෝ ඉන්න ගෙයක් දොරක් හදා ගන්න එක, අවුරුදු පහක සේවා කාලයකින් පස්සේ තමන්ගේ ග්‍රැටිවිටි එක අරගන්න එක ඒ බලාපොරොත්තු අතර ප්‍රධානයි.


ඒත් දැන් තත්ත්වය වෙනස් ?


දැන් කර්මාන්ත ශාලාවල වැඩ කෙරෙන විදිහට අවුරුදු පහක් වැඩ කරන්න ළමයකුට බැහැ. දැන් හුඟක් පිට ඉන්න අය හිතනවා ගාර්මන්ට් එහෙම නැත්නම් කලාපේ රස්සාව ඉස්සරට වඩා හොඳයි කියලා. ඒත් ඇත්තම දේ තමයි, ඒ රස්සාව දැන් මීට අවුරුදු තිස්පහකට කලින්ටත් වඩා නරකයි.


දැන් ළමයකුගේ බෝඩිම් ගාස්තු අඩුම තරමින් රුපියල් 5,000.00ක් වෙනවා. ඒ ගාස්තුවට අමතරව කරන්ට් බිලත් ඒ අය ම ගෙවන්න ඕනේ. ඒ බෝඩින්වලට කරන්ට් දෙන්නේ ව්‍යාපාරවලට කරන්ට් දෙන පදනමින්. ගාස්තුව ඉහළයි. කන්න තියෙන්නේ කඩ කෑම. ඒවායේ මිල ඉහළ ගිහින්.


මේ ඔක්කොටම වඩා තියෙන බරපතළම දේ තමයි, දැන් හුඟක් ආයතන තමන්ගේ ‘කාර්යක්ෂමතාව’ ඉහළ නංවා ගන්න ළමයින්ට හිටගෙන වැඩ කරන්න කියන එක. දවසේ ටාර්ගට් එක කවර් කරන්න වෙන්නේ හිටගෙන වැඩ කරලා.


මේ වගේ හේතු නිසා දැන් දැන් ගාර්මන්ට් එකක වැඩ කරන සහෝදරියකට උපරිම වශයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු 3යි. ඒ තරමටම කය වෙහෙසවනවා. ඉතින්, ඒ අවුරුදු තුන ඇතුළේ කොහොම ද අර මුල් අරමුණට ළං වෙන්නේ ? මේ අය දැන් 1978 විතර වෙළඳ කලාපවල වැඩට ආපු අයටත් වඩා සංකීර්ණ ප්‍රශ්නවලට හිරවුණු අය.


ඔබ විශ්වාස කරනවා ද තාමත් මේ සහෝදරියන්ට ආයතනික රසායනික ද්‍රව්‍ය බලපෑම නිසා ඇති වන සෞඛ්‍ය ප්‍රශ්න ගැන කිසිම අවධානයක් බලධාරීන් යොදන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු තුනකට පස්සේ තමන්ට වැඩ කරන්න බැරි හින්දම ආයෙමත් ගමට යන බොහෝ සහෝදරියෝ එක්තරා විදිහක රෝගීන්. අවුරුදු 18දී නිරෝගී තරුණියන් විදිහට කටුනායක හෝ බියගම වෙළඳ කලාපයට එන සහෝදරියන් රස්සාව අවසානයේ ගමට යන්නේ රෝගී කාන්තාවන් විදිහට.


ඒ නිසාම විවාහයට දෑවැද්ද හොයන්න කලාපයට එන අය ඊට ටික කාලකට පස්සේ ගමට යන්නේ ගමේ රෝහලට හරි, ගමේ ඩිස්පැන්සරියට හරි හොයා ගන්න බැරි ලෙඩක් අරගෙන.


මේ ප්‍රශ්නවලට අවුරුදු 35ක මේ ක්ෂේත්‍රයේම අත්දැකීම් ඇති ඔබට තියෙන විසඳුම මොකක් ද?


මේක රටේ සංවර්ධනය හා ගැටගැහුණු ප්‍රශ්නයක්. කර්මාන්ත ඇති වෙන්නෙත්, ඇති කරන්නෙත් නාගරිකව. ඒවා ගම්බද ඇතිවෙන්නෙ ම නැහැ.


සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්න පවා ඉතා සංකීර්ණයි. ඒවාට විධිමත්, ප්‍රමිතිගත ආරක්ෂාව සහ ප්‍රතිකාර ක්‍රම යොදන්න ඕනේ. පිටතින් තියෙන ප්‍රශ්නවලට වඩා ඇතුළතින් තියෙන අපිට නොපෙනෙන ප්‍රශ්න වැඩියි. මානසික ප්‍රශ්නය අමතක කරන්න ම බැහැ. ඒවාට උත්තර සෙවීම අපි වගේ කණ්ඩායමකට විතරක් කරන්න බැහැ. ඒකට රාජ්‍ය මැදිහත් වීම අනිවාර්යයි.


ඒ වගේමයි නවාතැන් ප්‍රශ්නය. කවුරුවත් මේ නිදහස් වෙළෙඳ කලාප ඇති කරද්දී ඒවාට එන සේවක සේවිකාවන් නවතින්නේ කොහෙද කියලා සැලසුම් කළේ නැහැ. හුඟක් පළාත්වල දේශපාලකයෝ තම තමන්ගේ හිතවතුන්ට කිව්වේ “අපි කලාපයක් හදනවා. ඔයාලා ඒ එන අයට කාමර කුලියට දෙන්න ලෑස්ති වෙන්න” කියලා. මේ ආර්ථික උපදේශකයෝ අවුරුදු තිස්පහක් ගිහිනුත් රටට විදේශ විනිමය ගෙනෙන මේ සොහොයුරියන්ට තමන්ගේ දවසේ සේවා කාලයෙන් පස්සේ නිදහසේ නිඳා ගන්න තැනක් තියෙනව ද කියලා හොයලා බැලුවද? අපි යෝජනා කළා අඩුම තරමින් මේ අයට ඉන්න එක්තරා විදිහකට මහල් නිවාස සංකීර්ණයක් හදන්න කියලා. ඒත් මේ පාලකයන්ට ඒවා කරන්න තියා ඒවාට ඇහුන්කම් දෙන්නවත් වෙලාවක් නැහැ.


සරලව ගත්තොත් 35 වසරක් ගෙවෙන මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්නවලට තාමත් කිසිම ආණ්ඩුවකින් උත්තර නැහැ. උත්තර දෙන බවක් පේන්නත් නැහැ.


පසුගිය දා ගොඩනැඟුව ‘ජාතික ජන බලවේගය’ දේශපාලන වේදිකාවට ‘ඩාබිඳු සාමුහිකය’ත් ගොඩ වුණා. ඔබ ඉන් උත්සාහ කළේ ඔය කියන සක්‍රිය දේශපාලන මැදිහත් වීම ලබා ගන්න ද?


නැහැ, ඊට එහා ගිය දේශපාලන අරමුණක් අපි හැම දෙනාටම තියෙනවා. කලාපෙ ප්‍රශ්න කියන්නේ, රටේ ප්‍රශ්නවලින් හුදෙකලා වුණු වෙනස්ම ප්‍රශ්න ටිකක් නෙමෙයි. ඒවා බැඳිලා තියෙන්නේ රටේ සෙසු ප්‍රශ්න එක්කමයි. රටේ ප්‍රශ්න අමතක කරලා කලාපෙ ප්‍රශ්න විතරක් විසඳන්න පුළුවන් කියලා හිතලා කවුරුන් හෝ වැඩ කරනවා නම් ඒක බොරුවක්. මේ හැම ප්‍රශ්නයක්ම එකිනෙකට ගැටගැහිලා තියෙන ප්‍රශ්න. ඒවාට ඕනේ සමස්ත උත්තර. ඒ උත්තර ගැට ගැහෙන්නේ රටේ සෙසු ප්‍රශ්නවලට ලැබෙන උත්තරත් එක්ක. ඒ උත්තර ලැබෙන ආණ්ඩු පහුගිය අවුරුදු 71දීම අපිට තිබිලා නැහැ. අපි කාලයක් පුරා සාකච්ඡා කරලා ‘ජාතික ජන බලවේගය’ හැදුවේ ඒ වෙනුවෙන්. ඒ බලවේගයේ අපේක්ෂකයා විදිහට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අපි විසින් නම් කළෙත් අවබෝධයෙන්. කාලයක් අපිට ජවිපෙ එක්ක බරපතළ ප්‍රශ්න තිබුණා. ඒවගේම ජවිපෙටත් අපිත් එක්ක ප්‍රශ්න තියෙන්න ඇති.
ඒත් එක නිශ්චිත මොහොතක අපි ජවිපෙ දිහා වෙනස් විදිහකට බලන්න පටන් ගත්තා. ඒ තමයි අපේ සහෝදරයෙක් වුණු රොෂේන් චානකගේ ඝාතනය. ඒ සිදුවීමේ දී අවසානය වෙන කම් ප්‍රශ්න ඉස්සරහට ගෙනිච්චේ ජවිපෙ විතරයි. ජවිපෙ ඒ සිදුවීම පිළිබඳව අවංකව මැදිහත් වුණා. ඒ අවබෝධය තමයි අපි මේ තරම් දුර ගෙනාවේ.


අපි සමූහය වගේම මේ අරමුණ වටා එක්වෙන හැම කෙනෙක් ම වෙහෙස වෙන්නේ එක අරමුණක් වෙනුවෙන්. ඒ තමයි 71 වසරක් පැරණි මේ පාලන කණ්ඩායම් වෙනුවට අලුත් බලයක් ජනතා නියෝජනයකට ලබා ගැනීම.

සංවාද සටහන – සිසිර යාපා

Leave a Response