අදහස්

විකල්පයක් ගැන බලාපොරොත්තුවක් අපිටත් තියෙනවා

186views

යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය කේ. සිදම්බරනාදන්

දේශපාලන මැදිහත්වීමක් සහිතව විසඳුම් ලබාදෙයි කියලා බලාපොරොත්තුවක් ජනතාවට තිබුණා. ඒත් අවුරුදු දහයක් පුරා ලැබුණු අත්දැකීම් එක්ක ඒවා මේ පාලකයන්ගෙන් කෙරෙන්නෙ නැහැ කියන එක ජනතාව තේරුම් අරගෙන ඉන්නෙ. ඒත් ඒක බලාපොරොත්තු කඩවීමක් විදිහට විතරක් ඉතුරු වෙලා, අර මම කලින් කියපු විදිහට ජනතාව අදේශපාලනික වීම තමයි වැඩියෙන් වෙලා තියෙන්නෙ. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි.

ජනාධිපතිවරණය කියන්නෙ මේ වෙනකොට ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා. උතුරට මේ තත්ත්වය දැනෙන්නෙ කොහොමද?
උතුරේ ක්‍රියාත්මක වෙන දේශපාලන පක්ෂ අතර මේ සම්බන්ධයෙන් යම් කතාබහක් තියෙනවා. ඒත් සාමාන්‍ය ජනතාව අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් නැහැ. ඒකට හේතුව තමයි ‘ජනාධිපතිවරයා’ කියන කෙනා මේ දක්වා දෙමළ ජනතාවට සමීප, එහෙම නැත්නම් ඒ තරම් අදාළ කෙනෙක් නොවුණ එක. පත්වුණු කිසිම ජනාධිපතිවරයෙක් දෙමළ ජනතාවගෙ ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන බවක් පෙනුණෙ නැහැ. ඒ වෙනුවට තමන්ගෙ දේශපාලන බලය වෙනුවෙන් උතුරෙ තියෙන තත්ත්වයත්, දෙමළ ජනතාවත් පාවිච්චි කරගත්තා.


ඒත් පසුගිය ජනාධිපති මැතිවරණවලදි දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් තමන් තෝරාගත් අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදෙන්න කටයුතු කළා. ඒ යම් කරුණු හෝ එකඟතා මතද? එහෙමනම් ඒ එකඟතාවලට ඊට පස්සෙ මොකද වුණේ?


ඇත්තටම ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් මූලික කරගෙන ක්‍රියාත්මක වෙන දේශපාලන පක්ෂවලට මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණෙ දෙදහස් නමයෙන් පස්සෙ. ඊට කලින් තිබුණෙ වෙනත් තත්ත්වයක්. දෙදහස් නමයෙ යුද්ධය අවසන් වීමෙන් පස්සෙ මූලික දේශපාලන පක්ෂය වුණේ දෙමළ ජාතික සන්ධානය. ඒත් ඔවුන් ජනතාව නියෝජනය කරමින් දේශපාලනය කරනවද කියන එක ප්‍රශ්නයක්. මම එහෙම කියන්නෙ ඔවුන් ජනතාවට සමීපව, ජනතාවත් එක්ක පුළුල් සාකච්ඡාවක් එක්ක දේශපාලනය කරනව කියල පේන්නෙ නැති නිසා. අනෙක් පැත්තට යුද්ධය අවසන් වීමෙන් පස්සෙ පැවති ජනාධිපති මැතිවරණ දෙකෙන් දෙදහස් පහළොවේ ජනාධිපතිවරණයෙදි තමයි දෙමළ ජාතික සන්ධානය නිශ්චිතව අපේක්ෂකයෙක් නියෝජනය කළේ. ඒ එක්සත් ජාතික පක්ෂයත් සමග එක්ව තරග කළ වර්තමාන ජනාධිපතිවරයාව. එහෙම සහයෝගය දෙන්න හදාගත්ත එකඟතා මොනවද කියන්න නම් මම දන්නෙ නැහැ. ඒත් ඒවා ඒ අය හදාගත්ත එකඟතා මිසක් උතුරට හෝ දෙමළ ජනතාවට අදාළ එකඟතා කියලනම් කියන්න බැහැ. ඒ නිසා දැන් මෙහෙ තියෙන ඇත්ත තත්ත්වය තමයි ජනතාව අදේශපාලනික වෙලා තියෙන එක.


අදේශපාලනික වෙලා කියන එකෙන් ඔබ අදහස් කරන්නෙ මොකක්ද?


අදේශපාලනික වෙලා කියන්නෙ, ඒකෙන් මම අදහස් කරන්නෙ ජනතාව රටේ දේශපාලනයට සංවේදී නැහැ කියන එක. දේශපාලනය සම්බන්ධයෙන් බලාපොරොත්තු තියන්නෙ නැති තත්ත්වයකට පත්වෙලා තියෙනව කියන එක. විශේෂයෙන් මම මේ කියන්නෙ උතුරෙ තත්ත්වය ගැන. මේ ජනතාවට ඇත්තටම බලාපොරොත්තුවක් නැහැ තමන් මුහුණ දෙන ප්‍රශ්නවලට මේ පාලකයන් හරි, උතුරෙ දේශපාලනය කරන කණ්ඩායම් හරි විසඳුමක් අරන් එයි කියලා.


දෙමළ දේශපාලන පක්ෂ ඇත්තටම දෙමළ ජනතාව නියෝජනය කරන්නෙ නැහැ කියලද ඔබ කියන්නෙ?


ඔව්. ඔවුන් දේශපාලන පක්ෂ විදිහට පෙනුණට ඇත්තටම වෙනස් වෙනස් කණ්ඩායම්. සම්බන්ධන්, සුමන්තිරන් වගේ අය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන එක ඒ අයගෙ තීරණයක් මිසක් ජනතාවගෙ තීරණයක් නෙමෙයි. ඒ අයට සහයෝගය දක්වන පිරිසක් නැහැ කියල මම කියන්නෙ නැහැ. අනෙක් දේශපාලන පක්ෂත් එහෙම තමයි. ඒ අය හැමෝම ක්‍රියාත්මක වෙන්නෙ ඒ අයගෙ පෞද්ගලික න්‍යායපත්‍ර වලට මිසක් ජනතා නියෝජනය වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා පත් වුණු කිසිම ජනාධිපතිවරයෙකුට උතුරෙ ජනතා සහයෝගයක් තිබුණේ නෑ. ජනාධිපතිවරු පත් කරන්න උතුරෙ ජනතාව ක්‍රියාත්මක වුණා කියල කියන්න අමාරුයි.


ඒත් ජනාධිපතිවරණයකදි දෙමළ ජනතාවගෙ ඡන්ද කියන එක ඉතාම වැදගත් සාධකයක්. අපේක්ෂකයන් ඒ වෙනුවෙන් විවිධ පොරොන්දු දෙනවා. මේ වෙනකොට ජනතාව ඒ පොරොන්දු ගැන දරන්නෙ මොන වගේ ආකල්පයක්ද?


දෙදහස් නමය අවුරුද්දෙ යුද්ධය අවසන් වෙනකොට මේ ප්‍රදේශවල දෙමළ ජනතාවට ගොඩක් දේවල් අහිමි වෙලා තිබුණා. ජීවිත අලුතෙන් ගොඩනගා ගන්න වෙන තත්ත්වයක් තිබුණා. ඒත් ඒක ජනතාවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට දේශපාලන මැදිහත්වීමක් අවශ්‍යයි. එවැනි දේශපාලන මැදිහත්වීමක් සහිතව විසඳුම් ලබාදෙයි කියලා බලාපොරොත්තුවක් ජනතාවට තිබුණා. ඒත් අවුරුදු දහයක් පුරා ලැබුණු අත්දැකීම් එක්ක ඒවා මේ පාලකයන්ගෙන් කෙරෙන්නෙ නැහැ කියන එක ජනතාව තේරුම් අරගෙන ඉන්නෙ. ඒත් ඒක බලාපොරොත්තු කඩවීමක් විදිහට විතරක් ඉතුරු වෙලා, අර මම කලින් කියපු විදිහට ජනතාව අදේශපාලනික වීම තමයි වැඩියෙන් වෙලා තියෙන්නෙ. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි.


මේ තත්ත්වය සම්බන්ධයෙන් විද්වත් තලයේ හෝ සාකච්ඡාවක් නිර්මාණය වෙලා නැද්ද?


නැත්තෙ නැහැ. ඒත් ඒවා තාම තියෙන්නෙ සීමිත පිරිසක් අතර. පුළුල් සාකච්ඡාවක් දක්වා ඒවා වර්ධනය වෙලා නැහැ. අපේ අරමුණ තමයි ඒ සාකච්ඡාව තවත් පුළුල් කර ගන්න එක. ඒකෙන් තමයි අදේශපාලනික වෙලා ඉන්න ජනතාව දේශපාලනික කර ගන්න පුළුවන් වෙන්නෙ.


මේ වෙනකොට දකුණේ දේශපාලනය තුළ විකල්පයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු වෙලා තියෙනවා. ඒ ගැන මොකක්ද ඔබේ අදහස?


මේ රටට විකල්පයක් ඕනෙ. දකුණට විතරක් නෙමෙයි උතුරටත් ඒක එහෙම තමයි. අපිටත් ඒ ගැන බලාපොරොත්තුවක් තියෙනවා. අර මම කලින් කිව්ව වගේ අපි අතර තියෙන සාකච්ඡාවත් ඒ ගැන තමයි. මේ වෙනකොටත් ජාතික විද්වත් සංවිධානයත් එක්ක සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ සාකච්ඡා සාර්ථකයි. ඒත් ඔවුනුත්, ජනතා විමුක්ති පෙරමුණත්, තවත් සංවිධානත් නියෝජනය කරන ඒ විකල්ප පෙරමුණ දෙමළ ජනතාව ගැන දරන ස්ථාවරයන් ගැන තවත් සාකච්ඡා කරන්න ඕනෙ. බෙදෙනවද, එකතු වෙනවද කියන සාකච්ඡාවෙන් එහාට ගිය ප්‍රතිසන්ධානය කියන්නෙ මොකක්ද කියන එකත්, දෙමළ ජනතාවගෙ ඇත්ත ප්‍රශ්න මොනවද කියන එකත් තව සාකච්ඡා කරන්න ඕනෙ. මම හිතන්නෙ ඒ සාකච්ඡාව අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ ප්‍රශ්න අඳුනගෙන, දෙමළ ජනතාවට පිළිගන්න පුළුවන් විසඳුමක් දෙන අලුත් ව්‍යාපාරයකට උතුරේ ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා.

සංවාද සටහන
චතුර දිසානායක

Leave a Response