දේශපාලන සටහන

මෙදා පාර රැල්ල ගහන්නේ අලුත් පැත්තකටය

438views

රනිල් – සජිත් හමුව සතියේ ප්‍රධාන මාතෘකාවක් වූයේය. එය එසේ වූයේ යූඑන්පීයේ අපේක්ෂකයා කවුද යන්න පිළිබඳව මතුව ඇති පක්ෂ අභ්‍යන්තර ආරාවුල නිසාය. එය මුළු රටම දන්නා කාරණයකි. බොහෝ යූඑන්පී මන්තී්‍රවරු ‘අපේ අර්බුදයක් නැහැ’ යැයි කිව්ව ද ඇත්ත අර්බුදය ඉතා බරපතළය. මීට මාස කිහිපයකට පෙර මංගල සමරවීර ප්‍රසිද්ධියේම කියා සිටියේ, රනිල් ඊ ළඟ ජනාධිපති අපේක්ෂකයා වන බවය. එහෙත්, ඒ මංගල අද බැහැල වැඩ කරන්නේ සජිත්ව අපේක්ෂකයා කරවීමටය. ‘රනිල්ට බැහැ’ කියලා පෝස්ටර් ගැහුවේ ද මංගල ය. එහෙම ගහපු එක වැරැද්දක් යැයි කිව්වේ ද මංගලමය. ආපහු සැරයක් ඒ කටින්ම ‘රනිල්ට බැහැ’ යැයි කියන්නේය.

මලික් සමරවික්‍රම කියන්නේ රනිල්ගේ පාසල් කාලයේ සිටම ඉන්නා හොඳම මිතුරාය. මලික්ව පක්ෂයේ සභාපති කරවන්නේ ද රනිල්ය. ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ද රනිල්ය. දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණු මිතු දම අද දෙදරා ගොස්ය. දැන් මලික් ඉන්නේ සම්පූර්ණයෙන්ම රනිල්ට විරුද්ධ පිලේය. මලික් විවෘතව පෙනී ඉන්නේ ද සජිත්ව ගෙන එන ව්‍යාපෘතියේය. යූඑන්පීයේ ජ්‍යෙෂ්ඨයන් රාශියක් එළිපිටම වැඩ කරන්නේ සජිත් ගෙන ඒමටය.

කොටින්ම ගත්තොත් රනිල්ට ඉතුරු වෙලා ඉන්නේ ඉතාම අතළොස්සක් වන ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකි. ඒ අයත් කෙළින්ම එළියට බැහැලා රනිල් ආරක්ෂා කරන ව්‍යාපෘතියක පෙනෙන්නට නැත. ඉඳලා හිටලා හරි මොනවා හරි කියන්නේ රවී කරුණානායක සහ සරත් ෆොන්සේකා පමණි. ඒ දෙන්නත් එහෙම කරන්නේ රනිල් රකින අරමුණෙන් නොවේය. රවීට ඇත්තේ සජිත් එක්ක පෞද්ගලික තරහකි. එය කාලයක් තිස්සේ එන තරහක්ය. ෆොන්සේකාට ඇත්තේ තමන් අපේක්ෂකයා වීමේ වුවමනාවය. එහෙම නැතිව රනිල්ව රැකීමේ වුවමනාවක් මේ කාටවත් ඇත්තේ නැත.

ඊයේ, පෙරේදා සජිත් කිව්වේ තමන් පොඩ්ඩක්වත් පස්සට යන්නේ නැති බවය. ඒ කියන්නේ, අපේක්ෂකකම කොහොම හරි ලබා ගන්නා එකය. එයත් එක්ක ඉන්න හැමෝම කියන්නේ ඒ කතාවය. කබීර් හෂීම් පක්ෂයේ සභාපතිවරයාය. ඔහු කියන්නේ ද ඉස්සරහට තියපු කකුල පස්සට ගන්නේ නැහැ කියාය. සජිත් ගෙන ඒම වෙනුවෙන් පළාත් මට්ටමේ රැස්වීම්, පළාත් පාලන මන්තී්‍ර හමු ආදී වශයෙන් නොකරන දෙයක් නැත. ඒ මොනවා කළත් රනිල් මේ වනතෙක් වචනයක් හොල්ලා නැත. ගිය සතියේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරලා කියලා තිබුණේ අපේක්ෂකයා නම් කරන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ බවය. දැන් ඔක්කෝම ගිහිල්ලා ඇල්පිටියේ ඡන්දේ දිනවලා එන්න කියාය. ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ආපු කට්ටිය හිස් අතින් ආපහු හැරිලා ගියහ. කොහොම හරි බලපෑම් කරලා රනිල් – සජිත් සාකච්ඡාවක් කැඳවීය. ඒකත් මුලින්ම දා ගත්ත දිනය රනිල් වෙනස් කළේය. දෙවන දවසේ හමුවත් කිසිදු ප්‍රතිඵලයක් නැත. ආරංචි විදිහට රනිල් කියලා තියෙන්නේ සජිත්ට තව කල් තියෙන බවය. මේ වෙලාවේ ඉල්ලලා නිකම් සවුත්තු වුණොත්, සජිත් ප්‍රේමදාසත් රනිල් කෙනකු බවට පත් වෙන බවය. ඒ බෝලය බස්සා ඇත්තේ සජිත්ව අන්දවා වැඩේ බේරා ගන්නට ය. එහෙත්, අවසන් තීරණයක් නැතිවම සාකච්ඡා කෙළවර වීමෙන් පෙනෙන්නේ අර්බුදය තව තවත් දිග්ගැස්සෙන බවය.

අර්බුදයට උත්තර විදිහට කරුව ඉදිරිපත් කරන්න උත්සාහ කළත් සජිත් කණ්ඩායම ඒකට එකඟ නැත. කරුගේ නමක් කිසි කෙනෙක් යෝජනා කරන්නේවත් නැත. එනමුත්, රනිල් හා කරු අතර සම්බන්ධය ඉතා කිට්ටුවෙන් ඇත. මතු වෙලා තියෙන තත්ත්වය තුළ යූඑන්පීය ඇතුළේ ඡන්දයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පක්ෂය කැඩිල කැඩිලා යන්නේය. රනිල් බලන්නේ ඇතුළේ ඡන්දයක් නැතිවම වැඩේ බේරාගන්නය. ප්‍රශ්නය පක්ෂය ඇතුළේ විතරක් වුණා නම් ගොඩින් බේරා ගන්නට තිිබිණි. ඒත් දැන් ප්‍රශ්නය මුළු රටම දන්නා දෙයකි. ඒ නිසා ඇතුළේ දාන සෙල්ලම්වලින් බේරා ගන්නට අමාරු ය. සජිත් කොච්චර දැඟලූවත් යූඑන්පීය දාලා යන්නත් බැරිය. එහෙම ගියොත් සජිත් නැත්තටම නැති වන්නේය. ‘මම හොඳ රාජාලියෙක් නොවෙයි. අලියෙක්’ යැයි කීවේ ඒකය. කීයටවත් සජිත් යූඑන්පීය අතහැරලා යන්නේ නැති බව ස්ථීරය. ලලිත්ලා, ගාමිණීලාගේ අත්දැකීම් දන්න සජිත් ඒ වැඩේ කොහොමවත් කරන්නේ නැත.

ඒත් එක්කම සජිත්ව ගෙන ඒමේ මෙහෙයුම පිටුපස්සේ මෛත්‍රීපාලත් ඉන්න කතාව හා හෝ කියලා පැතිර යන්නේය. මෛත්‍රී – සජිත්-මහරාජා මෙහෙයුමක් ඇති බවක් ද කියැවෙන්නේය. පසුගිය දවස්වල මෛත්‍රීපාල සජිත් ගැන කරපු වර්ණනාවලින් ඒක එහෙම වෙන්න ඇති කියන එකත් පැහැදිලිය. සජිත් එළිපිටම කියන්නේ තමන්ට අගමැතිකම ගන්න හැත්තෑඑක් වරක් කතා කළා කියාය. ඒ තරම් අවස්ථා ගණනාවක් කතා කරන්න තරම් මෛත්‍රීපාලට සජිත් විශ්වාසය. දින පනස්දෙකේ කුමන්ත්‍රණය වෙලාවෙත් කතා කළා කියන්නේ ඉතාම කිට්ටු යාළුකමක් තියෙනවා කියන එකය. සජිත්ව උස්සන සැලැස්මක් පටන් ගත්තේ ද ඒ දවස්වලය. කුමන්ත්‍රණයට එරෙහිව අරලියගහ මැඳුරේ තිබ්බ උද්ඝෝෂණවලට යූඑන්පී පාක්ෂිකයන් ආවේ සජිත්ගේ පින්තූරය අතේ තියාගෙනය. සජිත්ව ගේන්න ඕනෑ යැයි කෑගසමින්ය. ඇත්තටම සජිත් ඒවෙලාවේ කළේ ද, තමන්ව උස්සා ගන්නා වැඩක් මිසක් පක්ෂය බේරා ගන්න වැඩක් නොවේ ය. හරියට කල්පනා කරනවා නම්, යූඑන්පී පාක්ෂිකයෝ ඇත්ත සජිත්ව කවුද කියලා ඒකෙන්ම තේරුම් ගන්නේය.

සජිත්ගේ මුළු ඉතිහාසයම ගත්තාම තමන්ම වර්ණනා කර ගැනීම ජානමය ලක්ෂණයක්ය. රෑ දොළහට නිදාගන්නේ උදේ හතරට නැඟිටින්නේ යැයි ඔහුම කියා ගන්නේය. හරිහමන් දක්ෂ නායකයෙක් නම්, එහෙම කළ යුතු නැත. තියුණු කළමනාකරණයක් හඳුන්වා දීමෙන් සියල්ල මෙහෙයැවීමේ හැකියාවක් තිබිය යුතුය. රෑ තිස්සේ නිඳිවරාගෙන හිටපු කෙනෙක් පහුවෙනිදා නිඳිමතේ කරන දේවල් ඔක්කොම අවුල්ය. තමන් එහෙම යැයි කීම ඊටත් වඩා හොඳටම අවුල්ය. ජනතාව වෙනුවෙන් මහපාරේ මැරෙන්නත්, මම ලෑස්ති යැයි කතාවක් ද කිව්වේය. මැරෙන්න නායකයෝ වුවමනා නැත. ජනතාවත් ජීවත් කරවලා තමනුත් ජීවත් වීමට හැකියාවක් ඇති කරවීමයි, සැබෑ නායකත්වය කියන්නේ. මේ කතාවලින්ම සජිත්ගේ අපරිණත භාවය ඔප්පුකර අවසන්ය. ගමේ මිනිස්සු කොච්චර සජිත්ව ඉල්ලූවත් පක්ෂය ඇතුළේ සජිත්ට කැමැත්තක් නොතිබුණු ඇත්ත හේතුව මෙයය. මෙම තත්ත්වය වෙනස් වෙලා සජිත්ව ගේන්න ඕනෙ කියන හැමෝම ඇත්ත සජිත් කියන්නෙ කවුද කියලා හොඳින් දන්නා අයය. ඒ කවුරුත් සජිත් මහා දක්ෂ පරිණත නායකයෙක් යැයි කියන්නේ නැත. ඒ ගොල්ලෝ කියන්නේ රට ඉල්ලන්නේ සජිත්. ඒ නිසා සජිත්ව අපේක්ෂකයා කරමු කියාය. ඒ අයට ඕනෑ කොහොම හරි දිනන්න පුළුවන් කෙනෙක් දාගැනීමය. ඔහු දක්ෂයෙක්ද නැද්ද යන්න අදාළ නැත. එහෙත් රනිල් බලන්නේ ඊට වඩා වෙනස්වය.

මහින්ද රාජපක්ෂ සන්ධානයේ අපේක්ෂකයා කරන කොට චන්ද්‍රිකා කියා තිබූ කතාවක් මෑතක දී සන්ධානයේ පක්ෂ නායකයකු මතක් කර දුන්නේය. ඒ පොදු පෙරමුණේ අවසන් පක්ෂ නායක රැස්වීමේ දී චන්ද්‍රිකා කියා තිබූ දුරදක්නා ප්‍රකාශයක්ය. ‘මහින්දව අපේක‍ෂකයා කරපු එකට මම එකඟ නැහැ. ඒත්, මට දැන් ඒක වෙනස් කරන්න බැහැ. හැබැයි, අද කිව්වා කියලා හොඳට මතක තියා ගන්න. මහින්ද කියන්නේ, පොල්පොට් කෙනෙක්’ යන්න ඒ කතාවය. එදා ඒ තරමින් එය තේරුම් නොගත් බොහෝ දෙනකු පසුකාලයේ දී එය හරියටම තේරුම්ගෙන තිබිණි. චන්ද්‍රිකාගේ ඒ ප්‍රකාශය ඇය කරන අනෙකුත් ප්‍රකාශ වගේම යැයි සිතූ නිසා වැඩි දෙනකු ඒ පිළිබඳව තැකීමක් කර තිබුණේ නැත. එහෙත්, ඉඳලා හිටලා හරි දේශපාලනය තේරෙන කෙනකු විදියට ඇය කර තිබූ කතාව හරියටම හරිය. සජිත් පිළිබඳව රනිල්ට ඇත්තේ ද ඊට නොදෙවැනි තත්ත්වයක්ය. පොල්පොට්ට සේම සමාන කළ නොහැකි වුවත්, අපරිණත කෙනෙක් යන්න නම් පැහැදිලිය. අපරිණත කෙනකු නායකත්වයට පත් වුණා ම සිද්ධ වෙන අලකලංචිය දැන් කියන්නට අමාරුය.

මෛත්‍රීපාලගේ භාවිතාවෙන් එය තේරුම් ගැනීම පහසුය. කරන්න හිතෙන ඕනෑ දෙයක් කරන්නේය. ඉන් ඇති වන හානිය සිද්ධ වෙන්නේ ජනතාවටය. එහෙත්, එය තේරුම් ගන්න කොට පරක්කු වැඩිය. රනිල් මේ සියල්ල දන්නා නිසා සජිත්ට විරුද්ධ වෙනවා නොවේය. එහෙත්, යූඑන්පීය ඇතුළේ සජිත්ගේ අපරිණතකම ගැන දන්නා අය විරුද්ධ වන්නේ ඒ අර්ථයෙන්ය.

සජිත් කණ්ඩායම මොන සෙල්ලම් දැම්මත්, රනිල් ඔහුට අපේක්ෂකම නොදෙන්න බලාගෙන වැඩ කරන බව නම්, ඉතා පැහැදිලිය. දෙන්නා අතරේ සාකච්ඡාව කල් දැම්මේ ඒ උපක්‍රමයටය. රනිල්ගේ සාමාන්‍ය ක්‍රමය ඒකය. දැන් රනිල් වැඩිපුරම බර තියා ඇත්තේ, අනෙක් පක්ෂත් එකතු කරගෙන සන්ධානය ගොඩනඟන්නටය. සන්ධානය පිහිටෙන් වැඩේ බේරා ගන්න එක ඔහුගේ උපක්‍රමයයි. ඒත්, එය කොතරම් සාර්ථක වේවි ද යන්න සැකසහිතය. කෙසේ නමුදු යූඑන්පීයේ අපේක්ෂකයා රනිල් වුණත්, සජිත් වුණත්, කරු වුණත් ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වන්නේ නම් නැත. ඔවුන් වටා එකතු වන කණ්ඩායම දැනටමත් ඉන්න කණ්ඩායමමය. ඒ නිසා ආර්ථීක ප්‍රතිපත්තියේ වෙනසක් නැත. හොරකමේ අඩුවක් ද නැත. දූෂණයේ, නාස්තියේ අඩුවක් ද නැත. එය එසේ නම්, අපේක්ෂකයා අලූත් වූ පමණින් දේශපාලනයේ මහා වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.

එය ගෝඨාභය රාජපක්ෂගේ පැත්තට ද එසේමය. වෙනස් වන්නේ පුද්ගලයා පමණක්මය. ඔහු වටා ඉන්න කණ්ඩායම පරණ හොර කණ්ඩායමමය. එයට අලූතින් ප්‍රසන්න රණවීරලා වගේ අය එකතු වී ඇත. ඒකෙන් වැඩේ තවත් චාටර් වී ඇත. එසේ නොමැතිව ප්‍රතිපත්තිමය වෙනසක් සඳහා වූ අලූත් කණ්ඩායමක් එකතු වී නැත. ඒ කියන්නේ, දෙපිලේම පුද්ගල වෙනසක් පෙන්නුම් කළ ද, හරයේ කිසිදු වෙනසක් ඇත්තේ ම නැති බවය.

යූඑන්පීයේ අර්බුදය දවසින් දවස දික්ගැසෙමින් යද්දී, ගෝඨාභය තමන්ගේ කට්ටිය කොළඹට ගෙන්ව ගෙන්වා රැස්වීම් පවත්වයි. ඔහු පෙන්වන්න හදන්නේ තමන් මහා පරිණත, උසස් කෙනකු යැයි කියා ය. එයට ගැළපෙන ඇඳුම් අඳින්නේ, ඒ රඟපෑමටය. කොළඹ හෝටල්වල ඉහළ පන්තියේ අය අමතන්නේ ඒ වෙනුවෙන්ය. තමන් ඇතිදැඩි කරලා හදා ගත්ත මාධ්‍ය ආයතන පාවිච්චි කරලා, තමන්ව පුම්බා ගන්න විවිධ උත්සාහයක් දරන්නේය. කොළඹ ඔය මොන සෙල්ලම් දැම්මත්, ගමේ ජනතාව තවමත් අවදි වී නැත. අඩුම ගාණේ මහින්ද ඉල්ලන කොට තිබිච්ච ගැම්මවත් ගමේ ඇති වෙලා නැත. එදා මහින්ද ඉල්ලූවේ විධායක බලතල සියල්ල අතේ තියාගෙනය. විධායක බලය, මාධ්‍ය බලය, මුදල් බලය, මැර බලය සියල්ල තිබිය දීත්, මහින්ද පරාද වුණේය. එදාට වඩා වැඩියෙන් යමක් මහින්ද පිලට අලූතෙන් එකතු වී නැත. එදා ශ්‍රීලනිපය කියලා එකක් කැඩිලා, වෙනමම තිබුණේ  ද නැත. ශ්‍රීලනිපය හැමෝම හිටියේ, මහින්ද කඳවුරේමය. කොටින්ම ගත්තොත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් එදා එකටම හිටියේය. එහෙත්, අද ඛෙදිලා වෙන් වෙලාය. ඒ කියන්නේ, එදා තිබුණු ඡන්ද පදනමත් අද අඩු වෙලාය. මාධ්‍ය සෙල්ලම්වලින් වැඩේ හරියන්නේ නැහැ කියන්නේ ඒ නිසාය. මහින්ද ඉල්ලද්දී යම් ප්‍රමාණයකට දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ලැබුණේය. එහෙත්, ගෝඨාභය ඉල්ලන කොට එය වෙනස් වී ඇත. ඒ නිසා කවුරුන් හෝ හිතනවා නම්, ගෝඨාභය මහින්දට වඩා උඩින් ඉන්නේ කියා එය දැන දැනම මුළාවේ වැටීමක්ය.

ඡන්දය ගැන ගණිතමය සූත්‍රය දන්නා කිසි ම කෙනෙක් ඔය මෝඩ චූන් කතාව කියන්නේ නැත. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ රාජපක්ෂලාට එදා තිබුණු තත්ත්වයටත් වඩා ඡන්ද අඩු වීමය. මේක දන්නා බැසිල් රාජපක්ෂ වීරවංශගේ, ගම්මන්පිලගේ කටවල්වලට වැට බැන්දේය. මුස්ලිම් ජනතාවට බනින්න එපා යැයි අවවාද දුන්නේය. ඒත්, මෝඩ වීරවංශ තර්ජනය කරලා කිව්වේ, මුස්ලිම් අයට තමන්ගේ කඩ පවත්වාගෙන යන්න ඕනෑ නම්, ගෝඨාභයට ඡන්දය දෙන්න කියාය. ඒකෙන් වුණේ තවත් තරහා වැඩි වීමය. අද වෙන කොට ශ්‍රීලනිපය කොන්දේසි දාලා කේවල් කරන්නේ මේ ඇත්ත තත්ත්වය දන්නා නිසාවෙනි. එහෙම බැලූවාම දෙපැත්තම ඉන්නේ අර්බුදයකය. කොතරම් මාධ්‍යවලින් බොරු සෙල්ලම් දැම්මත්, දෙපැත්තටම අලූත් රැල්ලක් ගසා නැත. අලූත් රැල්ලම ගසා ඇත්තේ වෙන පැත්තකටය. මේ අර්බුද, අලකලංචි මැද්දේ අනුර ගම් මට්ටමින් රට පුරා සැරිසරයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනයා ඒ වටා අලූතින් එක්වෙති. මෙවර මැතිවරණයේ අලූතින් ඡන්ද එකතු වන්නේ ඒ බලවේගයට බව දැනටමත් පැහැදිලිය. අර ගොඩවල් දෙකෙන් ම හැලිලා, ඒ හැමෝ ම එකතු වන්නේ අලූතින් ගොඩනැගුණු සැබෑ ජනතාව බලවේගය සමඟ බව නම්, රට පුරා දක්නට ඇත්තේය.

ජගදාක්ෂි

Leave a Response