අදහස්

අලුතෙන් හිතන්න පුළුවන් පුරවැසියෙක් ගොඩනඟන්න ඕනෑ…

291views

ආචාර්ය දිලීප විතාරණ

‘ලංකා’ පුවත් පත මඟින් ‘සංස්කෘතික මිනිසා’ තේමාව යටතේ පළ කරනු ලැබූ ලිපි පෙළ ඇසුරෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ ‘සංස්කෘතික ජීවිතයක් – සමාජ පරිවර්තනීය සංවාද’ කෘතිය ජනගත කිරීම සහ ‘සංස්කෘතියේ දේශපාලනය’ පිළිබඳ සාකච්ඡාව ඔක්තෝබර් 06 වන දින පෙරවරු 10.00ට කොළඹ 05, සූරිය විලේජ්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ආචාර්ය දිලීප විතාරණ සමග කරන මේ කතාබහ ඒ පිළිබඳවය.

ඔබ ඇතුළු කණ්ඩායමක් විසින් ‘ලංකා’ පුවත් පත මූලික කර ගනිමින් ‘සංස්කෘතික මිනිසා ගොඩනැඟීම’ කියන තේමාව යටතේ සාකච්ඡාවක් ආරම්භ කළා. මොකක්ද ඒකෙ අරමුණ වුණේ?

මුලින්ම කියන්න ඕනෙ මේක දේශපාලන ව්‍යාපෘතියක්. මම එහෙම කියන්න හේතු වන පළමුවෙනි කාරණය තමයි, සංස්කෘතික මිනිසා කියන්නෙම දේශපාලනයේ ප්‍රකාශනයක් වීම. අපිට සංස්කෘතිය කියල හිතන්න පුරුදු කරල තියෙන්නෙ ‘කලාව – සංස්කෘතිය’ වගේ පටු සීමාවකින්. එහෙමත් නැත්නම් ආගමික සහ සදාචාරමය රාමුවක් විසින් නිර්මාණය කරල දීපු සංකල්ප සීමාවකින්. ඒත් සංස්කෘතිය කියන්නෙම ඊට වඩා පුළුල් දෙයක්. සංස්කෘතික මිනිසා ගොඩනැඟීම කියන සාකච්ඡාව සමාජගත කරන්න හිතුව එක කාරණයක් ඒක. අනෙක් පැත්තෙන් පසුගිය දෙදහස් පහළොවේ ජනාධිපතිවරණයෙන් පස්සෙ අපි කණ්ඩායමක් හිතපු දෙයක් තමයි, මේ රටේ දේශපාලනයට විකල්පයක් අවශ්‍යයි කියන එක. එහෙම විකල්පයක් ගැන හිතන්න මේ රටේ මිනිස්සුන්ට බැරි වෙලා තියෙන එකට එක හේතුවක් තමයි ඔවුන් තුළ තියෙන සංස්කෘතික පසුගාමීත්වය. ඉතිහාසය සම්බන්ධයෙන්, ජාතිය සම්බන්ධයෙන්, ලිංගිකත්වය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් තුළින් ඒ පසුගාමීත්වය ප්‍රකාශයට පත් වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ වෙද්දි ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයන් කියන්නෙ. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙත් සජිත් ප්‍රේමදාස කියන්නෙත් ඒ සංස්කෘතික පසුගාමීත්වයේ ප්‍රබල ප්‍රකාශන දෙකක්. ඒත් මේ කියන පසුගාමීත්වය තේරුම් ගන්න නම්, සංස්කෘතික වෙනසක් ඕනෙ වෙනවා. අපිට උගන්වල තියෙන ඉතිහාසයට, අපිට උගන්වල තියෙන සංකල්ප රාමුවට අභියෝග කරමින් අලූතෙන් හිතන්න පුළුවන් පුරවැසියෙක් ගොඩනඟන්න ඕනෙ වෙනවා. සංස්කෘතික මිනිසා ගොඩනැඟීම කියන එක දේශපාලන ව්‍යාපෘතියක් විදිහට හිතල ඒකට අත තියන්න හිතුවෙ ඒ නිසයි.

එවැනි ව්‍යාපෘතියක් සඳහා ඇයි ‘ලංකා’ වගේ පුවත් පතක් තෝරා ගත්තෙ?

මේ ව්‍යාපෘතියට අපිට තියෙන හොඳම අවකාශය තියෙන්නෙ ‘ලංකා’ පුවත් පතේ කියල අපි හිතුවා. ඒකට හේතු දෙකක් තිබුණා. එකක් තමයි, ලංකා පුවත් පතට ඉන්න පාඨක ප්‍රජාව කියන්නෙ මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම අවධානය යොමු කරවා ගන්න, මේ කතා කරන දේවල් ඉක්මනින්ම ග්‍රහණය කර ගන්න පුළුවන් පිරිසක් කියන අදහස අපි තුළ තිබීම. දෙවෙනි එක තමයි ‘ලංකා’ පුවත් පතත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන, විවිධ සමාජ අවකාශයන් තුළ කටයුතු කරමින් ඉන්න බාහිර පිරිසක් මේ සාකච්ඡාවට සම්බන්ධ කර ගන්න එක. අනෙක් පැත්තට අපිට මේක පුවත් පත තුළ පළ කෙරෙන ලිපි පෙළක් කියන සීමාවෙ නෙමෙයි හිටියෙ. ඊට එහා ගිය සමාජ කතිකාවක් ගොඩනඟන්න ඕනෙකමක් අපිට තිබුණා. ඒකෙ දි අපිට නාගරික, මෙවැනි සාකච්ඡාවලට උනන්දුවක් දක්වන පිරිස් විතරක් නෙමෙයි ඉලක්ක කළේ. නාගරිකවත්, ග්‍රාමීයවත් මේ ගැන සාකච්ඡා වට ගණනාවක් ඇති කරන අරමුණක් අපිට තිබුණා.

ඒ අරමුණුවලට යන්න හැකියාව ලැබුණ ද?

මේ වගේ දේක දී අපි හිතන ඉලක්කවලට යන්න ඒ තරම් පහසු නැහැ. ඒත් මේ වගේ අසීරු විෂයපථයක් ඇතුළෙත් සැලකිය යුතු දුරක් එන්න අපිට හැකියාව ලැබුණා. පුවත් පතේ අපි ආරම්භ කරපු සාකච්ඡාව පෝෂණය කරන්න තවත් කිහිප දෙනෙක්ම සම්බන්ධ වුණා. ඒ වගේම ඒ ලිපිවලට ප්‍රතිචාර විදිහටත් ලිපි ලියන්න, අපි ඒ වෙනකොටත් හඳුනගෙන නොහිටපු පිරිසක් උනන්දු වුණා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන්, අපේ උත්සාහයට ඉඩක් තියෙනවා කියන එක.

‘ලංකා’ පුවත් පතේ පළ වූ ලිපි පෙළ ඇසුරෙන් සැකසුණු ‘සංස්කෘතික ජීවිතයක් – සමාජ පරිවර්තනීය සංවාද’ කියන කෘතිය ඔබ ඔය කියන ව්‍යාපෘතියෙම දිගුවක් ද?

පැහැදිලිවම. ඒ ලිපි පෙළ තමයි මේ සාකච්ඡාව සමාජගත කිරීමේ දීර්ඝකාලීන ව්‍යාපෘතියේ ආරම්භය. මම මුලිනුත් කිව්ව නෙ, මේක පුවත් පතක පළ කරන ලිපි පෙළකින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල. ඒ ලිපි පෙළ පදනම් කර ගත්ත සාකච්ඡාවක් ගොඩනැඟීම කියන එක අපි ඉස්සරහ තියෙන අභියෝගයක්. ‘සංස්කෘතික ජීවිතයක්’ කියන සමාජ පරිවර්තනීය සංවාද ඇතුළත් කෘතියත්, ඒ කෘතිය පදනම් කරගෙන පැවැත්වෙන ‘සංස්කෘතියේ දේශපාලනය’ කියන සාකච්ඡාවත් අපේ ව්‍යාපෘතියේ තවත් වැදගත් පියවරක්. ඒ සාකච්ඡාවට අපි ‘ලංකා’ පුවත් පතත් එක්ක මේක ආරම්භ කරන කොට හිටියට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන්වත් සම්බන්ධ කරගෙන තමයි, කෘතිය ජනගත කිරීම සහ සාකච්ඡාව සිදු වෙන්නෙ.

ඒ වගේ සාකච්ඡාවකට මේ වෙලාවෙ සමාජයෙ ඉඩක් තියෙනවා කියල ඔබ හිතනව ද?

අපි අතරෙ මේ සාකච්ඡාව ආරම්භ වෙන්නෙ දෙදහස් පහළොව අවුරුද්දෙ. ඒ සාකච්ඡාව ක්‍රියාවට නැෙඟන්න පටන් ගන්නෙ ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ. ඒ වෙලාවෙ තිබුණට වඩා දැන් තත්ත්වය ගොඩක් වෙනස්. අපි එදා කියපු සංස්කෘතික ප්‍රශ්නය එදාට වඩා සජීවීව අත්දකින්න අපිට මේ ගත වුණු කාලය තුළ ලැබිල තියෙනවා. ඒ නිසාම අද ඒ ගැන එදාට වඩා වැඩි අවධානයක් ඇතිවෙලා තියෙනවා.

සාහිත්‍ය මාසය පහු වුණා. පොත් පත් ගැන තිබුණු කතාබහ අවසන් වෙලා දැන් වැඩි අවධානයක් තියෙන්නෙ ජනාධිපතිවරණය ගැන. ඒ වගේ තත්ත්වයක් ඇතුළෙ මේ වගේ දේකට අවධානයක් ගන්න පුළුවන් ද?

මම කිව්වනෙ මේක දේශපාලන ව්‍යාපෘතියක් කියලා. දේශපාලනය උණුසුම් වෙලා තියෙන වෙලාවක තමයි දේශපාලන මාතෘකාවකට වැඩි අවධානයක් තියෙන්නෙ. ඒක හින්ද මේ වෙලාව තමයි මේ වැඩේට හොඳම වෙලාව.

සංවාද සටහන
චතුර දිසානායක

Leave a Response