දේශීය පුවත්

ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා සැසිවාරය ඔක්තෝබර් 10 වන දා

114views

ශ්‍රී ලංකාව තුල විවිධ මාධ්‍යයන් ඔස්සේ විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන සන්නිවේදකයින්ගේ එකමුතුවක් ලෙස බිහිවුන ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයෙහි පළමු වාර්ෂික මහා සැසිවාරය ඔක්තොබර් මස 10 වන දා පැවැත්වීමට එම සංගමය කටයුතු යොදා ඇත. මීට වසරකට පමණ පෙර මූලික අඩිතාලම දමමින් ආරම්භ වුනු මෙම සංගමයේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යා ජනමාද්‍ය හා විද්‍යා සන්නිවේදනය වඩාත් ඉහල තලයකට ගෙන එමින් ශ්‍රී ලංකාව තුල විද්‍යා දැනුම වඩාත් කාර්යක්ෂමව ප්‍රචලිත කිරීමයි. මේ හරහා ශ්‍රී ලාංකික ජනතාව වඩාත් තාර්කික චින්තනයක් කරා රැගෙන යාම සංගමයේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම සංගමයේ සමාරම්භක සභාපතිවරයා ලෙස ශ්‍රී ලන්කන් සයන්ටිස්ට් සඟරාවේ කතෘ සිසිර කුමාර මහතා ක්‍රියා කරන අතර, ප්‍රවීණ විද්‍යා සන්නිවේදකයින් වන නාලක ගුණවර්ධන, ආචාර්ය ජයන්ත වත්තවිදාන, මහාචාර්ය මනූජ් ක්‍රිෂාන්ත, මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි, තිළිණ කිරින්ගොඩ, රාජේන්ද්‍ර කුලසිංහ මෙම සංගමයේ උපදේශක කමිටුව ලෙස ක්‍රියා කරයි. ශ්‍රී ලංකාව තුල විවිධ ආකාරයෙන් විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන ප්‍රවීණ හා ආදුනික සන්නිවේදකයින් රැසක් මෙම සංගමයේ සාමාජිකයින් ලෙස දැනටමත් ක්‍රියා කරන අතර, විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන සහ විද්‍යා සන්නිවේදනයෙහි ඇල්මක් දක්වන සියළු දෙනා හට මෙම සංගමය හා සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමය ඇරයුම් කර සිටියි.

ඔක්තෝබර් 10 වනදා සවස 4 ට කොළඹ 7 විද්‍යා මාවතේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේදී ආරම්භවීමට නියමිත මෙම සැසිවාරයේ විශේෂ ආරාධිත දේශණය සංගමයේ උපදේශක කමිටු සාමාජික ප්‍රවීණ විද්‍යා ලේඛකයෙකු සහ මාධ්‍ය විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකරන නාලක ගුණවර්ධන මහතා විසින් සිදුකිරීමට නියමිතය.

විද්‍යා සන්නිවෙදනය හා සම්බන්ධ සහ ඊට ඇළුම් කරන සියළු දෙනාහට මෙම විශේෂ මහ සභාවාරයට සහභාගීවී සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා මෙන් ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමය ආරාධනා කරයි. එමෙන්ම ශ්‍රී ලංකා විද්‍යා ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයේ පලමු මහා සභාවාරය ලෙස මෙය මහ ජනතාවටද විවෘත සභාවාරයක් ලෙස පැවැත්වේ.

Leave a Response