විශේෂාංග

දරුවන්ට ලෝකයක්

101views

මේ දින වල, රට දියුණුව කරා ගෙන යා හැකි ජනාධිපතිවරයෙක් පත්කරගැනීමේ තරඟය සියලු දෙනාගේ මුවඟ රැදී තිබේ. මාධ්‍ය සහ සමාජමාධ්‍ය පුරා වඩා හොඳ අපේක්ෂකයෙකු වෙනුවෙන් මත පලවෙමින් තිබේ. හොඳම දේ දරුවන්ට දීමට හිතන වැඩිහිටි පරම්පරාවක් විසින් ළමුන්ට හිමි කර ඇති අද දවස කෙබඳුද? හෙට දවස කෙසේ වේවිද? 

ඔක්තෝබර් පළවෙනිදා ලෝක ළමා දිනයයි. ළමයින් වෙනුවෙන් සියලු දේ කැපකරමින් 365 දවසේම වෙහෙසෙන දෙමව්පියන්‍ ඉන්නා රටක, දරුවන්ට වැඩිම කාලයක් මව්කිරි දෙන මව්වරුන් ඉන්නා රටක ළමයින් වෙනුවෙන් දවසක් වෙන්කිරීම අවශ්‍ය නොවන බව ඔබ සිතනු ඇත. එහෙත් එවන් දවසක අපට නතරවී කල්පනා කිරීමට බොහෝ දේ තිබේ. අප මේ තනමින් සිටින්නේ දරුවන්ට වඩාත් ආරක්ෂිත, සුවපහසු සහ ඔවුන්ව තෘප්තියෙන් සහ සාමයෙන් තැබිය හැකි ලෝකයක්ද?

අප අද සංවර්ධනය ලෙස හඳුන්වන්නේ හෙට දරුවන් ණය කරුවන් කරමින්, ඔවුන්ට හිමිවිය යුතු සම්පත් අනිසි ලෙස අවභාවිතා කරමින් කරන නාස්තියක්ද? අප රටේ සම්පත් විදේශයන් වලට ලබාදෙමින් කසල පමණක් රදවාගන්නා පාරිසරික සහ සමාජයීය විනාශයක්ද? 

මධ්‍යම පාන්තික දෙමව්පියන්‍ට අනුව දරුවන්ට යපහත් හෙට දවසක් නිර්මාණය කිරීම යනු තරඟකාරීත්වයෙන් සහ වංචනිකත්වයෙන් යුතුව මුදල් ගොඩගසා ළමුන්ට සියලු සැප සම්පත් ලබාදීමද? උපන්දා සිට ළමයින්ව අසාමාන්‍ය තරඟයකට යොමු කර ඒ තුළ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ නිදහස් චින්තනය මොට කරන, මධ්‍යම පාන්තික දෙමව්පියන්‍ දරුවන්ගෙන් කරපිටින් පටවා ඇත්තේ තමන්ට අහිමිවූ තමන්ගේ සිහින සාක්ෂාත් කර ගැනීමේ භාරදූර වගකීම නොවේද? 

දරුවන්ට ජීවත්වීමට සුදුසු රටක්, සමාජයක්, සහ පරිසරයක් නිර්මාණය කිරීම අමතක කර දරුවාට සැප සම්පත් ලබා දීමත්, ඔහු හෝ ඇය උගත් සහ හැකියා පූර්ණ අයෙකු බවට පත්කිරීමත් යන තරඟය තුළම දෙමව්පියන්‍ දරුවාට වැඩිහිටියෙකු ලෙස යම්දිනෙක වැඩිහිටියෙකු ලෙස ඇතුලු වීමට තිබෙන සමාජය ඉතා දූෂිත තැනක් කිරීමට දායක වෙයි. දරුවා උගතෙක් කිරීමට පප්‍රසිද්ධ පාසලකට ඇතුලත් කරගැනීමට අල්ලස් ලබාදෙන පියා දරුවා උගතෙක් බවට පත්කළත් එම දරුවා ජීවත්වෙන රට දූෂිත තැනක් කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් තබා අවසන්‍ ය. මෙසේ දරුවා උගතෙක් කිරීමේ සහ ඔවුන්ට සැපවත් ජීවිතයක් ලබාදීමේ අරමුණින් රට සහ පරිසරය විනාශයට දායක වන දෙමව්පියන්‍ මේ රට ජීවත්වීමට නුසුදුසු තැනක් යැයි ප්‍රකාශ කරන්නට ද මැලි නොවේ. ඉන් අනතුරුව, රටේ ගැටළු වලට සංවේදී වී දරුවන්ට ජීවත්වීමට  සුදුසු රටක් හැදීමට දායක වනවා වෙනුවට රට අතැර “දියුණු රටක” දරුවන් සමඟ පදිංචියට යෑම හීනය කරගනී. මෙසේ ඉතා ආත්මාර්ථකාමී දරු පරපුරක් නිර්මාණය කිරීම වත්මන් දෙමව්පියන්‍ අතින් සිදුවන විශාල වරදකි. 

මධ්‍යම පාන්තික දරුවන්ගේ ඉරණම මෙසේ වෙද්දී දුෂ්කර ගම්වල දරුවන්ගේ ඉරණම ඊටත් වඩා කටුක ස්වරූපයක් ගනී. දහසකුත් එකක් ගැටළු මැද සමාජයේ නොඇසී යන අප විසින්ම ගොලු කරගෙන සිටින ගැටළුවක් පිළිබඳ හඬක් නැගීමට සුදුසු කාලය එළඹී තිබේ. ලංකාවේ දුෂ්කර දිස්ත්‍රික්ක වල ළමාවිවාහ සහ ළමා මාතෲත්වයන් තවමත් දක්නට ලැබෙන බව පසුගිය වකවානුවල පුවත්පත් ශීර්ෂ පාඨ දක්නට ලැබිණි. මුස්ලිම් නීතිය යටතේ සිදුවන ළමා විවාහ පිළිබඳ සංවේදී වනවා සේම රටේ මූලික නීතියේ ඇසට වැලිගසා සිදුවන ළමාවිවාහ පිළිබඳ අවධානය යොමුවිය යුතුව තිබේ. බොරු වයස් පෙන්වා ළමුන්ගේ විවාහ ලියාපදිංචි කළ විවාහ ලියාපදිංචිකරුවන්ගේ රැකියා පවා අහිමි වූ අවස්ථා වරින් වර අසන්නට ලැබුනද එසේ නීතියේ රැහැනට අසු නොවී මෙවැනි දේ කරන පුද්ගලයින් කොතෙකුත් සිටී. මෙම ළමා විවාහ පිළිබඳ ලංකාව පුරා විසිරුණු සමීක්ෂණයක් කර බැලිය යුතුව ඇත.  

අරලියා සමාධි මහානාම සිදුකල සමාජවිද්‍යාත්මක පර්යේෂණයකට අනුව ලංකාවේ කාන්තාවන් සැළකිය යුතු ප්‍රමාණයක්  ළමාකාලයේදී පවුලේ ඥාතීන් අතින් කිසියම් ලිංගික අතවරයකට නතුවේ.

බහුතර ශ්‍රී ලාංකික සමාජයේ ඔඩුදුවා ඇති ළමයින් ලිංගික අපහරණයට ලක්වීම පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට බදුන් කිරීම සහ ඊට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය සමාජ වගකීමකි. 

ඔබ කාන්තාවක් නම්, මේ දත්ත වල ඇත්ත නැත්ත සෙවීමට පෙර ඔබගේ ළමාකාලය සිහිපත්කරන්න. ඔබව අපහසුතාවයට පත්කළ අතපත ගෑමකින් හෝ සිදුවූ ඔබගේ පළමු ලිංගික අත්දැකීම මතකද? එය සිදුවූයේ ඔබගේ පවුලේම සමීපතමයෙකු අතින්ද? එසේනම් ඔබ තනි නැත. එවන් අකාරුණික අත්දැකීම් වලට බොහෝ කාන්තාවන් සිය ළමාකාලයේදී මුහුණ දී තිබේ. අදටත් සිඟිති දියණියන් එවැනි අත්දැකීම් වලට මුහුණ දෙමින් සිටී. 

ලංකාව වැනි රටක හිංසනයට පත්වූ දැරියක දෙමව්පියන්‍ට ඒ පිළිබඳ සඳහන් කලත් සමාජ අපවාදයෙන් මිදෙනු වස් එවැනි සිද්දි රහසිගතව තබාගන්නා අවස්ථා එමටය. විශේෂයෙන්ම අපහරණය සිදු කර ඇත්තේ පවුලේම කෙනෙක්නම් සිද්ධිය වසන්කිරීමට ඇති ඉඩ තවත් වැඩිවේ. කෙසේවෙතත් මෙවැනි සිද්ධි සිදුවන්නේ එක්තරා සමාජ පන්තියක පමණක් යැයි ලඝු කළ නොහැක. එය සමස්ත සමාජයේ හරස්කඩක් ගෙන බැලූ විට සමාජය පුරා විසිර පැතිර ඇති ආකාරය දැක ගත හැක. 

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ හිටපු ජාතික සම්බන්ධීකාරකයෙකු වන සජීව ප්‍රනාන්දු පැවසුවේ මෙසේ දරුවන් අපහරණයට ලක්වීමට ප්‍රධාන හේතුව සමාජ හර පද්ධතිය කඩාවැටීම බවයි. පවුලේ ඥාතීන් අතින්ම දරුවන් අපහරණයට පත්වෙන බව සමාජගත වීම එක්තරා විදියකට දරුවන් තවදුරටත් හුදකලා වීමටත් දරුවන්ට නිදහසේ හැසිරිය හැකි ආරක්ෂිත අවකාශය සහ වපසරිය තවදුරටත් හැකිලී යාමටත් හේතුවන බව ඔහුගේ අදහස විය. පවුලේ සමීප ඥාතීන්, සමහර විට දරුවාගේම පියා අතින් දරුවන් අපහරණයට ලක්වීම ඉතා අවාසනාවන්ත සත්‍යයක් ලෙස සමාජය පෙලූවත් අනිත් අන්තයෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, දරුවන්ගේ නිදහස සීමාකිරීම සහ ළමයින්ගේ ජීවිතයේ කිසිදු පියවරකට ඔවුන්ට තනිව මුහුණ දීමට ඉඩ නොදීම තුළින් දරුවන්ගේ පෞර්ෂත්වය ගොඩනැගීම හානි කරන බව සජීව ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. 

එසේම අවධාරණය කළ යුතු කාරණයක් වන්නේ මෙලෙස අපහරණයට ලක්වන්නේ දියණිවරුන් පමණක් නොවීමය. කුඩා පිරිමි දරුවන්ගේ ආරක්ෂාවද අමතක නොකළ යුතු කාරණයකි. 

මනෝ උපදේශකවරියක වන සමිතා ඇතුල්දොරආරච්චි ප්‍රකාශ කරන පරිදි සෑම ළමයෙකුටම විශ්වාස කළ හැකි, තමන්ව ලෝකයට සම්බන්ධ කරන කෙනෙකු අවශ්‍ය වේ. දරුවන් සිය සම්පූර්ණ නිදහස භුක්තිවිදිමින් සම්බන්ධතාවයක් පවත්වාගත හැකි එක් විශ්වාසවන්ත වැඩිහිටියෙකු හෝ සොයමින් සිටී. එහෙත් මවට හෝ පියාට එම විශ්වාසවන්ත වැඩිහිටියා වීමට නොහැකි අවස්ථාවන් දැකිය හැක. එවන් අවස්ථාවලදී සිදුවිය හැකි කාරණා දෙකක් වන්නේ; ළමයා තමන්ට බාහිර කෙනෙකුගෙන් සිදුවන අතවරයක් දෙමව්පියන් සමඟ ප්‍රකාශ නොකිරීම හෝ ළමයා වෙනත් වැඩිහිටියෙකු මත තම විශ්වාසය තැබීම විය හැක. මෙලෙස විශ්වාසය තබන වැඩිහිටියාම අපයෝජකයෙකු වුවහොත් එය ඉතා ගැටළුකාරී විය හැක. දරුවන්ගේ ජීවිතයේ සෑම දෙයකටම ඇඟිලි ගසනවා වෙනුවට ඔවුන්ට විශ්වාස කළ හැකි වැඩිහිටියෙකු වීමෙන් ඔවුන්ට වඩා සමීපව ආරක්ෂාව සැපයීමට හැකිවනු ඇත. 

කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක ප්‍රකාශ කලේ අප විසින් අමතක නොකල යුතු කාරණයක් වන්නේ දරුවන්ද ආදරය, ස්පර්ෂය සහ යම්කිසි ලිංගික ක්‍රියාවන් වින්දනය කිරීමට ඉඩ ඇති පිරිසක් නිසා දරුවන් විසින් තමන්ට සිදුවන ලිංගික හිංසනයන් එවැනි “හිංසනයන්” ලෙස හඳුනා නොගැනීමටද ඒවා විශ්වාස කටයුතු වැඩිහිටියන්ට ප්‍රකාශ කිරීමටද මැලිවීමටද ඉඩ ඇති බවය.

දරුවන්ට සිදුවන ලිංගික හිංසනයන් පමණක් නොව දරුවන්ට සිදුකරන අනෙකුත් ශාරීරික හා මානසික පීඩනයන් පිළිබඳ සාකච්ඡාවද ඉතා ගැඹුරෙන් සහ විචක්ෂණශීලීව කළ යුත්තකි. මෙය ආරම්භයක් සනිටුහන් කිරීමක් පමණි. 

දරුවන් යනු සමාජ වගකීමකි. ලංකාව තුළ දරුවන් වැඩුනේ ගමකට අයිති දරුවන් ලෙසය. විස්ත්ෘත පවුල්වල අම්මා, තාත්තා, ආච්චී, සීයා, නැන්දා, බාප්පා වැනි බොහෝ ඥාතීන් සමඟ දරුවන් එකට හැඳුණු වැඩුණු නමුදු අද වනවිට දරුවාට ආරක්ෂිත එකම ස්ථානය න්‍යෂ්ටික පවුල යැයි විශ්වාසයක් ගොඩනැගී තිබේ. අම්මාත් තාත්තාත් දෙදෙනාම රැකියාවට යන පවුල් වල දරුවන්ගේ ආරක්ෂාව දෙමව්පියන්‍ට ඇති ලොකුම ගැටළුවයි. ආච්චී හෝ සීයා නිවසේ නවත්වාගැනීමට හෝ වැඩිවියදමක් දරා දරුවන් බලාගැනීමට විශ්වාසවන්ත සේවිකාවක ලබා ගැනීමට දෙමව්පියන්‍ට සිදුවේ. දෙමව්පියන්‍ හවස 5 පමණ වන තුරු රැකියා ස්ථාන වල රැදුනත් දරුවන් හවස 1:30 පමණ වන විට පාසල් හමාර කිරීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ගැටළුවක් වී තිබේ. චීනය සහ ජපානය වැනි රටවල ළමුන්ට හවස් වනතුරු පාසලේ නැවතී ක්‍රීඩා සහ විෂය සමඟාමී කටයුතු වල යෙදීමට අවස්ථාව සලසා තිබේ. සමහර යුරොපීය රටවල දියුණු දිවා සුරකුම් සේවා මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

කෙසේවෙතත්, ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුව තනි තනිව එක් එක් ළමයාට ආරක්ෂාව සැපයීම මඟින් විසදිය නොහැක. ළමා අපයෝජන ඇතුලු බොහෝ ගැටළු සමාජය තුළ ඇති දැවැන්ත සමාජ සංස්කෘතික සෝදා පාලුවක පිළිඹිඹුවකි. එවැනි ගැටළු වෙන් වෙන්ව ගෙන විසඳුම් සෙවීමද අපහසුය. එමනිසා, ඒ පිළිබඳ වැඩි වැඩියෙන් පර්‍යේෂණ කර මෙවැනි දේ සිදුවීමට හේතු මෙන්ම ඒවා වැලැක්වීමට විසදුම් සෙවීමටත් පර්‍යේෂකයින් මෙන්ම බලධාරීන්ද අවධානය යොමුකළ යුතුය. 

කෞෂල්‍යා හේරත්

Leave a Response