දේශපාලන සටහන

සජිත් ආවට රනිල් දිගටම

27views

යූ.එන්.පී.යේ මහසමුළුව පැවැත්වුණේය. සජිත් ජනාධිපති අපේක්ෂකයා යන්න එහිදී සම්මත වුණේය. මේ වෙනකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත් තීරණය පක්ෂ සමුළුවේද සම්මත වුණේය. එසේ නමුදු පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු වූයේ නැත. එය තවමත් දරන්නේ රනිල් වික්‍රමසිංහය. වෙනත් යම් එකදු තනතුරක් හෝ වෙනස් නොවීය. අනෙක් සියලූ දෙනාම එසේමය. මේ තත්ත්වය අනුව දැනට ඇති යූ.එන්.පී. ආණ්ඩුවේ කිසි වෙනසක් නොවන්නේය. එය එලෙසමය. මෙහි ඇති ඊළඟ ප්‍රධාන කාරණය නම් දහනවවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිට ඇති බලයයි. එයට අනුව අලූතින් පත්වෙන ජනාධිපතිට කිසිදු ඇමතිකමක් දැරිය නොහැක්කේය. මෛත්‍රීපාල සිරිසේනට වගේ හිටපු හිටපු වෙලාවට අමාත්‍යාංශ පවරාගන්න හැකියාවක් නම් ඔහුට නැත. එහෙම වුණත් මේ පත්වෙන ජනාධිපති ගොපල්ලව පන්නයේ කෙනෙක් නොවේය. ජේ.ආර්. පන්නයේ කෙනෙක්ද නොවේය. ඒ දෙකට අතරමැදි බලයක් ඇති කෙනෙක්ය. එහෙම බැලූවම අගමැති තනතුර කියන්නේ අමාත්‍යාංශ වගකීම් දැරිය හැකි බලයක් සහිත එකක්ය. වැරදිලාවත් සජිත් දිනුවත් අගමැති දැන් ඉන්න රනිල් වික්‍රමසිංහමය. එහි කිසිදු වෙනසක් වන්නේ නැත.

පසුගිය දවස්වල මාධ්‍යවේදියෝ සජිත්ගෙන් මේ ගැන ඇසූහ. සජිත් කිව්වේ ‘මේක අගමැති තෝරන ඡන්දයක් නොවෙයිනෙ, ජනාධිපති තෝරන ඡන්දයක්නේ, ඒ නිසා ඒවා වෙනස් වෙන්නෙ නැහැ’ කියාය. යූ.එන්.පී. පාක්ෂිකයො හිතාගෙන ඉන්නව නම් සජිත් ආවම යූ.එන්.පී. ය මුළුමනින්ම අලූත් වෙනවා කියල ඒ කිසිවක් සිදු නොවන බව පැහැදිලිය. පක්ෂ නායකත්වයත් රනිල්මය. අගමැතිකමත් රනිල්මය. රවි කරුණානායකලා, ජෝන් අමරතුංගලා අද ඔය ඉන්න විදියටම ඉන්නේය. එහෙම ගත්තම මේ තියෙන යූ.එන්.පී. ආණ්ඩුව වෙනස් වෙන්නේ මෛත්‍රී වෙනුවට දිනුවොත් සජිත් ආදේශවීම පමණක්මය. ඒ ආවත් මෛත්‍රීට තරම්මවත් බලයක් සජිත්ට ඇත්තේ නැත. බලයක් තිබුණ මෛත්‍රීටත් රනිල්ව මෙල්ල කරගන්න බැරිවුණේය. බලයක් නැති සජිත්ට ඒ ගැන හිතන්නවත් ලැඛෙන්නේ නැත. මේ දවස්වල සජිත් එක්ක එකතු වන්නේද නල්ල මලේ බඩුය. එස්.බී. නාවින්න කියන්නේ පසුගිය දින පනස්දෙකේ කුමන්ත්‍රණය වෙලාවේ පක්ෂයට ද්‍රෝහී වෙච්ච පක්ෂය පාවල දීපු කෙනෙක්ය. එදා මෛත්‍රී-මහින්ද කුමන්ත්‍රණය මෙහෙය වුණේම මේ වගේ ද්‍රෝහීන්ගේ පාවාදීම නිසාය. විජේදාස රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ, දිනේෂ් ගන්කන්ද, එස්.බී. නාවින්න මේ පස්දෙනාම මහින්දත් එක්ක එකතු වුණහ.

මෛත්‍රී – මහින්ද කණ්ඩායම උදම් ඇනුවේ මේ අයත් එක්කය. තමන්ට එකසිය දහතුන නොවෙයි එකසිය විස්සක් හදාගන්න පුළුවන් යැයි කයිවාරු ගැහුවේ මේ අයගේ පාවාදීම නිසාය. තව තව අය යන්න මාන බලමින් හිටිය බව දන්නෝ දනිති. ඒ කියන්නේ යූ.එන්.පී. පක්ෂය මහා දැවැන්ත කඩා වැඩීමේ අර්බුදයකට පත්වුණේය. එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑ නාවින්නව නැවත එකතුකර ගන්නවා කියන්නේ ඒ පාවාදීම සාධාරණීකරණය කිරීමය. සජිත් අද කර ඇත්තේ එයයි.

ඒ විතරක් නොවෙයි තිස්ස අත්තනායක කියන්නේ ඒ පාවාදීමේ පුරෝගාමියාය. එදා මහින්ද රාජපක්ෂට එරෙහිව ශ්‍රී.ල.නි.ප.යේ මහලේකම් මෛත්‍රීපාල එළියට බැස්සේය. ඒකාධිපති දූෂිත පවුල් පාලනයට එරෙහිව මෛත්‍රීපාල පක්ෂ ලේකම්වරයා විදියට එළියට බැහැපු එක විශාල හයියක් වුණේය. පවුල් පාලනයට විරුද්ධ ජනතාවට එය මහා ආස්වාදයක් වුණේය. ඒත් දවස් කිහිපයකින් යූ.එන්.පී.යේ මහලේකම් තිස්ස අත්තනායක, රාජපක්ෂ පිලට පැන්නේය. ලේකම්ට ලේකම් නිශ්ක්‍රීය වූවා යැයි කෑමොර ගැසූහ. ගත්ත ගැම්ම බැස්සේය. තිස්ස එළියට බැස්සා විතරක් නොවෙයි, මේ පැත්තෙ රහස් සියල්ල හතුරාගේ අතට දුන්නේය.

අන්තිමට කූඨ ලේඛනයක් පිළිබඳවත් කිව්වේය. එදා මැතිවරණ ව්‍යාපාරයට මහත් හානියක් සිදුකළේය. පක්ෂයක් එවැනි අර්බුදයකට ඇද වැට්ටවූ තිස්ස අත්තනායක වගේ පාවාදෙන්නන් සජිත් අද එකතුකර ගන්නේය. මේකෙන් පෙන්නුම් කරන්නේ අන් යමක් නොවේය. එක පැත්තකින් පරණ හොරු ටික එහෙමම රකින එකය. අනෙක් පැත්තෙන් පක්ෂය පාවාදීපු ද්‍රෝහීන්ව නැවත එකතු කරගෙන වටිනාකම් දීමය. යූ.එන්.පී.ය තව තවත් හොරුන්ගෙන් පාවාදෙන්නන්ගෙන් පිරිච්ච පක්ෂයක් බවට පත්කර ගැනීමය.

මේ ඔක්කොම දේවල් දිහා බැලූවම සජිත් ආවාම සිද්ධවෙලා තියෙන්නෙ පරණ තත්ත්වයටත් වඩා හපන් වීමය. කිසිදු අලූත් වෙනසක් නැත. රනිල්ට දිනන්න බැරි නිසා සජිත්ව ඉස්සරහට දා ගැනීම පමණක්මය. එහෙත් සජිත්ගේ ආගමනයත් එක්ක හිතන මතන යූ.එන්.පී.කාරයන් ඉන්නේ කලකිරීමෙන්ය. දැනටමත් සිවිල් සංවිධාන ගණනාවක් ඉන් ඉවත් වී ඇත. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය වැනි සංවිධාන ඉන්නේ අතරමංවෙලාය. ජයම්පති වික්‍රමරත්නලාට ඉන් ඉවත්වීමට බලකෙරුනේ මේ තත්ත්වය හමුවේය. ඒ කියන්නේ එදා මෛත්‍රීට සහාය දක්වපු ප්‍රගතිශීලී කණ්ඩායම් කොහෙත්ම සජිත්ට කැමති නැත. සජිත්ගේ භාවිතාවන් එක්ක ඔවුනට හිටගන්නට බැරිය. විධායක ජනාධිපති ක්‍රමය ගැන පවා සජිත්ට ප්‍රතිපත්තියක් නැත. බොහෝ අයට කලකිරෙන්නට එයම හේතුවක් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය ඇත්තේ ද අනතුරකය. දැනට උසාවියේ අහන නඩුවේ තත්ත්වය බරපතළය. ගෝඨාභය ඇමරිකන් පුරවැසිකම අරගෙන තියෙන්නේ දෙදහස් තුන වර්ෂයේදීය. මහින්ද ජනාධිපති වන්නේ දෙදහස් පහේ නොවැම්බර් දහඅටවැනිදාය. එය සිකුරාදා දවසක්ය. ඒ කියන්නේ මහින්ද ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ දහඅටවැනි සිකුරාදාය. ඊට පහුවැනි දවස් දෙකම නිවාඩු දිනයන්ය. සෙනසුරාදා සහ ඉරිදාවන්ය. දැන් බලනකොට ගෝඨාභයට ද්විත්ව පුරවැසිකම ලබාදී ඇත්තේ නොවැම්බර් විසිඑක් වැනිදාය. ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නේද විසිතුන් වැනිදාය. ලේකම්වරු පත්කළේ ඊටත් පසුවය. ද්විත්ව පුරවැසිකම ලබාදීමට අත්සන්කර ඇත්තේ අයියා, මහින්ද රාජපක්ෂමය. සාමාන්‍යයෙන් ද්විත්ව පුරවැසිකම ලබාගන්න මාස හයකවත් කාලයක් යන්නේය. ඒ කිසිවක් නැතිව සියල්ල සිදුවී ඇත. උසාවියේ විනිසුරන් නියෝග දුන්නේ ඒ පිළිබඳ ලිපිලේඛන උසාවියට ඉදිරිපත් කරන ලෙසය. ආගමන විගමන ලොක්කා කියන්නේ එහෙම ලියකියවිලි කිසිවක් තමන් සතුව නොමැති බවය. ගෝඨාභයට ද්විත්ව පුරවැසිකම ලබාදුන්නා යැයි කියන අංකයට ශන්මුගනාදන් නමැත්තෙකුට ද්විත්ව පුරවැසිකම ලබාදී ඇත. ඔහුගේ ලිපිලේඛන සියල්ල තමන් භාරයේ ඇති බවද ඔහු කියා ඇත. එහෙම බලනකොට මහින්ද බලයට පත්වෙච්ච ගමන්ම කරපු පල්ම පල් හොර වැඩේ මේකය. එහෙව් නීති විරෝධී වැඩක් කරපු ගෝඨාභය දැන් කියන්නේ තමන් ආවට පස්සේ රටේ නීතිය හදන බවය.

රාජපක්ෂලාගේ උප්පත්තියෙන්ම එන ජානමය හොරකම් ලක්ෂණ මෙහිදීද පෙන්වා ඇත. අයියලා මල්ලිලා එකතුවෙලා පසුගිය කාලය පුරාවටම කළේ ඔය ජාතියේ වැඩය. ඒකාධිපති දූෂිත පවුල් පාලනය ජනතාවට එපා වුණේ මේ වගේ දේවල් නිසාමය. ඔහු වටා එකතුවෙලා ඉන්නේ ඒ ජාතියේම චෞරයන්මය. අපරාධකරුවන් මංකොල්ලකාරයන්, දූෂිතයන් සියල්ල එකට එකතුවන්නේ තමන්ගේ සුපුරුදු රස්සාවට එය හොඳ තෝතැන්නක් වන බැවිණි. එහෙත් එය රටට කොතරම් හානිදායකද යන්න රටක් විදියට රටවැසියා තේරුම්ගත යුතුය. මෙහෙම බැලූවම දෙපැත්තේම තත්ත්වය එකමය. ප්‍රතිපත්තිමය වශයෙන් කිසිදු වෙනසක් නැත. අවරුදු හැත්තෑ දෙකක් කරගහගෙන ආපු හොරකම දූෂණය වංචාව පිරි දූෂිත පවුල් පාලන ක්‍රමයම ඉදිරියට ඇදෙනු ඇත. ඉන් අත්මිදුනේ නැත්නම් රටක් ලෙස අප තව තවත් ආගාධයකට ඇද වැටීම වැළැක්විය නොහැක. එසේනම් කළ යුත්තේ ප්‍රතිපත්තිමය ලෙස මොවුන් දෙදෙනාම පරාජය කිරීමය. ඒ සඳහා සියල්ලෝ සූදානම් විය යුතුය. ඒ වෙනුවෙන් වූ ජනතාව දිනවන සැබෑ බලයක් ගොඩනැගිය යුතුය.

ප්‍රශ්නය වන්නේ ඒ සඳහා කැමැත්ත හා උවමනාව ඇති බලවේග එකිනෙකට වෙන්ව සටන් කිරීමය. වෙන්ව සටන් කිරීමේ වාසිය උපරිමයෙන් යන්නේ දූෂිත චෞරයන්ටමය. එබැවින් මේ සම්ප්‍රදායික මඩගොහොරුවට එරෙහිව එක බලයක් ශක්තිමත් කළ යුතුය. මෙලෙස එකතු වේ යැයි දකින චෞරයන් එය වැළැක්වීම සඳහාද විවිධ උපක්‍රම භාවිතා කරයි. දැනටමත් එවැනි දේ ආරම්භ කොට ඇත. කොළපාට, නිල්පාට දූෂිත පාලනයන්ට එරෙහිව ගොඩනැගුණු සැබෑ ජාතික බලවේගය වෙනුවට ඊනියා විකල්පයක් ඉදිරිපත්කර ඇත්තේ ඒ උපක්‍රමය වෙනුවෙන්ය. එය මෙහෙයවන අයට පවා එය නොතේරෙන්නේය. නොදැනුවත්වම ඔවුන් ඒ උගුලේ වැටී ඇත. අලූත් අපේක්ෂකයෙක් ලෙස මහේෂ් සේනානායකව ඉදිරිපත් කර ඇත්තේ ඒ ඛෙදා වෙන්කිරීම වෙනුවෙන්ය. දේශපාලන අත්දැකීම් නැති හුදෙක් න්‍යායාත්මක කරුණු පමණක් දන්නා හිටපු හා ඉන්න රාජ්‍ය නිලධාරීන් අද වැටී ඇත්තේ ඒ උගුලේය. ඔවුන් රාජකාරි කරන විටත් දේශපාලනඥයන්ගේ සටකපටි තීන්දු තීරණවලට යටවූවන්ය. අදත් නොදැනුවත්වම සිදුවන්නේ එයයි. බැලු බැල්මට බාහිර පෙනුම ප්‍රගතිශීලීය. එහෙත් මින් සිදුවන්නේ මුළුමනින්ම ප්‍රතිගාමී කටයුත්තක්ය. ප්‍රගතිශීලී වේශයෙන් එන ප්‍රතිගාමී හතුරා අති භයානකය. ඒවා හඳුනා ගැනීමත් ඒවා පරාද කිරීමත් ඒ බරින්ම කළ යුතුය. පවත්නා රජයන්ගේ දුබලතාවලට එරෙහිව නැගෙන විරෝධය යටපත් කරන්නට සමහර රාජ්‍ය නොවන සංවිධාන දැනුවත්ව ගොඩනගන්නේ මේ අරමුණින්ය. ඒවා හැමදාම කරන්නේ වක්‍රව පවත්නා පාලනය ආරක්ෂා කිරීමය. ඒ හා සමානවම මේ සිදුකරන වැඩෙන් වෙන්නේ ද එයමය. විරුද්ධ බලවේග කොටස්වලට ඛෙදා වෙන්කිරීමය. එබැවින් එවන් පැනනැගීම් අලූත් පැනනැගීම් සේ පෙනුනද එහි ඇති අභ්‍යන්තර උවමනාවන් තේරුම් ගැනීම නිවැරදිව කරගත යුතුය.

අපේ රටේ දේශපාලන යථාර්ථයට අනුව ස්වාධීන යැයි කිසිවක් නැත. ලෝකයේ ඕනෑම රටක තත්ත්වයද එසේමය. කොතරම් ස්වාධීන යැයි කිව්වද ඒ පිටුපස පැහැදිලි දේශපාලන උවමනාවක් ඇත. අනෙක දේශපාලනයෙන් තොරව රටක් වෙනස් කරන්නටද බැරිය. ඉතා සරලවම හිතුවොත් ඉදිරි ජනාධිපතිවරණයෙන් ඔය කියන ආකාරයේ කෙනෙකු වැරදිලාවත් පත්වුවහොත් සිදුවිය හැකි දේ කුමක්ද? මුළු පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරුන් සියලූ දෙනාම දේශපාලන පක්ෂ නියෝජනයක්ය. පත්වූ විගසම දෝෂාභියෝගයක් ගෙනාවොත් එතැනින් එහාට කිසිදු විධායක බලයක් ක්‍රියාත්මක කළ නොහැක. පවත්නා සරල නීතිය එයයි. ඒ නිසා දේශපාලනය ක්‍රියාත්මකවීමෙන් තොරව කළ හැකි සිහින මවන බොහෝ දේවල් ප්‍රායෝගික යථාර්ථයන්ගෙන් බොහෝ ඈතය. එය හුදෙක් සටන් පාඨයක් ලෙස ඔසවාගෙන යා හැකිය. බැලු බැල්මට හරි ආශා හිතෙන දෙයක්ය. එනමුත් භාවිතාවේදී සම්පූර්ණයෙන්ම අසාර්ථකය.

මේ පවත්නා කුණු වෙච්ච සමාජ ආර්ථීක ව්‍යුහය වෙනස් කළ හැක්කේ දේශපාලන භාවිතාවකින් පමණක්මය. එවැනි මැදිහත්වීමක් ගම් මට්ටමේ ජනතාවත් එක්ක බද්ධ වූවක් විය යුතුමය. පොළොවේ දුක්විඳින ජනතාවගේ හද ගැස්මත් එක්ක පෙළගැසුණු ව්‍යාපාරයක් විය යුතුමය. එසේ නොමැතිව හුදෙක් නිලධාරී මට්ටමෙන් පමණක් සෑදෙන වැඩපිළිවෙළවල් ප්‍රතිපත්ති ඕනෑ තරම් දැක ඇත. ඒවා කිසි දිනෙක මහපොළොවේ පැලවෙන්නේ නැත. එයට ප්‍රධාන හේතුව දේශපාලනිකව ඒවා සාමාන්‍ය ජනතාවගේ හදවත් සමග බද්ධ නොවීමය.

මේ සියල්ල මැනවින් විශ්ලේෂණය කර ගනිමින් තීන්දු තීරණ ගත යුතුය. එසේ නොමැති වුවහොත් පවත්නා හා පැවතුණු පාලනයට එරෙහිව ගන්නා තීරණය අපරාදේ බොඳවී යනු ඇත. එහි අවසාන විග්‍රහය වන්නේ පෙරලා එය පවතින පාලනයන්ටම වාසිදායක වීමය. ඇත්තෙන්ම අද රටට අවශ්‍ය වන්නේ දේශපාලන පරිණතභාවයෙන් යුත් විද්වතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් බලවේගයකි. එක පැත්තකින් දේශපාලන මෙහෙයවීම අත්‍යාවශ්‍යය. අනෙක් පැත්තෙන් විද්වතුන්ගේ න්‍යායාත්මක මැදිහත්වීම අත්‍යවශ්‍යය. මේ දෙකේම සංකලනයෙන් ගොඩනැගෙන බලවේගය සැබෑ ලෙසම ජනතාවාදී ප්‍රායෝගික වැඩපිළිවෙළක් වන්නේය. බිම්මට්ටමේ පීඩිත ජනතාවද එකතු කරගත් සැබෑ විකල්පයේ දිනන බලවේගය සමන්විත විය යුත්තේ එවැනි සංයුතියකින්ය. ඒ වෙනුවෙන් අප තෝරාගත යුත්තේ ඒ වර්ගයේ බලයක් සහිත දේශපාලන නායකත්වයකි.

Leave a Response