අදහස්

ස්ත්‍රී අයිතීන් දිනා ගන්න පුළුවන් ශක්තිමත් විකල්ප අවකාශයක් තුළ පමණයි

983views

ආචාර්ය ප්‍රභා මනුරත්න

ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී කණ්ඩායමක් වන ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව විසින් ස්ත්‍රී ප්‍රඥප්තියක් සූදානම් කර තිබේ. මෙතෙක් අවධානයට ලක් නොවූ කරුණු රැසක් දේශපාලන වේදිකාවට ගෙන ඒමත් පොදු දේශපාලන අරගලය තුළ ස්ත්‍රී අයිතිවාසිකම් දිනා ගැනීමත් ඔවුන්ගෙ අරමුණ වී ඇත. එහි ක්‍රියාකාරී සාමාජිකාවක වන ආචාර්ය ප්‍රභා මනුරත්න සමග මේ කතාබහ ඒ පිළිබඳවය.

ඇයි දේශපාලන ව්‍යාපාරයක් ඇතුළෙ ස්ත්‍රී පෙරමුණක් වෙනමම සංවිධානය වෙන්නෙ?

ස්ත්‍රීන් කියන්නෙ සමස්ත සමාජ දේහය පුරාම විහිදී පැතිරී පවතින ප්‍රධාන බලවේගයක්. ඒත් අපිට පේන්න තියෙන දෙයක් තමයි සමාජය තුළ ස්ත්‍රිය එම ප්‍රධාන සමාජ, ආර්ථීක, සංස්කෘතික සහ දේශපාලනික ක්‍රියාවලියෙන් ආන්තිකකරණය වෙලා කියන එක. ඒක නිසා ඇය නිරන්තරයෙන්ම අසාධාරණයට, අයුක්ති සහගතභාවයට සහ අසමාන තත්වයකට ඇද දමා නොසලකාහැර තියෙනවා. මේ තත්ත්වය නිවයේ ඉඳල සමාජය හා ප්‍රජාව අතරත්, වැඩබිමේදී, දේශපාලන තලයේ දී ඇතුළු සෑම කේෂ්ත්‍රයක් තුළම දකින්න පුළුවන්. පසුගිය දශක කිහිපය තුළ ඉස්මතු වූ නවලිබරල් ආර්ථීක කතිකාව ඇතුළෙ මේ තත්ත්වය වඩාත් උග්‍ර වෙලා තියෙනවා. එයින් ස්ත්‍රීන් මත දැරිය නොහැකි පීඩනයන් පටවලා තියෙනවා. ස්ත්‍රීන්ට මේ විදිහට වෙනස් කොට සැලකීම අපි ප්‍රතික්ෂේප කරනවා. අපිට වෙනම සංවිධානය වෙන්න වෙලා තියෙන්නෙත් ස්ත්‍රීන්ව සමාජයේ පොදු කුලකයෙන් වෙන් කරල සලකන තත්ත්වයක් තියෙන නිසාමයි. හැබැයි අපි කතා කරන්නෙ වෙන් කර ගත්ත ප්‍රශ්න ටිකක් නෙමෙයි. පොදු සමාජයක් ඇතුළෙ පීඩාවට ලක් වීම නිසාම මේ සමාජයේ තියෙන හැම ප්‍රශ්නයක්ම ස්ත්‍රියට වඩා හොඳින් පේනවා. ඒ නිසා අපි කතා කරන්නෙ මේ සමාජයේ සමස්ත අර්බුදය ගැනම තමයි.

ඒත් අද වෙනකොට කාන්තාවන්ට රැකියා අවස්ථා, අධ්‍යාපන අවස්ථා ඕනෙ තරම් තියෙනවා. කොහොමද ඔබ කියන්නෙ එහෙම වෙනස් කොට සැලකීමක් තියෙනව කියල?

මතුපිටින් බැලූවම එහෙම පේන්න පුළුවන්. ඒත් අද ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකයේ බැලූවත් වැඩිම අවදානමක් සහිත රැකියා වල යෙදෙන්නෙ ස්ත්‍රීන්. ‘අවදානම’ කියන එකෙන් අදහස් කළේ අනතුරුදායක කියන එක නෙමෙයි. ඉක්මනින්ම රැකියාව අහිමි වීමට අවදානමක් ඇති, කේවල් කිරීමේ බලය අඩු, ශ්‍රමය ලබා ගැනීම විතරක් අරමුණු කර ගත්ත රැකියා වල වැඩියෙන්ම නිරත වෙන්නෙ ස්ත්‍රීන්. ලංකාවෙන් විදේශ රැකියා වල නිරත වෙලා ඉන්න පිරිස අතුරින් වැඩි පිරිසක් ඉන්නෙ ගෘහ සේවිකාවන්. ඔවුන් නිරන්තරයෙන් පීඩාවට ලක් වෙනවා. පොදු නීතිය තුළ සමාන අයිතීන් සහිත පුද්ගලයන් විදිහට පෙන්නුවත් ස්ත්‍රීන්ගේ ඇවතුම් පැවතුම් පුරුෂ කේන්ද්‍රීයව තමයි පාලනය වෙන්නෙ. මේ අතරින් තියෙන බරපතළ කාරණාවක් තමයි මේ විදිහට ස්ත්‍රීන්ට එල්ලවන සංස්කෘතික මර්ධනය නීතිය හරහා සුජාතකරණය කිරීම. ඒ වගේම දුප්පත්කම වුණත් වර්ග වෙලා තියෙනව ස්ත්‍රී පුරුෂභාවය අනුව.

ස්ත්‍රීන් නියෝජනය කරමින් සහ ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කියමින් ගොඩනැගුණ සංවිධාන ඕනෑ තරම් දැනටත් ක්‍රියාත්මක වෙනවා. එවැනි තත්ත්වයක් ඇතුළෙ තවත් ස්ත්‍රී සංවිධානයකට තියෙන කාර්යය මොකක් ද?

ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සහ අරගල කරන සංවිධාන තියෙන බව ඇත්ත. ඒ විතරක් නෙමෙයි හුදෙකලාව තමන්ගෙ අයිතීන් වෙනුවෙන් අරගල කරන ස්ත්‍රීනුත් අපිට දකින්න පුළුවන්. අපේ එක ප්‍රධාන අරමුණක් තමයි එහෙම තැනින් තැන වෙන් වෙන්ව ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් අරගල කරන පිරිසුත්, හුදෙකලාව කෙරෙන අරගලත් එක තැනකට, එක වේදිකාවකට ගෙන ඒම. අපිට තියෙන අනෙක් ප්‍රධාන අරමුණ තමයි රටේ ප්‍රධාන දේශපාලන කතිකාවේ කේන්ද්‍රයට අපි මේ කියන ප්‍රශ්න ටිකත් අරගෙන යන එක. ස්ත්‍රීන් විතරක් නෙමෙයි, වෙනස් ලිංගික අනන්‍යතා සහිත පිරිස්, ලිංගික ශ්‍රමිකයන් වගේ සමාජයේ පොදු අවධානයෙන් ගිලිහිලා ඉන්න පිරිස ගැන තියෙන කතිකාවත් ප්‍රධාන දේශපාලන කතිකාව තුළට ගෙන ඒමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. ඒ වගේම අපි හිතන දෙයක් තමයි මේක වියුක්ත තත්ත්වයක් නෙමෙයි කියන එක. ආර්ථීක අර්බුදය තමයි මෙවැනි තත්ත්වයකට මූලිකම හේතුව වෙලා තියෙන්නෙ.

මේ මොහොතේ මැතිවරණය ඉලක්ක කරගෙන මෙවැනි සංවිධානය වීමක් වෙනව කියල කිව්වොත්?

ඔව්. පැහැදිළිවම ඒක එහෙම තමයි. ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් මොන තරම් දේවල් කළත්, ඒවට දේශපාලන බලයක් නැත්නම් එයින් කරන්න පුළුවන් බලපෑම ඉතාම අල්පයි. ඒ නිසා අපි කියන මතයට යම්කිසි දේශපාලන බලයක් ලබා ගැනීම කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා.

ඒ වෙනුවෙන් ජාතික ජනබලවේගය වගේ දේශපාලන පෙරමුණක් එක්ක සම්බන්ධ වෙන්න තීරණය කළේ ඇයි?

මේ වෙනකොට ලංකාවේ දේශපාලනය වැදගත් සන්ධිස්ථානයකට ඇවිත්. දශක හතකට වැඩි කාලයක් ලංකාව තට්ටුමාරු ක්‍රමයට පාලනය කරපු දේශපාලන කණ්ඩායම් මේ රට විශාල අගාධයකට ඇදල දාල තියෙනව කියන එක දැන් හැමෝටම තේරුම් යමින් තියෙනවා. ඒ නිසා රට එවැනි තත්ත්වයකට ඇදල දාපු දේශපාලන කණ්ඩායම් ගැන තියෙන ජනතා විරෝධය අන් කවරදාකටත් වඩා උත්සන්න වෙලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලය තමයි වඩා ශක්තිමත් විකල්ප දේශපාලන අවකාශයක් විවර වී පෙරට යමින් තිබීම. උත්සන්න වෙලා තියෙන ආර්ථීක අර්බුදයටත් නොවිසඳුණු සමාජ ගැටලූ ගණනාවකටත් නව ආරක දේශපාලන අපේක්ෂාවක් ප්‍රකාශයට පත්වීමක් තමයි ජාතික ජන බලවේගය විදිහට අපිට පේන්න තියෙන්නෙ. ජාතික ජන බලවේගය වටා සිවිල් සංවිධාන ගණනාවක් මේ වෙනකොටත් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා තමයි ජාතික ජන බලවේගයත් එක්ක මේ රටේ ස්ත්‍රී ක්‍රියාකාරීත්වය ඒකරාශී කොට බලමු`එගන්වා ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස සංවිධානගත කරල පෙරට අපි තීරණය කළේ. අපි මේ උත්සාහයට නම තිබ්ඛෙත් ‘ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව’ කියල. අප මූලික වශයෙන් උත්සාහ කරන්නෙ මෙම නිර්මාණය වෙලා තියෙන දේශපාලන අවකාශය තුළ ප්‍රගතිශීලී වාමාංශික ස්ත්‍රී එකතුවක් ගොඩනංවා ඔවුන් ජාතික ජන බලවේගයෙහි මැතිවරණ ව්‍යාපෘතිය තුළත් එතැනින් එහාට ගොඩනැගෙන දේශපාලන ක්‍රියාවළිය තුළ ද ස්ත්‍රීන්ට බලපාන ගැටළු සහ පොදු සමාජ ගැටළු අතර අන්තර් සම්බන්ධයක් ගොඩනගන්න. ඒ තුළින් දේශපාලනික ප්‍රවාහයෙන් ආන්තිකකරණය වෙලා ඉන්න ස්ත්‍රීන් යළි තීන්දු තීරණ ගන්නා ක්‍රියාකාරී දේශපාලනයට ඔසවා තැබීම.

ඔබ ඔය කියන අරමුණ වෙනුවෙන් ස්ත්‍රීන්ගේ මැදිහත්වීම සහ උනන්දුව කොහොමද?

ස්ත්‍රීන් වූ පමණින්ම ඔවුන්ට මේ තරම් ප්‍රශ්න තියෙනව කියන එක ඔවුන්ම දන්නෙ නැහැ. ඒකට එක හේතුවක් තමයි ආසියාතික සමාජ ආකල්ප. අනෙක් පැත්තෙන් අපිට තියෙන ප්‍රධානම අභියෝගය තමයි මේ මොහොතෙ වැඩියෙන්ම සමාජය සංවිධානය වීම ජාතිවාදය මත පදනම්ව සිදු වෙමින් තිබීම. ඒ නිසා ස්ත්‍රියාත් ජාති විදිහට, ආගම් විදිහට විතරක් නෙමෙයි පන්ති විදිහටත් ඛෙදී විසිරිලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි වතු කම්කරුවන් ලෙස සේවයේ යෙදෙන ස්ත්‍රීන්. ඔවුන් දරිද්‍රතාවයේ අන්තයටම ගිලිල ඉන්නෙ. දරිද්‍රතාවයේ පීඩාව හොඳින්ම අත්විඳිමින් ඉන්නෙ. ඒත් ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්න යාමේදී ඔවුන්ගේ ඡන්දය තීරණය වෙන්නෙ ඒ පීඩනටය විරුද්ධව නෙමෙයි. ඒ නිසා අපිට විශාල අභියෝගයක් තියෙනවා, තමන් සිටින පීඩිතභාවය ස්ත්‍රීන් වෙත රැගෙන යාම සම්බන්ධයෙන්. එනෙක් පැත්තෙන් ජනමාධ්‍ය, අධ්‍යාපනය, දේශපාලනය ඇතුළු හැම ව්‍යුහයක් විසින්ම කරන්නෙ මේ ගැටළු වහන එකයි. එවැනි තත්ත්වයක් තුළ වුණත් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන දොළහක් සහ ක්‍රියාකාරිනියන් වගේම කීයාකාරීනුත් විශාල ප්‍රමාණයක් දැනටමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.

සංවිධානයක් විදිහට මොනවද ඔබේ ඉල්ලීම් වෙන්නෙ?

එකක් තමයි දැනටමත් නිර්මාණය කර ඇති ආර්ථීක විෂමතාවයන්ට එරෙහිව සංවිධානය වීමට අවශ්‍ය දේශපාලනික සහයෝගය ලබා දීම. දෙවෙනි එක තමයි ස්ත්‍රීන්ට අසාධාරණ ලෙස සහ අසමාන ලෙස සළකන නීති ප්‍රතිසංස්කරණය කිරීම. ස්ත්‍රීන්ගේ දේශපාලනික නියෝජනය, සහභාගීත්වය සහ ඔවුන්ගේ භූමිකාව මූලික තලයේ සාකච්ඡාවට ලක් කිරීමට දේශපාලනික සහයෝගය ලබා දීම, ආයතනගත හිංසන ව්‍යුහයන් ඇතුළුව සියලූ ආකාරයේ හිංසනයන්ට විරුද්ධ වීම සහ ලිංගික හිංසනය, ගෘහස්ථ හිංසනය, නවක වධය, සේවා ස්ථානයේදී හා ප්‍රවාහනයේදී සිදුවන හිංසනයන්ට එරෙහිව නීති යාවත්කාලීන කිරීම, ස්ත්‍රීන් සහ පුරුෂයින් විසින් කරපින්නාගෙන යනු ලබන අගතිගාමී සහ ගතානුගතික විශ්වාස, ආකල්ප සහ මිත්‍යා මතයන්හි වාහකයින් වැළැක්වීමට අවශ්‍ය මැදිහත් වීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක්ම අපි විසින් යෝජනා කරනවා.

සංවාද සටහන – චතුර දිසානායක

Leave a Response