අදහස්

ගෝඨාභය පෙන්වලා තමන්ගේ න්‍යාය පත්‍ර ගේන අය වඩා අනතුරුදායකයි

310views

■ ජනාධිපතිවරණ වේදිකාවේ විවිධාකාර බිල්ලෝ හැදීමක් අපි දකිනවා. මේ සම්බන්ධයෙන් ඔබට තිබෙන කියැවීම මොකක් ද?
ලංකාවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දිහා බැලුවා ම මෙතැන පුදුම වෙන්න දෙයක් නැහැ. ලංකාවේ දේශපාලනයේ තරම මෙයින් කියැවෙන්නේ. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා තියෙන තරගයේ තියුණු බව මේකට හේතුවක්. මේ සම්බන්ධයෙන් කතා කරන්න පැති කීපයක් ම තියෙනවා.

මහජනතාවගේ දෘෂ්ටිවාදී නැඹුරුව එක පැත්තක්. පහුගිය අවුරුදු විස්සක විතර කාලය තුළ ලංකාවේ විතරක් නොවෙයි, ලෝක පරිමාණයෙන් ම තියෙන දෙයක් තමයි, ත්‍රස්තවාදය පිළිබඳ භීතිය. ජාතික ආරක්‍ෂාවට, ආරක්‍ෂාවට විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා මානසික බලපෑම් ඇති කෙරෙනවා. ප්‍රශ්නයක් නෑ නොවෙයි, තියෙන ප්‍රශ්නය විශාල වශයෙන් මවාපෑමක් කරන්නේ. ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් එකොළහ ප්‍රහාරයෙන් පස්සේ ඇති වුණු තත්ත්වයත් මේක. රාජ්‍ය ආරක්‍ෂාව කියලා මහජනතාව තුළ මානසික වශයෙන් මේ භීතිය ඇති කරනවා. හැම වෙලේ ම අපට කවුරු හරි පහර දෙයි කියලා සැකයෙන් බලන මට්ටමකට හුරු කරලා. මේක කොච්චර ද කියනවා නම්, ඇමෙරිකාව හිතන්නේ මුළු ලෝකය ම ඒ ගොල්ලන්ට ගහන්න ඉන්නවා කියලයි. අනාරක්‍ෂාව පිළිබඳ භීතිය මේ වාගේ ලෝක පරිමාණව ම ඇති කරලා. ඒ නිසා ම මැතිවරණවල දී ඉතා ම ජනප්‍රිය තැනකට උස්සන්න පුළුවන්. ඒ නිසා බිල්ලන් මැවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

ඔබ හඳුනා ගන්නා අනෙක් කරුණු මොනවා ද?

මේකේ තව පැත්තක් තමයි, පරමාදර්ශී අර්ථයෙන් බලනවා නම්, දේශපාලනය කියන්නේ ‘සමාජයක සාමුහික අභිලාෂ රාජ්‍යය තුළ ප්‍රකාශයට පත් කරන්න දරන අභිලාෂවලට’. දේශපාලනඥයන් ආමන්ත්‍රණය කරන මාතෘකා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ජනයා ඇත්ත වශයෙන් ම මුහුණ දෙන ප්‍රශ්න ඒ කියන්නේ, සමාජයීය, ආර්ථික, ප්‍රවාහණ, රාජ්‍යකරණය වාගේ ප්‍රශ්න. නමුත්, දේශපාලන වේදිකාවේ දී සමාජය මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න නියෝජනය කරන්න බැරි නම්, හැම වෙලේ ම යොදා ගන්නේ දෘෂ්ටිමය වශයෙන් වෙන ම පෙළැඹවීමක් ඇති කිරීමටයි. එතකොට අර සමාජයේ සාමුහික අභිලාෂ පිළිබඳ අරමුණු ඉබේ ම යට යනවා. ජාතික ආරක්‍ෂාව, මුස්ලිම් ව්‍යාප්තිය වාගේ ප්‍රශ්න ඇති කරන්නේ ඒකට.

උදාහරණයක් හැටියට කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයාගේ ප්‍රශ්නය දැන් කාටවත් මතකවත් නැහැ. ඒ ප්‍රශ්නයට වගකිව යුත්තෙකුත් දැන් නැහැ. ඒ වකවානුවේ ඒක කොයි තරම් තීරණාත්මක වුණා ද? මේ තුළ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා කියන්න කොයි තරම් පිරිසක් කොයි තරම් උත්සාහ කළා ද කියලා අපි දන්නවා නේ. සිංහලයාට තියෙන තර්ජනය පිළිබඳව ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා කියලා කතා කළ ඒ අය දැන් කෝ ? අන්න ඒ වාගේ ව්‍යාජ ප්‍රශ්න දේශපාලන වේදිකාවට නිතර ම ගෙන එනවා.

ආරක්‍ෂාව පිළිබඳ ඇත්ත ප්‍රශ්නයක් නැහැ කියලා ද ඔබ කියන්නේ ?

මම මේ කියන දේ මතභේදාත්මක වෙන්න පුළුවන්. නමුත්, ඔය වේදිකාවල නිර්මාණය කරන තීව්‍රතාව ඇත්ත වශයෙන් ම තියෙනවා ද? මම දකින්නේ, ඔය නිර්මාණය කරන විශාල කතිකාව තරමට ඇත්තක් නැති බව. ඔතැන තමයි, බරපතළ දේශපාලන ප්‍රශ්නය තියෙන්නේ. ප්‍රශ්නයේ නිවැරැදි තක්සේරුවක් නැතිව උත්තර හොයන්න බැහැ.

විශේෂයෙන් ම අපි දකින දෙයක් තමයි, දේශපාලන වේදිකාවේ ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම. මේ තුළින් අනාගතයේ ඇත්ත ප්‍රශ්නයක් ඇති වෙන බව ඔබ දකින්නේ නැද්ද?

ජාතිය සහ ආගම කියන්නේ, අපේ සාමුහික ජීවිතයේ තියෙන ආවේගාත්මක කලාපයක්. අපේ සමහර හැඟීම් පෞද්ගලික කලාපයේ තියෙන ඒවා. සමහර හැඟීම් පොදු මහජන අවකාශයේ තියෙන ඒවා. ජාතිය සහ ආගම කියන කරුණු දෙක සාමුහික හැඟීම් නියෝජනය කරන දේවල්. ඇත්තට ම ආගම කියන්නෙත් පෞද්ගලික හැඟීමක්. නමුත්, අද ඒකත් සමාජයීය පොදු අවකාශයේ තියෙන්නේ. ජාතිය කියන්නෙ නම් කොහොමත් සාමුහික දෙයක්. ජාතිය සහ ආගම පිළිබඳ අදහස් නිතර ම ආවේගත් එක්ක සම්බන්ධයි. මේ නිසා නිතර ම මේ දෙක තර්ක බුද්ධිය මෙහෙයවන කලාපයේ නොවෙයි තියෙන්නේ. ඉතා ම වැදගත් දෙයක් වෙන්නේ, බෞද්ධ ඉගැන්වීම්වල දාර්ශනික පදනම නිතර ම තාර්කික බුද්ධියට ආමන්ත්‍රණය කිරීම. කාලාම සූත්‍රයේ එහෙ ම තියෙන්නේ ඒක. නමුත්, ඉක්මනින් ම තර්ක බුද්ධිය යටපත් කරලා, විශ්වාසය සහ ආවේගය මුලට ගන්නවා. ආගම සහ ජාතිය තියෙන්නේ, ඔන්න ඔය තත්ත්වයේ. මේ දෙකට ආමන්ත්‍රණය කර ඉහළට ගන්න වාගේ ම සමහර ප්‍රශ්න යටපත් කරන්නත් හරි ම ලේසියි. ජාතිය, ආගම මතු කළ තැන අනෙක් හැම ප්‍රශ්නයක් ම යටපත් කෙරෙනවා. දේශපාලනයේ තියෙන ප්‍රධාන අභියෝගයක් මේ තත්ත්වයේ ඉන්න ජනතාව එක්ක තාර්කික කතිකාවක යෙදීම. ඒ නිසා අපි නිතර ම බලන්න ඕනෑ ජාතිය සහ ආගම ගෙනැල්ලා යටපත් කරන ප්‍රශ්න මොනවා ද කියලා. අන්න එතැනයි ඇත්තට ම දේශපාලනය තියෙන්නේ.

මේ ජනාධිපතිවරණයේ දී නිශ්චිතව ම ‘ගෝඨාභය’ කියන භීතියක් නිර්මාණය කර තිබෙනවා. මේ ගැන පැහැදිලි කරන්නේ කොහොම ද?

ගෝඨාභය රාජපක්‍ෂගෙන් නියෝජනය වෙන්නේ අධිකාරීවාදී ප්‍රවණතාවක්. හරියට එක්දහස් නවසිය හැත්තෑහතේ ජේ. ආර්. ජයවර්ධනට තිබුණු බලය වාගේ ගෝඨාභය රාජපක්‍ෂගෙනුත් අධිකාරීවාදී ප්‍රවණතාවක් බාහිරට පෙන්වනවා. ඒ විතරක් නොවෙයි, ඒකට යම් කිසි ඉල්ලීමකුත් සමාජයේ තියෙනවා. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය දිහා බැලුවොත්, ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. ජාතික ආරක්‍ෂාව පිළිබඳව මුල්තැන දීම, ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම, ඉහළින් අධිකාරීමය වශයෙන් ඇති කරන විනය.
මේ තුන බැලුවා ම පේන්නේ අධිකාරීමය බලය යෙදැවීමේ අංග හැටියටයි. ශීඝ්‍ර සංවර්ධනය කියලා ඔවුන් අදහස් කරන්නේ, ඇස් නිලංකාර කරන, මහා පරිමාණ, සිංගප්පූරු මොඩල් එකේ දෙයක්. නගර අලංකාර කිරීමත් මේකට ඇතුළත්. විනය කියලා ඒ අය හිතන්නේ, මහජනයා තුළ ස්වේච්ඡාවෙන් ඇති කර ගන්න ගුණාත්මක ආකල්පයක පිළිබිඹුවක් නොවෙයි. ආඥාවක් විදියට පනවලා එන දෙයක්. හරියට ප්‍රාථමික පන්තිවලට ශිෂ්‍ය නායකයෝ දාලා, අවනත කරවනවා වාගේ වැඩක්. ජාතික ආරක්‍ෂාව ගැන ඔවුන් හිතන විදිය අපි ඉහත සාකච්ඡා කළා. ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලා හිටින අය දිහා අපි බැලුවොත්, වැඩි ඉල්ලුමක් තියෙන්නේ, නාගරික ජනතාව අතර. මාර්ගවල නීති වැඩියෙන් ම කඩන්නෙත් ඒ ගොල්ලෝ. ඒ ගොල්ලො තමයි, ඔය බලය ඉල්ලන්නේ. එතැන තියෙන පරස්පරය “අපිට අපිව විනයගත කර ගන්න බැහැ. අපිව විනයගත කරන්න” කියලා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නෑ පාලනය කරන්න පටන් ගත්තා ම වෙන දේ. එතකොට ඔය විනයගත කිරීම් නැහැ. ගෝඨාභය රාජපක්‍ෂගේ ව්‍යාපාරයේ අනතුරුදායක ප්‍රවණතාවක් තියෙනවා තමයි. ඒක අපි තේරුම් ගන්න ඕනෑ. ගෝඨාභයලා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය අධි තක්සේරුවක තියලා සමාජගත කරනවා වාගේ මෙතැන දී ගෝඨාභය පෙන්වලා, වෙන දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න ගෙන යන උත්සාහයක් තියෙනවා.

ඔබ එහෙ ම කියන්නේ ඇයි ? පැහැදිලි කරන්න.

අපි දන්නවා, දෙදහස් පහළොවේ වෙනස කළ හැටි. ඒ ඡන්දය දුන්නු අයගෙන් නියෝජනය වුණු අභිලාෂයක් තිබුණා නේ. ඒ අභිලාෂය බලයක් බවට පත් වුණා නේ. ඒ කියන්නේ, රනිල් සහ මෛත්‍රී දෙගොල්ලන් ම ජනවාරි අට ප්‍රකාශයට පත් කළ ඡන්දවල අභිලාෂය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. පෙනී හිටියේ ඊට පිටස්තරව මයි. ඒ තුළින් පෝෂණය කළේ, අර පරාජය කරපු බලවේග. ඉතා ඉක්මනින් ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙනවාට සාපේක්‍ෂව අර ගොල්ලෝ ශක්තිමත් වුණා. ඒ සම්බන්ධයෙන් විවේචනත් සමාජයෙන් කෙරුණා නේ. අඩු ම ගාණේ ඒ විවේචනවලට ඇහුම්කන් දීලා කටයුතු කරන්නවත් ඉදිරිපත් වුණේ නැහැ. මහ බැංකු දූෂණ, ටෙන්ඩර් මගඩි ඉදිරියට ගෙන ගියා. දැන් මේක ම ඉදිරියේ දීත් කරගෙන යන්න “අන්න ගෝඨාභය එනවා” කියලා කියනවා. උතුරේ බෝම්බ තියෙනවා, සහරාන් එනවා වාගේ ම එකක් තමයි, ගෝඨාභය පෙන්වීමත්. මෙන්න මේ තත්ත්වය අපි අවබෝධ කර ගන්න ඕනෑ.

ඔබ ගෝඨාභයගේ අධිකාරීවාදී ප්‍රවණතාව අවතක්සේරු කරනවා ද?

ඕක තිබුණාට ලංකාවේ ක්‍රියාත්මක කරන්න ලේසි නැහැ. මොක ද? ලංකාව කියන්නේ, මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ ජනප්‍රියතාව පාවිච්චි කරලා, මහින්ද රාජපක්‍ෂ විශාල වශයෙන් අධිකාරීවාදී තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කළා. නමුත්, රතුපස්වල වාගේ සිද්ධියක් වුණා ම ඔවුන්ගේ ජනප්‍රියතාව විශාල වශයෙන් කඩාගෙන වැටුණා. එච්චර ජනප්‍රිය පිලක් දෙදහස් පහළොවේ දී පරද්දන්න පුළුවන් වුණෙත් ඒ නිසා. ලංකාවේ සමාජය පෙන්වලා තියෙන්නේ, එහෙම ඉඩක් නැති බවයි. ජේ. ආර්. ජයවර්ධනගේ අධිකාරීමය තත්ත්වය පවත්වාගෙන ගියේ විශේෂ සාධක යටතේ. අන්තිමට අසූඅට, අසූනවය තත්ත්වය උදා වුණා. නමුත්, ඒක සමනය වෙච්ච ගමන් ම ඒ ආණ්ඩුවත් පරාද වුණා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල සාකච්ඡාවක් ඇති වුණා. මම මේ කියන්නේ, ලංකාව ඓතිහාසිකව පෙන්නුම් කරලා තියෙන්නේ, ජයවර්ධන පාලන සමය වාගේ විශේෂ සාධක යටතේ නොවෙයි. ඒ නිසා අධිකාරීවාදී පාලනයක් ගෙන යන්න ලේසියෙන් බැහැ. කොටින් ම හැත්තෑහතේ බලයට එන්න ජේ. ආර්. ජයවර්ධන පාවිච්චි කළෙත් ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ. උදාහරණයක් හැටියට ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වාගේ අය එකතු වෙලා හැත්තෑපහේ මැතිවරණය කල් දැම්මා. සමසමාජ පක්‍ෂය වාගේ පක්‍ෂත් ආණ්ඩුවෙන් අයින් කරලා අධිකාරීවාදී තැනකට යන්න ගියා. නමුත්, ඒ පාලනය ඉක්මනින් බිඳවැටුණා. මේ වාගේ ලංකාවේ දිගින් දිගට ම පෙන්වලා තියෙන්නේ, අධිකාරීවාදී පාලනයක් ජනතාව ඉවසන්නේ නෑ කියලයි.

ඒ නිසා ගෝඨාභයලාගේ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ගේ උත්සාහයක් තියෙනවා. හැබැයි ඒකට උත්තරය ඊට විරුද්ධව ගොඩනඟන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ශක්තිමත් කරන එක. මේ ආණ්ඩුව ඒක නොකර ඒ ගොල්ලන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගෙන ඉඳලා හදිසියේ නින්දෙන් ඇහැරුණා වාගේ වෙන වෙන කතා කියනවා. ඒක දේශපාලන වශයෙන් ගත්තා ම ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත් වෙනවාට වැඩිය අනතුරුදායකයි. ගෝඨාභය යටතේ පාලනයක් අනතුරුදායක නම්, අපි කළ යුත්තේ, සමාජය සූදානම් කරන එක විතරයි. නැත් නම්, ඒ භය පෙන්නලා තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ගන්න ඉඩ දෙන්න ඕනෑ නැහැ.

ජනාධිපතිවරණයේ දී මූලික වශයෙන් සාකච්ඡාවට ගන්න ඕනෑ සාධක හැටියට ඔබ දකින්නේ මොනවා ද?

මම පදනම් වෙන්නේ කාරණා තුනක් උඩ. මීට පෙරත් මම වැඩ කළේ ඒ කරුණු තුන උඩ. සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය. ලංකාවේ සමාජය හමුවේ තිබෙන සාමුහික දේශපාලන අභිලාෂ නියෝජනය කරන්නේ පොදුවේ මේ කාරණා තුන. ගෝඨාභය කියන්නේ, ජාතික ආරක්‍ෂාව, ශීඝ්‍ර සංවර්ධනය සහ විනය. ඔය තුනට පරස්පරව මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ආර්ථික සංවර්ධනය ගැන අපි කටයුතු කරනවා නම්, ක්‍රියා කරන්න ඕනෑ සමාජ සාධාරණත්වය අරමුණු කරගෙන. ප්‍රජාතන්ත්‍රවාදී ජන ජීවිතය පෝෂණය වෙන දේශපාලන භාවිතයක් ඊ ළඟට තියෙන්න ඕනෑ. විනය කියන එක පිළිබිඹු වෙන්න ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදය තුළින්. ජාතික ආරක්‍ෂාව කියන එක සලකා බැලිය යුත්තේ, විවිධ ජනවර්ගයන්ගේ සමඟිය සහ ආගමික සහජීවනය තුළින්. මම මේ ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයට සහයෝගය දෙන්නේ, මේ මූලික කරුණු තුන ඉටු කරන්න ඉඩ හදා ගන්නයි.

■ සංවාදය
ප්‍රියදර්ශන දයාරත්න

Leave a Response