අදහස්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අපි විරුද්ධයි

948views

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී
බිමල් රත්නායක

‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම ගැන දැන් රටේ යම් පමණක සංවාදයක් ගොඩනැඟී තිබෙනවා. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අදහස මොකක් ද?


ඔව්, ඇත්තටම රට තුළ මේ පිළිබඳව ලොකු සාකච්ඡාවක් හැදිලා තිබෙනවා. ආණ්ඩුව මේ ගිවිසුමේ හොඳ ගැන කතා කරනවා. රාජපක්ෂ පවුල නියෝජනය කරන එහි කණ්ඩායම ඊට විරුද්ධ මතයකුත් ගොඩනඟාගෙන යනවා.


අපි දන්නවා එජාපයත්, රාජපක්ෂ කණ්ඩායමත් ගත්තම මේ දෙකම පැහැදිලිවම සමාන කණ්ඩායම් දෙකක්. මේ දෙකේ ප්‍රතිපත්ති, පුද්ගලයන්ගේ භාවිතාව, මේවායේ ඇමෙරිකානු ගැති බවට හෝ චීන ඉන්දියා ගැති බවට තිබෙන සමානකම් ගැන ඇති තරම් උදාහරණ මේ රටේ ජනතාව දන්නවා. මේවා සමහර ජනමාධ්‍ය යොදාගෙන වසන් කරන්න හැදුවත් මේ කණ්ඩායම් දෙකම බලයට එන්න කලින් එක එක විදේශීය බලවතුන්ගේ සරණ යන්නේ කොහොම ද? ඔවුන්ගේ උදවු ගන්නේ කොහොම ද? ඔවුන්ගේ උදව්වෙන් තමන්ට ආණ්ඩුවක් හදාගන්නේ කොහොම ද? ආණ්ඩු හදා ගත්තට පස්සේ ඒ ඒ රටවල සැලසුම්වලට අනුව කටයුතු කරන්නේ කොහොම ද? කියන එක ගැන මේ කණ්ඩායම් දෙකෙන්ම උදාහරණ සපයලා තිබෙනවා.


විදේශ බලවතුන්ගේ සාක්කුවට වැටිලා ඉන්න අපේ රටේ මේ කල්ලි දෙකෙන් කට්ටියක් ඉහත ගිවිසුම ආරක්ෂා කරන්නටත්, අනෙක් කට්ටිය ඊට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න වගේත් කටයුතු කරමින් ඉන්නවා. මේක තමයි මතුපිටින් පෙනෙන්න තියෙන ප්‍රදර්ශනාත්මක තත්ත්වය. මිට කලින් ‘මිලේනියම් චැලේන්ජ්’ ගිවිසුම ගැන මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා පැහැදිලි විස්තරයක් කළා. අපට තිබෙන මූලිකම ප්‍රශ්නය තමයි මේ ගිවිසුම රටේ සාකච්ඡාවට ලක්වෙලා තිබෙනවා ද කියන එක. අපි හිතන්නේ එහෙම ප්‍රමාණවත් සාකච්ඡාවක් වුණේ නැහැ. රටේ සාමාන්‍ය ජනතාව තබා පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ මොකක්ද මේ ගිවිසුමේ අන්තර්ගතය කියා. අනෙක, මේක අත්සන් කරන්න යන්නේ ඡන්දෙට සති දෙකකටත් අඩු කාලයක් තිබෙද්දී. මේක බරපතළ කරුණක්. ‘යන යකා කොරහත් බිඳගෙන යන්නයි’ මේ හදන්නේ. මේ ගැන සත්‍ය කරුණු ජනතාව දැනගත යුතුයි. ආධාරයක් වුණත්, ණයක් වුණත් විනිවිදභාවයෙන් ජනතාව දැනුම්වත් කරලා යම් ගිවිසුමකට යා යුතුයි. ආණ්ඩුව ඇමෙරිකාවත් එක්ක කරන්නේ යහපත් දෙයක් නම්, ඇයි බැරි මේක ගැන සම්පූර්ණ විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඇයි බැරි ගිවිසුම ජනතාවට ඉදිරිපත් කරන්න. එතැනයි ප්‍රශ්නය තියෙන්නේ.


ලංකාව මෑත කාලයේ විවිධ රටවල් සමඟ විවිධ ගිවිසුම් අත්සන් කළා. ජවිපෙ ඒ හැම මොහොතකම මේ ගිවිසුම්වලට එරෙහි වුණා ?


ඇත්ත, ලංකාව 2000න් පස්සේ විශාල වශයෙන් විවිධ ගිවිසුම්වලට එළැඹිලා තිබෙනවා. අපි අපේ රට විවිධ රටවල් සමඟ, ආයතන සමඟ, අත්සන් කරන හැම ගිවිසුමකටම ඉවක් බවක් නැතිව විරුද්ධ වෙන්නේ නැහැ. ඒත් එම ගිවිසුම්වලට රට යා යුත්තේ පළමුව හොඳ අධ්‍යයනයකින් කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ගිවිසුමකින් ලංකාවට වාසි ලැබේ ද, නැද්ද, සොයා බලලා, ඊ ළඟට රටේ ජනතාවට එම ගිවිසුම්වල අඩංගුව හෙළි කළ යුතුයි. ඊ ළඟට ඒ ගිවිසුම් ගැන රාජ්‍ය ආයතන සමඟත්, ජනතාව සමඟත් ක්‍රමවත් සාකච්ඡාවක් කළ යුතුයි. ඊට පස්සෙ තමයි ගිවිසුම් ගැන තීරණ ගත යුත්තේ කියලයි අපි විශ්වාස කරන්නේ.


මෑත භාගයේ ලංකාව පාවා දුන්න ප්‍රධානම ගිවිසුම බවට පත්වුණේ 1995දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අත්සන් කරන ලද ‘සෝෆා’ ගිවිසුම. එවකට ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයත් ඒකට අත ඉස්සුවා. ඔහු ජනාධිපති වුණාට පසුත් අහෝසි නොකරපු, ඉතාම නරක අන්දමින් ලංකාවේ ස්වෛරීභාවයටත්, ආරක්ෂාවටත් හානිදායකයි සෝෆා ගිවිසුම. 1995 මැයි 16 තමයි ඒක අත්සන් කළේ. මේ ගිවිසුම අනුව ඇමෙරිකානු හමුදාවේ සොල්දාදුවන්ට පාස්පෝට් නැතිව ලංකාවට ඒමටත්, ඔවුන් ගමන් කරන වාහන පරීක්ෂා නොකිරීමටත්, ඔවුන්ට නිදහසේ අප රට තුළ කටයුතු කිරීමටත් අවශ්‍ය සියලු‍ බලතල මේ ගිවිසුමෙන් ලබා දුන්නා. මේ ගිවිසුම අදටත් බලාත්මකයි. අපි අදත් අහනවා එ.ජා.ප.ය මේ ගිවිසුමට විරුද්ධ නම් ඒක අහෝසි නොකළේ ඇයි කියලා. විශේෂයෙන් රාජපක්ෂ මහත්මයා අවුරුදු 10ක් රට පාලනය කළා. ඔය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවුරුදු 10ම ආරක්ෂා කළේ මේ ගිවිසුමයි. ඇයි ඒ ගොල්ලෝ බලය තිබෙන කාලයේ ඒක අහෝසි නොකළේ. මේක කෙළින් ම යුද ගිවිසුමක්.


දැන් ආයෙමත් මෙම ගිවිසුම අලු‍ත් කිරීම සඳහා තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. 2018 සැප්තැම්බර් 24 වැනිදා ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ ගිවිසුම අලු‍ත් කිරීම සඳහා ආණ්ඩුවෙන් ලිඛිත ඉල්ලීමක් කරලා තියෙනවා. එයින් ඔවුන් ඉල්ලා සිටිනවා ඇමෙරිකානු හමුදා භටයන්ට පමණක් නොවෙයි, ඔවුන්ට විවිධ සේවා සපයන පුද්ගලයන්ටත්, කොන්ත්‍රාත්කරුවන්ටත් ලංකාවට නිදැල්ලේ එන්න යන්න හා ඔවුන්ව කිසිදු පරීක්ෂාවකට ලක් නොකිරීමටත්, ඒ වගේම ඇමෙරිකන් හමුදා භටයකුට මෙරට කෙනකුගෙන් අපරාධයක් සිද්ධ වුණොත් ඊට අදාළ නඩු කටයුතු ඇමරිකානු නීතිය අනුව කළ යුතුයි කියලා. මේ පරිච්ඡේද 15ක යෝජනාවලියක් මෙහි දී ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ගිවිසුම මේ එජාප ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එහෙම කරලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ ගිවිසුම ප්‍රතික්ෂේප කරලා නැහැ. මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රතික්ෂේප කරලා නැහැ.


ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් අත්සන් කළ ගිවිසුමක් තමයි ‘ඇක්සා-1’ ගිවිසුම. 2007 මාර්තු 05 තමයි මේක අත්සන් කළේ. ගිවිසුම අත්සන් කළ එක්කෙනෙක් ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක්. අනෙක් කෙනා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ. දෙන්නම ඇමෙරිකානුවෝ. මේ ගිවිසුමේ විශේෂත්වය තමයි ඇමෙරිකානු හමුදාවට යුද ආධාර සපයන මෙවන් ගිවිසුමක් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට අත්සන් කරන්නේ ලංකාව වීම. ඒ කාලයේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ඇමෙරිකන් පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මෙම ගිවිසුම අත්සන් කළේ කැබිනට් මණ්ඩලයටත් නොදන්වයි. ඊටත් හොරෙන් තමයි මේක අත්සන් කළේ. මේ ගිවිසුමට එරෙහිව තමන් දේශප්‍රේමී කියාගන්න රාජපක්ෂලා කොතැන ද විරුද්ධව කතා කරලා තියෙන්නේ ?


ඔබ ඔය කියන ගිවිසුම පිටු විස්සක ගිවිසුමක් කියලා රාජපක්ෂ කණ්ඩායමේ අයෙක් කියා තිබුණා ?


ගෝඨාභය අත්සන් කරපු ගිවිසුම පිටු 20යි තිබෙන්නේ, කියලා ඔහුගේ අතවැසියෙක් මේ ළඟ දී වේදිකාවේ දි කිව්වා තමයි. ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ අපි මාස ගණනක් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය කළා ගිවිසුමේ පිටපතක් දෙන්න කියලා. ඒ වෙනුවට රාජපක්ෂලා කළේ රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමාගේ අත්සන සහිතව ඉන් කොටසක් පමණක් ලබා දීම. එයත් මාස හතරකටත් පස්සේ. අපි දැනුත් රාජපක්ෂ දෙබෑයන්ට කියනවා පුළුවන් නම් මේ ගිවිසුම වැරදියි, ඒ අයගේ ආණ්ඩුවක් යටතේ මේක ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා කියන්න කියලා. ඒ වගේම මේක හොඳ, රටට වාසි ගෙනෙන ගිවිසුමක් නම්, කැබිනට් මණ්ඩලයට හොරෙන් අත්සන් කළේ ඇයි කියලත් කියන්න.


ඔබ ඔය කියන ‘ඇක්සා -1’ ගිවිසුම අත්සන් කරලා අවුරුදු දහයකට පස්සේ ‘ඇක්සා-2’ අත්සන් කළා ?

ඔව්, ඊ ළඟට අවුරුදු 10කට පස්සේ ‘ඇක්සා-2’ ගිවිසුම ගැහැව්වා. ඒක කළේ 2017 අගෝස්තු 04 වැනිදා මෛත්‍රී-රනිල් දෙන්නාගේ ම අනුමැතිය ඇතුව.


එතකොට එහි දී රාජපක්ෂලා මොකද කළේ ? ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළ ගිවිසුමේ සියලු‍ කරුණු මේ ගිවිසුමෙත් තිබෙනවා. එකම දේ මේ දෙවැනි ගිවිසුමට කාලසීමාවක් නොමැති වීම. අනන්තය දක්වා දිගයි. මේකට රාජපක්ෂලා කිසිදු විරෝධතාවක් දක්වලා නැහැ.


මීට අමතරව 2019 ලංකා ආණ්ඩුව, චීනයත් සමඟ ආරක්ෂක ගිවිසුම් දෙකක් අත්සන් කළා. ඒ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. මේකට අනුව චීනය තමයි ලංකාවට යුදමය සන්නිවේදන කටයුතුවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්නේ. එ.ජා.ප. ආණ්ඩුවේ මේ පාවාදීම් සහිත ගිවිසුම් ගැන ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ කියන්නේ මොකක් ද? ඊ ළඟට මේ ආණ්ඩුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට බදු දීමට කැබිනට් පත්‍රිකාවක් දමා ගිවිසුමක් ඉදිරිපත් කරනවා. මේකට විරුද්ධව රාජපක්ෂලා මොනවාද කිව්වේ කළේ ? රාජපක්ෂලාගේ හා රනිල්ලාගේ, සජිත්ලාගේ සැබෑ භාවිතය තමයි මේ ගිවිසුම් පහ පදනම් කරගන අපි ඉදිරිපත් කළේ.


ජනාධිපතිවරණයට සති දෙකක කාලයක් තියෙද් දී මේ ගිවිසුම් සහ ඒවායේ අදහස් අරගෙන එක්තරා විදිහක බිල්ලෙක් මවනවා කියලා සමහරක් කියනවා ?


එහෙමනම් මොකට ද මේ සති දෙකක් තියෙද් දී කාගෙන්වත් අහන්නේ නැතුව මේ ගිවිසුම් ගැහැව්වේ ? ඒක තමයි ඇත්ත ප්‍රශ්නය.
මේ කලාපය තුළ ඉන්න ඇමෙරිකාවට වඩාත් ම විශ්වසනීය දේශපාලනඥයා තමයි රනිල් වික්‍රමසිංහ. මුදල් ඇමති මංගල සමරවීරත් පසුගිය වකවානුවේ සිට දැඩි ඇමෙරිකානු ගැති බවක් පෙන්නුම් කරනවා. මංගල සමරවීර විදේශ ඇමතිවෙලා සිටින වෙලාවේ කියුබානු ආණ්ඩුවට තහංචි දැමීමට පක්ෂව කටයුතු කළ කෙනෙක්. ඔහු විදේශ ඇමතිව සිටින කාලයේ සිට මේ දක්වා පලස්තීන ප්‍රශ්නයේ දී දැඩි ඇමෙරිකානු ගැති බවක් පෙන්වා තියෙනවා. ඉතින් මේ අය මැදිහත්වෙලා ගහන ගිවිසුම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අමුතුවෙන් මවන්න බිල්ලෙකුත් නැහැ.


දැන් ජනාධිපතිවරණයට සතියක් තියෙද් දී සමහරු බිල්ලෙක් මවාගෙන යනවා, ගෝඨාභය දින්නොත් මහ විනාශයක් වෙයි කියලා. මිනිස්සු රාජපක්ෂලාව පරාජය කළේ 2015දීයි. ඒක තමයි ඇත්ත. මිනිස්සු පරාජය කළා, හැබැයි ඊට පස්සේ මෛත්‍රී, රනිල්ලා, සජිත්ලා ඉතා හොඳින් ඒ අයව ආරක්ෂා කළා. මේ ගිවිසුම ගැනත් මේ කණ්ඩායම් දෙකම කියන්නෙ ඒ වගේ ඩබල් ගේම් කතා ම තමයි. ඒ අය වගේ අපි බිල්ලො මවන පක්ෂයක් නෙමෙයි. අපි සත්‍ය කරුණු මත පිහිටා කටයුතු කරන ව්‍යාපාරයක්. ජාතික ජන බලවේගය කියන්නේ සබුද්ධික දේශපාලන ව්‍යාපාරයක්. අපි පැහැදිලිව කියන්නේ මේ ගිවිසුම් රටට අහිතකරයි. හැබැයි ඒක කරුණු සහිතව කියන්න මේ දෙගොල්ලන්ටම ඕනෑකමක් නැහැ. ඒ වෙනුවට මේ ගැන කියන අපිට කියන්නේ අපි බිල්ලෝ මවනවා කියලා.

සංවාද සටහන – සිසිර යාපා

Leave a Response