අදහස්

පොරොන්දු වෙනුවට වැඩපිළිවෙළක් දිනවිය යුතුයි

186views

රංගන ශිල්පී
චමින්ද ජයසූරිය

තාරුණ්‍යය කවදත් වෙනස් වෙන, අලුත් දේ බලාපොරොත්තු වන පිරිසකි. රටේ අනාගතය භාර ගැනීමට සූදානම් වන පිරිසකි. ජනාධිපතිවරණයක් අභිමුව රටේ තාරුණ්‍යය බලාපොරොත්තු වන්නේ මොනවා ද? තාරුණ්‍යය ඉල්ලා සිටින වැඩපිළිවෙළ කුමක් ද? ජාතික ජන බලවේගයේ තරුණ පෙරමුණ නියෝජනය කරන රංගන ශිල්පී චමින්ද ජයසූරිය මේ කියන්නේ ඒ පිළිබඳවය.

ජනාධිපතිවරණයක් ඉදිරියේ තරුණයන් වෙනම ඒකරාශී කරන්න හිතුවෙ ඇයි ?

ඕනෙම රටක ඉදිරිය ගැන හිතද්දී තාරුණ්‍යය කියන එක තීරණාත්මකයි. ඒත්, මේ රටේ පහුගිය අවුරුදු හැත්තෑඑක තුළම තාරුණ්‍යය ඉලක්ක කර ගත්ත නිශ්චිත වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. එක එක වෙලාවට බලයට එන ආණ්ඩු තම තමන්ට හිතෙන විදිහට විවිධ දේවල් කළා මිසක් ඒව එකක්වත් රටක් විදිහට හදපු සැලසුම් නෙමෙයි. ඒක හින්ද ආණ්ඩු මාරු වෙනකොට තාරුණ්‍යය වෙනුවෙන් තියෙන වැඩසටහනුත් වෙනස් වුණා. තාරුණ්‍යය කියන්නෙ රටේ අනාගතය. තාරුණ්‍යයට වැඩපිළිවෙළක් නැහැ කියන්නෙ රටේ අනාගතයටම නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ කියන එක. ඇත්තම කියනවා නම්, පහුගිය කාලය පුරාම මේ රටේ පාලකයො කළේ තාරුණ්‍යය අතරමං කරන එකයි. තරුණ පරම්පරාවට අද ඕනෙ කරන්නෙ තව දුරටත් පොරොන්දු නෙමෙයි. විධිමත් සහ ස්ථාවර වැඩපිළිවෙළක්. ජනාධිපතිවරණයක් ඉස්සරහ තියෙද්දී ජාතික ජන බලවේගයේ අපි ඒකරාශී වෙන්නෙත්, තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන්නෙත් පොරොන්දු වෙනුවට ස්ථාවර වැඩපිළිවෙළක් එක්කයි.

‘පොරොන්දු වෙනුවට වැඩපිළිවෙළක්’ කියන එකෙන් ඔබ අදහස් කරන්නෙ මොකක් ද?

ජනාධිපතිවරණයක දී හරි මහ මැතිවරණයක දී හරි දේශපාලකයන් නොයෙකුත් පොරොන්දු දෙනවා. බ්‍රේස්ලට් දෙනවා, ෆ්‍රී වයිෆයි දෙනවා, උසස් අධ්‍යාපනය වෙනුවෙන් ණය දෙනවා වගේ ඕනෙ තරම් පොරොන්දු දෙනව අපි දැකලා තියෙනවා. ඒත් තරුණ තරුණියන්ට ඕනෙ කරන්නෙ පොරොන්දු නෙමෙයි. ඔවුන් දකින ලෝකය අත්පත් කර ගන්න සමත් වැඩපිළිවෙළක්. ලෝකය අත්පත් කර ගන්න ඕනෙ දැක්ම, ඒකට ඕනෙ කරන ශක්තිය ඔවුන්ට තියෙනවා. විවිධ දේවල් දීලා ඔවුන් යැපෙන්නන් බවට පත් කරන්න නෙමෙයි රටකට පාලනයක් ඕනෙ වෙන්නෙ. ඒත්, තාමත් මේ යල්පැන ගිය පාලකයන් පොරොන්දු දෙමින් ඔවුන් යැපෙන්නන් බවට පත් කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා.

මේ රටේ තරුණ පරපුර අද ඉන්න තැන ගැන ඔබ දකින්නෙ කොහොම ද?

අද තරුණයා හිතන්නෙ කලින්ට වඩා වෙනස් විදියට. ඔවුන්ට අද තියෙන්නෙ මීට දශක දෙක තුනකට පෙර තිබුණට වඩා වෙනස් අවශ්‍යතාවන්, සංකීර්ණ බලාපොරොත්තු සහ කෙටිකාලීන ඉලක්කයන්. උදාහරණයක් විදියට විදේශගත අධ්‍යාපනයක් ලැබීම හෝ රැකියාවක් සඳහා විදේශගත වීම යන කාරණය ගත්තොත්, මීට පෙර යුගවල සාමාන්‍ය තරුණ තරුණියන් හිතපුවත් දෙයක් නෙවෙයි. ඒත්, අද ඕනෑ තරම් පොඩි වයසේ තරුණ තරුණියෝ රට යනවා. ඇයි එහෙම යන්නේ ? ගොඩක් අයට වැඩි දුර අධ්‍යාපනයට අවස්ථා නැති නිසා එහෙම නැත්නම් රැකියා සඳහා අවස්ථා නැති නිසා.

එක පැත්තකින් එහෙම වෙද්දී අනෙක් පැත්තෙන් ආර්ථික ප්‍රශ්න නිසා මේ රටේ තරුණ තරුණියන් වැඩි දෙනකුට තමන් බලාපොරොත්තු වෙන දේවල් අත්පත් කර ගන්න නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම මේ පවතින අධ්‍යාපන රටාව ඇතුළෙත්, රැකියා අවස්ථා සීමිත වීම් ඇතුළෙත් අද තාරුණ්‍යය බිඳවැටුණු බලාපොරොත්තු සහිත ප්‍රජාවක් බවට පත් වෙලා. ඒ බිඳවැටුණු තරුණ ප්‍රජාව මත ජාතිවාදය සහ ආගම්වාදය වපුරමින් ඉන්නවා. ඒ නිසා අද තරුණ ප්‍රජාවගෙන් බහුතරයක් තමන්ට තියෙන ඇත්ත ප්‍රශ්න මොනව ද කියල හරියට අඳුනගෙන නැහැ. ඒ වෙනුවට පාලකයන් තමන්ගෙ බලය පවත්වාගෙන යාම වෙනුවෙන් වපුරන ජාතිවාදය සහ ආගම්වාදය අනුව බෙදීම් හදාගෙන, ඔවුනොවුන් ගැටුම් හදාගනිමින් ඉන්නවා. ඒක ඛේදවාචකයක්. ඒ තත්ත්වය අඳුනගත්ත පිරිස් තමයි, අද අපිත් එක්ක එකතු වෙමින් ඉන්නෙ.

ඒ කියන්නෙ වර්තමාන ශ්‍රී ලාංකික තාරුණ්‍යය ලෝකයට වඩා පිටිපස්සෙන් ඉන්නවා කියල ද ඔබ කියන්නෙ ?

ඒක සාපේක්ෂයි. විද්‍යාව සහ තාක්ෂණය යම් තාක් දුරකට අපේ රටට ඇවිත් තියෙනවා. තරුණ පරපුර ඒක අත්පත් කර ගනිමින් ඉන්නවා. ඒත් නවීනත්වය කියන්නෙ විද්‍යාව සහ තාක්ෂණය විතරක් නෙමෙයි. ඒ දේවල් භාවිත කරන්න පුළුවන් පරිපූර්ණ තරුණයෙක් නැත්නම් තරුණියක් සමාජය තුළ නිර්මාණය වෙලා ඉන්නවා ද කියන එක අපි හොයල බලන්න ඕනෙ. එක පැත්තකින් අත ඇති අන්තර්ජාලය සහිත ස්මාර්ට් ෆෝන් නිසා මුළු ලෝකයම ඇඟිලි තුඩක දුරක තියෙන්නෙ. ඕනෙම දැනුමක් විනාඩියෙන් දෙකෙන් අත්පත් කර ගන්න හැකියාව තියෙනවා. එහෙම තියෙද්දීත්, තාරුණ්‍යය තව දුරටත් මිථ්‍යාව පස්සෙ යනවා නම් හරි, විචාර බුද්ධියෙන් ලෝකය තේරුම් ගන්න අර කියපු විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව යොදා ගන්නෙ නැත්නම් හරි එතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඒක තාරුණ්‍යයේ නොහැකියාව විදිහට නෙමෙයි මම දකින්නෙ. අපේ තාරුණ්‍යය කියන්නෙ ඕනෙම දෙයක් ලේසියෙත් අත්පත් කර ගන්න හැකියාවක් තියෙන ඉතාමත් දක්ෂ පිරිසක්. ඔවුන්ට ලෝකය අත්පත් කරල දෙන්න නොහැකි වීම දේශපාලන ප්‍රශ්නයක්.

මේක දේශපාලන ප්‍රශ්නයක් කියන්නෙ කොහොම ද?

අද තරුණ තරුණියන් මුහුණ දෙන මූලිකම ප්‍රශ්න දෙක තමයි හැම අයෙකුට ම සුදුසු අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති නොහැකියාව සහ සුදුසු රැකියාවක් ලබා ගන්නට තියෙන අපහසුකම. ඇයි අපේ රටේ සුදුසු අධ්‍යාපනයක් ලබා ගන්නට නොහැකි වෙලා තියෙන්නෙ. ඒකට හේතුව මෙතෙක් තිබුණු ආණ්ඩු ඒ වෙනුවෙන් කරල තියෙන මැදිහත්වීමේ අඩුකම. සිංගප්පූරුව දියුණු කරන්න හදද්දි මුලින්ම කළේ සිංගප්පූරුවේ ජනගහනයෙන් සියයට පනහකට උසස් අධ්‍යාපනය දෙන්න තීරණය කරපු එක. ඒකට හේතුව අධ්‍යාපනය එක්ක රැකියා අවස්ථා බිහි වීම, ඒ නැතත්, ඔවුනට කොහේ හරි ගිහින් රැකියා කරන්නට හැකි දැනුම සහ පෞරුෂය ඇති වීම. ඒ සැලැස්මේ ප්‍රතිඵල අද සිංගප්පූරුව විඳිනවා. අපි ඒ දිහා බලාගෙන හූල්ලනවා.

අනෙක් කාරණාව තමයි රැකියා අවස්ථා ඇති නොකිරීම. මේ වෙන කොට අපේ රටේ රැකියා වෙළෙඳපොළ ඉතා ම කුඩා එකක්. ඒකට හේතුව තමයි රැකියා අවස්ථා පුළුල් කරන්න පුළුවන් විදිහෙ ආර්ථික සැලැස්මක් අපිට නොතිබුණු එක. වැඩි වෙන තරුණ ජනගහනයට අනුව රැකියා අවස්ථා ඇති වෙන්න නම්, ඒකට ගැළපෙන විදිහට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සිදු කරන්න ඕනෙ.

ඒත් පහුගිය කාලෙම ආණ්ඩු කරපු රජයන් මේවාට මූලිකත්වය දීල නෑ. ඔවුන් කරලා තියෙන්නෙ ඔවුන් හැදිච්ච එක විතරයි. අද ජීවිතේ පළමුවැනි වතාවට ඡන්දෙ දෙන තරුණයන්ගේ මව්පියන්ගෙ ජීවිත දිහා බැලුවොත්, ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්, ඔවුන් යෙදෙන ජීවන අරගලය මොන තරම් දුෂ්කර එකක් ද කියලා. එහෙම වුණේ මේ රට නිසි කළමනාකරණයක, සැලැස්මක ගෙනිහින් නැති නිසා. අපි ඉස්සෙල්ලම හදන්න ඕන ඒක. ඒක හැදුවොත්, මේ ගොඩක් ප්‍රශ්න ඉවර කර ගන්න පුළුවන්. මේ රටේ තරුණ තරුණියන්ට වෙන රටකට නොගිහින් ඒ ක්‍රමවේද ඇතුළේ මෙහේ ජීවත් වෙන්න පුළුවන්.

ඔබ ඔය කියන අරමුණ වෙනුවෙන් කොහොම ද ලංකාවේ තාරුණ්‍යය පෙළගස්වන්නෙ ?

ඒක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. මම කිව්ව නෙ, ලංකාවෙ තරුණ ප්‍රජාව කියන්නෙ දෙයක් ඉතාමත් පහසුවෙන් අත්පත් කර ගන්න සමත්, හැකියාවන්ගෙන් පරිපූර්ණ පිරිසක් කියලා. ඒත් අපිට තාරුණ්‍යය සම්බන්ධයෙන් තියෙන්නෙ ඉතාමත් නරක අත්දැකීම්. අතීතයේ ලංකාවෙ උතුරෙත්, දකුණෙත් සමාජ ප්‍රශ්නවලින් පීඩාවට පත් තරුණ තරුණියන් ඊට එරෙහි වෙද්දී ඔවුන්ව සන්නද්ධ බලයෙන් මර්දනය කළා. ඊට පස්සෙ රැවටිලිකාරී දේශපාලනය ඇතුළෙ අතරමං කළා. ආණ්ඩු, මාධ්‍ය විතරක් නෙමෙයි ආගමික සංස්ථා පවා මේ තරුණ පරපුර අතරමං කරමින් ඉන්නවා. ඒ නිසාම තමයි අපි ජාතික ජන බලවේගයේ තරුණ පෙරමුණ විදිහට මේ තත්ත්වයෙන් රටේ තාරුණ්‍යය මුදාගන්න මොනව ද කරන්න ඕනෙ කියන එක ගැන යෝජනාවලියක් ඉදිරිපත් කරන්නෙ. මේ රටේ තාරුණ්‍යය නැවත දෙපයින් සිටුවන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න උත්සාහ කරමින් ඉන්නෙ.

සංවාද සටහන – චතුර දිසානායක

Leave a Response