අදහස්

“මට පාර කිව්වේ මගේ අප්පච්චි යසපාලිත නානායක්කාර”

605views

නීතිඥ හර්ෂණ නානායක්කාර 

ඔබ එක්තරා විදිහකට වෙනස් දේශපාලනයක් තෝරාගත් අයෙක්. ඔබේ තෝරාගැනීම ඔබේ පවුල් පසුබිමට සපුරා වෙනස් තෝරාගැනීමක්..?

කෙනෙකුට එහෙම හිතන්න තරම් සමහර හේතු තියෙන බව ඇත්ත. ඒ මගේ පවුලේ පසුබිම. මගේ අප්පච්චි යසපාලිත නානායක්කාර. ඔහු ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මගේ අප්පච්චිගේ එක් සහෝදරයෙක් වාසුදේව නානායක්කාර. දැන් ගෝඨාභය රාජපක්ෂට සහය දෙනවා. අප්පච්චිගේ තව සහෝදරයෙක් හේමකුමාර නානායක්කාර. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු ආණ්ඩුකාරවරයෙක්.

මගේ අප්පච්චි ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට මුලිකත්වය ගත් අය කිහිපදෙනාගෙන් එක්කෙනෙක්. ඔහු ඒ පක්ෂයේ භාන්ඩාගාරික. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග එක්ක බහු ජන නිදහස් පෙරමුණ ගොඩනැගුවා. අප්පච්චි නිෂ්පාදනය කළ ‘ජය සිකුරුයි’ ෆිල්ම් එකේ ආදායමෙන් තමයි විජය කුමාරතුංග එක්ක එකතුවෙලා ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩනැගුවේ.

මේ සියල්ල වගේම මගේ අප්පච්චි මම අදටත් ගරු කරන ආකාරයට හොද අවංක වාමාංශිකයෙක්. ඒ වගේම දක්ෂ චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඒවා ලාභ ලැබූ චිත්‍රපට. විජය කුමාරතුංග නම් දක්ෂ ජනප්‍රිය නළුවා සමඟ කළ ඒ හැම චිත්‍රපටියක්ම හොදින් ලාභ ලැබුවා.

හැබැයි මගේ අප්පච්චි මැරෙන කොට අපි ජිවත් වුණේ කුලී ගෙයක. ඒ තමයි සල්ලි වෙනුවට මිනිස්සු ඉතුරු කරපු මගේ අප්පච්චිගේ ආදර්ශය.

මගේ මේ පවුල් පසුබිම නිසා හුග දෙනෙක් හිතනවා; මම දැන් මේ නිශ්චිත මොහොතේ තෝරාගත් දේශපාලනය, ඒ කියන්නේ ජාතික ජන බලවේගයට සහයවීම පුදුමයක් කියලා.

මේ පවුල් පසුබිමට අතිරේකව ඔබ බැරිස්ටර්වරයෙක්. එය මෙරට බොහෝ නීතිඥයන්ට පවා හීනයක්. මෙරටින් ගිය බොහෝ අය බැරිස්ටර්වරයෙකු වූ පසුව එංගලන්ත පුරවැසියෙක් වෙනවා. ඒත් ඔබ එය අත්හැර යලි ලංකාව තෝරා ගන්නවා?

මම එංගලන්තයේ බැරිස්ටර් වුනාට පස්සේ එහෙ ඉන්න මේ රටේ අයගෙන් කිහිප දෙනෙක් ඒ අයගේ පවුල් වලට මාව සම්බන්ධ කරගන්න හැදුවා. කොටින්ම කිව්වොත් මාව බෑණා කරගන්න. ඇත්තටම ඒ කාලේ මම අද වගේ නෙමෙයි, හැන්ඩ්සම්, ස්මාර්ට් තරුණයෙක්. ඒත් මම ඒ යෝජනා වලට එච්චර කැමති වුණේ නැහැ.

අනෙක මගේ අප්පච්චි මට කිව්වා දෙයක් තිබුණා. එයා කිව්වේ ‘පුතා ඔයා එංගලන්තේ ඔයාගේ රස්සාව කලොත් ඔයාගෙන් මේ රටට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒත් ඔයා ලංකාවට ඇවිත් සිල්ලර කඩයක් හරි දාගත්තොත් තව ලංකාවේ දෙන්නේකුටවත් රස්සාවක් හම්බවෙනවා. ඒකෙන් අඩුම තරමේ ලංකාවේ පවුල් දෙකක්වත් ජිවත් වෙයි. ඔයා ඒ ගැනත් හිතන්න’ කියලයි.

අප්පච්චිගේ ඒ කතාව මාට ආයෙමත් ලංකාවට එන්න උනන්දුව හැදුවා.

 එනිසා සහ මම හැම වෙලාවේම හිතුවේ ලෝකේ කොහේ හිටියත් අපිට මෙහෙ තරම් මිනිස්සු හම්බ වෙන්නේ නැහැ කියන එක. අපි දන්නා කියන යහළුවෝ, අසල්වැසියෝ, ඥාතීන් විතරක් නෙමෙයි හතුරන් පවා ඉන්නේ ලංකාවේ. එහෙම මිනිස් සම්භන්ධයක් නැතුව කොහොමද ජිවත් වෙන්නේ. ඒ නිසා බැරිස්ටර්කමත් අරගෙන මම ලංකාවට ආවා.   

ඇයි ඔබ නීතිඥවරයෙකුට හිමි ව්‍යාපාරික ලෝකය වෙනුවට මේ දේශපාලන ලෝකය තෝරාගන්නේ?

ඕක හොද ප්‍රශ්නයක්.

එකක් මගේ අප්පච්චි. ඔහු තමන් විශ්වාස කළ දේශපාලනයට අවංක වූ කෙනෙක්. ඒ නිසාම මගේ අප්පච්චිට දෙපාරක් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වෙඩි තිබ්බා. බය කරන්න නෙමෙයි මරන්නම. අපි දන්නවා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මෙහෙව්වේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. ඒකේ හංගන්න දෙයක් නැහැ.

මගේ ඥාතීන් වගේම පෞද්ගලික යහළු මිත්‍රයෝ ඉන්නේ එක්කෝ පොහොට්ටුවේ නැත්නම් යූඑන්පීයේ. මම හුඟක් වෙලාවට කන්නේ බොන්නේ ආශ්‍රය කරන්නෙත් ඒ අය. හැබැයි මම දේශපාලනයේදී වෙනස් තීරණයක් ගත්තා. ඒකට හේතුව මම කියන්නම්.

අපිට උපතින්ම නමක්, වාසගමක්, කුලයක්, පන්තියක්, ආගමක්, ජාතියක් ලැබෙනවා. ඒත් දේශපාලනය කියන්නේ අපි විසින් තෝරාගන්න දෙයක්. ඒක ඒ ඒ  නිශ්චිත මොහොතට අදාලව ඒ ඒ යුගයේ අවශ්‍යතාවයක්. අපි හිතලා ගන්න ඕන තීන්දුවක්. අවුරු දහයකට කලින් අපි හරියි කියලා හිතපු දේම අදටත් හරිද නැත්නම් අපි වෙනස්වෙලා වෙනස් දේශපාලන තීන්දුවත් ගත යුතුද කියන කාරණය වැදගත්.

මම නීතිඥයෙකු විදිහට ඉතා හොදින් කාලා බීලා ජීවිතය ගෙවනවා. මට බලය සඳහා දේශපාලනය කරන්න ඕනේ නම් ඔය තියෙන ඕනෑම පක්ෂයකින් මට අවස්ථාව ලබා ගන්න පුළුවන්. මම මේ කරුණ කියන්නේ මගේ ලොකු කමකට නෙමෙයි ඔබ මේ ගැන මගෙන් අහන නිසයි.

මේ සියල්ල තියෙද්දී මම දැක්ක දේ තමයි මෙච්චර සම්පත් තියෙන රටක් මෙච්චර අර්බුදයන්ට මුහුණ දෙන්නේ ධනය බෙදීයාමේ තියෙන වැරද්දත් දුප්පත්කම පරාජය කරනවා වෙනුවට දුප්පත්කම විකුණන් කන තට්ටුමාරු දේශපාලනයත් නිසා කියන එක. මේ තත්වය මේ රට කළ කිසිම ආණ්ඩුවක් වෙනස් කළේ නැහැ. අනෙක මේ දේශපාලන කඳවුරු වල ඉන්නේ කව්ද? බහුතරයක් වංචනිකයෝ දුෂිතයෝ. එහෙම නැති කිහිප දෙනෙක් හිටියත් ඒ අය අර වංචනිකයන්ට සහ දුෂිතයන්ට සහය දෙනවා. ඉතින් යහමින් කාළා බීලා ඇඳලා ඉන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ මෙලෝ රහක් නැති දේශපාලකයන්ගේ පිළ තෝරාගන්නේ කියන ප්‍රශ්නය මට තිබුණා.

ඒ වෙනුවට සැබෑවටම ජනතා ප්‍රශ්න හදුනන කණ්ඩායමක් මට ඕන වුණා. අනෙක් අයවගේ දුප්පත්කම හැම ඡන්දෙකදිම විකුණන ජනසවියට, සමුර්ධියට, හැම පවුලකටම රස්සාවක් කියමින් දුප්පතුන් රවටන දේශපාලනයක් වෙනුවට මුලු රටම දුප්පත් කමින් මුදවන දේශපාලන දැක්මක් සහිත ව්‍යාපාරයක් මට ඕන වුණා. එක මගේ ඥාති හිතමිතුරන්ගේ දේශපාලන හීනයට වඩා  වෙනස්.

මගේ මේ උවමනාව සොයා යද්දී 2015 – 2016 වගේ කාලයේදී මට වෙනස් මිනිසුන් පිරිසක් මුණ ගැහෙනවා. මට ඇත්තටම ඒ අය ගැන විශාල ගෞරවයක් ඇතිවුණා. එහෙම වුණේ ඒ මිනිසුන්ගේ තිබුණු අව්‍යාජ බව මාව පුදුමයට පත් කිරීම. ඔවුන් අවංකව වෙනසක් කරන්න හදන පුද්ගලයෝ. ඔවුන්ගේ දේශපාලනය හරවත්. ඒ අවබෝධය නිසා මම ඒ අව්‍යාජ මිනිස් සමුහය එක්ක එකතු වුණා.

අපි කව්රුත් අවුරුදු 90ක් 100ක් ජිවත් වෙන්නේ නැහැ. කෙටි කාලයයි ජිවත් වෙන්නේ. අපි හම්බ කරන කිසිම දෙයක් අපි අවසන් හුස්ම හෙලද්දී අරගෙන යන්නේ නැහැ. ඒ අවසන් මොහොතේ පරම්පරාව, නම්බුනාම, තනතුරු, හොරකම් කළ මුදල්, යාන වාහන කිසිවක් ගෙනියන්නේ නැහැ. අන්තිම මොහොතේ අපේ හිතට එන්නේ අපේ හෘදය සාක්ෂිය විතරයි. මට මම මැරෙන මොහොතේ මගේ හෘදය සාක්ෂියේ සුන්දර චමත්කාර ජනක ස්වරය විතරයි.

ජනතා විමුක්ති පෙරමුණත් ඇතුලත් ජාතික ජන බලවේගය කියන්නේ මගේ හෘදය සාක්ෂියේ සැහැල්ලුවයි. මම විතරක් නෙමෙයි තව බොහෝ දෙනෙක් මේ බලාපොරොත්තුවෙන් තමයි මේ සද් කාර්යයට උර දෙන්නේ. වෘත්තියවේදීන් විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හදවත් දිනාගත්ත කලාකරුවන් ජනනියමු කලාකරුවෝ විදිහට මේ අභියෝගට උර දෙනවා. කවදාවත් නොදැක්ක, හමුනොවුණු යෞවනයෝ, ශිෂ්‍යයෝ, ගොවියෝ, කම්කරුවෝ…. ආදී බොහෝ දෙනෙක් දවල් රෑ නොබලා මේ වෙන මහන්සිය මඟහැර යන්න මොකක්ද අපිට තියෙන අයිතිය.

ඒ කියන්නේ ඔබ කළේ එක්තරා විදිහක අභිනිෂ්ක්‍රමයක්?

සමහරවිට ඔව්. ඒත් මගේ ඉලක්කය නිවනනම් නෙමෙයි. සතුට. ආත්ම තෘප්තිය. වෙනස් වූ රටක්.

ඇත්තටම මම ඉන්න සමාජ ජාලයමත එක්තරා පීඩනයකට මම ගොදුරු වෙනවා. මගේ සමාජය මාව හරියට තේරුම් අරගෙන නැතුව මා ගැන තක්සේරු කරනවා. ඒක එක වෙලාවකට අපහසුවක්. හැබැයි අනෙක් පැත්තෙන් ජාතික ජන බලවේගය එක්ක ගොනුවෙලා ඉන්න අව්‍යාජ සුන්දර මිනිසුන් විවෘත හදවතකින් මාව තේරුම් ගන්නවා. අපිට ආදරය කරනවා. අපිව අගය කරනවා. ඒක මම මෙතෙක් කාලයක් ඇසුරු කළ අයගෙන් ලැබෙන ආදරයට වඩා වෙනස්.

ඈත ගමක සාමාන්‍ය පවුලක අය අපිට දෙන කෑමවේලක් කියන්නේ ආදරය නෙමෙයිනම් වෙන මොකක්ද? ඒ ආදරය අපි අමතක කරන්නේ කොහොමද? ඒක මඟ හරින්න මිනිස්සු විදිහට අපිට තියෙන අයිතිය මොකක්ද?

මේ මිනිස්සු අතර ඉන්දැද්දී මට දැනෙන්නේ මගේ අප්පච්චි අතර ඉන්නවා වගේ. කෝටි ගාණක් හම්බ කරපු මගේ අප්පච්චි කළේ තමන් හම්බ කළ දේ තමන් හරියි කියලා හිතපු වාමාංශික දේශපාලනය වෙනුවෙන් වියදම් කළ එක. රට වෙනුවෙන් වියදම් කළ එක. මට හමුවන මේ මිනිස් පරපුර කරන්නෙත් ඒ කැපවීම. ඒ පරිත්‍යාගය.

හර්ෂණ, ඔබේ අප්පච්චි යසපාලිත නානායක්කාර ජිවතුන් අතර හිටියානම් ඔබ තෝරාගත් මේ දේශපාලන මාවතට එකඟ වෙයිද?

මට ඒක හරියටම කියන්න බැහැ. අදත් එක්ක බලද්දී අපි සහ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ප්‍රතිවාදී කඳවුරු දෙකක. අපි සහ ඔවුන් එකිනෙකාගේ ඉලක්ක. 88 – 89 පස්සේ මටත් යම් කාලයක් ගිය මේ මොකක්ද වුණේ කියලා තේරුම් ගන්න. ඒ කළේ අපි අපි මත වලින් ගැටුණා. අවාසනාවකට නොවිය යුතු ආකාරයට අපි ගැටුම් අවසන් කර ගත්තේ ආයුධ වලින්. අපි දෙගොල්ලන්ගේම ජිවිත වලින් වන්දි ගෙව්වා. ඒත් අවුරුදු දහයකට පහළොවකට පස්සේ මම තේරුම් ගත්තා මේ මිනිස්සු එහෙම කළේ තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් පුරවන්න නෙමෙයි කියලා. ඒ අය එහෙම කළේ තමන්ගේ හතර වරිගයට සල්ලි පොදි බඳින්න නෙමෙයි. එක හරි හෝ වැරදි දේශපාලන තීන්දුවක්. ඒ තීන්දුවට ඒ අය අවංකයි. මේක තේරුම් ගියාට පස්සේ මම මගේ වෛරය අවසන් කර ගත්තා. වෛරය තියාගෙන තවදුරටත් ජීවත්වීම තේරුමක් නැති දෙයක්. වෛරයෙන් ඉවත් වුනහම අපිට පළල් විදිහට පෙනෙනවා. අපි දන්නවා අපේ රටේ මිනිස්සු ඡන්දේ දෙන්නේ තව කෙනෙකුට තියෙන වෛරයෙන් කියලා. මෙයා වෙනුවට එයා ගේන්නේ වෛරයකින්. එයා වෙනුවට මෙයා ගේන්නෙත් වෛරයකින්. ඒත් ඉතිහාසයේ පළමු වතාවට වෛරය වෙනුවට අපි බලාපොරොත්තුවකට, ප්‍රර්ථනාවකට, අපේක්ෂාවකට ඡන්දය දෙන පරපුරක් හැදුවා. එහෙම කරන සාමුහික කාර්යයට මට දායක වෙන්න පුළුවන් වුණේ ඉතිහාසය දිහා වඩාත් නිදහස්ව බලපු නිසයි.

ජවිපෙ සහ මා අතර ගැටුමක් අත්වින්න ඕනේ කියලා හිතන අයට මම කියන්නේ අපේ රටට බරපතල හානි කරපු සුදු අධිරාජ්‍යවාදීන්ට අපි රටක් විදිහට සමාව දීලා තියෙන්නේ. සමාව විතරක් නෙමෙයි වඩා යහපත් ජිවිතයක් ගෙවන්න අපි බොහෝ දෙනෙක් තෝරා ගන්නෙත් සුදු අධිරාජ්‍යවාදීන්ගේ රට. ඊට සාපේක්ෂව මේ දේවල් මොන වැරදිද?

ඔබ ඇහැව්වා විදිහට අද මගේ අප්පච්චි ජිවතුන් අතර හිටියානම් මම ගත්ත තීරණයට එකඟවීම හෝ නොවීම කොහොම වුනත් එයා විශ්වාස කළ දේශපාලනය මේ ප්‍රධාන යැයි තමන් ගැනම කියන පක්ෂ දෙකේ නැති බවනම් එයා කියයි.

ඒ වගේම එයා මට එකඟ නූනත් මම තෝරාගත් මාර්ගයට ගෞරව කරයි. මට විතරක් නෙමෙයි ජාතික ජන බලවේගයේ හැමෝටම එයා ගෞරව කරයි. ඒකට හේතුව තමයි මගේ අප්පච්චි වගේම මේ මින්සුත් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවට සමාජය වෙනුවෙන් කැපවීම් කරන මිනිස්සු වීම. ඒ ගැනනම් අප්පච්චි කොන්දේසි විරහිතව අගය කරයි.

හර්ෂණ; ඇත්තටම ඔබ ජාතික ජන බලවේගයට සම්බන්ධවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

ඒක අපුරු ප්‍රශ්නයක්. මගෙන් කිසි කෙනෙක් ඔය ප්‍රශ්නය අහන්නේ නැහැ මම යූඑන්පී හෝ පොහොට්ටුව තොරාගත්තානම්. අඩුම ගානේ ශ්‍රී ලංකා එක තෝරා ගත්තත් ඔය ප්‍රශ්නය අහන්නේ නැහැ. ඒ එක කණ්ඩායමකට මම ගියානම් මට අඩුම ගානේ සංස්ථා සභාපතිකමක් ෂුවර්. ඊට අමතරව ඡන්දය ඉවර වෙනකම් දුවන්න අන්ලිමිටඩ් පෙට්‍රල් එක්ක වාහනයක්. රැස්වීම් ගියොත් නවතින්න හොද හෝටල් පහසුකම්. රැස්වීම් ඉවර වෙලා කන්න බොන්න ඇති තරම්. සමහරවිට අතට සල්ලි. ආරක්ෂකයෝ. තව මොනවද නැත්තේ.

මට විතරක් නෙමෙයි ජාතික ජන බලවේගයේ ඉන්න හැමෝටම එහෙමයි.

දැන් අපිට ලැබෙන්නේ මොනවද. අපිට කන්න දෙන්නේ තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලියෙන් තමන්ට හැකි විදිහට අපිට කෑම කටක් දෙන්නේ හදවතක් තියෙන මිනිහෙක්. අපි රැස්වීමකට ගියහම තේ උගුරක් එක්ක කෙසෙල් ගෙඩියක් රස කැවිල්ලක් දෙන්නේ පළල් හදවතක් තියන ගැඹුරු මිනිසෙක්. අපි රැස්වීමේ කියන කතා වලට අත්පොඩි ගහන්නේ වෙහෙස මහන්සි වෙන මිනිස්සු. ඒ අය රැස්වීම් භුපියට එන්නේ තමන්ගේ හය්යෙන්. තමන්ගේ වියදමින්. ඒ අයව කව්රුවත් බස් වල පටවලා සල්ලි බෙදලා, බොන්න දීලා රැස්වීම් වලට ගෙනල්ල නැහැ. අපි රැස්වීම් භූමියෙන් පිටවෙනකොට අතට ඇත දීලා සහෝදරයා පරිස්සමින් යන්න බොහොම ස්තුතියි කියන්නේ බලාපොරොත්තුවක් ඇස් වල පුරවා ගත්තු සුන්දර මිනිස්සු. අපිත් එක්ක සෙල්ෆි ගහන්නේ අනාගතයක් ගැන විශ්වාස කරන යෞවනයෝ. රැස්වීම් භූමියෙන් පිටත් අපේ වාහනයට අපිව අරගෙන එන්නේ අපේ ජිවිතයට අපි දැකලා මිනිස්සු.

හිතන්න ඒ ආදරය, ඒ ගෞරවය, ඒ විශ්වාසය වෙන මොන දේශපාලන කඳවුරක හිටියත් අපිට ලැබෙන්නේ නැහැ. වෙන කඳවුරු වලින් අපිට දෙන්නේ මොනවද? රැවටීම, බොරුව, කප්පම්, වරදාන, වරප්‍රසාද, අල්ලස්, කොමිස් විතරයි.

මම හෙව්වේ ජීවිතය. මගෙත් රටෙත් අනාගතය. මට විතරක් නෙමෙයි අපි හැමෝටම මේ දේශපාලන කඳවුරෙන් අඩු නැතුව ලැබෙන්නේ ඒක. මේ තමයි මගේ බලාපොරොත්තුව, හෘදය සාක්ෂියේ දේශපාලනය. ඊට වඩා වෙන මුකුත් එපා. ඊට වඩා වෙන බලාපොරොත්තුවකුත් මට නැහැ.

සංවාද සටහන : සිසිර යාපා

Leave a Response