දේශීය පුවත්

විපක්ෂ නායකත්වයට රනිල් – සජිත් තරගයක

234views

අගමැතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය හෙට සිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ඇත. එසේ විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවීමත් සමග එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ නැවතත් අර්බුද මතු වෙමින් තිබෙන අතර ප්‍රධානතම අර්බුදය බවට පත්ව ඇත්තේ විපක්ෂ නායකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳවයි.

රනිල් වික්‍රමසිංහ මේ වනවිටත් විපක්ෂ නායක ධුරය බලාපොරොත්තුවෙන් සිටින අතර කෙසේ වෙතත් එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ලෙස පත් කළයුතු බවයි. සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සටන් වැදුණු කණ්ඩායම මෙම තර්කය ඉදිරිපත් කරයි.

එසේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ද මේ වන විට නැවතත් කතාබහක් ඇති වී තිබෙන අතර මේ වනවිට හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ද පටන් ගෙන තිබේ. හරීන් ප්‍රනාන්දු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එජාපයේ වෙනස්කම් කිහිපයක් සිදුවිය යුතු බවයි. එම වෙනස්කම් සිදුවන තෙක් සජිත් ප්‍රේමදාස දේශපාලන කටයුතුවලින් ඈත් වී සිටින බවද ඔහු පැවසීය. එම මතවාදය මේ වනවිට එජාපය තුළ ශක්තිමත් වී ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන් සෘජුවම පවසන්නේ පක්ෂ නායකත්වය විසින් හිතාමතාම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේදී පරාජයට පත් කිරීමට කටයුතු කළ බවයි.

Leave a Response