විශේෂාංග

වසර 13 ක බැඳුම්කර ගනුදෙනු පිළිබඳ ‘වෝහාරික විගණන‘ වාර්තාව යටගැසීමට ඉඩ නොදෙනු…!

4.32Kviews

ගනුදෙනුවල එකතුව රුපියල් කෝටි පන්ලක්ෂ හැටදහසයි (5,60,000).

වෝහාරික විගණනය සඳහා අන්තර් ජාතික විගණන සමාගම් දෙකකට ගෙවා ඇති මුදල රුපියල් කෝටි අනූව (90) ඉක්මවයි.

විගණනය සඳහා ගත වූ කාලය වසර දෙකයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්ව මසක් ගත වෙන්නටත් පෙර රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූයේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර මිල දී ගැනීමේ දී සිදු වූ දැවැන්ත අක්‍රමිකතාවක්ය. ඊට මසකට පෙර බලයෙන් පහ වූ රාජපක්ෂ රෙජීමයට නව ආණ්ඩුව විවේචනය කිරීම සඳහා එය මහඟු අවස්ථාවක් විය. ඔවුන් මෙකී අක්‍රමිකතාව හැඳින්වූයේ ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව ලෙසය.

ජනාධිපති විමර්ශන කොමිසම සහ කෝප් කමිටු පරීක්ෂණය

රට තුළ ප්‍රධාන මාතෘකාවක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයාබැලීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ කමිටුවක් පත් කළ අතර, එය හුදෙක් මේ මහා වංචාව යටගැසීම සඳහා කරන ලද උප්පරවැට්ටියක් ලෙස හුවා දැක්වී ය. කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) විසින් පරීක්ෂණයක් ආරම්භ කළේ ය. ඒ පිළිබඳව සෑහීමකට පත් නොවුණ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මේ මහා වංචාව සොයාබැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස දැඩි බලපෑමක්  කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපනය කළේය.

ජනාධිපති කොමිසමෙන් සහ කෝප් කමිටුවෙන් එකම ඉල්ලීමක්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කරන විට එම ස්ථාන දෙකට ම ඉදිරිපත් වූ සාක්ෂි අනුව මේ මහා පරිමාණ වංචාව 2002 තරම් දුර ඈතක සිට 2015 පෙබරවාරිය දක්වාම අඛණ්ඩව සිදු වී ඇති බවත්, එහෙයින්  මේ පිළිබඳව සුවිශේෂී විමර්ශනයක් කරවන ලෙස විශේෂ ජනාධිපති කොමිසමත්, කෝප් කමිටුවත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

වෝහාරික විගණනය සඳහා ජනාධිපති අනුමැතිය

ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් පසු ලොව පිළිගත් අන්තර් ජාතික විගණන සමාගම් දෙකක් වෙත වර්ෂ 2002 සිට 2015 පෙබරවාරි 28 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ සියලු‍ ම  බැඳුම්කර ගනුදෙනු පිළිබඳව සොයාබැලීමට වර්ෂ 2018දී භාර දෙන ලදී. වසර දෙකක් ඇවෑමෙන් දැන් එම විගණන වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙතටත්, මුදල් අමාත්‍යවරයාටත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවටත් ලබා දී තිබේ. වහාම ක්‍රියාත්මක වූ කෝප් කමිටුව තීරණය කළේ දෙසැම්බර් 03 වැනි දින එම විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය හදිසියේම අවසන් කිරීම

ශ්‍රී ලංකාවේ වත්මන් ණය බරින් හරි අඩකට සමාන මූල්‍ය වටිනාකමක් වූ රුපියල් කෝටි පන් ලක්ෂ හැට දහසක (කෝටි 5,60,000)  ඉක්මවූ වසර දහතුනක බැඳුම්කර ගනුදෙනු පිළිබඳව දැවැන්ත අක්‍රමිකතා වාර්තා වූ පසු ඒ පිළිබඳව කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හරියට ම දිනක් තිබිය දී පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කළේ ඇයි..?

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම හඬතැළුවේ වර්ෂ 2015දී යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර වංචාව  ගැන ය. ඊට ප්‍රතිඋත්තර සපයමින් යහපාලන ආණ්ඩුවේ පිරිස් තම වංචාවේ සැර බාල කර ගැනීමට කියා සිටියේ රාජපක්ෂ ආණ්ඩු සමයේ දී මීට වඩා සිය ගුණයකින් බැඳුම්කර වංචා සිදු වී ඇති බවයි. ඔවුහු ඒ අතර ග්‍රීක බැඳුම්කර වංචාවන් ගෙනහැර දැක්වූහ.

යහපාලන ආණ්ඩුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු ප්‍රමාණය බිලියන දහයයි. (මාසයක් තුළ) 2002 සිට 2015 ජනවාරි දක්වා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු ප්‍රමාණය බිලියන පන්ලක්ෂ පනස්දාහයි. (වසර දහතුනක් තුළ චන්ද්‍රිකා ආණ්ඩුව වසර තුනයි. රාජපක්ෂ ආණ්ඩුව වසර දහයයි)

2020 ජනවාරි 03 නව සැසි වාරය විවෘත කොට පාර්ලිමේන්තු නැවත කල් තැබුවහොත්…?

පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ජනවාරි 03 වැනිදා ආරම්භ කිරීමට නියමිත ය. ඉන් පසු සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදු වුවහොත්, අලු‍තින් කාරක සභා පත් කොට මෙකී වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මසක් පමණ ගත වනු ඇත. ඊටත් එහා බරපතළම ගැටලු‍ව වන්නේ, ඊ ළඟ කෝප් කමිටුවේ සභාපති කවුරුන් වනු ඇද්ද යන්නයි. ප්‍රස්තුත ගැටලු‍වට එක්සත් ජාතික පෙරමුණත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් (ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටි) මුහුණ දී සිටින විත්තිකරුවන්ව සිටින බැවින්, මේ දෙපාර්ශ්වයේම එකඟතා මත මෙකී විගණන වාර්තාව සදාතනිකවම යටගසනු ඇද්ද යන්නයි. දැනට මේ සඳහා හඬ අවදි කිරීමට පෙරමුණේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි.

මේ මහා ධනස්කන්ධය පිළිබඳ වාර්තාව සමාජගත කරවා ගැනීම රටේ සියලු‍ පුරවැසියන්ගේ යුතුකමයි.

නූපන් දරුවා පවා මහා ණයකාරයකු කරවා සිටින රටක මේ සා මහා ධනස්කන්ධයක් පිළිබඳව සොයාබැලීමට රටේ ජනතාවගේ තවත් රුපියල් කෝටි අනූවක් පමණ වැය කර ඇති වෝහාරික විගණන වාර්තාව කිසි ලෙසකින්වත් යටගැසීමට මේ දෙපාර්ශ්වයට ඉඩ දිය යුතු නැත. මුදල් ඇමැතිවරයාට මේ මොහොතේ වුව ද, අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබිය දී නිහඬව සිටින්නේ මන්ද යන්න රටවැසියා තේරුම් ගත යුතුය. මේ දෙපිරිස යම් එකඟතාවකින් විගණන වාර්තාව යට ගැසීමට බොහෝ දුරට ඉඩ තිබේ. අඩුම වශයෙන් කරන ලද මහා පරිමාණ අක්‍රමිකතාවල දිග පළල දැනගැනීම පිණිස එම වෝහාරික විගණන වාර්තාව රට හමුවේ තබන ලෙස බල කළ යුතුය. අක්‍රමිකතාවට ගොදුරු කර ඇති මහා ධනස්කන්ධයත්, විගණනයට වැය කර ඇති කෝටි අනූවත් රටේ පුරවැසියන් වන තමන්ගේම මුදල් බව සිහි තබා ගත යුතුය.

පෝද්දල ජයන්ත

Leave a Response