දේශීය පුවත්

උදයංගගේ රතු වරෙන්තුවත් අහෝසි කරන්න යයි

260views

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7.8ක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, අධිකරණය මඟහරිමින් රටින් පළාගොස් සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව ලබාගෙන ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව නුදුරේදීම ඉවත් කෙරෙන ලකුණු පහළ වී තිබේ. 

එහි පළමු පියවර ලෙස පසුගිය 13 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න එම රතු වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි. 

උදයංග වීරතුංග යනු වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමීපතම ඥාති සහෝදරයකු නිසා පසුගිය යහපාලන රජය ඔහුගෙන් දේශපාලනිකව පළිගැනීම සඳහා මෙම රතු වරෙන්තුව ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කරුණු දක්වා තිබුණි.

එහෙත් එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 

එහෙත් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා අනුව අවසානයේ එම රතු වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණයට සිදුවනු ඇති බව නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න යනු මහින්ද රාජපක්ෂ විශ්‍රාමික ජනාධිපතිව සිටියදී ඔහුගේ ආරක්ෂක අංශය භාරව සිටි පොලිස් ප්‍රධානියාය. 

Source – LNW

Leave a Response