ව්‍යාපාරික

ක්‍රමයෙන් අතුරුදහන් වන භෞතික වෙළෙඳාම සහ නැඟී එන සයිබර් බිස්නස්

111views

2019 වසර අවසන් වන විට ලෝකය පුරා සිදුවන සමස්ත සිල්ලර වෙළෙඳ කටයුතුවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 21ක් ලෙස සටහන් වන බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අතර අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වෙළෙඳ ගනුදෙනු මේ වන විට ලෝකය පුරා ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. 2019 වසර අවසන් වන විට ලොව පුරා සිදුවු අන්තර්ජාල වෙළෙඳාමේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.46 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ඊට පෙර වසර හා සැසඳීමේදී 18%ක වර්ධනයක් පෙන්නුම් කරනවා. ලොව පුරා වෙසෙන නිෂ්පාදකයන්, වෙළඳුන් සහ ගැනුම්කරුවන් එකිනෙකා හමුවන ප්‍රධාන වේදිකාවක් බවට මේ වන විට අන්තර් ජාලය වේගයෙන් පත් වෙමින් තිබෙනවා. භූ ගෝලීය විෂමතාවයන් සහ පිහිටීම් නොසලකා සියලු භෞතික සීමාවන් අතික්‍රමණය වෙමින් මෙම තත්ත්වය ඇති වෙමින් තිබීම විශේෂත්වයක්. අන්තර්ජාල වෙළඳාමේ මෙම වර්ධනය විසින් ආර්ථික සංවර්ධනයට නව මානයක් එක් කරමින් තිබෙනවා පමණක් නොව සමස්ත ලෝකයම සකල විධ සීමාවන් අතික්‍රමණය කරමින් අන්තර්ග්‍රහණය වු තත්ත්වයක් ඇති කරමින් තිබෙනවා. මෙහිදී නිෂ්පාදකයාගේ හෝ මිලදී ගන්නාගේ පරිමාණය හෝ විශාලත්වය කුමක් වුවද අදාළ අවස්ථාවන් උදා වීම විශේෂත්වයක්. නැතිනම් නිෂ්පාදකයාගේ පරිමාණය නොසලකා සමාන අය ලෙස කටයුතු කිරීමට හැකිවීම විශේෂත්වයක්.  ගෝලීය වෙළෙඳපළක් ඇතත් වශයෙන්ම නිර්මාණය වීම සඳහා මෙය විශාල රුකුලත් සපයනවා. එමෙන්ම ඉතාම දුෂ්කර ප්‍රදේශ පවා අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීම තුළින් ප්‍රමාණයෙන් විශාල වෙළෙඳපළක් ලොව පුරා මේ වන විටත් ඇති කර අවසන්.

නමුත් කලාපයක් ලෙස සලකන විට දකුණු ආසියානු කලාපයේ අන්තර් ජාල වෙළඳාමේ තත්ත්වය ලෝකයේ සෙසු රටවලට වඩා තිබෙන්නේ පහළ තැනකයි. මේ වන විට චීනය සහ බි්‍රතාන්‍ය තුළ සිදු වන සමස්ත වෙළඳ ගනුදෙනුවලින් 15%කට වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ අන්තර් ජාලය හරහායි. දකුණු කොරියාවේ එය 11%ක්. එමෙන්ම ලෝකයේ වැඩිම ජනතාවක් අන්තර්ජාලය ඔස්සේ විවිධ මිලදී ගැනීම් සිදු කරන්නේ නෙදර්ලන්තය තුළයි. නමුත් ඉන්දියාවේ එය 1.6%ක් බංගලිදේශයේ එය 0.7%ක්. ඒ අනුව දකුණු ආසියාව මෙම අන්තර්ජාල මගින් සිදු කරන ගනුදෙනුවල සිටින්නේ පහළ තැනක වන අතර, එය හැකියාවට වඩා පහළ මට්ටමක ස්ථාන ගතව තිබෙනවා. මේ සඳහා  බලපාන හේතු කාරණා රැසක් තිබෙනවා. 2017 වසරේදී මේ පිළිබඳව කරන ලද අධ්‍යයනයකදී හෙළි වී තිබෙන්නේ (South Asia E-Commerce Development Survey) ප්‍රමාණවත් නොවන ප්‍රායෝගික බාධා සහ අන්තර් ජාල සබඳතාවන්වල මට්ටම ඒතරම් දියුණු නොවීම, ගෙවීම් ක්‍රමවේදවල ගැටලු සහ නීතිමය බාධා, ඩිජිටල් නීති රීතීවල බලපෑම සහ ඒවා වෙනස් වී නොතිබීම ආදිය ප්‍රධාන වනවා. මේ තත්ත්වයන් පාලනය කරන්නේ නම් දැනට තිබෙන තත්වයට වඩා සියයට 20-30ක් පමණ අන්තර්ජාල වෙ‍ළෙඳාම මෙම කලාපය තුළ වර්ධනය කළ හැකියි. විශේෂයෙන් යල් පැන ගිය විවිධ නීති රීති විසින් අන්තර්ජාල කටයුතුවලට සහ එමගින් සිදු වන වෙ‍ළෙඳ කටයුතුවලට විශාල බාධාවන් එල්ල කරනවා. එසේ නොවන්නේ නම් දකුණු ආසියානු කලාපයේ රටවලට අපනයන ආදායම් විශාල වශයෙන් ප්‍රවර්ධනය කළ හැකියි. එමෙන්ම නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ගත හැකියි. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කිසියම් රටක් උත්සාහ කරන්නේ නම් මෙම තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා. විශේෂයෙන් ජනතාවගෙන් විශාල ප්‍රමාණයකට නිෂ්පාදකයන් බවට පත් විය හැකි අතරම අලෙවිකරුවන් බවටත් මේ අනුව පත් විය හැකියි. අතරමැදි බාධා ඉවත් වී නිෂ්පාදකයා සහ ගැනුම්කරුවා කෙළින්ම එකිනෙකා හමු වන ස්ථානයක් බවට අද වන විට මෙම අන්තර්ජාල වේදිකාව පත්ව තිබීම වැදගත් වනවා. එමෙන්ම නිෂ්පාදනයේ සහ ආර්ථික කටයුතුවල  ඵලදායිතාවයද මේ අනුව වර්ධනය කළ හැකියි. මෙහි ඇති අනෙක් වැදගත් කරුණු වන්නේ මෙම වෙනස්කම් තනිව සිදු කිරීමෙන් එතරම් ඵලදායිතාවයක් ඇති නොවීමයි. ඒ අනුව කලාපයක් ලෙස ඒ සඳහා ඉදිරිපත් විය යුතුයි.

මේ වන විට චීනය-ඇ‍මෙරිකාව සහ බ්‍රිතාන්‍යය විශාල වශයෙන් මෙම දකුණු ආසියානු කලාපය තුළ  ඊ කොමර්ස් ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටිනවා. ඉතා වේගයෙන් ඔවුන් මෙම කලාපය අත්පත් කර ගැනීම සදහා තරගයක නිරත වනවා. ලෝකයේ ඉතා විශාලම ජනගහණයක් සහිත රටවල් වන ඉංදියාව, පකිස්ථානය සහ බංගලිදේශය යන පුළුල් එමෙන්ම විශාල වෙළඳපළවල් ඔවුන්ගේ ඉලක්කයන්. මෙම වර්ධනයන් තුළ ශ්‍රී ලංකාව වැනි රටකට ලබා ගත හැකි ප්‍රතිඵල ඉතා විශාලයි. ඒ සඳහා පළමුව සිදු කළ යුතු වන්නේ ජනතාවගේ දැනුම සහ අවබෝධය මෙම විෂය කෙරෙහි ඉහළ දැමීමයි. එය අපේ වැනි රටක සිදු කිරීම පහසු වන්නේ සමස්තයක් ලෙස අවබෝධයක් සහ අධ්‍යාපනයක් සහිත ජනතාවක් අපේ රටේ සිටීමයි. අන්තර්ජාල වෙළඳාම පිළිබඳ ජනතා අවබෝධය ඉහළ දැමීම සහ එමගින් පුද්ගලයන් ලෙස ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳ අවබෝධය ඉහළ දැමීම විශාල ලෙස වැදගත් වන කරුණක්.  අනෙක් වැදගත්ම කරුණු වන්නේ අන්තර් ජාල වෙළඳාමට අදාළව සහ දේශසීමා අතර සිදු වන වෙළඳ කටයුතුවලට අදාළව පවතින ප්‍රායෝගික බාධා සහ නීතිමය බාධා ඉවත් කිරීමයි.  අන්තර්ජාලය හරහා ගනු දෙනු සිදු කිරීමට සහ ගෙවීම් ගලණයට විවිධ බාධා ඇති අතර එම තත්ත්වය මෙම අංශයේ වර්ධනයටත් විශාල බාධාවක් වී තිබෙනවා.

අනෙක් පසින් අන්තර්ජාල වෙළෙඳාමට අදාළ කටයුතු නිසි ලෙස නියාමනය සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතුයි. දැනට සිදුව ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිදු විධිමත් නියාමනයක් සිදු නොවීමයි. එය කිසියම් දැනුවත් පාලනයකට ලක් විය යුතුයි. එමෙන්ම එය ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සහ සමපාත විය යුතුයි. ලෝකයේ බොහෝ රටවල සිදු වන්නේ පුද්ගලයන් විශාල වශයෙන් නිෂ්පාදකයන් බවට පත් කරමින් අන්තර්ජාලය හරහා ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමයි. විශේෂයෙන් ලෝකයේ දැවැන්තම නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ චීනය සිදු කරන්නේ මෙයයි. පුද්ගලයන් නිෂ්පාදකයන් බවට පත් කර ඔවුනගේ වෙළඳපළ ඔවුන් විසින්ම සොයා ගැනීමට අදාළ යටිතල පහසුකම රජය විසින් ලබා දේ. අවසාන ඉලක්කය රටේ සමස්ත ආදායම ඉහළ දැමීමයි. මෙහිදී වැදගත් වන්නේ ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා පුද්ගලයන් සම්බන්ධ කිරීමයි. චීනය කිසි විටෙක සිය ජාතික ආර්ථික ප්‍රතිපත්තියෙන් පිට වැඩ කිරීමට රටේ ජනතාවට ඉඩ දෙන්නේ නැහැ. චීනය පමණක් නොව ඇමෙරිකාවද එසේමය. එබැවින් රටක් ලෙස අප සිදු කළ යුතු වන්නේ නිෂ්පාදකයන් පොකුරු නිර්මාණය කිරීම සහ ඔවුන් අන්තර්ජාලය හරහා ගෝලීය වෙළෙඳපළට සම්බන්ධ කිරීමයි.

නමුත් මෙම තත්ත්වය ඇති කිරීම ලෙහෙසි පහසු නැහැ. මේ තත්ත්වය වඩා සුභවාදී ලෙස වෙනස් කිරීම සඳහා සිදු කළ යුතු වෙනස්කම් රැසක් තිබෙනවා. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, පවතින නීතිමය බාධා සහ සංකීර්ණතා ඉවත් කිරීම, ඩිජිටල් ලෝකයට ගැළපෙන ලෙස නිති රීති වෙනස් කිරීම සහ යාවත්කාලීන කිරීම, ගෙවීම් ක්‍රම සඳහා සුදුසු ක්‍රමවේද සහ වාතාවරණයන් ඇති කිරීම ගත හැකි විසඳුම් කිහිපයකි. එමෙන්ම ජනතාවගේ දැනුම්වත් බව ඉහළ දැමීම, ව්‍යාජ මත ඉවත් කිරීම, පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් සහ ශක්තිමත් ක්‍රමවේදයක් ඇති කිරීම, දත්තවල ආරක්ෂාව සහ සුරක්ෂිත බව ඇති කිරීම මෙහිදී ඉතාම වැදගත් පියවරයන් කිහිපයක්.  අප ජීවත් වන දකුණු ආසියානු කලාපයේ සමස්ත ජනගහනයෙන් 28%ක් මේ වන විට අවුරුදු 15 ට අඩු අයයි. ඔවුන් ගත කරමින් සිටින්නේ මුළුමනින්ම ඩිජිටල්කරණය වූ ලෝකයකයි. නුදුරේදීම පරිභෝගිකයන් බවටත්, ව්‍යාපාරිකයන් බවටත්, තාක්ෂණික ශිල්පීන් බවටත් පත් වන්නේ ඔවුන්. ඒ නිසා අන්තර්ජාල ආර්ථික කටයුතු පදනම් කර ගත් ජාතික ආර්ථිකයක් ඇති කිරීම අපහසු නැහැ. අවශ්‍ය වන්නේ අදාළ ප්‍රතිලාභ කෙළින්ම ජනතාවට ලැබෙන ක්‍රමය ඇති කිරීම පමණයි. ආර්ථික ප්‍රතිලාභ සමානව බෙදී යන පද්ධතියක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා හොඳ අවස්ථාවක් නූතන තාක්ෂණය විසින් ඇති කර තිබෙනවා.

අනුහස් බණ්ඩාර

Leave a Response