දේශපාලන සටහන

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

87views

පසුගිය මැතිවරණ ව්‍යාපාරයේදීත්, ඊට පෙරත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විවිධ පොරොන්දු ඉදිරිපත් කළහ. ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන බව කීහ. විදේශීය අතපෙවීම්වලට ඉඩ නොදෙන බව කීහ. පසුගිය ආණ්ඩුව සිදු කළ වැරැදි නිවැරැදි කරන බව කීහ. බෙදුම්වාදීන්ට, අන්තවාදීන්ට කිසිදු ඉඩක් නොදෙන බව කීහ. දේශපාලන පළිගැනීම් සංස්කෘතිය වෙනස් කරන බව ද කියනු ලැබිණ. ඒවා ඇසූ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්හ. දැන් එළැඹ තිබෙන්නේ එකී පොරොන්දු ක්‍රියාවට නැඟීමේ වාරයයි. ඒ දෙස දැන් මුළු රටම බලාගෙන සිටී.

බඩු මිල ඉහළ යාම පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි වීම ගැන එදා මහින්ද රාජපක්ෂ වේදිකාවේ සිට විශාල විවේචනයක් එල්ල කළේ රැස්ව සිටි ජනතාවට ප්‍රශ්න කිහිපයක් යොමු කරමිනි. “දැන් කොහොම ද හාල් කිලෝ එක කීය ද? ලූනු කිලෝ එක කීය ද? එළවළු කොහොම ද?” කියා විමසූ ඔහු අවසානයේ  “දැන් සැප ද….?” කියා ඇසුවේය. මේ දිනවල රටේ ඇත්තේ උත්සව සමයකි. ඒ නිසා ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය දේ මිලට ගත යුතු ය. එහෙත්, හාල්, ලූනු එළවළු ඇතුළු සියල්ල ගිනි ගණන්ය. එසේ නම්, වී ගොවියාට, අල ගොවියාට මෙන්ම එළවළු ගොවියාට ද හොඳ කලක් යා යුතුය. එහෙත් එවැන්නක් ද වී නැත. අස්වනු නෙළන කාලයේ ගොවියා වී කිලෝව විකුණන්නේ රු. 35.00ට 40.00ට ය. එසේ නම්, මේ හාල් මිල ඉහළ යාමේ වාසිය ගෙන ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන්ය. එය එක්තරා මාෆියාවකි. එදා සිදු වූයේ ද මේ දෙයමය. අද ගෝඨාභය රාජපක්ෂ කරන්නේ කැමරා අටවාගෙන කඩවල් ගාණේ ගොස් බඩු මිල විමසීමය. ඒවා මාධ්‍යවලින් පෙන්වනු ලබයි. එහෙත්, බඩු මිල එයින් අඩු වන්නේ නැත. දැන් ආණ්ඩුව ආනයනික අල කිලෝවක බද්ද රු. 25.00කින් පහත දමා තිබේ. ඒ රටින් අල ගෙන්වීම වැඩි කිරීමටය. එවිට දේශීය අල ගොවියාට සිදු වන්නේ අල කන්නටය. එදා මෙන්ම අදත් වාසි ගන්නේ අතරමැදියාය. පාරිභෝගිකයාත්, නිෂ්පාදකයාත් දෙන්නා ම සූරාගෙනම කනු ලැබේ. අවශ්‍ය වන්නේ එය වෙනස් කළ හැකි වැඩපිළිවෙළකට යාමය. එහෙත්, එවැන්නක් පෙනෙන්නට නැත. යන්නේ පරණ පාරේමය.

මැතිවරණ සමයේ වැඩිපුරම කතා වූ මාතෘකාවක් වූයේ පොහොර පිළිබඳවය. රාජපක්ෂලා කීවේ, පොහොර නොමිලේ දෙන බව ය. එහෙත්, අද ගොවියාට තිබෙන ප්‍රශ්නය වන්නේ සල්ලි දීලාවත් ගන්නට පොහොර නැති එකය. ඒ ගැන දැන් ආණ්ඩුවේ කිසිවකු කතා කරන්නේ නැත.

තවත් වැදගත් පොරොන්දුවක් වූයේ බදු අඩු කර ජනතාවට සහන සලසන බවයි. ආණ්ඩුව බලයට පත් විගසම පැවැති පළමු කැබිනට් රැස්වීමේ දී මෙසේ බදු සහන දෙන බවට තීරණ ගත් බව ප්‍රකාශ විය. ඒ අනුව ජනතාවට විශාල සහනයක් සැලසෙන බවත්, සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අඩු කළ හැකි වනු ඇති බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළේය. එහෙත්, ඒ කිසිදු සහනයක් තවම ජනතාවට හිමි වන බවක් නම් පෙනෙන්නට නැත.

නාරාහේන්පිට අභයාරාමය කලෙක පැවතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයක් පරිද්දෙනි. ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල වෙහෙසක් දැරූ හිමිවරුන් අතර ප්‍රධාන පෙළේ හිමිනමක් වූයේ එහි අධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. ඒ හිමියන් පසුගියදා ප්‍රකාශ කළේ ආර්ථිකය ඉතාම අවදානම් තැනක තිබෙන නිසා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ලංකාවට ඩොලර් එවිය යුතු බවය. පුවත් පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන්ට තම දෙසැම්බර් මස වැටුප ගෙවා නොමැති බව වාර්තා විය. ඒ නිසා ආර්ථිකය තිබෙන්නේ බරපතළ අර්බුදයකය. මෙම අර්බුදයෙන් ගොඩ එන මඟක් ගැන අදහසක්වත් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සමත් වී නැත.

බලයට ඒමට පෙර ගෝඨාභය රාජපක්ෂ කීවේ, විදෙස් රටවලින් ණය ලබාගෙන ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වී ආර්ථිකය ගොඩනැඟීමට නොහැකි බවය. ජනාධිපති වීමෙන් පසු ඔහුගේ පළමු විදේශ ගමන වූයේ ඉන්දියාවේ සංචාරයයි. එහි දී ඉන්දියාවෙන් ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 400ක ණයක් ද, ආරක්ෂක කටයුතු සඳහා ඩොලර් මිලියන 50ක ණයක් ද ලබා ගැනීමට එකඟතාව ඇති කර ගත්තේය.

ජනාධිපති වූ පසු රුවන්මැලි සෑය ඉදිරිපිට දිව්රුම් දුන් අවස්ථාවේ, තමා බලයට පත් වූයේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් බවත්, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම තමාගේ මූලික වගකීම බවත් ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය රටේ අනෙකුත් ආගමිකයන් හා ජාතිකත්වයන් සලිත කරවන්නක් විය. බෙල්ලන්විල රජමහා විහාරයේ පැවැති ආගමික උත්සවයක දී ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මීට සමාන ප්‍රකාශයකි. එහෙත් ඉන්දියාවට ගොස් ප්‍රකාශ කළේ, ලංකාව බහු සංස්කෘතික, බහු ආගමික රටක් බවය. ණය ගන්න ඕනෑ වූ විට කබරගොයා  තලගොයා වන්නේ එසේය. මෙහි දී අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ද කතා කළ අතර ලංකාවේ උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් 13වන සංශෝධනය බලාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

පසුගිය වෙසක් උත්සව සමයේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවේ සංචාරයකට පැමිණියේය. මෙයට බලවත් සේ විරෝධය පළ කළ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධානියකු ලෙස අද පෙනී සිටින විමල් වීරවංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්දියා අගමැතිවරයාට එරෙහිව රට පුරා කළු කොඩි ඔසවන ලෙසය. මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ එය වැරදි කතාවක් යැයි කීවේ නැත. එහෙත්, ඒ බලයට පත් වීමට පෙරය. බලයට පත් වීමට පෙර මොන රැඩිකල් කතා කීවත්, බලයට පත් වූ පසු පෙර ආණ්ඩු මෙන් ම ඒවා අදාළ වන්නේ නැත. පරණ පාරේම ගමන යන එක හැර වෙන විකල්ප වැඩපිළිවෙළක් ඇත්තේ නැත. 

ආන්දෝලනයට ලක්ව තිබෙන ඇමෙරිකානු ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධව ද ඇත්තේ මීට සමානම තත්ත්වයකි. පසුගිය ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කිරීමට වැඩකටයුතු කරගෙන යන බව  හෙළි විය. ඒ මැතිවරණ සමයේ මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවේ ප්‍රකාශ වූයේ මෙය ඉතාම භයානක ගිවිසුමක් බවත්, මෙමඟින් රට අතිවිශාල අනතුරකට ලක් වන බවත්ය. රට මැදින් යන ඇමෙරිකානු කොරිඩෝවක් පිළිබඳව ද මත ඉදිරිපත් විය. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටු වූ විට එම ගිවිසුම ඉරා මුහුදට දමන බව ද ප්‍රකාශ විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට මෙම ප්‍රචාරක ව්‍යාපාරය විශාල දායකත්වයක් වූ බව නිසැකය. එහෙත්, අද පොදුජන පෙරමුණේ ගම්මන්පිලලා ප්‍රකාශ කරන්නේ මෙම ගිවිසුමේ 70%ක්ම කිසිදු ප්‍රශ්නයක් නැති බවය. ගැටලුව ඇත්තේ ඉතිරි 30% බවය. ඒ නිසා ඒ ගැන සොයාබැලීමට කියා දැන් කමිටුවක් පත් කර තිබේ. එයින් කියැවෙන්නේ කලින් විරෝධය පළ කළේ එක්කෝ හරිහැටි ගිවිසුම කියවන්නේ නැතිව බවය. නැත්නම් දේශපාලන වාසි බලාගෙන කළ වැඩක් බවය. කෙසේ නමුත්, මේ පිළිබඳ මත පළ කරන විද්වතුන් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ මෙය අප රටට කිසිසේත්ම හිතකර ගිවිසුමක් නොවන බවය. දැන් ආණ්ඩුව සැරසෙන්නේ කලින් කී මතය වෙනස් කොට ගිවිසුම අත්සන් කිරීමට බව පැහැදිලිය. ඒ කියන්නේ ගොරකා, දඩමස් කරන බවය. ‘කියන කොට එහෙමයි, කරනකොට මෙහෙමයි’ කියන්නේ මේවාටය.

හම්බන්තොට වරාය සහ ඉඩම් චීනයට විකුණා දමන ලද ගිවිසුම ද බරපතළ වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් දිගටම ඉදිරිපත් කළේය. ගිවිසුම් අත්සන් කළ අවස්ථාවේ හම්බන්තොට දී මෙයට එරෙහිව විරෝධතා ව්‍යාපාර ද පැවැත්වීමට මහින්ද රාජපක්ෂලා කටයුතු කළහ. ජනාධිපති වූ පසු ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රකාශ කළේ මෙම ගිවිසුම් පිළිබඳව වහා ම නැවත සලකා බලන බවය. එහෙත්, පසුගිය දා මාධ්‍ය ප්‍රධානීන් එකතු කර පැවැති හමුවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය සහ ඉඩම් පිළිබඳව චීනය සමඟ අත්සන් කර ඇති ගිවිසුම් වෙනස් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවය.

විපක්ෂයේ සිටින කාලයේ උතුරේ සිදු වන කවර සිදුවීමක් හෝ “මෙන්න කොටි නැඟිටිනවෝ” යනුවෙන් මහා ඝෝෂාවක් බවට පෙරළා ගත් බව කාටත් මතකය. නොවැම්බර් 26 පදනම් කරගෙන යුද්ධයෙන් මිය ගිය අය සමරන මහ විරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් ද පැවැතියේ මෙවැනිම ඝෝෂාවකි. මාධ්‍ය මඟින් ද මෙම ප්‍රචාර පතුරුවා හරිනු ලැබූ අතර, ජනතාව තුළ යළි යුද භීතියක් ඇති කිරීමට එමඟින් උත්සාහ ගනු ලැබිණි. මෙවැනි දේ මඟින් මේ අය බලාපොරොත්තු වූයේ යළිත් එල්.ටී.ටී.ඊ. භීතියක් පෙන්වා සිංහල ජාතිවාදය අවුස්සා තම බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය බවට එය පත් කර ගැනීමය. කෙසේ නමුත්, ආණ්ඩු මාරුවෙන් පසු පසුගිය නොවැම්බර් 26 උතුරේ තැන් තැන්වල එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය අළලා මහවිරුදින සැමරුම් උත්සව පවත්වනු දක්නට ලැබිණි. එහි දී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ එහි කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු නොවූ බව ය. වෙනදා ‘කොටි නැඟිටින’ කතා කියමින් කෑමොර දෙන පිරිස මෙවර දක්නට ලැබුණේ නැත. ඒ නිසා මේ තුළින් පෙන්වන්නේ ද ‘කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි’ කතාව මය.

විපක්ෂයේ සිටින තාක් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායම දිගට ම ආණ්ඩුවට එල්ල කළ විවේචනයක් වූයේ, තම පවුලට සහ තම කණ්ඩායමට එරෙහිව දේශපාලන පළිගැනීම් සිදු කරන බව ය. සැබැවින් ම රාජපක්ෂවරුන්ගේ කලින් පාලන සමයට අදාළව බරපතළ වංචා, දූෂණ අපරාධ චෝදනා රැසක් පැවැති බව සැබෑය. ඒවා පිළිබඳ පාර්ශ්ව ගණනාවකින් පැමිණිලි ඉදිරිපත් වූ බව ද සැබෑය. ඇතැම් සිදුවීම් පිළිබඳව පරීක්ෂණ සිදු වූ බව ද සැබෑය. එහෙත්, ඒවා සම්බන්ධ විනය ක්‍රියාමාර්ග කිසිවක් නොගැනුණු බව ද එසේම සත්‍යයකි. ඒ නිසා ඒ කියන විදියේ දේශපාලන පළිගැනීම් කෙසේ වෙතත්, නීතිය හරිහැටි ක්‍රියාත්මක වූයේ නම්, රාජපක්ෂවරු මෙන්ම ඔවුන් වටේ සිටින බරපතළ චෝදනා තිබෙන වැඩි පිරිසක් මේ වන විට සිටිය යුත්තේ සිරගෙවල්වලය. ඒ නිසා එවැනි පළිගැනීම් සිදු වූ බවක් අප දන්නේ නැත. මන්ද යත්, චෝදනා ඇති සියලු දෙනා නිරුපද්‍රිතව සිටින බැවිනි.

පසුගිය ආණ්ඩුවෙන් සිද්ධ වුණු බරපතළම අපරාධය මහ බැංකුව කොල්ලකෑමය. ඊට අමතරව මූල්‍යමය වංචා පිළිබඳ සිද්ධි ගණනාවක් ඇත. රටේ ජනතාව බලාපොරොත්තු වුණේ බලයට ආ ගමන් ඒ පිළිබඳව කඩිනම් මැදිහත් වීමක් සිදු වේවි යැයි කියාය. අර්ජුන් මහේන්ද්‍රන්ව සතියක් දෙකක් ඇතුළත ලංකාවට අරගෙන ඒවි කියාය. එහෙත්, ඒ පිළිබඳව මොනවාවත් සිද්ධ වන්නේ නැත. එහෙත්, ජනතාව අතර අඩුවෙන්ම කතාබහට ලක් වූ චම්පිකගේ රිය අනතුර එකවරම රටේ ප්‍රධාන සිද්ධිය බවට පත් වුණේය.  සිද්ධිය පිළිබඳව උසාවිය මඟින් තීන්දුවක් ලබා දී වරදකරුවන්ට දඬුවමක් ලෙස දඩයක් ද නියම කර තිබිය දී එකවරම මහ අමුතු දෙයක් වුණේය. රිය පැද වූ රියැදුරුගේ බිරිඳ ඇතුළු පවුලේ අය ගාල්ලේ සිට කොළඹට කැඳවාගෙන ආවේය. නැවත පරීක්ෂණයක් ආරම්භ කරන බවට උසාවියට ද දැනුම් දුන්නේය. ඒ අතරේ තවත් කාගෙන් දෝ ප්‍රකාශයක් ගත්තේය. එකී ප්‍රකාශයට අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් චම්පිකට එරෙහිව අලුත් චෝදනා ගොන්නක් ඉදිරිපත් කළේය. එකවරම හදිසියේ උසාවි නියෝගයක් ද නොමැතිව කථානායකවරයාට හෝ දැනුම් දීමක් නොකර පොලිසියෙන් සියයක් විතර චම්පිකගේ ගෙදර වටලෑවෝය. මෙය මහා පුදුම සිදුවීමකි. නීතිපතිගේ නියෝග ලද විගස මහා බරපතළ අපරාධකරුවකු අල්ලන්නා සේ චම්පිකව අල්ලා ගත්තේය. සිද්ධිය පිළිබඳ නඩුවක් අසා තීන්දුවක් දී තිබිය දී, මෙතරම් සාහසික ලෙස ඔහුව අල්ලා ගත්තේ පැහැදිලිවම පළිගැනීමටය. ඒ පළි ගැනීම සිදු කළේ ද කිසිදු භයක්, ලැජ්ජාවක් නොමැතිව අමුම අමු පාදඩ ක්‍රමවේදයකටය. පටන් ගන්න කොටම රාජපක්ෂලා පෙන්වූයේ පරණ සුපුරුදු හැසිරීමමය. සරත් පොන්සේකාව අල්ලාගෙන ගොස් හිරේට දැම්මේ ද මේ ආකාරයටමය. රාජිත සේනාරත්න සම්බන්ධයෙන් ද දැන් එවැනිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් ඇත. රාජිතලා සිදු කර ඇති වැරදිවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදු විය යුත්තකි. එහෙත් තෝරු, මොරුන් බේරා හාල් මැස්සන් පස්සේ පන්නන්නේ වෙනත් අරමුණකින්ය. ආණ්ඩුව කරන්නේ තමන් එක්ක හැප්පෙන්න එන ඕනෑම අයකුට මුහුණ දෙන්න වෙන්නේ මේ වගේ තත්ත්වයකට යැයි පෙන්වීමය. කොහොමටත් රාජපක්ෂවරු දේශපාලන පළිගැනීම්වලට උපන් හපන්නුය. ඒ බව ඔවුන්ගේ පාලන කාලයේ කදිමට ප්‍රදර්ශනය කෙරිණි. ඒ නිසා විපක්ෂයේ සිටිය දී දේශපාලන පළිගැනීම් ගැන මොනවා කිව්වත්, ඔවුන් දැන් යළිත් අරඹා ඇත්තේ පරණ පුරුදු වැඩමය.

ආණ්ඩුවේ මෙම හැසිරීම් සියල්ල පෙන්නුම් කරන්නේ ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු කිරීමට ඇති අසමත්කමයි. ආණ්ඩුව බලයට ඇවිත් තවම මාස එකහමාරයි. තවම කල් මඳි යැයි කෙනෙක් කියන්නට පුළුවන. එහෙත්, මේ කාලය තුළ ආණ්ඩුව කරන කියන දේවලින් ඉදිරි කාලයේ කරන කියන දේවල් හිතාගන්නට පුළුවන්ය. එසේ නොවන රටට ජනතාවට හිතැති වෙනස් ගමනක් යන්නේ නම්, එය භාවිතාවෙන් පෙන්විය යුතුය. තවමත් එවැන්නක් පෙනෙන්නේ නම් නැත.

ජගදාක්ෂි

Leave a Response