සාහිත්‍ය - කලා

යුරේකා සමඟ තනි වූ ගිවන්ත සොයා ගිය ගමනක්…!

98views

ගිවන්ත අර්ථසාද්ගේ හැකියාවන් ගැන ‘තරුණ නවරැල්ල’ සිනමා කවය විසින් ඔහුට උපහාර දක්වා තිබිණි. ඔවුන් තැබූ සටහනේ උධෘතයක් මෙසේය: “පලංචියේ නැඟ පින්තාරු කරන අතරතුර ම 1970 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමුවැනි කාටුන් සිනමා සිත්තම වූ ‘අන්දරේ’ ඔහු අතින් තැනුණේ කිසි විටෙක කළ නොහැකි යැයි ඇතැමුන් දෙඩූ වහසිබස් දවා හළු කර දමමින් බැඳුණ තම සිනමා හිණිමඟෙහි පළමු රූප රාමුව ලෙසිනි.”

පැය තුනහමාරක කතාබහක් පත්තර පිටු භාගයකට මඳක් වැඩි ඉඩකට ගොනු කරන්නේ කොහොම ද? එහෙම කරන්න ගියොත්, අදහස් දැක් වූ අයටවත්, ලියන්නාටවත්, පාඨකයාටවත් ඇති වැඬේ මොකක් ද? ඒ නිසා කතාබහේ හරය ගන්න වෙනත් ආකාරයක් යොදා ගත යුතුය. මේ ඒ උත්සාහයයි.

මා ඉදිරිපිට සිටින්නේ, එක වෙලාවකට ළදරුවෙක් කියන්න පුළුවන්. ඒ මොක ද? පුංචි පුංචි අත්හදා බැලීම් මහා ගොඩක් කරන්නේ නම්, ඒ පුංචි ළදරුවන් නිසයි. වැඩිහිටියන් අද සිටින්නේ කොටු වූ ඒකාකාරී මොනවා හෝ වැඩක් දෙකක් කරමින්. අඩු ම ගාණේ අලුත් අත්හදා බැලීම් පැත්තකට දමා. පුංචි දෙයක් වෙනස් විදියකට හිතන්නවත් ලෑස්ති නෑ. එහෙම තැන මුහුකුරා ගිය අත්දැකීම් සහ බුද්ධිමය පරිචයක් තිබෙන අය සිටින්නේ කීයෙන් කී දෙනා ද? මා ඉදිරියේ සිටින්නේ, එවැනි අපූරු පර්යේෂකයෙක්. ඒ ගිවන්ත අර්ථසාද්. කාටුන් කලාවේ අත්හදා බැලීම් ඔහු තරම් සිදු කළ වෙනත් කිසිවකුත් මෙරට නැති බව සහතිකය. ඔහුට ඒ සඳහා හොඳ ම තෝතැන්න වූයේ ජාතික රූපවාහිනිය බව කීවොත් නිවැරදිය.

ඔහු නිර්මාණය කළ තුන්වැනි කාටුන් සිනමා කෘතියේ කටයුතු අවසන් කර වසර තුනක් පමණය. දැන් තියෙන්නේ ඉදිරියේ කිනම් දිනයක හෝ ප්‍රදර්ශනයට මුදාහැරීම විතරයි. මේ චිත්‍රපටයේ නම ‘යුරේකා’. යුරේකා යන්නේ සිංහල තේරුම ‘සොයා ගත්තා’ යන්නය.

ඔහු කාටුන් කලාවේ බොහෝ දේ සොයාගෙන තිබේ. ඒ සියල්ලේ අග්‍රඵලය ‘යුරේකා’ තුළින් දැකබලා ගත හැකිය. මේ ගමන මේ දක්වා එන්න ගිවන්ත අර්ථසාද් යොමු වුණේ කොහොම ද? මේ ඔහුගේ උත්තරයයි.

“මම ඔය එක එක අත්හදා බැලීම් කළා. චිත්‍රපටවල නෙගටිව් පට ගෙනැල්ලා එක එක අත්හදා බැලීම් කළා. බිත්තියේ කාටුන් නටවන්නත් පටන් ගත්තා.” ඔහුගේ වචනවලට වඩා වේගයෙන් දිගු ඇඟිලි මේසය උඩ රඟදෙයි. හරියට බොරු කකුල්කාරයෙක් ඇවිදගෙන යනවා වාගේ. “පළමුවැනි කාටුන් චිත්‍රපටය කරන කොට අවුරුදු 14යි.”

ඇත්තටම ඔහුගේ අත්හදා බැලීම්වල තිබූ විස්මයජනක ජයග්‍රහණ මේ නොවේ ද? අවුරුදු 14දී කාටුන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තරම් නිර්මාණශීලී හැකියාවක් තිබෙන්නේ අසාමාන්‍ය අත්හදා බැලීම් කරන කෙනකුට නොවේ ද? “අපේ පරිසරයෙන් ලැබෙන බොහොම ගැමි කතා මගේ හිතේ වැඩ කළා. ඒ කතාවලට පණ දෙන්නේ කොහොම ද කියලා හිතුණා. ‘අන්දරේ’ කාටුන් චිත්‍රපටය නිර්මාණය වුණේ ඒ ගැමි කතා මගේ හිතේ වැඩ කළ නිසා.” 1971දී ‘අන්දරේ’ කෙටි කාටුන් චිත්‍රපටය වෙනත් චිත්‍රපට සමඟ ප්‍රදර්ශනය කර තිබුණා.

ගිවන්ත අර්ථසාද්ගේ හැකියාවන් ගැන ‘තරුණ නවරැල්ල’ සිනමා කවය විසින් ඔහුට උපහාර දක්වා තිබිණි. ඔවුන් තැබූ සටහනේ උධෘතයක් මෙසේය: “පලංචියේ නැඟ පින්තාරු කරන අතරතුර ම 1970 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමුවැනි කාටුන් සිනමා සිත්තම වූ ‘අන්දරේ’ ඔහු අතින් තැනුණේ කිසි විටෙක කළ නොහැකි යැයි ඇතැමුන් දෙඩූ වහසිබස් දවා හළු කර දමමින් බැඳුණ තම සිනමා හිණිමඟෙහි පළමු රූප රාමුව ලෙසිනි.”

ගිවන්ත අර්ථසාද් නම් මේ නිර්මාණශීලී මිනිසා තම ජීවිතය වචනවලින් මා ඉදිරියේ මුදාහරින්නේ, අත්දැකීම් ගබඩාවක්, පර්යේෂණ ගොන්නක් වැව් සොරොව්වකින් මුදාහරින්නා සේය. ඒ සියල්ලට කන් දෙන අතර, යළි යළි කැරලි ගැසූයේ එක ම එක ප්‍රශ්නයක්ය. “මේ ටික ලියන්න නම්, පත්තරේ පිටු හතරක්වත් ඕනෑ” යන්නයි.

“මගේ දෙවැනි කාටුන් චිත්‍රපටය නම් කළේ ‘දුටුගැමුණු’ කියලා. 1978 වෙන කොට වැඩ ඉවර කරලා බලාගෙන හිටියා. 1979දී ප්‍රදර්ශනය කළා. එක දවසයි ප්‍රදර්ශනය කළේ.” රාජ්‍ය උදහස නිසා ගලවා ඉවත් කළ පළමු චිත්‍රපටය වූයේ ගිවන්ත අර්ථසාද්ගේ ‘දුටුගැමුණු’ කාටුන් සිනමා කෘතියයි. විනාඩි 90ක වෘතාන්ත චිත්‍රපටයක්ය. ‘දුටුගැමුණු’

කියලා නම තිබුණාට මේකේ කතා කරන්නේ වෙන දෙයක්. රජ කතාවක් කියලා නේ හිතන්නේ. බැලූබැල්මට පේන්නේ නෑ. හැබැයි, මේකේ කතා කරන්නේ සමාජවාදය ගැන. ඔහු ඒ බව ප්‍රකාශ කළේ මහා ලොකු ජයග්‍රහණයක් අත්පත් කර ගත් අයකු සේය.

එසේ නම්, එක් දිනකින් ඒ චිත්‍රපටය ගලවා ඉවත් කිරීමට නියෝග ලැබීම අරුමයක් නොවීය. දේවදත්ත කාටුන් චිත්‍රපටය 1973දී ‘විශිෂ්ටතම කෙටි චිත්‍රපටය’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ ‘ලංකා චිත්‍රපට විචාරක සහ ලේඛක සංගමයේ’ චිත්‍රපට උලෙළකදීය. එම සම්මානයෙන් පිදුම් ලද්දේ ඔහු පාසල් සිසුවකුව සිටිය දී ය. එහි අනෙක් අන්තයේ ‘රාජ්‍ය සම්මාන’ හිමි වී ඇත්තේ, චිත්‍රපටය තහනම් කිරීමෙන්ය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත් වී කෙටි කාලයකින් කලාව මත මුදාහරින ලද්දේ කොතරම් මර්දනයක් දැයි පැහැදිලිය.

නොයෙක් හැලහැප්පිලි මත ඔහු වෘත්තීය ජීවිතයට පිවිසියේය. ඒ ජාතික රූපවාහිනියේ දෘශ්‍ය රූප ශිල්පියකු වශයෙන්ය. පසුව එහි ම අධ්‍යක්‍ෂවරයකු බවට ද පත් විය. විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරමින් සිටී.

‘තරුණ නවරැල්ල’ ඔහුට උපහාර සටහනක් තබා ඇත්තේ, “වයස අවුරුදු 26දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු බවට පත් වෙමින්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය රූප සහ සජීවීකරණ ඒකකය ගොඩනැංවීමේ කාර්යය සපුරාලමින්, එහි එම අංශභාර ප්‍රධානී තනතුර ද හොබවන්නට වරම් ලැබ අද්‍යතනයෙහි පරිගණක ශිල්පයෙන් එළිදක්වන ලද එම යුගයට පෙර සූක්ෂ්ම ලෙසින් නිම කරමින්, සජීවීකරණ වැඩසටහන්, පටිගත කිරීමකින් තොරව සජීවීව රූපවාහිනී තිරය මත දක්වාලමින්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය තනතුරකට ද පත් වූයේ විශ්වවිද්‍යාලයීය උපාධියක් නොමැතිව, මෙතෙක් එවැන්නක් හෙබැ වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයකු බවට පත් වෙමිනි” යනුවෙන්ය.

ගිවන්ත අර්ථසාද්ගේ නිර්මාණ ලෝකය කොතරම් පුළුල් ද යත්, 1972දී පාසල් සිසුවකුව සිටි සමයේ කොස් ලෑලි රාමුවක් තුළ කැමරාවක් ද නිර්මාණය කර දිය යට සිට රූපගත කිරීමට තරම් දියුණු මට්ටමක වීය. එවැනි හරඹ කර ජර්මනියට ශිෂ්‍යත්වයක් ලැබ ගියේ විවාහය ද කල් දමා අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමකටය. ඒ ආයෝජනයේ ප්‍රතිඵල මෙරට උසස් රූපවාහිනී කලාවක් වාගේ ම උසස් රසවින්දනයක් තිබෙන ප්‍රඥාවන්ත ප්‍රේක්ෂකයන් පිරිසක් බිහි කිරීම ය.

තරුණ නවරැල්ල ඔහු ගැන තව දුරටත් සටහනක් තබන්නේ මෙසේය: “සජීවී සිනමාකරණ නිමැවුම්වලට මෙන්ම චිත්‍ර හා සේයාරූවලට ද ප්‍රචාරක මෙවලම්වලට ද, වෙස් ගැන්වුමට ද නොයෙක් වර සම්මානවලින් පුද ලද මොහුට දේශීය සිනමාවේ හතළිස් වසර වෙනුවෙන් සිනමා ප්‍රයෝග හා සජීවීකරණ උදෙසා කළ මෙහෙවරට 1989දී ජාතික කතෝලික සිනමා පර්ෂදය සිය ප්‍රණාමය පිදී ය.”

එවන් වූ ඔහු නිර්මාණය කළ ‘යුරේකා’ කාටුන් වෘතාන්ත චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ පෝලිමේ තවමත් ගාල් වී තිබේ. එහි වැඩ නිම කර ඇත්තේ, 2017දී ය. එය හඳුන්වා තිබෙන්නේ, “ආලේඛ්‍ය දර්ශන සජීවීකරණ කාටුන් චිත්‍රපටයක්” ලෙසය. මේ තාක්ෂණික ප්‍රයෝග තේරුම් ගත හැක්කේ විෂයය පිළිබඳ අවබෝධයක් තිබෙන අයට පමණි. තාක්ෂණ හරඹ නොතේරුණ ද, සිනමාව රසවිඳිය හැකිය. කාටුන් සිනමාව විශේෂයෙන් රසවිඳිය හැකිය. මේ කාටුන් සිනමා පටය බිහි කිරීමට ගිවන්ත අර්ථසාද් යොදාගෙන ඇත්තේ, හරි අපූරු දේවල් ටිකක් ය. අපි පැරණි නටබුන්වල දැක තිබෙන ගල් කණුවක් වාගේ පුංචි ගල් කණුවක්ය. එය මුදුනට ගලක් තබා ඇත. එනයින්, එය මිනිස් රුවක්ය. ඒ ගල් බෝල හිසට පන් තොප්පියක් ද දමා ඇත. මේ සෙල්රූ මිනිසකුගේ උස අඩියක් තරම්ය. ‘යුරේකා’ බිහි කර තිබෙන්නේ, ඒ වැනි පරිසරයෙන් සොයා ගත් නොයෙක් භෞතික දේ ද යොදා ගනිමින්ය. ‘යුරේකා’ සිනමා ව්‍යායාමය පිළිබඳව තිලකරත්න කුරුවිට බණ්ඩාර තැබූ සටහන මෙසේය:

“ගිවන්ත අර්ථසාද්ගේ මේ පර්යේෂණාත්මක සිනමා කෘතිය සිනමාවේ දිශානතිය, විශේෂයෙන් තරුණ සිනමාකරුවන්ගේ දිශානතිය වෙනස් කිරීමට තුඩුදෙන හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට මට සිතේ.

“සිනමාව වූ කලී නූතන මිනිසා සතු බලසම්පන්න මාධ්‍යයකි. එය අප භාවිත කරන්නේ කුමන කටයුත්තක් අරභයා ද? ‘මයි ෆෙයාර් ලේඩි’ (My Fair Lady) චිත්‍රපටයේ මහාචාර්ය හිගින්ස්ගෙන් ව්‍යක්ත ඉංගිරිසිය උගන්නා ලීසා නමැති මල් කෙල්ල එම ඉංගිරිසියෙන් කතා කරන්නේ තම නැන්දා ජීන් බී මළ හැටි ය. ඇයට ඊටත් වඩා වැදගත් දෙයක් කතා කරන්නට නොතිබිණි.

“අති ප්‍රබල සිනමාව අද අප භාවිත කරන්නේ නැන්දා ජීන් බී මළ හැටි කියන්නට ද? ගිවන්ත අර්ථසාද් ‘යුරේකා’ සමඟ කරන්නේ අපේ ඇස් ඇරවීමක් ද?”

ගිවන්තගේ පළමු වෘතාන්ත චිත්‍රපටය එක් දිනකින් ගලවා දැමුණේ ඇයි ද යන්න ඉහත සඳහන් කෙරිණ. රාජ්‍ය බලය විසින් ගලවා ඉවත් කළ චිත්‍රපටයක් වූයේ එය අපේ ඇස් ඇරවීමට කරන ලද්දක් නිසා බව පැහැදිලිය. එම අතිප්‍රබල සිනමා මාධ්‍යයේ අපූරු අත්හදා බැලීම් කරමින්, ‘යුරේකා’ තැනෙන්නේ ද එම අරමුණින් ම බව පැහැදිලිය.

“යුරේකා ! යුරේකා !!” ඔව්. ඔහු බොහෝ දේ සොයාගෙන ඇත. මේ රටේ සමාජ තත්ත්වය එක අඟලකින් හෝ ඉදිරියට පියමං කිරීමේ මාහැඟි කාර්යභාරය ඔහුගේ භූමිකාව විසින් සොයාගෙන ඇත. වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් තමන්ට කැප කළ හැකි බොහෝ දේ කැප කරමින්, නිර්මාණ කර ඇත. එහෙත්, මේ රට තවමත් ඔහුව සොයාගෙන නැති බව නම් පැහැදිලි ය. මධ්‍යම රාත්‍රියේ ඔහුගේ නිවසින් පිටව ආවේ ඒ සිතුවිල්ලට බර වෙමින්ය. ‘යුරේකා’ වෙනුවෙන් අපි දෑස් දල්වාගෙන සිටිමු.

ප්‍රියදර්ශන දයාරත්න

Leave a Response