විදෙස් පුවත්

බ්‍රෙක්ෂිට් මඟින් හෙළි වන ධනේශ්වර ආර්ථිකයේ යථාර්ථය

153views

ලෝකයේ ඉංග්‍රීසි ශබ්දකෝෂයට මෑතක දී එක් වූ වචනයක් වන්නේ Brexit යන්නයි. 2016 ජුනි මස 23 වැනි දින බ්‍රිතාන්‍යයේ පැවැති ජනමත විමසුමක දී එරට ජනතාවගෙන් බහුතරයක් යුරෝපා සංගමයෙන් සිය රට ඉවත් විය යුතු බවට තීරණය කරනු ලැබුවා. ඉන් පසුව යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම කෙටියෙන් හැඳින්වීම සඳහා ලෝක ජනමාධ්‍ය මෙම වචනය භාවිත කිරීම ආරම්භ කළා. අදාළ ජනමත විමසුමෙන් සියයට 52ක් ජනතාව යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු බවට තීරණය කළ අතර සියයට 48ක් බ්‍රිතාන්‍යය තව දුරටත් යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු බව ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍යයේ සමස්ත ඡන්ද හිමියන්ගෙන් සියයට 72ක් මෙම ජනමත විමසුමේ දී ඡන්දය ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයක්. කෙසේ වෙතත්, ඉන් අනතුරුව එම ඉවත් වීමේ ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගනු ලැබුවා. එම යාන්ත්‍රණය සකස් කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනා කිහිපයක්ම පරාජයට පත් වුණා. 2019 මාර්තු 29 මෙම ඉවත් වීම සිදු විය යුතුව තිබුණත්, එසේ වුණේ නැහැ. තෙරේසා මේ අගමැතිනිය විසින් ඉදිරිපත් කරන ලද සැලසුම් කිහිපයක්ම බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තුව තුළ ප්‍රතික්ෂේප වීම ඊට හේතුවක්. කෙසේ වෙතත්, දැන් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය එරට පාර්ලිමේන්තුව තුළ මෑතක දී සම්මත වුණා. ඒ අනුව 2020 ජනවාරි 31 වැනිදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇති. නමුත්, මෙම ක්‍රියාවලිය සමස්තයක් ලෙස සම්පූර්ණ වීමට 2020 දෙසැම්බර් 31 දක්වා සංක්‍රාන්ති කාලයක් ගත කළ යුතු වනවා.

යුරෝපා කලාපයේ රටවල් 28ක එකතුවකින් සමන්විත ආර්ථික සහ දේශපාලන සංගමයක් ලෙස යුරෝපා සංගමය හැඳින්විය හැකියි. වර්ග කිලෝමීටර් මිලියන 4.4ක් ඉක්ම වූ භුමිභාගයක් තුළ මෙම සංගමයේ රටවල් විහිදී පවතිනවා. එමෙන් ම මිලියන 500ක් ඉක්ම වූ ජනතාවක් මෙම සංගමයට අයත් රටවල ජීවත් වනවා. මෙම කලාපය ඒකීය වෙ‍ළෙඳපළක් ලෙස සලකන අතර, සමාන පුරවැසි අයිතීන් මෙම කලාපය තුළ ජීවත් වන සියලු දෙනාට හිමියි. බ්‍රිතාන්‍යය ඒ සඳහා සම්බන්ධ වන්නේ 1973 වසරේ දී. නිදහස් වෙ‍ළෙඳාම, නිදහස් ආගමන හා විගමනය, නිදහසේ අදාළ කලාපය තුළ රැකියා කළ හැකි වීම, ජීවත් විය හැකි වීම සහ සාපේක්ෂ නිදහස් ප්‍රාග්ධන ගලනය සඳහා මෙම යුරෝපා සංගමය තුළ අවකාශ තිබෙනවා. විශේෂයෙන් කලාපීයකරණයේ එක් දිගුවක් ලෙස ඇති වූ යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍යය ඉවත් වීමට තීරණය කිරීම එවකට මහත් ආන්දෝලනයක් ඇති කළා. ලෝක ආර්ථිකය ගෝලීයකරණය වන යුගයක බ්‍රිතාන්‍යය ඊට ප්‍රතිපක්ෂව ඉන් ඉවත්ව ස්වාධීන රටක් සහිත ස්වාධීන ආර්ථිකයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ ඇයි යන්න ප්‍රධාන ප්‍රශ්නයක්.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ප්‍රධාන ලෙස බලපා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍යය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයයි. යුරෝපා සංගමයේ වාර්ෂික අය වැය සඳහා අදාළ රටවල් විශාල මුදලක් සාමාජික මුදල් ලෙස ගෙවිය යුතුයි. 2016 වසරේ දී එලෙස බ්‍රිතාන්‍යය විසින් ගෙවා ඇති මුදල පවුම් බිලියන 13.1ක්. නමුත් පෙරළා නැවත බ්‍රිතාන්‍යය වෙත ලැබී ඇති ප්‍රතිලාභවල වටිනාකම පවුම් බිලියන 4.5ක් පමණයි. ඒ අනුව බ්‍රිතාන්‍යය විසින් පවුම් බිලියන 8.5ක් නිකරුණේ යුරෝපා සංගමයේ අය වැය නඩත්තු කිරීම සඳහා වියදම් කර තිබෙනවා. බ්‍රෙක්ෂිට් වෙත පක්ෂව මත පළ කරන අය තර්ක කරන්නේ මෙවැනි විශාල මුදලක් නිකරුණේ බ්‍රිතාන්‍යය විසින් දැරිය යුතු නොවන බවයි. යුරෝපා සංගමය නඩත්තු කිරීම සඳහා එවැනි මුදලක් දැරීම බ්‍රිතාන්‍යයේ වගකීමක් නොවන බවත්, මේ නිසා ජාතික ධනය විශාල ප්‍රමාණයක් අපතේ යන බවත් ඔවුන් තර්ක කරනවා. බ්‍රිතාන්‍යය තුළ විසැඳී නැති ගැටලු රැසක් තිබිය දී මෙවැනි විශාල ජාතික ධනයක් වා‍ර්ෂිකව වැය කිරීම බලවත් පාඩුවක් ලෙස ඔවුන් සලකනවා. ඒ නිසා ඉන් ඉවත් වී අදාළ මුදල රැකගැනීම මඟින් බ්‍රිතාන්‍යයේ වියදම් පාලනයක් ක්ෂණිකව සිදු කළ හැකි බව ප්‍රධාන තර්කයක්. 

යුරෝපා සංගමය තුළ සාමාජික රටවල් අතර සිදු වන ආනයන – අපනයන සිදු වන්නේ අවම නීතිරීති යටතේයි. බදු සහ අනෙකුත් බාධාවන්ගෙන් තොරවයි. බ්‍රිතාන්‍යය විසින් අපනයනය කරන භාණ්ඩවලින් සියයට 50ක්ම ගමන් කරන්නේ කලාපය තුළටයි. මූල්‍ය සේවා සහ මූල්‍ය වෙළෙඳපළ කටයුතු රැසක්ම සිදු වන්නේ ද මෙම පදනම මත සිටයි. කලාපයේ සියලු රටවල් එක සමාන තත්ත්වයක නොමැති නිසා සමාන අවස්ථා ලැබීම වෙනුවට විෂම අවස්ථා හිමි වීම බ්‍රිතාන්‍යයට අවාසියක් ලෙස කියැවෙනවා.  එමෙන්ම සෙසු රටවල් ද විශාල වශයෙන් බාධාවකින් තොරව සිය රට වෙත භාණ්ඩ හා සේවා අපනයනය කරනවා. මෙහි දී සිය රටට වැඩි වාසියක් කලාපයේ සෙසු රටවල් මෙම ක්‍රියාවලිය තුළ අත්පත් කර ගැනීම නිසා බ්‍රිතාන්‍යයට අවාසිදායක තත්ත්වයක් ඇති කර තිබෙනවා. මේ නිසා කලාපයේ විශාල නොවන රටවල් රැසක් විශාල ප්‍රතිලාභ ලබද් දී, බ්‍රිතාන්‍යය අවම වාසියක් ලබන බවට තර්ක කෙරෙනවා. විශේෂයෙන් මේ වන විට වේගයෙන් නැඟී එන ආසියාව සමඟ සම්බන්ධ වීමට ඔවුන්ට බාධා පැවැතීම විශේෂ අවධානයට ලක්ව තිබෙන්නක්. 2030 වන විට ලෝකයේ සමස්ත ජාතික නිෂ්පාදනයෙන් 60%කට දායක වන්නේ ආසියාව වන අතර, යුරෝ කලාපය තුළ සිරව සිටීමෙන් ආසියාව වෙත යොමු වීමට තමන්ට බාධාකාරී වන බව බ්‍රිතාන්‍යයේ අදහසයි. එමෙන්ම චීනය, ජපානය, ඉන්දියාව  වැනි ආසියානු රටවල් සමඟ වෙ‍ළෙඳ ගිවිසුම්වලට පැමිණීමට යුරෝපා සංගමයේ සිටීම බාධාවක්. බ්‍රිතාන්‍යය මේ වන විටත් චීනය සහ කැනඩාව සමඟ නිදහස් වෙ‍‍ළෙඳ ගිවිසුම් වෙන වෙන ම ඇති කර ගැනීම සඳහා අවසන් තීන්දුවලට පැමිණ තිබෙනවා. එමෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රටවල් සමඟ වෙන වෙනම ස්වාධීන වෙළෙඳ ගිවිසුම්වලට එළඹීම සඳහා වැඩි කැමැත්තක් දක්වනවා.

අනෙක් ප්‍රධානම කරුණ වන්නේ බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා කලාපයේ වෙනත් රටවල් විසින් හිමි කර ගැනීමයි. කලාපය තුළ ඕනෑම රටක රැකියා සිදු කිරීමටත්, පදිංචි වී සිටීමටත් යුරෝපා සංගමයේ ඕනෑම රටක පුද්ගලයන්ට නිදහසේ අවස්ථාව උදා වී තිබෙනවා. මේ නිසා‍ බොහෝ රටවල තරුණ පිරිස් බ්‍රිතාන්‍යය වෙත රැකියා සඳහා පැමිණෙනවා. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍යය තුළ විශාල රැකියා ප්‍රමාණයක් විදේශිකයන් විසින් අත්පත් කර ගෙන සිටිනවා. 2016 වන විට නැඟෙනහිර යුරෝපීය ජාතිකයන් මිලියනයක් පමණ බ්‍රිතාන්‍යයේ රැකියා කරමින් පදිංචි වී සිටීම මෙයට හොඳ නිදසුනක්. 2016 වන විට බටහිර යුරෝ කලාපයේ පුද්ගලයන් ලක්ෂ 8ක් පමණ බ්‍රිතාන්‍යය  තුළ රැකියා කරමින් සිටියා. විදේශ රටවලින් එලෙස සිය රටට පුද්ගලයන් පැමිණිය ද, සිය රටේ තරුණ පිරිස් වෙනත් රටවලට යාමට වැඩි ප්‍රියතාවක් දක්වන්නේ නැහැ. ඒ නිසා බ්‍රිතාන්‍යය සතු ජාතික රැකියා විශාල ප්‍රමාණයක් මේ වන විටත් විදේශිකයන් විසින් අත්පත් කර ගෙන තිබෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍යය තුළ ස්ථාපිත සමාගම් සහ බොහෝ ආයතන සාපේක්ෂ අවම වේතන යටතේ විදේශිකයන් රැකියාවන් හි නිරත කර ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම බ්‍රිතාන්‍යයට හිසරදයක් වී තිබෙනවා. එය මේ වන විට රටේ විරැකියාව තව දුරටත් පැවැතීමට ද බලපා ඇති බව සඳහන්. මේ නිසා සිය රටේ නිෂ්පාදනය වන රැකියා ප්‍රමාණය සිය රට තුළම තබා ගැනීමට බ්‍රිතාන්‍යයනට අවශ්‍ය වී තිබෙනවා. 

අනෙක් වැදගත් කරුණක් වන්නේ බ්‍රිතාන්‍යයේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට යුරෝ කලාපය තුළ සිටීම බාධාවක් වන බවට වන මතයයි. නිදහස් සංචරණය හේතුවෙන් රට තුළට පැමිණෙන පුද්ගලයන් පරීක්ෂා කිරීම් සිදු කළ නොහැකි අතර, මේ හේතුවෙන් ත්‍රස්තවාදීන්ට සහ වෙනත් අපරාධකරුවන්ට හා පුද්ගලයන්ට බාධාවකින් තොරව කටයුතු කළ හැකියි. එය රටේ ජාතික ආරක්ෂාවට ගැටලුවක්. මෑත කාලයේ දී බ්‍රිතාන්‍යයේ සිදු වූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ සඳහා මෙම නිදහස් සංචරණය හේතුවක් වී තිබෙනවා. මේ නිසා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට යුරෝපා සංගමයෙන් ඉවත් වීම වැදගත්. මේ වන විටත් කලාපය තුළ පවතින සරණාගතයන් පැමිණීමේ ගැටලුවේ දී බ්‍රිතාන්‍යය කිසිදු සරණාගතයකු භාර ගැනීමට කටයුතු කළේ නැහැ. ඒ ඔවුන්ගේ ජාතික ආර්ථීකය ආරක්ෂා කර ගැනීමේ අදහසින්. නමුත්, ජර්මනිය මෙයට වෙනස් මතයක සිටිමින් සරණාගතයන් මිලියන ගණනක් භාර ගනිමින් සිටිනවා.

මේ කරුණු කිහිපය මඟින් නැවත නැවතත් ඔප්පු වන්නේ බ්‍රිතාන්‍යය වේගයෙන් ජාතික ආර්ථිකයේ ආරක්ෂාව සඳහා නැවත කටයුතු කරමින් සිටින බවයි. වරෙක ඔවුන් විසින් ම වර නඟන ලද ‘ගෝලීය ආර්ථිකයක්’ යන සංකල්පය ප්‍රායෝගික තලයේ දී තවම යථාර්ථයක් වී නොමැති බවට එය ම සාක්ෂියක්. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයත් ඉතා වේගයෙන් ජාතික ආරක්ෂණවාදය වෙත තල්ලු‍ වෙමින් යන තත්ත්වයක් දැකිය හැකියි. ඉන්දියාව ද ඉතා වේගයෙන් නැවතත් ජාතික ආරක්ෂණවාදය වෙත තල්ලු‍ වෙමින් තිබෙනවා. එපමණක් නොව ලෝකයේ බොහෝ ධනේශ්වර රටවල් නැවත වරක් ජාතික ආරක්ෂණවාදය වෙත තල්ලු‍ වෙමින් තිබෙන ප්‍රවණතාවක් දැකිය හැකියි. සියලු ජන කොටස්වලට සමාන අවස්ථා නොමැති ආර්ථීක ගෝලීයකරණයකින් හෝ කලාපීයකරණයකින් කිසිත් සිදු නොවන බවට මෙම රටවල් විසින්ම නැවත නැවතත් ඔප්පු කරමින් තිබෙන තත්ත්වයක් ඒ අනුව ගම්‍යමාන වනවා.

■  අනුහස් බණ්ඩාර

Leave a Response