විදෙස් පුවත්

සල්මාන් සහ ගෝඨාභය – ඝාතක සූත්තරය !

162views

2019 දෙසැම්බර් පුවත

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට වරදකරුවන් වූ පස් දෙනෙකුට සෞදි අධිකරණයකින් මරණ දඬුවම නියම කෙරිණි.

2018 ඔක්තෝබර් 02 සිට…

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී 2018 ඔක්තෝබර් 02 දා ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදිහත් වීමක් නොවුව ද, රටේ නායකයා ලෙස තම පුරවැසියන් පිරිසක් කළ අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු පවසයි.

අති දුෂ්ඨ ක්‍රියාවක්

ඇමෙරිකානු මාධ්‍ය ජාලයක් වන සී.බී.එස්. (CBS)හි ‘මිනිත්තු 60’ වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සල්මාන් කුමරු ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණි. සෞදි රජයේ විවිධ ආයතනවල සේවය කරන පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇති බව තහවුරු වී ඇතැයි ද ඔහු මෙහි දී පිළිගෙන ඇත.

“ඛෂෝගි ඝාතනය කිසිසේත්ම අනුමත කළ නොහැකි අතිදුෂ්ඨ ක්‍රියාවක්. ඊට වගකිව යුත්තන්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරනවා.”

නියම දේශපාලන සූත්තරකාරයෙක්

සල්මාන් කුමරුගේ මෙම වැඩසටහන පිළිබඳ ප්‍රචාරක පටයක් විකාශය කිරීමෙන් පසු ඊට ඛෂෝගිගේ පෙම්වතිය වූ හේටිස් සෙන්ගීස් මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි. “ඔහු නියම දේශපාලන සුත්තරකාරයෙක්. ඔහුගේ නියෝග මත සියල්ල සිදු වී තිබිය දී සෞදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලෝකය රවටනවා. ඔහු නොදැනුම්වත්ව ඔතරම් බිහිසුණු ක්‍රියාවක් කරන්න කිසිවකුට බැහැ.”

සල්මාන් කුමරුගේ තර්ජනය

මේ අතර ජමාල් ඛෂෝගි ඝාතනය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස මීට පෙර මොහොමඞ් බින් සල්මාන් කුමරු විදෙස් රටවලට තර්ජනය කර තිබිණි. එංගලන්තයේ ලන්ඩන් නුවර මූලික කර  ගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන ්ිය්රු ්ක-්අි්එ පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සෞදි කුමාරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ජමාල් ඛෂෝගි ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි. මීට අදාළ සියලු‍ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් රටවල් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් ඔහු පවසා තිබිණි.

එක්සත් ජාතීන්ගේ පිටු 100 වාර්තාව

ඛෂෝගි ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සඳහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ද නිකුත් කළේ ය. ඊට අදාළව අතිශය විශ්වසනීය සාක්ෂි ඇති බව ද එහි සඳහන් ය. මෙම වාර්තාවේ පිටු 100ක් ඇත. ඛෂෝගි ඝාතනය අන්තර්ජාතික අපරාධයක් බවත්, ඊට වගකිව යුතු පාර්ශ්ව අනාවරණය විය යුතු බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

තුර්කියේ විශ්වාසය

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී 2018 ඔක්තෝබර් 02 දා ජමාල් ඛෂෝගි ඝාතනය කෙරිණි. මේ පිළිබඳව මුලින් ම අනාවරණය කරන ලද්දේ තුර්කි ආරක්ෂක අංශයි. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේ ම පැවසුවේ සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

සල්මාන්ගේ විශේෂ ඒකකය

ජමාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර ඝාතකයන් සමඟ සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ “ඔය බල්ලාගේ හිස මට ගෙනැවිත් දෙන්න” යනුවෙනි.

තුර්කියේ වැඩ

සෞදියට විශාල ණය මුදලක් ගෙවීමට තිබිය දී වුව ද, මෙම සිද්ධියේ දී තුර්කිය වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම කැපී පෙනිණි. සිද්ධියෙන් දින කිහිපයක් තුළ ඊට සෘජුව සම්බන්ධ වූ සැකකරුවන් 18 දෙනකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේ ය. එසේම ඝාතනයෙන් පසු විශේෂ ගුවන් යානයකින් කිසියම් පිරිසක් සෞදියට පිටත්ව ගොස් ඇතැයි ද ඔවුහු අනාවරණය කළහ.

ට්‍රම්ප්ගේ වෙනස

මෙම ඝාතනය සිදු වූ විගස සෞදිය විවේචනය කළ පිරිස් සති කිහිපයක් තුළ එය වෙනස් කළහ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ, තම රටේ පුරවැසියකු වන ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකරන්නේ නම්, සෞදිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි. ඊට පිළිතුරු ලෙස සෞදිය පැවසුවේ, ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්ත ම අවි ගනුදෙනුවකට අදාළ ගිවිසුමක් ඇතැම් විට අත්හිටුවීමට සිදු වනු ඇති බවයි. ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන් පසු ඒ ගැන කතා කරන්න ගියේ නැත.

ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්

සෞදි අරාබි ආයෝජන සමුළුව හෙවත් ‘ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්’ සඳහා සහභාගී නොවන බවත්, කිසිවකුට ඛෂෝගිගේ ඝාතනය අනුමත කළ නොහැකි බවත් ලෝකයේ බිලියනපති ව්‍යාපාරිකයෝ රැසක් පෙර පැවසුහ. එහෙත් 2018 ඔක්තෝබර් 23 දා ආරම්භ වූ සමුළුවට එසේ පැවසූ ව්‍යාපාරිකයන්ගෙන් අති බහුතරයක් සහභාගී වීම විශේෂත්වයකි.

පුරවැසියා දෙවැනි තැනට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඞ් බින් සල්මාන් අතර පැවැති සාකච්ඡාවක දී ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර තිබුණේ නැත. රාජ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ‘ට්විටර්’ පණිවිඩයක සඳහන් වූයේ එය මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පමණක් බවයි. එහි දී ඇමෙරිකානු පුරවැසියකු සහ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත් පතේ දේශපාලන තීරු ලිපි රචකයකු වූ ජමාල් ඛෂෝගි සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද බව ද ඔහු පවසා ඇත.

ට්‍රම්ප්ගේ අරමුණ

මීට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සල්මාන් කුමරු සමඟ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහි දී ද ඛෂෝගි සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි. ඉරානය සමඟ ඇති ගැටුමේ දී සෞදියේ සහාය ලබා ගැනීම මේ සාකච්ඡා දෙකේම අරමුණ වූ බව පෙනෙන්නට ඇත.

ඛෂෝගිගේ ඉතිහාසය

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි මුල දී සෞදි රජ පවුලට ඉතා සමීපව කටයුතු කළ අයෙකි. ඉන්පසු ඇති වූ ගැටුමක් නිසා ඔහු ඇමෙරිකාවට පලා ගොස් තිබේ. ඇමෙරිකාවේ පදිංචිව සිටිමින්, ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත් පතේ ස්ථිර තීරු ලිපි රචකයකු ලෙස කටයුතු කර ඇති ඔහු මෙම තීරු ලිපි මඟින් සෞදි පාලනය බරපතළ ලෙස විවේචනය කර ඇත.

පුද්ගල ඝාතන වෙන්දේසිය !

බලය ලබා ගැනීම සහ බලය පවත්වා ගැනීම යන කාරණයේ දී පුද්ගල ඝාතන අලෙවි වන ආකාරය සම්බන්ධයෙන් ජමාල් ඛෂෝගි ඝාතනය කදිම උදාහරණයකි.

ලසන්ත වික්‍රමතුංග මහ පාරේ දී මරා දැමීමත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමත් ඇතුළු පසුගිය කාලයේ සිදු වූ සියලු‍ අපරාධවලට අදාළ විමර්ශන මෛත්‍රී – රනිල් ආණ්ඩුව එක තැනකින් නතර කළේය. සල්මාන් කුමරු මෙන් ම ගෝඨාභය රාජපක්ෂලා තව දුරටත් බලය දරති.

ඔවුන්ගේ නීතිය යටතේ අපරාධවලට අණ දීම වරදක් නොවේ !

ශාලික විමලසේන

Leave a Response