දේශපාලන සටහන

අවස්ථාවාදී ගෝත්‍රික ව්‍යවස්ථා සංශෝධන

358views

රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි දෙදහස් එක – දෙදහස් තුන කාලය තුළ ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් තැබුවේ ය. එරික් සෝල්හයිම්ගේ මැදිහත් වීමෙන් අත්සන් තැබූ ගිවිසුමෙන් ඇත්තටම රටට සාමයක් ලැබුණේ නැත. බෙදුම්වාදී සංවිධානය තව තවත් ශක්තිමත් වීමක් මින් සිදු වුණේය. ඔවුනට අවශ්‍ය අවි ආයුධ, තාක්ෂණික උපකරණ සියල්ල ලබාගෙන, ප්‍රතිසංවිධානය වීමේ හැකියාවක් ලැබුණේ මෙම ගිවිසුම මඟින් ය. රට බෙදුම්වාදයකට තල්ලු කළ එකී ගිවිසුම පරාද කිරීමේ වුවමනාවක් රට තුළ මතු වුණේ ය. මෙම ගිවිසුමට සමාන්තරව රටේ ආර්ථික සම්පත් කුණුකොල්ලයට විකුණා දමන ‘රිගේනිංග් ශ්‍රී ලංකා’ වැඩසටහන ද ආරම්භ වී තිබිණි. රටට හතුරු මේ ක්‍රියාවන් දෙකම පරාජය කිරීමේ වුවමනාවෙන් එදා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව සන්ධානයකින් තරග වැදුණේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙදහස් හතර වසරේ අප්‍රේල් මැතිවරණයෙන් ජවිපෙට මන්ත්‍රී ධුර හතළිස් එකක් ලැබුණේ ය. ආණ්ඩුව ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට ඇද වැටුණේ ය. මේ ගැන සිතා බැලූ ජ.වි.පෙ. ලාංකීය ඉතිහාසයේ කිසිදු දේශපාලන පක්ෂයක් නොකරන පරිත්‍යාගයක් කළේ ය. එනම් තමන්ට ලැබුණු මන්ත්‍රී ධුර ප්‍රමාණයෙන් දෙකක් ශ්‍රීලනිපයට පරිත්‍යාග කිරීම ය.

එම හිස් වූ පුරප්පාඩු දෙක ශ්‍රී.ල.නි.ප.ය විසින් පුරවනු ලැබුවේ ය. ඒ සඳහා විජේදාස රාජපක්ෂත්, මර්වින් සිල්වාත් පත් කරනු ලැබී ය. විජේදාස රාජපක්ෂට පළමු වතාවට පාර්ලිමේන්තුවට එන්න වරමක් ලැබුණේ ජවිපෙ නිසා ය. ජවිපෙට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් ලැබුණේ විජේදාසට ය. එසේ නොමැතිව විජේදාස රාජපක්ෂ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රී කෙනකු නොවුණේ ය. ජවිපෙට පින් සිද්ධ වෙන්න ආපු විජේදාස, චන්ද්‍රිකාගේ සුවච කීකරු ළඟම ගෝලයකු බවට ද පත් වුණේය. චන්ද්‍රිකා නැවත සුනාමි සහන මණ්ඩලය ගෙනැවිත් රට බෙදන්න හදපු වෙලාවේ එයට විරුද්ධව ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වුණේ ය. රට වෙනුවෙන් එය පැරැද්ද විය යුතු වුවත්, විජේදාස හිටියේ චන්ද්‍රිකාගේ බෙදුම්වාදය පෝෂණය කරන පැත්තේ ඇයට ආවඩමින් ය. චන්ද්‍රිකාගේ ධුර කාලය අවසන්ව මහින්ද බලයට ආවේ දෙදහස් පහේ දී ය. එම ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස සිටිය දී චන්ද්‍රිකාත් එක්ක කලින් තිබූ දීගය නිසාම  රාජපක්ෂලාගෙන් දිගින් දිගටම කැපෙන්නට විය. අන්තිමේ දී බැසිල් මැදිහත් වී කෝප් කමිටු සභාපතිකමෙන් ද විජේදාසව ඉවත් කර දැම්මේ ය. ඒ සඳහාම පාර්ලිමේන්තු වාර  අවසාන කිරීමක් ද කළේ ය. ‘අඟේ ඉඳන් කන කන එකෙක්’ යැයි එදා විජේදාසව හැඳින්වූයේ බැසිල් රාජපක්ෂ ය.

මහින්දගේ විධායක ජනාධිපති බලයෙන් බැට කාපු විජේදාස ඒ දවස්වල විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතලවලට එරෙහිව කතා කළේ ය. අන්තිමේ දී එය අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනතක් ද ඉදිරිපත් කළේ ය. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුණ ද, දිගින් දිගටම ඔහු ඒ මතයේ සිට කතා කළේ ය. එහිම දිගුවක් ලෙස දෙදහස් දහයේ ජනාධිපතිවරණයේ දී එකී ධුරය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා දිනවීමට එජාපයත් එක්ක එකතු වී වැඩ කළේ ය. යූඑන්පීයට එකතු වුණු විජේදාස දෙදහස් දහය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ආවේ ය. දෙදහස් දහය, පහළොව කාලය පුරාවටම ඒකාධිපති විධායක ජනාධිපති ධුරයේ ඇති භයානකකම පිළිබඳව අදහස් දක්වමින් යූඑන්පීයේ මන්ත්‍රීවරයකු ලෙස සිටියේ ය. නැවත දෙදහස් පහළොවේ විධායක ධුරය අහෝසි කරන මෛත්‍රීපාලගේ වේදිකාවේ කෑ-මොර දුන්නේ ය. එහි ඇති භයානකකම නීතිමය ලෙස විග්‍රහ කළේ ය. පසුව දෙදහස් පහළොවේ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ආ විජේදාස රාජපක්ෂ අගමැති  රනිල් වික්‍රමසිංහ පත් කරන ලද අගමැතිගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද නියෝජනය කළේ ය. නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ වෙනත් බොහෝ පත්කිරීම්වල දී කිසිදු විරෝධතාවක් නොමැතිව ඔහු කටයුතු කළේ ය. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති බලතල අඩු කරන විට ඔහු යූඑන්පී ආණ්ඩුවේ අධිකරණ  ඇමතිවරයා ය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකාධිපති විධායක බලතල බොහෝ සෙයින් කප්පාදු කරන ලද්දේ එකී සංශෝධනයෙන් ය. ඉතිහාසයේ සරදමක් ලෙස ආණ්ඩුව වෙනුවෙන් එය ඉදිරිපත් කරනු ලැබුවේ ද ඔහු විසින්ම ය. අද ඔය කතා කරන ‘ජනාධිපතිට ඇමතිකම් දැරිය නොහැකි ය’ යන වගන්ති ඇතුළත්ව තිබුණේ එම සංශෝධනයේ ය. පසුව යූඑන්පී ආණ්ඩුව ඇතුළේ ඇති කර ගත් ප්‍රශ්න නිසා ඔහුව ඇමති ධුරයෙන් ඉවත් කර දැමුවේ ය.

ඉන්පසු මෛත්‍රීපාලත් එක්ක එකතු වුණු ඔහු ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පත් වූ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමතිවරයා ද වූයේ ය. එහෙත්, අධිකරණය මඟින් එම ඇමති ධුරයෙන් ඔහුව ඉවත් කර දැමුවේ ය. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ආ ඔහු එකී පාක්ෂිකයන්ට මුළුමනින්ම ද්‍රෝහී වී නැවත රාජපක්ෂ කඳවුර හා අත්වැල් බැඳ ගත්තේ ය. ඔහුගේ දේශපාලන භාවිතාව දෙස  ආපසු හැරී බලන විට දිගින් දිගටම ඇත්තේ අවස්ථාවාදී වුවමනාවන් මත වූ මැදිහත්වීම් ය. අවස්ථාවාදී වූ පිල් මාරු කිරීම් ය. තමන්ට වාසිදායක පැත්ත අනුව දේශපාලන මතය වෙනස් කළ ඉතිහාසයකි. එදා විධායක ජනාධිපතිගේ බලය පිළිබඳ දැඩි විවේචනයක සිටි ඔහු අද එම ධුරය නැවත ශක්තිමත් කිරීමට කතා කරන්නේ ය. මෙය පැහැදිලිවම අවස්ථාවාදයකි. ඔහුගේ පෞද්ගලික අවස්ථාවාදයම නැවත පෙරළා ඔහු විසින්ම ගෙන එන්නට උත්සාහ දරන  ව්‍යවස්ථා සංශෝධනයන්ගේ ද අඩංගුව වේ.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය කර ඇත. ඒ අනුව ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව නොව ඊට බොහෝ සෙයින් වෙනස් වූ ව්‍යවස්ථාවක් රට තුළ ක්‍රියාත්මක වේ. දහනවයට පසු ජවිපෙ විසින් ගෙන ආ විසිවන සංශෝධනය ද පිළිගත් පෞද්ගලික මන්ත්‍රී පනතක් ලෙස ගැසට් කර  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එය සම්මත නොවුණ ද, විසිවැනි සංශෝධනය ලෙස සඳහන්ව ඇත. ඒ නිසා ම ඊළඟට ගෙන එන්නක් විසිඑක් වැනි හා විසිදෙවැනි විය යුතු ය. විජේදාස මේ ඉදිරිපත් කර ඇත්තේ ඊට ගැළපෙන අංකයන් සහිත සංශෝධනයන්ය. ඉන් පළමුවැන්න එනම් විසිඑක් වැන්නේ ඇත්තේ දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වන පහළොස් වැනි සංශෝධනය ඉවත් කිරීම ය. එනම්, පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් පත් කිරීමේ දී අදාළ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඔවුන් තරග වැදුණු දිස්ත්‍රික්කයෙන් ලබා ගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට පහ වෙනුවට සියයට දොළහයි දශම පහ කිරීම ය. ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවේ ඇත්තේ ද මෙයයි. එදා ජේ. ආර්. තමන්ට උපරිම බලය තහවුරු කර ගැනීම සඳහා මෙවැන්නක් ඉදිරිපත් කළේ ය. ඔහු එය කරනු ලැබුවේ තමනට ලැබුණු හයෙන් පහේ බලය යොදා ගනිමින් ය.  විවිධ මතවාදයන් දරන විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන දේශපාලන බලවේග සියල්ල එක්කෝ යූඑන්පීයේ වලිගයක් නැත්නම් ශ්‍රී ලංකා එකේ වලිගයක් කරවීමට ය. ජේ. ආර්. කරපු මේ වැරැද්ද නිවැරදි කරන ලෙස විවිධ ප්‍රගතිශීලී ජන කොටස්වලින් ඉල්ලීම් ආහ. විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන කණ්ඩායම්වලින් ඉල්ලීම් ආහ. එහි ප්‍රතිඵලයක් ලෙස එක්දහස් නවසිය අසූඅටේ දෙසැම්බර් පත්වූ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එය වෙනස් කරන්නට සිදු වුණේ ය. සැබැවින්ම එය සාධනීය පියවරකි. පසුගිය දහනව වන සංශෝධනය සකස් කිරීමේ සාකච්ඡාවේ දී මේ ප්‍රතිශතය සියයට එක දක්වා අඩු කිරීමක් පිළිබඳවත් බොහෝ මත ඉදිරිපත් විය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකැසීමේ ක්‍රියාවලියේ දී නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ වූ සාකච්ඡාවේ දී මේ පිළිබඳව නැවත ගැඹුරින් අවධානයට යොමු වුණේ ය. ඒ අවස්ථා දෙකේ දී ම සාකච්ඡා වූයේ, ප්‍රතිශතය  අඩු කිරීම මිස වැඩි කිරීම නොවේ ය. වැඩි කිරීමක් ගැන අදහස් දැක්වූවා නම්, ඒ එක්කෙනෙක් දෙන්නෙක් පමණක් ය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ විවිධ දේශපාලන මතවාද දරන අලුත් දේශපාලන බලවේගවල නැඟීම වළක්වාලීම ය. හැත්තෑඑක් අවුරුද්දක් මාරුවන් මාරුවට රට පාලනය කළ පරණ යල්පැනගිය මතවාදයට ම බලය ලබා ගැනීම ය. එහෙත්, සමාජය තුළ ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් වූ අදහසකි. විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ අදහස හා මතවාදය වන්නේම යූඑන්පී, – ශ්‍රී ලංකා දෙකම ප්‍රතික්ෂේප කරන නව දේශපාලන ප්‍රවණතාවක වුවමනාවකි. වෙනස් වන ලෝක දේශපාලනයට ගැළපෙන නව්‍යකරණය වූ දේශපාලන මතවාදයකි. එවැන්නකට වෙන ම හැදී වැඩෙන්නට අවශ්‍ය වූ වටපිටාවකි. එවැනි මතවාද නියෝජනය කරන සමාජ කණ්ඩායම් ගණනාවක් දැනටමත් ආරම්භ වී ඇත. එහෙත්, ඔවුනට දේශපාලන පක්ෂයක් ලෙස තම මත සමාජගත කිරීමට බාධා විශාල ප්‍රමාණයක් ඇත. ඉන් ප්‍රධාන එකක් වන්නේ එකවර එකී මතවාදය කරළියට ගෙන ඒම සඳහා වන බලයක් සහිත පාර්ලිමේන්තු නියෝජනය නොලැබීමය.

විජේදාසගේ සංශෝධනයෙන් වෙන්නේ එවැන්නකට  ඇති අවස්ථාව මුළුමනින්ම පොඩිපට්ටම් කර දැමීම ය. සමාජය ඉදිරියට යද්දී වෙනස් වෙනස් මතවාදවලට වැඩි වැඩියෙන් අවස්ථා ලැබිය යුතු ය. සමාජයක් ලෙස ඉදිරියට යා හැක්කේ එවැනි නව මතවාද පැරණි මතවාද හා ගැටීමෙන් ය. සමාජ ප්‍රගමනය සඳහා එය අත්‍යවශ්‍ය සාධකයකි. ලෝකය පුරාවට ම විශේෂයෙන් යුරෝපය තුළ ඇති වෙමින් යන නව දේශපාලන රැල්ල එයයි. ඒ සඳහා ඉඩ ප්‍රස්ථා තව තවත් පුළුල් කරන දිශාවට පවත්නා නීති වෙනස් කිරීම ය. ඒ අර්ථයෙන් ගත් කල විජේදාස මේ ගෙනෙන්නට යන්නේ අමුම අමු ගෝත්‍රික පන්නයේ සංශෝධනයකි.

ඔහුගේ දෙවැන්න එනම්, විසිදෙවැනි සංශෝධනයේ  ඉලක්කය වන්නේ ජනාධිපතිගේ බලය වැඩි කිරීම ය. එනම්, ඕනෑ ම අමාත්‍යාංශයක් හෝ කිහිපයක් ජනාධිපතිට තබා ගත හැකි වන පරිදි වූ සංශෝධනයකි. අනෙක දැනට ඉහළ උසාවිවල විනිසුරන්, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා වැනි ධුර පත් කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා යන්න වෙනස් කිරීම ය. එහි දී විනිසුරන් පත් කිරීම අධිකරණ කොමිසමේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කිරීමය. සැබෑ කරුණ නම්, දැනටත් ව්‍යවස්ථා සභාව යම් නමක් නිර්දේශ කරනු ලබන්නේ අධිකරණ කොමිසමේ සභාපතිවරයා වන අග්‍රවිනිශ්චයකාරවරයාගේ නිර්දේශ ද සැලැකිල්ලට භාජනය කිරීමෙන් ය. ඔහුට ඔහුගේ නිර්දේශ තනි පුද්ගලයකු ලෙස අත්තනෝමතික ලෙස එවිය නොහැකි ය. එය නැවත ව්‍යවස්ථා සභාවේ සමාලෝචනය වන බැවින්, අධිකරණයට පිටින් වූ තැනකින් ද අධීක්ෂණයට ලක් වන්නේ ය. එය වඩාත් ප්‍රජාතාන්ත්‍රීය වනවා පමණක් නොව වඩාත් නිවැරදි ය.

එහෙත්, එකී බලය මුළුමනින්ම අධිකරණ කොමිසමේ නිල සාමාජිකයන් වන විනිසුරන් තිදෙනෙකුට පැවරූ විට යාළු මිත්‍රකම්වලට හා හිතවත්කම්වලට එය සිදු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි ය. විජේදාස මේ කරන්න යන්නේ අධිකරණයේ ඇති ස්වාධීනත්වය  අහෝසි කොට නැවත එය ජනාධිපතිගේ මෙහෙයැවීමට යට කිරීම ය. ශිරාණි බණ්ඩාරනායකලා පත් කිරීමත්, ඉවත් කිරීමත් මොහාන් පීරිස්ලා පත් කිරීමත් පිළිබඳව ඕනෑවටත් වඩා අත්දැකීම් ඇත. එවන් තත්ත්වයක් තුළ මේ හදන්නේ නැවත පරණ තත්ත්වයටම ගෙන ඒමට ය.

අනෙක් කරුණ වන්නේ ජනාධිපතිට ඇමති ධුර දැරීමේ හැකියාව නැවත ගෙන ඒම ය. එය එසේ වූ විට මුදල් හා ආරක්ෂක අමාත්‍යාංශ ඇතුළු අනෙක් අමාත්‍යාංශ මෙහෙයැවිය හැකි සියලු ආයතන එකී අමාත්‍යාංශ යටතට ගත හැකි තත්ත්වයක් ඇති වන්නේ ය. මෛත්‍රීපාල ජාතික රූපවාහිනිය තමන්ගේ අමාත්‍යාංශ විෂයය යටතට ගත්තේ, එකී බලය අනුව ය. මින් සිදු වන්නේ ද සියලු අමාත්‍යාංශ තනි පුද්ගලයකු යටතට ගැනීම හා සියල්ල පාලනය කිරීමේ බලය ලබා ගැනීම ය. දහඅට නැවත  ගෙන ඒමක් මෙහි නොවන බව ඔහු කියන්නේ, ඉල්ලන වාර ගණන වෙනස් කිරීම පමණකි. ඒ හැර දහඅටේ හරයෙන් අඩංගු වූ සියල්ල මෙහි අන්තර්ගත ය. ඉතිහාසය නැවත පුනරාගමනය කරවීමක් මින් සිදු කරන බව පැහැදිලි ය. මේ රටේ ජනතාවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේම ඇමතිවරු, මන්ත්‍රීවරු පවා එදා සිදු වූ ඒ වැරැද්ද පිළිබඳව පසුව මහත්සේ පසුතැවිලි වූහ.

එහෙම බැලුවහම විජේදාස ඔය කරන්න හදන දේට ආණ්ඩුව ඇතුළේ ඇමතිවරු, මන්ත්‍රීවරු බහුතරයක් ම විරුද්ධ බව ඔවුන්ගේ හෘදයසාක්ෂිය විමසා බැලුවහොත් තේරුම් ගත හැකි ය. එහෙත්, යන එන මං නැතිව ඉන්නා විජේදාස මේ කරන්න හදන්නේ ගෝඨාභයව ඇන්දවීමට ය. තනිකර සිංහල ඡන්දවලින් බලය තහවුරු කර ගත හැකි යැයි මතයක් ඔහු මත තහවුරු කර ඊ ළඟ ආණ්ඩුවේ හොඳ ඇමති කට්ටක් ලබා ගැනීම ය. ඡන්දයෙන් එන්න බැරි නම්, ජාතික ලැයිස්තුවෙන් හරි තමන්ගේ වුවමනාව ඉටු කර ගන්න පාරක් කපා ගැනීම ය. තමන්ම නියෝජනය කරපු මතවලට පස්ස හරවා කිසිදු විලිලැජ්ජාවක් නැතිව මේ උත්සාහ කරන්නේ මුළු රටම ඒකාධිපති පාලනයකට කැඳවීමකට ය. ජීවිත පරිත්‍යාගයෙන් යම් මට්ටමකට හෝ දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පොඩිපට්ටම් කර දැමීමට ය. සැබැවින්ම මෙය ගෝඨාභයට කිට්ටු හිතවාදීන් කිහිප දෙනකුගේ වුවමනාවකි. ගෝඨාභයට ඡන්දය ලබා දුන් මහජනතාව බහුතරයක් කිසිසේත්ම මෙවැන්නකට එකඟ නොවෙති. රට වඩ වඩාත් ප්‍රජාතාන්ත්‍රීය දිශාවකට යමින්, විවිධ නව මතවාද සමාජ ප්‍රගමනයට දායක කර ගැනීම ඔවුනගේ අරමුණ ය. රටේ පොදු මහත් ජනතාවට වුවමනා වී ඇත්තේ, මෙවැනි අවස්ථාවාදී, ගෝත්‍රිකවාදී තැනකට රට තල්ලු කිරීමට නොවේ ය. එවැන්නන්ගේ වුවමනාවන් පරාජය කරමින්, සමාජ සංවර්ධනය වඩාත් යහපත් දිශානතියකට හැරවීමට ය.

ජගදාක්ෂි

Leave a Response