සාහිත්‍ය - කලා

පොත් ප්‍රකාශනය කර්මාන්තයක් බවට පත් වෙන්න ඕනෑ

117views

සාහිත්‍යවේදී කෞෂල්‍ය කුමාරසිංහ

■  සාමාන්‍යයෙන් බොහෝ පොත් එළිදැක්වීම් සිදුවෙන්නෙ සාහිත්‍ය මාසය සහ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන. එහෙම තත්ත්වයක් තියෙද්දී මේ වෙලාවෙ ඔබේ නිර්මාණය එළිදක්වන්න හිතුවෙ ඇයි ?

සාහිත්‍ය මාසයේ තමයි, පොත් ගැන වැඩි අවධානයක් තියෙන්නෙ. පාඨකයන් පොත් ගැනීම වෙනුවෙන් මුදල් වෙන් කරගෙන ඉන්නෙත් සාහිත්‍ය මාසය ගැන හිතලා. ඒ වගේම අපි වගේ අයට අදාළව හිතුවොත්, ලංකාවේ පොත් වෙළෙඳපොළ කියන්නෙ විශාල එකකුත් නෙමෙයි. අනෙක් පැත්තට ලංකාවෙ එහෙම පොත් වෙළෙඳපොළක් නැතුවා ම නෙමෙයි. ඒ වෙළෙඳපොළට කාලයක් අදාළ වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි වගේ අය පොතක් කරද්දී සාහිත්‍ය මාසය ගැන හිතන එක එක පැත්තකින් හිතන්න ඕනෙ දෙයක් තමයි. ඒත් සාහිත්‍ය මාසයට පොතක් එළිදක්වනවා කියන එක විතරක් හිතල බැහැ. ඒකට කරන නිර්මාණය සාර්ථකව අවසන් කරගෙන තියෙන්නත් ඕනෙ. මගේ පොත සාහිත්‍ය මාසය වෙනකොට මම තෘප්තිමත් වෙන මට්ටමට අවසන් කරගෙන තිබුණෙ නැහැ. එහෙම අවසන් කර ගන්න පුළුවන් වුණු මොහොතෙ තමයි, මේ එළිදැක්වීම කරන්නෙ. ඒ වගේම මම හිතන්නෙ නැහැ ඒකට සාහිත්‍ය මාසය නොවුණා කියල විශාල පාඨකයන්ගේ අඩුවීමක් තියෙයි කියලා. මොක ද? අපි වගේ අය කරන පොත් කියවන පාඨක ප්‍රජාව මේ ගැන යම් අවධානයක් සහිතවයි ඉන්නෙ. ඒ අය සාහිත්‍ය මාසයට විතරක් පොත් ගන්න අය නෙමෙයි.

■  ඔබ වැනි නිර්මාණකරුවන් වටා සීමිත පාඨක පිරිසක් ගොනු වෙද්දී ඇතැම් නිර්මාණවලට විශාල පාඨක පිරිසක් ඉන්නවා. ඇයි එහෙම වෙලා තියෙන්නෙ ?

ලංකාවේ නවකතාව කියන විෂයයට අදාළව විවිධ පාඨක ප්‍රජාවන් ඉන්නවා. ඒ අතුරින් එක් කොටසක් ජනප්‍රිය සහ සරල නවකතා වැළඳ ගත් ප්‍රජාවක්. ඒක එහෙම වෙන්න හේතුවකුත් තියෙනවා. ඒ තමයි, එවැනි නවකතා සමාජගත වීමට අදාළ යාන්ත්‍රණයක් විසින් කරනු ලැබූ කාර්යභාරය සහ සතිපතා පුවත් පත් සහ වෙනත් මාධ්‍ය මඟින් ලැබුණු ප්‍රචාරය. අනෙක් පැත්තෙන් එවැනි සරල, රොමෑන්ටික් නවකතා පහසුවෙන් වැළඳ ගන්නා කලාප රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට වෙළෙඳ කලාප හඳුන්වන්න පුළුවන්. ඒවායේ සේවය කරන තරුණියන් විශාල කාලයක් තම රැකියාවට අදාළව වෙහෙසෙනවා. එහෙම වෙහෙසෙන ඔවුන්ගේ ශ්‍රමය ප්‍රතිනිෂ්පාදනය වෙන එක මාදිලියක් තමයි සරල, රොමෑන්ටික් නවකතාව කියන්නෙ. ඒ වෙළෙඳපොළ ලංකාවේ විතරක් නෙමෙයි, මැදපෙරදිග සේවය කරන ප්‍රජාවත් යම් තාක් දුරකට අත්පත් කරගෙන තියෙනවා.

■  එහෙමනම් ඔබේ ඉලක්ක පාඨක ප්‍රජාව වෙන්නෙ කවුද?

මගේ නිර්මාණවලට තේමාව කර ගන්නෙ අපි ජීවත් වෙන මේ යුගය කොහොම ද තේරුම් ගන්නෙ කියන එක. ඒකෙදි අපි ජීවත් වෙන සමාජය තුළ තියෙන සම්බන්ධතා සහ ඒවායේ ස්වරූපයන් එක්ක බැඳුණු තේමාවන් ගැන කියන්න තමයි, මම උත්සාහ කරන්නෙ. මගේ පළමු නවකතාව වුණු ‘රහස් කවුළුව’ කියන නවකතාවෙදි මම කළේ මේ මොහොතේ ජීවත් වෙන විවිධ සමාජ කණ්ඩායම් එකට මුණගස්වපු එක. ඒත් ‘නිම්නාගේ ඉතිහාසය’ කියන මගේ දෙවැනි නවකතාවට පාදක වෙලා තියෙන්නෙ අවුරුදු සියයක පමණ කාලයක ජීවත් වුණු පරම්පරා කිහිපයක්. කතාව ගෙතිල තියෙන්නෙ එක්දහස් නමසිය අසූ නමයෙ නොවැම්බර් මාසෙ නම වෙනිදා උපත ලබන ගැහැනු ළමයෙක් වටා. ඒ දවස කියන්නෙ ඓතිහාසික බර්ලින් තාප්පය බිඳවැටුණු දවස. එදා උපත ලබන ගැහැනු ළමයාගේ ජීවිතයේ අවුරුදු විසිපහක පමණ කාලයක් එක්ක එයාගෙ ඊට පෙර පරම්පරා තුනක් ගැටෙන විදිහත් එක්ක තමයි කතාව විකාශනය වෙන්නෙ. ඒකෙදි ඉලක්ක කරන පාඨක ප්‍රජාව කියන්නෙ සරල, රොමෑන්ටික් නවකතාවක් රසවිඳින පාඨක ප්‍රජාවට වඩා ටිකක් එහා ගිය පාඨක ප්‍රජාවක්. යම් සිතීමක් සහිතව නිර්මාණයක් රසවිඳින ප්‍රජාවකට තමයි මේ කියන්න යන දේ තේරුම් ගන්න හැකියාව තියෙන්නෙ.

■  එවැනි නිර්මාණ පාඨකයන් වැළඳ ගැනීමේ ප්‍රමාණය සාපේක්ෂව අඩු බව කලිනුත් කතා වුණා. ඒකට හේතුව නිර්මාණවල ප්‍රශ්නයක්ද නැත්නම් පාඨකයන්ගේ ප්‍රශ්නයක්ද?

ඒකට හේතුව ඒ දෙකම නෙමෙයි. නිර්මාණ පාඨකයන් වෙත රැගෙන යාමේ යාන්ත්‍රණයක් නැතිකම තමයි හේතුව. තවමත් ලංකාවේ ප්‍රකාශනය කියන එක කර්මාන්තයක් විදිහට දියුණු වෙලා නැහැ. ලේඛකයා සහ නිර්මාණය පාඨක ප්‍රජාව ළඟට අරගෙන යන්න ඕනෙ ප්‍රකාශකයා. එහෙම ප්‍රකාශනය කියන එක කර්මාන්තයක් විදිහට දියුණු වුණොත්, මීටත් වඩා හොඳ ලේඛකයන් සහ නිර්මාණ සමාජයට ලැබෙයි. ඒත් අද වැඩි දෙනෙක් සාහිත්‍ය නිර්මාණ කරන්න පෙළඹෙන්නෙ නැත්තෙ ඒවා ප්‍රකාශයට පත් කර ගන්න තියෙන හැකියාව අවම මට්ටමක තියෙන නිසා. ජපානය වගේ රටවල ‘මුරකමි’ වගේ ලේඛකයකුගෙ පොතක් එළියට ආවම පළමුවැනි සතිය ඇතුළෙ පිටපත් මිලියන පහක් විතර අලෙවි වෙනවා. ඒත් ලංකාවෙදි පිටපත් දාහක් විකුණ ගන්නත් අමාරුයි.

■  ප්‍රකාශනය කර්මාන්තයක් බවට පත් වෙලා නැහැ කියන එකෙන් ඔබ අදහස් කළේ මොකක්ද?

දැන් බලන්න, අපිට පොත් කඩවල් කීය ද ලංකාවේ තියෙන්නෙ කියල. අනුරාධපුරේ, පොළොන්නරුවෙ, මොනරාගල වගේ කොළඹින් පිටට ගියාට පස්සෙ පොත් විකුණන්නෙ කොහෙ ද? ඒවායේ ඉන්න පාඨකයන් පොත් මිල දී ගන්නෙ කොහෙන් ද? ඒකට කොළඹට එන්නම වෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ තරම් ජනප්‍රිය වෙන්නෙම ඒ නිසයි. පොත්වලට පාඨකයන් නැත්නම් ඒ තරම් පිරිසක් එයි ද? අනෙක් පැත්තෙන් අවුරුද්දකට ලංකාවේ නවකතා සියයකට වඩා මුද්‍රණය වෙනවා. ඒ කියන්නෙ නිර්මාණත් විශාල ප්‍රමාණයක් දැනටත් කෙරෙනවා කියන එක. ඒකයි මම කිව්වෙ මෙතැන තියෙන්නේ යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් කියලා. මුද්‍රණය, බෙදාහැරීම සහ අලෙවි කිරීම කියන එකට යාන්ත්‍රණයක් සකස් වීම තමයි, ප්‍රකාශනය කර්මාන්තයක් බවට පත් වීම කියල කියන්නෙ. ඒ වගේම ප්‍රකාශයට පත් වෙන පොත් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රචාරය කියන්නෙ ලංකාවෙ මාධ්‍යවලත් අඩු අවධානයක් ලැබෙන දෙයක්. ඒ ගැනත් හිතන්න ඕනෙ.

■  ඔබ කියන සියලු බාධාවන් තිබියදී, ඔබේ කෘතිය ජනගත කරගන්න තියෙන සැලැස්ම මොන වගේද?

ඒ වෙනුවෙන් මම සාම්ප්‍රදායික පොත් එළිදැක්වීමකට වඩා වෙනස් වැඩක් කරන්න සිතමින් ඉන්නවා. සාමාන්‍යයෙන් පොත් එළිදැක්වීමක් කියන්නෙ, ඒ එළිදක්වන පොත ගැන විචාරයක් හෝ දෙකක් සමඟින් එය ජනගත කිරීමක්. මගේ අදහස නම් එහෙම කළාට පස්සෙ පාඨකයාගේ සිතීමේ අවකාශය රාමුගත වෙනව කියන එකයි. ඒ වෙනුවට දැනටමත් සීමිත පිටපත් ප්‍රමාණයක් පාඨකයා අතට පත් කරලයි තියෙන්නෙ. ඔවුන් අතුරින් තෝරා ගත් පිරිසකට පොත ගැන ඉතාමත් කෙටි අදහසක්, ඒ කියන්නෙ විනාඩි පහකටත් අඩු කාලයක් තුළ පොත ගැන ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාව සැලසීම තමයි මගේ අදහස වෙලා තියෙන්නෙ.

සංවාද සටහන – චතුර දිසානායක

Leave a Response