විදෙස් පුවත්

පුරවැසිභාවය පිළිබඳ සංශෝධිත පනතට විරෝධතා: ව්‍යාජ නම් දෙන්නැයි අරුන්දතී රෝයි ජනතාවගෙන් ඉල්ලයි

238views

ජාතික ජනගහන ලේඛනය (එන්.පී.ආර්.) සඳහා තොරතුරු එක්රැස් කිරීමට නිලධාරීන් පැමිණෙන විට ජනතාව, ඔවුන්ගේ නම සහ ලිපිනය පිළිබඳ ව්‍යාජ තොරතුරු ලබා දිය යුතු බව ලේඛිකාවක සහ සමාජ ක්‍රියාකාරිණියක වන අරුන්දතී රෝයි පවසනවා. අරුන්දතී රෝයි මේ බව කියා සිටියේ, පුරවැසිභාවය පිළිබඳ සංශෝධන පනතට සහ යෝජිත සමස්ත ඉන්දීය ජාතික පුරවැසි ලේඛනයට (එන්.ආර්.සී.) එරෙහිව නවදිල්ලියේ පැවති උද්ඝෝෂණයකට  සහභාගී වෙමින්.

දිල්ලි විශ්වවිද්‍යාලය සංවිධානය කළ විරෝධතාවක දී අරුන්දතී රෝයි පැවසුවේ, “එන්.පී.ආර්. සඳහා නිලධාරීන් ඔබේ නිවසට පැමිණ ඔබේ නම ඔබෙන් ඉල්ලා සිටින විට ඔවුන්ට රංගා-බිල්ලා, කුන්ග්ෆු-කට්ටා වැනි නම් දෙන ලෙසයි.

තමන්ගේ ලිපිනය ලෙස අගමැතිගේ නිවසේ ලිපිනය සඳහන් කළ යුතු බවත්, සෑම කෙනකු ම නිලධාරීන්ට ලබා දෙන ජංගම දුරකථන අංකයකට සැම දෙනා එකඟ විය යුතු බවත් ඇය පැවසුවා ය. විරෝධතාවේ දී අදහස් දක්වමින් අරුන්දතී රෝයි පැවසුවේ, ජාතික පුරවැසි ලේඛනය (එන්.ආර්.සී.) ඉන්දියාවේ මුස්ලිම්වරුන් ඉලක්ක කර ගත් එකක් බවයි.

“‍ඔවුන් ඔබේ නිවෙස්වලට පැමිණ ඔබේ නම, දුරකථන අංකය රැගෙන ආධාර ලේඛනය සහ රියැදුරු බලපත්‍ර වැනි ලියකියැවිලි ඉල්ලාවි. ජාතික ජනගහන ලේඛනය, යෝජිත සමස්ත ඉන්දීය ජාතික පුරවැසි ලේඛනයේ දත්ත ගබඩාවක් බවට පත්වේවි. අපි එයට එරෙහිව සැලසුම්සහගතව සටන් කළ යුතුයි. ඔවුන් ජාතික ජනගහන ලේඛනය සඳහා ඔබේ නිවසට පැමිණ ඔබේ නම ඉල්ලන විට ඔවුන්ට වෙනස් නමක් දෙන්න.  ලිපිනය සඳහා අගමැති නිවසේ ලිපිනය දෙන්න. මෙය වැළැක්වීමට බොහෝ කඩාකප්පල් කිරීම් අපට අවශ්‍ය වේවි. අපි ඉපදුණේ ලතිස්වලට (උණ බම්බුවකට යකඩ යොදා සාදා ගත් පහර දීම සදහා භාවිත කරන දණ්ඩක්) සහ උණ්ඩවලට මුහුණ දීමට නොවේ,”‍ යැයි ද අරුන්දතී රෝයි පවසා තිබුණා ය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරිදා රාම්ලීලා ක්‍රීඩාංගණයේ පැවති රැළියේ දී අමූලික අසත්‍යය ප්‍රකාශ කරමින් තම රජය කිසි විටෙකත් එන්.ආර්.සී. ක්‍රියාවලිය ගැන කිසිවක් කියා නැති බවත්, රට තුළ රැඳවුම් කඳවුරු නොමැති බවත් ප්‍රකාශ කළා යැයි ඇය චෝදනා කළා ය.

“‍ඔහු බොරුව හෙළි වන බව දැන දැන ම බොරු කී බවත්, එසේ ඔහු බොරු කීවේ මාධ්‍ය ඇත්තේ ඔහු සමඟ නිසාත්, ඔහුගෙන් පෙරළා ප්‍රශ්න කිරීමක් සිදු නොවන නිසාත් යැ”‍යි ඇය පැවසුවා ය.

සංශෝධිත පුරවැසි පනතට සහ එන්.ආර්.සී.යට විරෝධය දක්වන අය නිසි කැපවීමකින් එය කළ යුතු බවත්, විවිධ ප්‍රාන්ත දැනටමත් එය ක්‍රියාත්මක නොකරන්නට කටයුතු කරන බවත්  අරුන්දතී රෝයි පැවසුවා ය.

පුරවැසිභාවය පිළිබඳ සංශෝධන පනතට සහ ජාතික පුරවැසි ලේඛනයට එරෙහිව රට තුළ පුළුල් විරෝධතා ඇති වීමෙන් පසුව ජාතික ජනගහන ලේඛනය හරහා ඒවායෙහි විධිවිධාන හොරෙන් ගෙන ඒමට රජය උත්සාහ කරමින් සිටින බව ද ඇය චෝදනා කළා ය.

උත්තර් ප්‍රදේශ් හි මුස්ලිම්වරුන්ට පොලිසිය විසින් පහර දී, පීඩනයට ලක් කරන බවට චෝදනා කරමින් ඇය කියා සිටියේ, “උත්තර් ප්‍රදේශ් හි මුස්ලිම්වරුන්ට පහර දීම් සිදු වෙමින් පවතින අතර, පොලිසිය ගෙයින් ගෙට ගොස් කොල්ලකෑම් සිදු කරනවා” යනුවෙනි.‍

අරුන්දතී රෝයි කියා සිටියේ, සී.ඒ.ඒ. සහ එන්.ආර්.සී. ගෙන එන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිව  පමණක් නොව දලිත් ගෝත්‍රිකයන්ට සහ දිළිඳු ජනතාවට ද එරෙහිව බවයි.

ජාතික ජනගහන ලේඛනය යාවත්කාලීන කිරීම සඳහා රුපියල් කෝටි 3,941.35ක් මධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලය විසින් අඟහරුවාදා අනුමත කළා. ජාතික ජනගහන ලේඛනය කියන්නේ රටේ ‘‍සුපුරුදු පදිංචිකරුවන්ගේ’ ලැයිස්තුවක්. ‘සුපුරුදු පදිංචිකරුවකු’‍ යනුවෙන් අර්ථදැක්වෙන්නේ පසුගිය මාස හය හෝ ඊට වැඩි කාලයක් ප්‍රාදේශීය ප්‍රදේශයක පදිංචිව සිටි අයකු හෝ ඉදිරි මාස හය හෝ ඊට වැඩි කාලයක් එම ප්‍රදේශයේ පදිංචි වීමට අදහස් කරන පුද්ගලයකුට ය.

2011 වසරේ ජන සංගණනයේ නිවාස ලැයිස්තුගත කිරීමේ අදියර සමඟ ජාතික ජනගහන ලේඛනයේ (එන්.පී.ආර්.) දත්ත 2010දී රැස් කළා. 2015දී ගෙයින් ගෙට ගොස් සිදු කළ සමීක්ෂණයකින් එම දත්ත යළි යාවත්කාලීන කර තිබෙනවා.

India Today ඇසුරෙනි.

■  කපිල එම්. ගමගේ

Leave a Response